ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
"Clean Sri Lanka" වැඩපිළිවෙළ යථාවත් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාල කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.
ආසියාවේ ඉතාමත්ම වටිනා සහ හරිත දූපත ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවත්, මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී විධිමත් හා අවිධිමත් අංශයන්හි සියලුම පාර්ශ්වකරුවන් එක් කර ගැනීමටත් මෙහිදී අවධානය යොමු විය.
බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්, වනජිවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Clean Sri Lanka : මුලු රටේම පුරවැසියන් හා බද්ධවූ ජාතික වැඩපිළිවෙලක්
මේ අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්. ආර්.ඩී. අපොන්සු පවසන්නේ, මුලු රටම සෑම අංශයකින්ම පිරිසිදුකරන Clean Sri Lanka ජාතික වැඩසටහන කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොව මුලු රටේම පුරවැසියන් හා බද්ධවූ ජාතික වැඩපිළිවෙලක් බවයි.
කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (30) උදේ පැවති 'Clean Sri Lanka' ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ අවස්ථාවට එක්වෙමින් ඔහු එසේ කීය.
ලබන ජනවාරි 01 වෙනිදා උදෑසන 9.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රදානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී නව ජාතික වැඩපිළිවෙල ආරම්භ කරන බවද ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.
පොහොසත් රටක් ! ලස්සන ජීවිතයක් !! රජයේ වැඩපිළිවෙල යටතේ මුලු රටම පරිසරය පිරිසිදු කරනවාට අමතරව ලොව දියුණු රටවල ජනතාව බුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුමකර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ඒ අනුව ලබන ජනවාරි 01 වෙනිදා සිට පුරා මාසයක් මහජනතාවගේ ආකල්පමය වෙනසකම් ඇති කිරීමටත්, ජනතාවට වඩාත් බද්ධවූ ජාතික වැඩපිළිවෙලක් ලෙස සෑම තැනම පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීමට නියමිත බවද ලේකම්වරයා කීය.
මෙහිදී පාසල් අධ්‍යාපනය ලබන දූදරුවාගේ සිට වැඩිහිටියා දක්වා සෑම පරාසයකම පුරවැසියන්ගේ සෘජු දායකත්වය මේ සඳහා යොදා ගැනීමට සැලසුම් කොට ඇතැයිද එහිදී විශේෂයෙන් ජනමාධ්‍යයට විශාල වගකීමක් පැවරනෙ බවද ඔහු අවධාරණය කළේය.
Clean Sri Lanka ජනාධිපති ජාතික කාර්ය සාධක බලකායේ චමින්ද ජයසූරිය අදහස් දක්වමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේදී Clean Sri Lanka වෙබ් අඩවිය සහ නව App හඳුන්වා දෙන බව සඳහන් කළේය.
මුලු රටම ආවරණය වන පරිදි තෝරාගත් නගර මුල් කොට ගනිමින් නියමු ව්‍යාපෘති ලෙස ජනවාරි 01 වෙනිදා සිට වසර පහක් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා දෙස් විදෙස් රාජ්‍යයන් වලින්, ආයතන වලින් දැනටමත් මූල්‍ය ප්‍රදානයන් සහ ආධාර ලැබී ඇතැයිද, ඇතැම් අවස්ථාවලදී තාක්ෂණික උපදෙස් ලැබී ඇතැයිද චමින්ද ජයසූරිය කීය.
මෙම වැඩපිළිවෙලට දායකවීමට කැමැති සියලු දෙනාට ඒ සඳහා මූල්‍ය ප්‍රදානයන් සහ තමන්ට හැකි පමණින් සහයෝගය සහ දායකත්වය ලබා දීමට අවස්ථාව උදාකර දී ඇතැයිද එහිදී වැයකරන සෑම සතයක මුදලක් පවා වඩාත් විනිවිද භාවයෙන් යුතුව අවංකවම ඒ කාර්යයට යොදා ගන්නවා යැයි තමන්ටම සැක හැර දැන ගැනීමට හැකි ක්‍රමවේදයක් වෙබ් අඩවියේ දක්වා ඇතැයිද චමින්ද ජයසුරිය ප්‍රකාශ කළේය.
අප රට ලෝකයේ පිරිසිදු රටක් ලෙස පරිවර්තනය කිරීමේදී ඒ සම්බන්ධයෙන් වූ ලෝක මට්ටමේ නිර්නායකයන් ඉලක්ක කොට ඒ කරා අප ගමන්කරවිමට මෙහිදී කටයුතු කරන බව අවධාරණය කළ ජයසූරිය, එය කිසිසේත්ම නියමයක් ලෙස නොව එදිනෙදා අවශ්‍යතාවයක් ලෙස සලකා වෙනස්වන ස්වරූපයෙන් නම්‍යශීලී ලෙස ක්‍රියාවට නැංවීම සුවිශේෂී කරුණක් බවද කීය.
මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් නූර් රිස්නා අනීස් ඇතුලු ජනාධිපති කාර්යලයේ සහ මාධ්‍ය ආයතන ප්‍රධානීහු කිහිප දෙනෙකු සහභාගීවී සිටියහ.
(සටහන | ජේ. මුණසිංහ)



