*දැඩි මානසික කම්පනයට පත් දැරිය විශේෂඥ මනෝ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමටත් අධිකරණයෙන් නියෝග
බාලවයස්කාර දැරියකට බරපතල ලිංගීක අපචාරයක් සිදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින හිටපු අටමස්ථානාධිපති හිමියන් අදාල නඩුව සඳහා අධිකරණයට පැමිණිමේදි අනෙකුත් පුද්ගලයන්ට නැති විශේෂ සැලකිලි හිමි වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබේ.
ඊයේ දින (21 සිකුරාදා) නඩුව කැඳවු අවස්ථාවේදී නීතිඥවරන් ද ඇතුළු අනෙකුත් සියළු පුද්ගලයන් සාමාන්‍ය ක්‍රමවේදය අනුව අධිකරණ පරිශ්‍රයට ඇතුළු වී තිබුණද බාලිකාපචාර චෝදනාවට ලක්ව සිටින සැකකාර පල්ලේගම හේමරතන නාහිමි පමණක් ඒ කිසිදු පටිපාටියකට යටත් නොවී විශේෂ පිවිසුමකින් අධිකරණ ශාලාවට පැමිණි බවයි වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් චෝදනා කරන්නේ.
ළමා අපචාර චූදිත නායක හිමිට ප්‍රභූ සැලකිලි ද?
නීතිඥ චානක අබේවික්‍රම
"මේ සැකකාර හාමුදුරුවෝ උසාවියට ආවේ කිසිම පරික්ෂාවකින් තොරව. හරියටම VIP කෙනෙක් විදිහට," යි කියා සිටියේ වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන නීතිඥ කණ්ඩායමේ සාමාජිකයෙකු වන නීතිඥ චානක අබේවික්‍රම යි.
එය සැකකාර හිමියන් සතු සිවිල් හා දේශපාලන බලය අධිකරණයට ඒත්තු ගැන්වීම සඳහා සිදු කරන්නට ඇති බව නීතිඥවරයාගේ විශ්වාසයයි.
"මේ සැකකාරයෙක්නේ. අනෙක් නඩුවල සැකකාරයො උසාවිය ඇතුලට ගන්නේ පරික්ෂා කරලා නම් මේ නඩුවේ සැකකරුට විතරක් ඒ නීතිය වලංගු නොවන්නේ ඇයි? ඒකේ අදහස එයා මේ පෙන්වන්නේ එයාගේ තියෙන සිවිල් බලය නෙමෙයිද?
ඉදිරි විමර්ශනවලට අගතියක්
වර්තමාන වැඩ බලන අටමස්ථානාධිපති ඊතලවැටුණු වැව ඥාණතිලක නාහිමියන්ද පොදු පරික්ෂා කිරීම් ස්ථානයෙන් අධිකරණයට පැමිණි නමුත්, විනිසුරුවරයා, නීතිඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලයට පමණක් සැලසෙන එම වරප්‍රසාදය ළමා අපචාර නඩුවක සැකකාර පල්ලේගම හේමරතන නාහිමියන්ට ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කරන නීතිඥ චානක අබේවික්‍රම, එය සමස්ත විමර්ශන ක්‍රියාවලියටම අගතිදායක ලෙස බලපානු ඇතැයි අනතුරු අඟවයි.
"අපි මේ ගැන අධිකරණය හමුවේ දැඩිව ප්‍රශ්න කෙරුවා. මොකද මේ හාමුදුරුවන්ට තියෙන සිවිල් බලය මේ තීන්දුවට බලපෑමක් කරන්න පුලුවන් සිවිල් බලයක්. අපි ඒක දන්නවා. මේ අපරාධය වාර්තා වුණු මුල් අවස්ථාවේ ඉඳලම සිද්ධ වුණු හැම සිදුවීමක්ම සිදුවුණේ ඒ සිවිල් බලයට යටත්ව. හාමුදුරුවන්ව අත්ඩංඟුවට ගන්න එක පොලිසිය ලවා නතර කරන්න පුලුවන් සිවිල් බලයක් මෙයාට තිබුණා නම්, හිතන්නකෝ සැකකාරයෙක් විදිහට අධිකරණයට ඒ බලය ආයෙත් පෙන්නගෙන එනවා නම් කාටද මේ ගැන විශ්වාසය තියන්න පුලුවන්," යනුවෙන් දැඩිව පැවසූ නීතිඥ අබේවික්‍රම තවදුරටත් කියා සිටියේ පොලිසියේ විමර්ශන ක්‍රියාවලියම සැකකාර හිමිනමගේ සිවිල් හා දේශපාලන බලයේ තරම පෙන්වන බවයි.
කෙසේ නමුත් දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි තමන්ගේ කරුණු දැක්වීම පිළිගත් අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සසිදු සියපත් වික්‍රමරත්න ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත් නීතිඥ අබේවික්‍රම පැවසීය.
" ගරු මහේස්ත්‍රාත්තුමා ඒ සම්බන්ධයෙන් එතුමාගේ දැඩි අවධානය යොමු කෙරුවා. එතුමා අධිකරණයේ ආරක්ෂාව භාර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කරා වහාම මේ ගැන සොයා බලා ඊළඟ නඩු වාරයේදී වාර්තාවක් ඉදිරිපක් කරන්න කියලා".
දැරියට මානසික පරීක්ෂාවක්
මේ අතර අධිකරණය හමුවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන භාර නිලධාරින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සිදුවීමෙන් අනතුරුව දැරිය දැඩි මානසික අවපීඩන කම්පන තත්වයකින් පසුවන බව හැඟෙන බැවින් ඒ සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා දැරිය රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පොලිසියේ ඉල්ලීම පිළිගෙන ඇති ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දැරිය මානසික වෛද්‍ය පරික්ෂණයකට යොමු කොට එම වාර්තාව එළැඹෙන නඩු වාරයේදි තමන් වෙත ඉදිරිපත් කරන්නැයි නියෝග කොට තිබේ.
ඊයේ දිනයේ නඩුව කැඳවු අවස්ථාවේ සැකකාර පල්ලේගම හේමරතන නායක හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමකුත් අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් සහ වරියන් විශාල පිරිසකුත් පෙනී සිටියහ.
දැනට ඇප මත මුදා හැර සිටන සැකකාර නායක හිමියන් ගේ සහ වින්දිත දැරියගේ DNA පරික්ෂා කොට අධිකරණය හමුවට වාර්තා කරන ලෙස පසුගිය නඩු වාරවලදි අනුරාධපුරය ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු සියපත් වික්‍රමරත්න විසින් රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝග නිකුත් කරනු ලැබුණි.
ඒ හැරුනු විට පොලිස් විමර්ශනවලට සහාය ලබා දීම සඳහා නීතිපතිවරයා වෙත විමර්ශනයේ උදෘත සටහන් යොමු කර තිබේ.




