දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සූදානම් නැතිකම සහ බදු අයකර ගැනීමේ ප්‍රායෝගික ගැටලු මැද කැබිනට් මණ්ඩලය තීන්දුව වෙනස් කරයි
බදු සීමාවට යටත් නොවුණත් ස්වෙච්ඡාවෙන් VAT සඳහා ලියාපදිංචි වීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව
එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමට පැවැති අයවැය යෝජනාව එළඹෙන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව, ව්‍යාපාරිකයන් වැට් බදු ගෙවීම සඳහා අනිවාර්ය වන වාර්ෂික පිරිවැටුම් සීමාව තවදුරටත් රුපියල් මිලියන 60 මට්ටමේම පවතිනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර අද (23) පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් ප්‍රකාශ කළේය.
මෙම තීරණය වත්මන් මාලිමා රජය ආර්ථික ක්ෂේත්‍රය තුළ ගත් කැපී පෙනෙන පසුබැසීමක් (Policy recalibration) ලෙස හැඳින්විය හැක. වැට් බදු සීමාව මිලියන 36 දක්වා පහත දැමුවේ නම්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) විශාල ප්‍රමාණයක් අලුතින් බදු දැලට හසුවීමට නියමිතව තිබුණි. පවතින ආර්ථික පීඩනය හමුවේ එමඟින් වෙළඳපොළ තුළ ඇතිවිය හැකිව තිබූ බදු බර සහ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානම මෙමඟින් තාවකාලිකව වැළකී යයි.
කැබිනට් මණ්ඩලය තීරණය වෙනස් කිරීමට හේතු ?
පරිපාලනමය නොහැකියාව:
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙත එකවරම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් බදු ක්‍රියාවලියට ඇතුළත් කරගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සූදානම සහ නව බදු අයකර ගැනීමේ ක්‍රමවේද සකස් කරගැනීමට තවදුරටත් කාලය අවශ්‍ය වීම.
මුදල් කාරක සභාවේ නිර්දේශ:
පාර්ලිමේන්තු මුදල් කාරක සභාව තුළ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, වත්මන් ආර්ථික වටපිටාව තුළ මෙම බදු සීමාව පහළ දැමීම ප්‍රායෝගික නොවන බවට නිගමනය කිරීම.
නීතිපති අනුමැතිය සහ සම්මත වීම:
මෙම සංශෝධනය සඳහා ඊයේ (22) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, ඊට අදාළ නීතිපතිවරයාගේ එකඟතාව මත අද දින පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී එය සම්මත කිරීමට පියවර ගැනීම.
රාජ්‍ය මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) රාමුව තුළ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15%ක් දක්වා ඉහළ නංවා ගැනීමට රජය බැඳී සිටී. එවැනි තත්ත්වයක බදු පදනම පුළුල් කිරීමේ (Broadening the tax base) මෙම යෝජනාව තාවකාලිකව අත්හැරීමට සිදුවීම හරහා බදු පරිපාලනයේ පවතින දුර්වලතා නැවත වරක් ඉස්මතු වේ.
කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි, පිරිවැටුම් සීමාවට (Threshold) පහළින් සිටින ව්‍යාපාරිකයන්ට වුවද ස්වෙච්ඡාවෙන් වැට් බද්ද සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව දීම හරහා, ව්‍යාපාරික ක්ෂේත්‍රය වඩාත් විධිමත් මාවතකට අවතීර්ණ කරගැනීමට රජය තවදුරටත් උත්සාහ කරමින් සිටී.
සබැඳි පුවත් :




