සිරිකොතින් තරුණ පරපුරට විවෘත දොරක්
පිටකෝට්ටේ 'සිරිකොත' පක්ෂ මූලස්ථානයේදී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්යාධිකාරී මණ්ඩලය වැදගත් තීන්දුවකට එළඹ තිබේ.
අටවැනි විධායක ජනාධිපති මෙන්ම පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම හමුවේදී 'Millennial UNP' සහ 'Gen Z UNP' නමින් නව සාමාජිකත්ව නියෝජනයක් නිල වශයෙන් ප්රකාශයට පත් කෙරිණි.
ශ්රී ලංකාවේ ප්රධාන දේශපාලන පක්ෂයක් මෙලෙස නිශ්චිත පරම්පරා දෙකක නියෝජනයක් ව්යුහාත්මකව තහවුරු කළ ප්රථම අවස්ථාව මෙය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා තහවුරු කරයි.
වයස් කාණ්ඩ වෙන්වන්නේ මෙසේය
නව ප්රතිව්යුහගතකරණයට අනුව වයස අවුරුදු 35 ත් 40 ත් අතර කාණ්ඩය 'Millennial UNP' ලෙස නම් කර ඇත.
වර්ෂ 2000 න් පසුව උපන් යොවුන් ප්රජාව 'Gen Z UNP' නියෝජනයට ඇතුළත් කර තිබේ.
සාම්ප්රදායික පක්ෂ ක්රමයෙන් ඈත්ව සිටින මෙරට තරුණ පරපුරේ නැවුම් අදහස්, ඩිජිටල් දැක්ම සහ විවේචන සෘජුවම ප්රතිපත්ති සම්පාදනයට එක්කර ගැනීම මෙහි මූලික ඉලක්කය වී ඇත.
මැතිවරණ පොරොන්දු වෙනුවට විසි වසරක හරිත පත්රිකාවක්
ඡන්ද ඉලක්ක කරගත් කෙටිකාලීන පස් අවුරුදු ප්රතිපත්ති ප්රකාශන වෙනුවට වසර විස්සක දීර්ඝකාලීන දැක්මක් සහිත 'හරිත පත්රිකාව' (Green Paper) මෙහිදී සවිස්තරාත්මක සාකච්ඡාවට බඳුන් විය.
රට හමුවේ පවතින ආර්ථික හා සමාජීය අභියෝග ජයගැනීමට නම් ආණ්ඩු මාරුවීම්වලින් ඔබ්බට ගිය තිරසර ජාතික ප්රතිපත්තියක් අත්යවශ්ය බව රැස්වීමේදී අවධාරණය කෙරිණි.
පොදු එකඟතාවයකින් යුත් ඒකාබද්ධ ක්රමවේදයක්
තනි තනි දේශපාලන පක්ෂ ලෙස බෙදී වෙන්ව කටයුතු කිරීම වෙනුවට පොදු ජාතික වැඩපිළිවෙළක් වටා සියලු පාර්ශ්ව එක්රැස්වීමේ අවශ්යතාව රනිල් වික්රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ඒ වෙනුවෙන් වන ප්රායෝගික ක්රමවේදය සහ ඒකාබද්ධ ගමනක් සඳහා වන සැලැස්ම ද එජාප නායකවරයා විසින් කෘත්යාධිකාරී මණ්ඩලයට සවිස්තරව ඉදිරිපත් කර තිබේ.



