වධහිංසා වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මණ්ඩලයකට කොළඹදී ලබා දුන් බව සිවිල් හා මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
දිවයිනට පැමිණ සිටින වධහිංසා වැළැක්වීම සඳහා වන එක්සත් ජාතීන්ගේ අනු කමිටුව (UN SUB COMMITTEE ON PREVENTION OF TORTURE - SPT) ජූනි 15 සිට 24 දක්වා ශ්‍රී ලංකාවේ කල් ගත කිරීමට නියමිතය.
කමිටුවේ නිල සංචාරයේ මුල් දිනයේදීම කොළඹ එක්සත් ජාතින්ගේ මුලස්ථානයේ පැවති හමුවකට සහභාගි වූ ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් සංවිධාන ගණනාවක ක්‍රියාකාරින් සහ නීතිඥවරුන් විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල තත්වය, පොලිස් සහ ආරක්ෂක අත්අඩංගුවේ දී සිදුවන මරණ ඇතුළු නීතියට පරිබාහිර සියළු ආකාරයේ ඝාතන සහ රාජ්‍ය මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද කමිටුව වෙත තොරතුරු ලබා දී තිබේ.
දෙවැනි සංචාරය
" වධබන්ධන වැලැක්වීම සඳහා වන එක්සත් ජාතින්ගේ අනු කමිටුව දෙවැනි වතාවට ශ්‍රි ලංකාවට පැමිණෙන්නේ හත් අවුරුද්දකට පසුව බවටත්, වධහිංසා වැලැක්වීමේ අරමුණු කොට ගෙන කෙරෙන නිරික්ෂණ චාරිකාවට අමතරව යාන්ත්‍රණවල ක්‍රියාකාරිත්වය සහ ගතවු වසර කිහිපය තුළදි බලධාරින් විසින් අපේ නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ කෙසේ දැයි තක්සේරු කිරීමටත් අපේක්ෂා කරන බවටත් " අනුකමිටු නියෝජිත මණ්ඩල ප්‍රධානී අයිෂා ෂුජුනේ මුහම්මද් පැවසූ බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (OHOHCHR) විසින් ජිනීවා නුවරින් නිකුත් කොට තිබුණු නිවේදනයක දැක්වේ.
“වධහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් මෙම සංචාරය ඔවුන් සතු බලතල අනුව සිදු කෙරේ,” යි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය පවසයි.
කමිටුවේ ශ්‍රි ලංකා සංචාරයට පෙර වාර්තාවක් නිකුත් කළ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවද බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානයහී තත්වය පිළිබඳ ' විවේචනාත්මක' කරුණු ඉදිරිපත් කොට තිබේ.
නොතකා හැරිය නොහැකි තොරතුරු
" ලංකාවේ බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල ඇත්ත තත්වය අපි සවිස්තරාත්මකව කමිටුවට ඉදිරිපත් කළා," යනුවෙන් පැවසුවේ ශ්‍රි ලංකාවේ බන්ධනාගාරගත රැඳවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයක නිරතව සිටින එකම සිවිල් සංවිධානය වන සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා ය.
වධහිංසා වැළැක්වීමේ අනු කමිටුව හමුවේ තම සංවිධානයද නිදසුන් සහිතව දීර්ඝවකරුණු දැක්වු බව මහනුවර මානව හිමිකම් සංවිධානයේ ක්‍රියාධාරිනියක් ද පැවසුවාය.
"පොලිස් අත්අංඩගුවේ දී සිද්ධ වෙන ඝාතන, වධහිංසා වගේම ලංකාවේ බන්ධනාගරවලදී රැඳවියන්ට සිද්ධ වෙන හිරිහැර ගැනත් අපේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා කරුණු ඉදිරිපත් කෙරුවා" යනුවෙන් කියා සිටියේ එම සංවිධානය නියෝජනය කරමින් අදාල හමුවට සහභාගිවූ ලුසෙයිලා අබේකෝන් ය.
හිංසනය රාජ්‍ය පිළිවෙතක්
වධහිංසා වැළැක්වීමේ අනු කමිටුව වෙත ප්‍රධාන කරුණු 12 ක් යටතේ දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කොට ඇති සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එයින් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙන්නේ ශ්‍රි ලංකාවේ රැඳවියන් සම්බන්ධයෙන් රාජ්‍ය විසින් අනුගමනය කරමින් සිටින ක්‍රියා පිළිවෙත හුදු පරිපාලනමය ගැටලුවකින් ඔබ්බට ගිය ප්‍රතිපත්තිමය කරුණක් බවයි. එමෙන්ම එය දැඩි ලෙස ආයතනගතව ඔඩුදුවා ඇති අතිශය භයංකාර තත්වයට පත්වී ඇති බවටත් එම සංවිධානය විසින් ඔවුන්ගේ වාර්තාවේ කරුණු සහිතව දක්වා තිබේ.
බන්ධනාගාරවල අධික තදබදය, වධහිංසා සහ විෂමචාර ක්‍රමවේදයන්, අත්අඩංගුවේ පසුවන්නන්ගේ මරණ. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, සෞඛ්‍ය සහ වෛද්‍යමය තත්වයන්, සනීපාරක්ෂාව ශාරීරික දඬුවම් සහ රැඳවුම් පරිශ්‍රයන් තුළ පවතින මිලිටරිකරණය මෙන්ම පෞද්ගලිකත්වය සහ මානව ගරුත්වය අහිමි කිරීමද ඇතුළු තවත් කරුණු ගණනාවක් එයට ඇතුලත් ය.
ශ්‍රි ලංකාවේ බන්ධගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල පවතින තදබදය 286% වඩා ඉහළ අගයක් දක්වා වර්ධනය වී ඇතැයි පවසන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව, සමස්ත බන්ධනාගාර රැඳවියන්ගෙන් 65.4% නඩු විභාග අපේක්ෂාවෙන් පසුවන්නන් බවටත් කරුණු සැලකර සිටියි.
මේ තත්වය සනාථ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ සංඛ්‍යා ලේඛන අනුවද බන්ධගාර ආශ්‍රිතව ඇත්තේ අධික තදබදයකි.
මානව හිමිකම් කොමිසමෙන් චෝදනා ?
"මේ පමණ ඉක්මවා ජනාකීර්ණ වීම වඩාත් බරපතල තත්වයට පත්වී ඇත්තේ ' යුක්තිය ' මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදිවලට අත්අඩංගුවට ගනු ලබන්නන්ගේ සංඛ්‍යාව තිව්‍ර ලෙස ඉහළ යාමෙනි," යි මානව හිමිකම් කොමිසමේ වධ බන්ධන වැළක්වීමේ යාන්ත්‍රණය පිළිබඳව ඉංග්‍රීසියෙන් පමණක් පල කොට ඇති 2022-2025 ප්‍රගති වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රි ලංකාවේ රට පුරා බන්ධනාගාර ආශ්‍රිතව කාලාන්තරයක් තිස්සේ ඇතිවු කැරලි කෝලාහල සහ රැඳවියන්ගේ උද්ඝෝෂණ වලට බලපෑ එක් ප්‍රධානතම හේතුවක් වුයේද අධික තදබදය සහ පහසුකම් හිඟය මෙන්ම වධ බන්ධනයි. රැඳවියන් ගණනාවක්ම ඒ හේතුව මතම මරණයට පත්වූ අතර බහුතරයක් මිය ගියේ බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළු ආරක්ෂක අංශ විසින් කරන ලද වෙඩි තැබීම් හේතුවෙනි.
2020 වසරේ මහර බන්ධනාගරයේ රැඳිවියන් පිරිසක් වෙඩි තබා මරා දැමීම මේ අතරින් ප්‍රධානවන අතර , එම ප්‍රහාරයට හේතු වූයේ ඒ වන විටත් ඇති වෙමින් තිබූ කෝවිඩ් වසංගත තත්වය මත නිසි වෛද්‍ය පහසුතම් සහ සුබසාධන තත්වයන් වලින් තොරව අධික ලෙස රැඳවියන් බන්ධනාගාරයට ඇතුලත් කිරීමයි. ප්‍රහාරයෙන් පසුව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාව සහ විමර්ශන කණ්ඩායම් විසින් නිකුත් කළ විමර්ශන වාර්තාවලද ඉතා පැහැදිලිවම දක්වා තිබුණේ බන්ධනාගාර ආශ්‍රිත අධික තදබදය සහ පහසුකම් හීනතාවය රැඳවියන්ගේ කැරැල්ලට හේතුවී ඇති බවයි.
එවැනිම ආකාරයේ උද්ඝෝෂන සහ ඉන් අනතුරුව සිදුවු ප්‍රහාර එයට පෙර අනුරාධපුරය, වව්නියාව, වැලිකඩ, ආදී බන්ධනාගාර තුළින් ද පැන නැගුනු මුත් ඒ සෑම අවස්ථාවකදීම රැඳවියන් මරා දමමින් හෝ වධ බන්ධනයන්ට පමුණුවමින් හෝ ' තත්වය පාලනය කිරීමට' බලධාරින් පෙළඹුනි.
"ජනාකීර්ණ වීම, දුර්වල සනීපාරක්ෂාව , ප්‍රමාණවත් ලෙස වෛද්‍ය පහසුකම් නොලැබීම ප්‍රචණ්ඩතා වැඩිවීමට හා හීන වූ දිවි පැවැත්මකට දායක වෙයි. මේ සියල්ල සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතින්ගේ අවම නීති ප්‍රමිතිය (මැන්ඩලා රීති) උල්ලංඝනය කරන්නේද, රැඳවියන්ගේ ගරුත්වය කෙලසන්නේ ද වේ" යනුවෙන් ජාතික මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කොට තිබෙන පිටු 63 ක වාර්තාවේ දැක්වෙයි.
මානව හිමිකම් කොමිසමේ කොළඹ කාර්යාලයේ ප්‍රධානින් ජාත්‍යන්තරය හමුවේ කවර මතයක් දැරුවද රට පුරා පිහිටි ප්‍රාදේශීය සහ උප කාර්යාලවල සම්බන්ධිකරණ නිලධාරින් සහ විමර්ශන නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා දුෂ්කර කරුණක් වී ඇතැයි UN කමිටු හමුවට සහභාගී වුණු ඇතැම් සිවිල් සංවිධාන නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන්ටත් පයින් ගසන රැඳවුම් සංස්කෘතියක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නවතම දත්තයන්ට අනුව රඳවා සිටින සමස්ත රැඳවියන්ගේ සංඛ්‍යාව 185 056 කි. 2024 වර්ෂයේ දී එම තත්වය 181 333 ක් දැක්වුණි. අවස්ථා ගණනාවකදීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහල අධිකරණවල විනිසුරුවන්රුන් සහ පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති නිර්දේශ සහ මානයන් මගින් කියැවෙන්නේ යම් පුද්ගලයකු රැඳවුම් භාරයට හෝ සිරගත කිරීමට හෝ පෙර ඇප පිට නිදහස් කිරීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙසයි.
නමුත් වර්තමාන රජයේ මත්ද්‍රව්‍ය විරෝධි වැටලීම් වැඩ පිළිවෙල වන "රටම එකට ජාතික මෙහෙයුම" යටතේ ද අති විශාල පිරිසක් දිනපතා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට හෝ බන්ධනාගාරගත කිරීමට හෝ කටයුතු කරමින් සිටින්නේ ඒ සියළු නියාමනයන් සහ නිර්දේශයන් නොතකා හරිමිනි.
මහනුවර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමන් ඇතුළු සාමාජිකයන් විසින් එක්සත් ජාතින්ගේ වධහිංසා වැළැක්වීමේ අනු කමිටුව වෙත ලබා දී ඇති වාර්තා ද මේ තත්වය විස්තර කොට ඇති බව දැනගන්නට තිබේ. ‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ යි රාව නගන බන්ධනාගාර පරිශ්‍රයන්හී එදිනෙදා සිදුවන වධහිංසා සහ උග්‍ර තදබදයට උචිත අවම සුබ සාධන පහසුකම්වල ස්වභාවය පිළිබඳවත් තමන් විසින් වැඩි අවධානයක් යොමු කළ බවයි එම සංවිධානයේ ලුසෙයිලා අබේකෝන් සඳහන් කරන්නේ.
"ඇත්තටම ලංකාවේ බන්ධනාගාර කියන්නේ මනුස්ස වාසයට සුදුසු තැන් නෙමෙයිනේ. ගොඩක් වෙලාවට හැම වර්ගයකම රැඳවියන් රඳවලා තියන්නේ එකට. වයස් පරතරයක් නෑ. අපරාධවල ස්වභාවය අනුව වර්ග කිරීමක් නෑ. මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට අරන් රඳවලා ඉන්න කාන්තා රැඳවියන්ගේ, විශේෂයෙන්ම තරුණියන්ගේ තත්වය ඉතාම ශෝචනීය යි. කිසිම පහසුකමක් නෑ. සෞඛ්‍ය සුබ සාධනයක් නෑ. අපි මේ හැම දේම කමිටුවට ඉදිරිපත් කෙරුවා" යැයි ඇය පැවසීය.
මුල් බැස ගත් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය
බන්ධනාගාර හා රැඳවුම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන වධහිංසා පිළිබඳව කරුණු දක්වා තිබෙන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඒවා හුදෙක් අතපසුවීම් හෝ අත්වැරදීම් ලෙස සිදුවන ඒවා ලෙස හෝ අර්ථ නොදක්වන අතර සිතාමතා පූර්ව චේතාවෙන් සිදුකරන ඒවා බවට පෙන්වා දී තිබේ.
" ප්‍රචණ්ඩත්වය යනු අහඹු සිදුවීමක් නොව පාලන පරිපාලනයේ මුල් බැසගත් පද්ධතිමය අංගයකි," යි ඔවුන්ගේ වාර්තාව පවසයි.
නව රැඳවියන්ට "නවක වදය” ලෙස හඳුන්වමින් පේර පොලු , වැලි පිරවු PVC බට, ක්‍රිකට් පොලු ( Stumps) සහ සාමාන්‍ය ව්‍යවාහරයේ වෝල්ට් 33 000 ලෙස හඳුන්වන විදුලි රැහැන් භාවිතා කරමින් සිදුකරන පහර දීම් පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කරුණු ඉදිරිපත් කර ඇත.
එමෙන්ම හමුදා මධ්‍යස්ථානවල සිදුවන වධහිංසාවන් සම්බන්ධයෙන්ද කරුණු ගෙන හැර දක්වන ඔවුන් වෝටර් බෝඩින් ( Waterboarding ) නමින් හඳුන්වන හුස්ම ගැනීම සහ පිට කිරීම අවහිර කිරීමට පෙට්‍ර්ල් හෝ වතුර පිරවූ බෑග් වලින් මුහුණ වැසීම, වර්ණ විදුලි පහන් මගින් අක්ශි සංවේදන අහිමි කිරීම ( Sensory Deprivation) , එල්ලා පහර දීම සහ ලිංගීක හිංසන පිළිබඳවත් තොරතුරු ඉදිරිපත් කොට තිබේ.
හිටපු පොලිස්පතිවරයකු මෙන්ම පසුගිය රජයේ යුක්තිය මෙහෙයුමේ අණදෙන ප්‍රධානියා ද වූ දේශබන්දු තෙන්නකොන් සැකකරුවකුගේ ලිංගාශ්‍රිත ප්‍රදේශවල බාම් වර්ගයක් තවරා වධහිංසා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවකු බවට පත් කිරීම ද වධහිංසා අනු කමිටුවේ අවධානයට ලක් කර ඇති ඔවුහු හුදෙක් එය එක් පොලිස් නිලධාරියකු පිළිබඳ ගැටළුවක් ම නොව සමස්ථ ආයතන පද්ධතියෙහිම දක්නට ලැබෙන එකක් බවට අවධාරණය කරති.
අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන්ගේ මරණ සහ බහිර්නීතික ඝාතන පිළිබඳවත් තමන් විසින් වධහිංසා කමිටුව හමුවට කරුණු ඉදිරපත් කළ බවයි එම හමුවට සහභාගී වූ සිවිල් සංවිධාන නියෝජිතයන් පවසන්නේ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද ඔවුන්ගේ වාර්තාවට පසුගිය සමයේ සිදුවු අත්අඩංගුවේ මරණ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් කිහිපයක ලේඛනයක් ඇතුලත් කොට තිබේ.
දත්තවලින් ඔබ්බට ගිය ඝාතන සංස්කෘතියක්
2026 ජනවාරි මස 12 දින වැලිකන්ද ප්‍රදේශයේදී සිදුවු පොලිස් වෙඩි තැබීම, 2026 පෙබරවාරි 10 දින යාපනය පොලිසිය විසින් වෙඩි තබා තරුණයන් දෙදෙනකු මරා දැමීම, 2026 අප්‍රේල් 26 දින මැගසීන් බන්ධනාගාරයේදී රැඳවියෙකු මිය යාම, 2026 මැයි 04 දා වැලිකඩ බන්ධනාගාරයේදී සිදුවු 40 වියැති රැඳවියාගේ මරණය, 2026 මැයි 11 දින වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් බිමට ඇද වැටි මිය ගිය 27 වියැති තරුණයාගේ මරණය සහ එම මාසයේ 24 දින යළිත් යාපනය බන්ධනාගාරයේ දි සියදිවි නසා ගැනීමක් බව පැවසු රැඳවියාගේ මරණය ඇතුළු එවැනි ආකාරයේ මරණ කිහිපයකම තොරුතුරු ඔවුන් විසින් දක්වා ඇත.
පුද්ගල අතුරුදහන් කිරීම් පිළිබඳව ද UN අනු කමිටුව වෙත තොරතුරු ලබා දී ඇති අතර ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ 2024 මාර්තු 27 දින ගෝනපීනුවල කපිල කුමාර ද සිල්වා නැමැති අයව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමයි.ඔහු අනුරාධපුරය , හොරොව්පතාන ප්‍රදේශයේ මාර්ගයක යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පැහැර ගැනීමට ලක්ව ඇති බවත්, අප්‍රේල් 20 දින පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් විසින් ඔහුව පිටිගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවත් රඳවා ගෙන සිටි මුළු කාලය පුරාම කපිල කුමාරගේ දෑස් බැඳ දරුණු වධබන්ධනයක්ට ලක් කර ඇති බවටත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් ඉදිරිපත් කොට තිබෙන වාර්තාවේ දැක්වෙති. මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ( CPRP) විසින් 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව වරදකරුවන්ට එරෙහිව නඩු පවරන්නැයි නීතිපතිවරයා වෙත පැමිණිලි කර ඇතත් , නීතිපතිවරයා විසින් මේ දක්වාම කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔවුන් විසින් UN උප කමිටුව වෙත ඉදිරිපත් කොට තිබෙන වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ.
එමෙන්ම 2024 ජනවාරි සහ 2025 මැයි අතර කාලය තුළදි ශ්‍රි ලංකාවේ බන්ධනාගාර ආශ්‍රිත මරණ අවම වශයෙන් 174 ක් වාර්තා වී ඇති බවටත්, 2024 දි පමණක් එවැනි මරණ 184 ක තොරතුරු පවතින බවටත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ වධහිංසා වැලැක්‌වීමේ අනු කමිටුව වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවෙහි දැක්වෙති.
වෙනස් වාර්තා
කෙසේ නමුත් ශ්‍රි ලංකාවේ බන්ධනාගාර සහ පොලිසි මෙන්ම ආරක්ෂක අංශ භාරයේ තිබෙන රැඳවුම් මධ්‍යස්ථානවලත් පවතින ශෝචනීය තත්වය මෙන්ම බරපතල ආකරයේ මානව හිමිකම් සහ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳවත් මෙයට පෙර බොහෝ අවස්ථාවලදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්ද විවිධාකාරයේ තොරතුරු, දත්ත සහ විමර්ශන කමිටු වාර්තා එළි දක්වා ඇතිවා පමණක් නොව විකල්ප ජනමාධ්‍ය විසින් ඒවා වාර්තා කර තිබේ.
ජාතික මානව හිමිකම් කොමිසම මෙන්ම විවිධ දේශිය සිවිල් සංවිධාන විසින්ද ඒ තත්වය පෙන්වා දී තිබෙන අතර ඒවා බොහෝමයක් සීමාවී තිබෙන්නේ සාම්ප්‍රදායික බන්ධනාගාර සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින රැඳවියන් ගේ තත්වය පෙන්වා දීම වෙනුවෙනි. නමුත් ශ්‍රි ලංකා රජයේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ භාරයේ සිටින ස්ත්‍රි පුරුෂ රැඳවියනට එරෙහිව සිදුකරන විවිධාකාරයේ අපරාධ, හිංසනයන් සහ විශේෂයෙන්ම ලිංගික අඩංතතේට්ටම් පිළිබඳව සවිස්තරාත්මකව කරුණු ගෙන හැර දක්වා ඇත්තේ ජාත්‍යන්තර තලයේ සංවිධාන කිහිපයක් පමණි. එවැනි වාර්තා සහ කරුණු අලුත් හා පරණ ශ්‍රී ලංකා ආණ්ඩු විසින් නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එවැනි අපරාධ අරාක්ෂක අංශ භාරයේ සිටියදි සිදු නොවන බවට තර්ක කරමිනි.
සිවිල් සංවිධාන විසින් කමිටුව හමුවට ඉදිරිපත් කළ තොරතුරු ඇසුරින් සකස් කෙරෙන වාර්තාවක් ප්‍රසිද්ධ කරනු ඇත්දැයි හමුවට එක්වු ඇතැම් සිවිල් ක්‍රියාකාරිකයන් විසින් විමසා තිබෙන අතර, ඒ සඳහා අවශ්‍ය වී තිබෙන ශ්‍රි ලංකා බලධාරින්ගේ කැමැත්ත ලබාගැනීමට තමන් විසින් ‘හැකි සෑම දෙයක්ම සිදු කරන’ බවට කමිටු සාමාජිකයන් විසින් දැනුම් දී තිබේ.
උත්තර ඔයාලගේ රජය අතේ
අනු කමිටුව විසින් ශ්‍රි ලංකාවට පැමිණේන්නේ හත් අවුරුද්දකට පසුව දෙවැනි වතාවටයි. විශේෂයෙන්ම අත්අඩංගුවේ දි සිදු කෙරෙන වධහිංසා සම්බන්ධ නිරික්ෂන හා නිර්දේශ සහිතව 2019 දි ලබා දුන් වාර්තාව එයින් අපුරුදු පහකට පසු ' සිස්ටම් චේන්ජ්' සඳහා පත්කර ගන්නා ලද මේ ආණ්ඩුවෙන් ප්‍රසිද්ධියට පත් කර නැත.
"සංචාරය අවසානයේ කමිටුව විසින් OPCAT සම්මුතියේ 16 වැනි වගන්තිය ප්‍රකාරව ස්වකීය මූලික රහස්‍ය නිරික්ෂණ ශ්‍රි ලංකාවේ ආණ්ඩුවටත්, වැළැක්වීමේ ජාතික යාන්ත්‍රණයටත් ඉදිරිපත් කරනු ඇත. ඉන් අනතුරුව ස්වකීය සොයා ගැනීම් සහ නිර්දේශ ඇතුලත් රහස්‍ය වාර්තාවක් රාජ්‍ය පාර්ශවය වෙනුවෙන් සම්පාදනය කරනු ඇත. ශ්‍රි ලංකාවේ රජය එය ප්‍රසිද්ධියට පත් කරනු ඇත. ශ්‍රි ලංකාවේ රජය එය ප්‍රසිද්ධියට පත් කිරීමට ඉල්ලා සිටින්නේ නැත්නම්, OPCAT වැඩ රාමුවට අනුකූලව එය රහසිගතවම පවතිනු ඇත" යනුවෙ.න් වධහිංසා වැළක්වීමේ UN අනු කමිටු නිවේදනයේ දැක්වේ.
“ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව, විවෘත, නිර්මාණාත්මක සහ විනිවිද පෙනෙන ආකාරයකින් අනුකමිටුව සමඟ කටයුතු කරනු ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, අදාළ ජාත්‍යන්තර ලේඛන සම්බන්ධයෙන් ඇති සිය සම්මුතිගත බැඳීම් ස්වේච්ඡාවෙන් ඉටු කරනු ඇත,” යි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය කමිටු සංචාරය නිවේදනය කරමින් ප්‍රකාශ කොට තිබේ.
දිවයිනේ සිර කුටි තුළ බලධාරීන් හා නිලධාරීන් විසින් සිදු කෙරෙන අපරාධ වැලක්වීමට කරන ලද හා කරනු ලබන නිර්දේශ සහ ඒවායේ ඉරණම මහජනතාවට හෙළි නොවන සාකච්ඡාවලට සහභාගී වීමේ පලරහිත භාවය දක්වමින් අනුකමිටු නියෝජිත මණ්ඩලයේ 15 දා කොළඹ හමුව වර්ජනය කළ බව නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි ආරාධිත මානව හිමිකම් සංවිධාන කිහිපයක ක්‍රියාධාරීහු පැවසූහ.
ජූනි 15 වන දා සිට 24 දා දක්වා රටේ විවිධ ස්ථානවල සංචාරය කරමින් තොරතුරු එක් රැක් කර ගනු ලබන එක්සත් ජාතින්ගේ වධහිංසා වැළැක්වීම පිළිබඳ අනු කමිටුවේ ප්‍රධානි අයිෂා ෂුජුනේ මුහම්මද් සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ යාකුබ් ජූ, ලියන් සෙපෙක්, නිකා ක්වරත්ස්බෙලියා සහ අනිකා ටොම්සිච් ය.
අනුකමිටුවේ නියෝජිත පිරිස විසින් අමාත්‍ය මට්ටමින් රැස්වීම් පවත්වනු ඇති අතර, රජයේ අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සම්බන්ධ වනු ඇති බව නිවේදනය කරන ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ‘අදාළ අමාත්‍යංශ’ කවරේදැයි පැහැදිලිව දක්වා නැත.
(සටහන | කේ .විජේසිංහ)




