විපක්ෂයේ උපායමාර්ගික අර්බුදය සහ සමාජ විඤ්ඤාණයේ විතැන්වීම පිළිබඳ දේශපාලන කියවීමක්
මූල්‍ය බලය මත පදනම් වූ සංවිධාන ජාල බිඳවැටී ඇති පසුබිමක විකල්ප දෘෂ්ටිවාදයක අවශ්‍යතාව
පූර්ව දේශපාලන යාන්ත්‍රණය සහ වර්තමාන පරිවර්තනය
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශපාලන බලවේගය රාජ්‍ය බලය හිමි කරගැනීමත් සමඟ, මෙරට සාම්ප්‍රදායික පක්ෂ දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කළ ‘පූර්ව දේශපාලනික’ උපායමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් මුළුමනින්ම අභියෝගයට ලක්ව ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙයි. මාධ්‍යවේදී නාරද බක්මීවැව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වර්තමාන විපක්ෂය තවමත් සමාජයේ සිදුව ඇති මෙම ගුණාත්මක පරිවර්තනය හඳුනාගැනීමට අපොහොසත් වී ඇති බවයි.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් සිදු කරන ලද "මේ දිනවල ආණ්ඩුවට විරුද්ධ වන්නේ එක්කෝ පිස්සෙක් නැතහොත් තනිකඩයෙක්" යන ප්‍රකාශය පදනම් කරගනිමින් ආරම්භ වූ මෙම සංවාදයේදී, දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දුන්නේ සාම්ප්‍රදායික දේශපාලනඥයන් දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කළ පූර්ව දේශපාලනික ක්‍රමවේදයන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ බලවේගය බලයට පැමිණීමත් සමඟ මුළුමනින්ම අවසන් වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ අතීත දේශපාලනය තුළ දේශපාලන සංකල්ප හෝ දෘෂ්ටිවාදයන් වෙනුවට පැවතියේ මූල්‍යමය ප්‍රතිපත්තිය මත පදනම් වූ සංවිධානාත්මක ජාලයන් බව හෙතෙම විග්‍රහ කළේය. ගම්මට්ටමින් මුදල් පොලියට දීම, මත්පැන් වෙළඳාම, ප්‍රාදේශීය පන්සල් සංවිධානය කිරීම, පවුල් ජාලයන් හරහා ඡන්ද එකතු කිරීම සහ විවිධ ත්‍යාග භෝග ලබාදීම වැනි පූර්ව දේශපාලනික ක්‍රමවේද හරහා බලය පවත්වාගෙන ගිය ද, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ නායකත්වය බලයට පැමිණීමත් සමඟ එම යාන්ත්‍රණය සහමුලින්ම බිඳ වැටී ඇති බව ඔහු පෙන්වා දෙයි. එබඳු ප්‍රාථමික උපායමාර්ග හරහා නැවත ජනතාව සංවිධානය කිරීමේ හැකියාවක් විපක්ෂයට නොමැති බව ද ඔහු පවසයි.
විපක්ෂයට නව දෘෂ්ටිවාදයක අවශ්‍යතාව
වර්තමාන විපක්ෂය තවමත් පැරණි සූත්තරයන්ම භාවිත කරමින් දේශපාලනයේ නිරත වීමට උත්සාහ කිරීම විශාල ඛේදවාචකයක් බව පෙන්වා දෙන දීප්ති කුමාර ගුණරත්න, අතිවිශාල මුදල් කන්දරාවක් වියදම් කරමින් මිනිසුන් කෘත්‍රිම ලෙස සංවිධානය කිරීමට හෝ ප්‍රචාරණ ව්‍යාපෘති දියත් කිරීමට උත්සාහ කළ ද ජනතාව එම මුදල් ලබාගෙන තමන්ට අවශ්‍ය තීරණය ස්වාධීනව ගන්නා බව අවධාරණය කරයි. අතීතයේ පැවැති පරණ නඩු නැවත මතු කිරීම්, පෞද්ගලික පළිගැනීම් හෝ ජනප්‍රියවාදී රංගනයන් හරහා නැවත බලය අල්ලා ගැනීමට නොහැකි බවත්, ජනතාව මේ වන විට එම රංගනයන්ගේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන පවා තවමත් යැපෙන්නේ පැරණි ජාතිවාදී සහ ප්‍රාථමික සටන් පාඨ මත බව පෙන්වා දෙන හෙතෙම, එම මාධ්‍ය උපායමාර්ග ද දැන් යල්පැන ගොස් ඇති බව පවසයි. පසුගිය කාලයේ මතු වූ කෘත්‍රිම සිදුවීම් හරහා ජනතාව තවදුරටත් රැවටිය නොහැකි බවත්, තොරතුරු ගලනය සහ සමාජ මාධ්‍ය හමුවේ ජනතාවගේ අපේක්ෂාවන් හා දැනුවත්භාවය ඉහළ ගොස් ඇති බවත් ඔහු විග්‍රහ කරයි. පැරණි රාජපක්ෂ දේශපාලන කඳවුර හෝ වෙනත් සාම්ප්‍රදායික කඳවුරුවල පැවැති පදනම මුළුමනින්ම බිඳ වැටී ඇති බැවින්, අලුත් මතවාදී කියවීමකින් තොරව විපක්ෂයට ඉදිරි ගමනක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
අවසාන වශයෙන්, දේශපාලනය යනු හුදෙක් මුදල් හම්බකිරීමේ හෝ පෞද්ගලික පැවැත්ම තහවුරු කරගැනීමේ ව්‍යාපාරයක් නොවන බව පෙන්වා දෙන දීප්ති කුමාර ගුණරත්න, හුදෙක් ආණ්ඩුව විවේචනය කිරීමෙන් පමණක් විපක්ෂයට ජනතාව දිනාගත නොහැකි බව සඳහන් කරයි. ජනතාවගේ බලාපොරොත්තු සහ සංස්කෘතික වෙනස්කම්වලට ගැලපෙන පරිදි නව සංකල්ප සහ දෘෂ්ටිවාදයන් ඉදිරිපත් නොකළහොත්, පැරණි උපායමාර්ගවල එල්ලී සිටින විපක්ෂයේ දේශපාලන බලවේග ඉදිරියේදී තවදුරටත් අගාධයකට ඇද වැටෙන බව පෙන්වා දෙමින් ඔහු මෙම විශ්ලේෂණය නිමා කළේය.
ප්‍රවීන මාධ්‍යවේදී නාරද බක්මීවැව සහ දීප්ති කුමාර ගුණරත්න අතර පැවති Ideas Front සම්පූර්ණ වීඩියෝ සාකච්ඡාව මතු පළවේ.







