පාස්කු ඉරිදා ප්රහාර මාලාවට පෙර පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්රදේශයේ ත්රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම සහ පුපුරන ද්රව්ය රැස්කිරීමේ නඩුව කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ යළි කැඳවිණි.
නඩුවේ හයවැනි විත්තිකරු වන මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් හෙවත් සාජිත් මවුලවී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ඔහු වරද පිළිගන්නේද යන්න පිළිබඳ කරුණු දැක්වීමටයි.
පවුලේ උපදෙස් පතයි
ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්රමසේකර යන ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කරුණු දැක්වූ සාජිත් මවුලවී කියා සිටියේ තමන් තවමත් අදාළ චෝදනා පත්රයේ ලේඛන අධ්යයනය කරමින් සිටින බවයි.
තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිගැනීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට අවශ්ය බැවින් ඒ සඳහා තවත් දිනයක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඬුල්ල, විත්තිකරුට සිය ඥාතීන් හමුවී සාකච්ඡා කිරීමට අවශ්ය පරිසරය සලසා දෙන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය. නඩුව ලබන නොවැම්බර් 05 වැනිදා පෙරවරු 8.00ට යළි කැඳවීමට නියමිතයි.
විත්තිකරුවන් පස් දෙනෙකුට සිරදඬුවම්
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් පස් දෙනෙකු මීට පෙර අධිචෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය මගින් ඔවුන්ට බරපතල වැඩ සහිත වසර 10 සහ 12 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබේ.
එලෙස සිරදඬුවම් නියම වූවන් අතර කඳවුර සඳහා ඉඩම බදු දුන් ලැක්ටෝස්වත්තේ හිමිකරු අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා), මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා), මොහොම්මදු ඊබ්රහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි), අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා) සහ මොහොමඩ් ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්) යන අය වෙති.
ලැක්ටෝස්වත්තේ පුපුරන ද්රව්ය ගබඩාව
2018 ඔක්තෝබර් 01 සිට 2019 ජනවාරි 16 දක්වා කාලය තුළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ සහරාන් හෂීම් සහ මොහොමඩ් හස්තූන් සමඟ එක්ව මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගිය බවට නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇත.
එහිදී යූරියා නයිට්රේට් කිලෝග්රෑම් 100කට අධික ප්රමාණයක්, ඩෙටනේටර් 99ක්, සජීවී උණ්ඩ, තුවක්කුවක් සහ නයිට්රික් ඇසිඩ් ඇතුළු පුපුරන ද්රව්ය තොගයක් ආරක්ෂක අංශ භාරයට ගැනිණි.
විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනත යටතේ අධිචෝදනා 14ක් ගොනුකර ඇති අතර, ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් සහ වාර්ගික අසමගිය ඇති කිරීමේ චෝදනා ද ඊට ඇතුළත් වේ.
සාක්ෂිකරුවෝ 57ක් සහ නඩු භාණ්ඩ 92ක්
රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන මෙම නඩුව සඳහා පුපුරන ද්රව්ය, යූරියා සාම්පල සහ දුරකතන වාර්තා ඇතුළු නඩු භාණ්ඩ 92ක් නම් කර තිබේ.
විත්තිකරුවන් පුහුණු කඳවුරු පැවැත්වූ බව කියන පුත්තලම, කුරුණෑගල, කැකුණගොල්ල සහ උලපනේ ප්රදේශවල සිවිල් වැසියන් හා රාජ්ය නිලධාරීන් ඇතුළු සාක්ෂිකරුවන් 57 දෙනෙකුගේ සාක්ෂි මෙහිදී සලකා බැලේ.
පුත්තලම මහාධිකරණයේ විභාග වෙමින් තිබූ මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු පාස්කු ප්රහාරයේ ප්රධාන නඩුවේද විත්තිකරුවන් වීම නිසා නඩු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා නඩුව කොළඹ විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය වෙත මාරු කර තිබිණි.



