සාම්ප්‍රදායික බලකොටු බිඳවැටීම
මේ මැතිවරණයේදී ට්‍රම්ප්ගේ පාර්ශ්වයේ සාම්ප්‍රදායික බලකොටු ලෙස සැලකුණු ටෙක්සාස් (Texas), කැන්සාස් (Kansas), ඔහායෝ (Ohio), අයෝවා (Iowa), දකුණු කැරොලිනා (South Carolina) සහ කෙන්ටකි (Kentucky) වැනි ප්‍රාන්තවල ඔවුන්ගේ බලය බිඳවැටුණේ කිසිවකුත් නොසිතූ අයුරිනි.
කෝටිපතියන්ගේ ධන බලයට එල්ල වූ අභියෝගය
ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රථම ඩිමෝක්රටික් පක්ෂ ආණ්ඩුකාරවරිය ලෙස තේරී පත්වූ ලැටිනෝ ජාතික කාන්තාවක වන ජීනා හිනොජෝසා (Gina Hinojosa) සහ 1988න් පසු ඩිමෝක්රටික් පාර්ශ්වයට ටෙක්සාස් සෙනෙට් මන්ත්‍රී ධුරයක් හිමිකරදුන් තරුණ ක්‍රියාකාරිකයෙකු වන ජේම්ස් තලාරිකෝ (James Talarico) මැතිවරණ ව්‍යාපාරයේදී කළ ප්‍රකාශ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ මෙලෙසිනි:
"ලොව ඉහළින්ම සිටින කෝටිපති ව්‍යාපාරිකයන් වන එලෝන් මස්ක්, මාක් සකර්බර්ග්, රූපට් මර්ඩොක් වැනි අය වෛරය වපුරමින්, අපේ සමාජයේ එකමුතුව නැතිකරන්නට, අපව බෙදන්නට මේ තරම් වෙහෙසක් ගන්නේ අපේ එකමුතුව ඔවුන්ගේ ධනයට සහ බලයට තර්ජනයක් මෙන්ම අභියෝගයක් වන බව දන්නා නිසයි."
"ටෙක්සාස්හි සැබෑ අයිතිය ඇත්තේ ජනතාවටද, එසේත් නැතිනම් මේ කෝටිපති ව්‍යාපාරිකයන්ගේ ලෝකයටද?"
මැතිවරණ වියදම් සහ ආයුධ වෙළෙඳපොළේ බලපෑම
අමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ කිසිදු කලෙක නොවූ තරම් මුදල් කන්දරාවක් මෙවර මැතිවරණයේදී වියදම් කර තිබූ බව අමෙරිකානු මාධ්‍ය හෙළිදරව් කර තිබිණි. එලෝන් මස්ක් පමණක් මේ සඳහා වියදම් කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 450ක් පමණ වන බව වාර්තා විය.
බෙදීම් සහ ගැටුම් ඇතිකරමින් ඒ තුළින් තම මඩි තරකරගන්නා ලොව ප්‍රබල අවි නිෂ්පාදකයන්ගේත්, ගෝලීය පුවත් බෙදාහරින ප්‍රබල ව්‍යාපාරික ජාලයන්ගේත්, ඊශ්‍රායල සියොන්වාදී පාලනයේ න්‍යාය පත්‍රය වෙනුවෙන් පෙනීසිටින ප්‍රබල ලොබි කණ්ඩායම්වලත් ප්‍රාණඇපකරුවන් බවට පත්ව සිටි අමෙරිකානු කොංග්‍රසයේ සහ සෙනෙට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් අන්ත පරාජයට පත්විය. අමෙරිකානු ජනතාව ලබාදුන් මෙම තීන්දුව නව දේශපාලන ගමනක ආරම්භයක් වනු ඇති බවට බොහෝ දෙනා පළකරන මතය සත්‍යයක් වේදැයි කාලය විසින් තීරණය කරනු ඇත.
ට්‍රම්ප්ගේ ක්‍රියාපිළිවෙතට එරෙහි විශ්වාසභංගයක්
මෙම මැතිවරණ ව්‍යාපාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාවගෙන් ඉල්ලා සිටියේ, "ඡන්ද පත්‍රිකාවේ මාගේ නම ඇතැයි සිතා ඔබේ ඡන්දය පාවිච්චි කරන්න" යනුවෙනි. පසුගිය ජනාධිපතිවරණවලදී ට්‍රම්ප් විශිෂ්ට ලෙස ජයගත් ප්‍රාන්ත මෙවර බිඳවැටී ඇති අයුරු විමසා බලන විට, මෙම මැතිවරණ ප්‍රතිඵලය ඔහුගේ අධිපතිවාදී ක්‍රියාකලාපය කෙරෙහි එල්ල වූ සෘජු විශ්වාසභංගයක් ලෙස සැලකීම නිවැරදිය.
බලපෑම් හමුවේ නොසැලුණු නිලධාරීන් සහ නීතිඥ ප්‍රජාව
මෙම මැතිවරණයේදී ට්‍රම්ප් පරිපාලනයෙන් එල්ල වූ බලපෑම් සහ පීඩනයන් මධ්‍යයේ වුවද, ඡන්දය ප්‍රකාශ කිරීම සහ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අපක්ෂපාතීව පවත්වාගෙන යාමට මැතිවරණ නිලධාරීන් කටයුතු කළ ආකාරය 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතේ කතුවැකි මගින් ප්‍රශංසාවට ලක්කර තිබිණි.
එමෙන්ම විධායක බලය අයුතු ලෙස යොදාගනිමින් සිදුකිරීමට තැත් කළ බලපෑම් හමුවේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අමෙරිකානු නීතිඥ ප්‍රජාව නැගීසිටි ආකාරයද අගය කර තිබූ අතර, ඇතැම් කීර්තිමත් නීතිඥ සමාගම් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික නීති භාවිතයන්ට එරෙහිවීමට පසුබට වූ අයුරුද එහි සඳහන් විය. මෙම සමස්ත සිදුවීම් දාමය මුළු ලොවටම කියාදෙන්නේ වටිනා පාඩමකි.
ජනතා හඬ නොතකා හැරීමට දුන් දඬුවම
ජනාධිපති ට්‍රම්ප් පසුගිය කාලය පුරා තම පාලනය ගෙනගියේ ජනතා අභිලාෂයන් නොසලකා හරිමිනි. අමෙරිකානු බුද්ධිමතුන්, තරුණ පරපුර, ප්‍රධාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව මෙන්ම දැන උගත් යුදෙව් බුද්ධිමතුන් පවා වීදි බැස්සේ ගාසා තීරයේ සිදුවන ජනසංහාරයට එරෙහිවය. අමෙරිකානු ජනතාවගේ මූලික සමාජ අවශ්‍යතා පසෙකලා රටේ ධනය අනවශ්‍ය යුද්ධ සඳහා කාබාසිනියා කිරීමට එරෙහිවය.
වියට්නාම් යුද්ධය නැවැත්වීම සඳහා එදා පාලකයන්ට එරෙහිව පැනනැගුණු දැවැන්ත විරෝධතා සිහිගන්වන මෙවන් මහජන හඬක් ට්‍රම්ප්ගේ අවධානයට ලක්නොවීමේ අනිවාර්ය ප්‍රතිඵලය වූයේ මෙම අන්ත පරාජයයි.
ජනතාව දුන් පණිවිඩය
තම නායකයන් තෝරාපත් කරගැනීමේ පරම බලය ඇත්තේ තමන් සතුව බවත්, එසේ පත්වන නායකයා රටේ ගමන ප්රජාතන්ත්රවාදී වටිනාකම් හා ජනතා සුබසෙත මත පිහිටුවා මෙහෙයවිය යුතු බවත් අමෙරිකානු ජනතාව මෙවර පැහැදිලිවම කියාපා ඇත. ජනතා අභිලාෂයන් පාගා දමමින් හිතුවක්කාරී ගමනක යෙදෙන ඕනෑම රටක පාලකයන්ට මෙය කදිම පාඩමකි.
ජනතා කෝපය වටහාගෙන රටට මුල්තැන දෙමු
පරාජයෙන් පසු අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) කළ ප්‍රකාශයකින් මෙම සටහන අවසන් කිරීමට කැමැත්තෙමි:
"අප පරාජයට පත්වූයේ ඇයිද යන්න සෑම කෙනෙකුම දන්නවා. අපගේ පරාජයට මූලික හේතුව යුද්ධයයි. ඉරාන යුද්ධය, ජීවන වියදම සහ උද්ධමනය මෙන්ම, වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආධාර සපයන ඊශ්‍රායලය සමඟ පවතින වත්මන් සබඳතාව පිළිබඳව ඡන්දදායකයන් පාලනාධිකාරිය කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවුණා."
"අප ඉදිරියට යා යුත්තේ කෙසේද යන්න පිළිබඳව අවංක සංවාදයක් අරඹන්නේ නම්, එය ආරම්භ කළ යුත්තේ මේ තිත්ත යථාර්ථය පිළිගැනීමෙනුයි. ඉන් අනතුරුව අපේ රට බේරාගැනීමේ සැබෑ කාර්යයට යළිත් අවධානය යොමු කළ යුතුයි."
සටහන:
ඉම්තියාස් බාකීර් මාකාර්
හිටපු අමාත්‍ය
Imthiaz@gmail.com




