විවෘත අධිකරණයේදී කළ ප්‍රකාශය
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට පෙර පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස්වත්තේ ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම ඇතුළු අධිචෝදනාවලට තමන් වරද පිළිනොගන්නා බව හයවන විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් හෙවත් සාජිත් මවුලවී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරු ඉදිරිපත් කිරීමෙන් පසු, ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවිණි.
චෝදනා සම්බන්ධ ලිපිලේඛන අධ්‍යයනය කර පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කළ බවත්, නඩු විභාගයට මුහුණ දී තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීම අවසන් තීරණය බවත් විත්තිකරු අධිකරණයට දැන්වීය.
ඒ අනුව පූර්ණ නඩු විභාගය නොවැම්බර් 09 වනදා ආරම්භ කිරීමට දින නියම විය. එදිනට පැමිණිල්ලේ පළමු සහ පස්වන සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරු මඬුල්ල, වැඩිදුර විභාගය පැවැත්වෙන නොවැම්බර් 11 සහ 12 දින සඳහා තවත් සාක්ෂිකරුවන් තිදෙනෙකුට නොතීසි නිකුත් කළේය.
විත්තිකරුවන් පස්දෙනෙකුට දැනටමත් සිරදඬුවම්
මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු පාස්කු මහා නඩුවේද විත්තිකරුවන් වීම හේතුවෙන් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා නඩුව පුත්තලම මහාධිකරණයේ සිට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මාරු කර තිබිණි.
ඉඩම් හිමි පළමු විත්තිකරු වන අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා), අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා), මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා), මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්) සහ මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි) යන විත්තිකරුවන් පස්දෙනා මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීම නිසා ඔවුන්ට දැනටමත් සිරදඬුවම් නියම වී අවසන්ය.
දඬුවම් නියම නොවූ එකම විත්තිකරු වන සාජිත් මවුලවී පමණක් මෙලෙස නඩු විභාගයකට මුහුණ දීමට තීරණය කර තිබේ.
ලැක්ටෝස්වත්තේ පුපුරන ද්‍රව්‍ය සහ අධිචෝදනා
2018 ඔක්තෝබර් 01 සිට 2019 ජනවාරි 16 දක්වා කාලය තුළ, මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ සහරාන් හෂීම් සහ මොහොමඩ් හස්තූන් සමඟ එක්ව අවි ආයුධ රැස්කිරීම හා පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.
වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත පරීක්ෂාවේදී යූරියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 100කට අධික තොගයක්, ඩෙටනේටර් 99ක්, ගිනිඅවියක්, ජීව උණ්ඩ 12ක් මෙන්ම පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා නයිට්‍රික් ඇසිඩ් ඇතුළු ද්‍රව්‍ය ආරක්ෂක අංශ භාරයට ගැනිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික පනත සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 14ක් ගොනු කර තිබේ. ආගමික හා වාර්ගික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇතිකිරීමේ චෝදනාද ඊට ඇතුළත්ය.
නඩු භාණ්ඩ 92ක් සහ සාක්ෂිකරුවන් 57ක්
රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවන අතර, නඩුව තහවුරු කිරීම සඳහා පැමිණිල්ල පාර්ශ්වයෙන් නඩු භාණ්ඩ 92ක් සහ සාක්ෂිකරුවන් 57 දෙනෙකු නම් කර ඇත.
අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සාම්පල, යූරියා සාම්පල සහ දුරකථන වාර්තා ප්‍රධාන නඩු භාණ්ඩ අතර වේ.
විත්තිකරුවන් පුහුණු කඳවුරු පැවැත්වූ බව කියන පුත්තලම, කුරුණෑගල, කැකුණගොල්ල සහ උලපනේ ප්‍රදේශවල සිවිල් සාක්ෂිකරුවන් මෙන්ම රජයේ නිලධාරීන් කිහිපදෙනෙකුද ඉදිරියේදී සාක්ෂි දීමට නියමිතය.



