BREAKING
Top Ad
ආරක්ෂක

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයන් අතර තරගය

T

The Leader

September 14, 2023 • 2:32 AM

ආරක්ෂක ව්‍යුහයේ හිඩැස් ; හිනාවෙන සර්පයන් අතර තරගය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ ව ඇති වී ඇති ව්‍යාකූල තත්වය පිලිබදවත්, එහි දී අපේ ආරක්ෂක ජාලයේ සහ බුද්ධි අංශ තුළත් ඇතිවී ඇති “හිස්” තැන් පිළිබඳවත් පෙර ලිපියේ සදහන් කර ඇත.
  • 2009 සිවිල්-යුද ජයග්‍රහණයෙන් පසු අපේ ආරක්ෂක අංශවල මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් කෙරී නැතුවාක් මෙන් ම ඒවායේ පසුවිපරමක් ද සිදු වී නැත.
  • එය සමපාත වන්නේ පාකිස්ථානු ආරක්ෂක ව්‍යුහයේ සම්ප්‍රදායානුකූල බලපෑම් ක්ෂ්‍රේත්‍රයට ය.  රාජපක්ෂ රෙජීමය තුළ ගෝඨාභයගේ බලවත්භාවය නිසා ඇති වූ මිල්ටරිමය තෙරපුම අවශ්‍ය ලෙස පැළපදියම් වීමට ඉන් ඉඩ ලැබුණි.
  • එහි මුළු පාලනයම ඇත්තේ අණ දීම හා අණ පිලිපැදීම යන ද්විත්ව කාරණා මත ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පිළිබඳ ව අන්තර්ජාල වෙබ් අඩවිවල පළවන ලිපිවලින් ආරක්ෂක තත්ත්වයේ සමාලෝචන ඇතිවාක් මෙන් ම ඒවායෙහි ඇතැම් සංවේදී තොරතුරු ද අඩංගුව පවතී. 2009 සිවිල්-යුද ජයග්‍රහණයෙන් පසු අපේ ආරක්ෂක අංශවල මූලික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් කෙරී නැතුවාක් මෙන් ම ඒවායේ පසුවිපරමක් ද සිදු වී නැත.

මූලික වශයෙන් දරුණු යුධ ගැටුමකින් පසු රජයේ ආරක්ෂක හමුදාවන් නැවත සකස් කිරීමේ දී කිසියම් මනෝ-මූලික සිද්ධාන්තයන් උපයෝගී කරගැනීම පිළිගත් ලෝක සම්ප්‍රදාය වන මුත් එහි ලා අපේ එවැනි වැඩසටහනක් සිදුවූයේ නැත. සිදු වූයේ අදාළ ආරක්ෂක ව්‍යුහය ම සිවිල් කටයුතු සඳහා ආදේශ වීමයි. ඉන් සිදු වූයේ රාජ්‍ය ආරක්ෂක අංශවල මූලික පදනම සමාජීය තලය තුළ ඉහළ මාලයේ ව්‍යුහගත වීමයි. එය සමපාත වන්නේ පාකිස්ථානු ආරක්ෂක ව්‍යුහයේ සම්ප්‍රදායානුකූල බලපෑම් ක්ෂ්‍රේත්‍රයට ය. 

a beirelake 0

රාජපක්ෂ රෙජීමය තුළ ගෝඨාභයගේ බලවත්භාවය නිසා ඇති වූ මිල්ටරිමය තෙරපුම අවශ්‍ය ලෙස පැළපදියම් වීමට ඉන් ඉඩ ලැබුණි. කොලඹ අලංකාර කිරීමේ සිට අමාත්‍යාංශ ලේකම්වරු දක්වාත්, ආයතන, සංස්ථාපිත ප්‍රධානීන් දක්වාත් මේ සැකසුම විහිදීමට මින් ඉඩ ලැබුණි. මින් ලබාගත් ප්‍රයෝජන ද තිබේ. උදාහරණයකට කෝවිඩ් වසංගත සමයේ ජනතාව වැක්සීන්කරණයට භාජනය කිරීමේ දී සෞඛ්‍ය අංශවල පැවති මන්දගාමී හා දුර්වල කළමනාකරණයට විසදුම් ආවේ ආරක්ෂක ව්‍යුහය හරහා ය.

නමුත් රාජ්‍යයේ පාලනය පිළිබඳ බැරෑරුම් තීරණ හා එහි කටයුතුවලට සම්බන්ධ වීමේ දී පවතින ප්‍රජාත්‍රාන්තික ඉඩ හසර මිලිටරිය තුළ නැත. එහි මුළු පාලනයම ඇත්තේ අණ දීම හා අණ පිලිපැදීම යන ද්විත්ව කාරණා මත ය.

20191119 callonnewp4resident 12

ගෝඨාභය වඩා කැමති වන්නේ මේ සාධකයට වන අතර ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා ගෝඨාගේ විශ්වාසීම රාජ්‍ය නිලධාරියා වන්නේ අහම්බෙන් නොවේ.

නමුත් රාජ්‍ය යනු මිල්ටරිය පමණක් නොවේ.

එක් අතකින් ගෝඨාභයගේ පාලන කේන්ද්‍රය ඉවත් කිරීමේ ගාලුමුවදොර අරගලයේ දී මේ ඉහළ මාලයේ තබන ලද ආරක්ෂක ව්‍යුහයම ගෝඨාට ද්‍රෝහී විය. අනෙක් පසින් සිවිල් පරිපාලනය වෙනුවෙන් සහභාගි කරවා ගැනීමෙන් ආරක්ෂක ව්‍යුහයේ වූ දියවීම පිළිබඳ ගණන් බැලීමක් වූයේ ද නැත. 

image 335f16d2c4

වඩා පලපුරුදු රාජත්‍රාන්තිකයෙකු වූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අසල දී හමුදා හා පොලිස් භට පිරිස් අමතා ස්තුති කළ නමුත්, පැලවත්තේ පිහිටා ඇති නව හමුදා මූලස්ථානය තුළ දී ආරක්ෂක ප්‍රධානීන් අමතා ප්‍රකාශ කර තිබුණේ කියන දේ කිරීමට නොහැකි නම් ඉවත්ව යන ලෙසයි. අණ පිළිපැදීමට පුරුදු, පුහුණු වූ හමුදාවක් මීට හීලෑවෙන බවට වන රනිල්ගේ ගණන් බැලීම මෙතන දී නිවැරදිය.

පාර්ලිමේන්තුව වැටලීමේ දී දියාරු තත්ත්වයේ තිබූ කොළඹ ආරක්ෂක ජාලය වෙනුවට රනිල්, ගුවන් සංග්‍රාමික බලකායත් (AMB) විශේෂ බලකායත්, (SF) විශේෂ කාර්‍ය බලකායත් (STF) ආදේශ කරනු ලැබූ අතර ඉක්මනින් ප්‍රතිඵල ලැබුණි. ඉහත බලකායන්වල ශීඝ්‍ර සංග්‍රාමික උපක්‍රම විසින් කොළඹ සාමාන්‍යකරණයට ලක් කළ අතර අභ්‍යන්තරයේ සිදු වූ දේවල්වල ද මේ ගැටලුවේ මූලය අඩංගු ය.

හමුදාපතිලා පත්වෙන්නේ ගජබා රෙජිමේන්තුවෙන් විතර ද ? - (ලසන්ත රුහුණගේ)

ගෝඨාභය ගජබා රෙජිමේන්තු නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු 1 වෙනි ගජබා රෙජිමේන්තුව වෙත ලුතිනන් කර්නල්වරයෙකු ලෙස අණ දෙද්දී එහි විධායක අධිකාරී වූයේ කපිතාන් ශවේන්ද්‍ර සිල්වා ය. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුනරත්න ද ගජබා රෙජිමේන්තු නිලධාරියෙකි. හමුදාව තුළ පැවති මේ “ගජබා” කේන්ද්‍රීය බලරටාව පිළිබඳ ව මැසිවිලි හමුදාව තුළ ම නැගෙමින් තිබුණි. ඊට අයත් නොවන වෙනත් හමුදා කණ්ඩායම්වලට (AMB,SF) අදාළ තත්ත්වය පාලනය කිරීමේ බලය හිමිවූ වහා ම මේ ගජබා ආධිපත්‍යය කෙරෙහි තිබූ විරෝධය ද මතුවෙයි.

පාර්ලිමේන්තුව අසළ සිදු වූ මර්දනයේ දිගුව ගමන් කරන්නේ මේ විරෝධය ද සමග ය. තමන්ට වඩා වැඩකාරයන් හමුදාව තුළ සිටින බව කමල්-ශවේන්ද්‍ර වැන්නන්ට දැනීමට සලස්වා ඒ බලකේන්ද්‍රය දුර්වල කිරීමේ රනිල්ගේ උපාය වැඩ කළ අතර ඉන් පසු ඔවුන් ව හීලෑ වීමේ යුගය ආරම්භ වෙයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට වුව ද හමුදාපති ලෙස සිටිය දී දැක්වූ ගෞරවය හා බිය ඉන් පසු නොලැබෙන බව අවබෝධ විය යුතුය. මේජර් ජෙනරාල් සීවලී වනිගසේකර ඒ සඳහා පෙරට පැමිණි අතර මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා විසින් එය තවදුරටත් ඉදිරියට ගෙනගොස් ඇත.

යුද ගැටුමක දී තනි වීරයන් නැත. සාමූහික ප්‍රයත්නයක දී තනිව සියල්ල ලබා ගැනීමට ඇති කෑදරකම සෑම කෙනෙකු ම ඉවසන්නේ නැති බව “කෑදරයන්” අවබෝධ කරගත යුතු ය.

පොලීසියේ තත්ත්වය මීටත් වඩා ඛේදවාචකයකි. ගාලුමුවදොර අරගලයේ දී කොළඹ කේන්ද්‍රීයව පැවති ආරක්ෂක තත්ත්වයේ පොලීසියේ පාලනය කේන්ද්‍රීය ව පැවතියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත ය.

රඹුක්කන දී මොකද වුණේ...?
නමුත් එහි දී පොලීසිය මේ අණ රටාවෙන් මිදීගිය අතර කෑගල්ලේ, රඹුක්කන දී සිදුවූ වෙඩි තැබීමෙන් පසු එහි කොට්ඨාස භාර නිලධාරී ⁣ජ්‍යෙ⁣ෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න හෝ ගලවා ගැනීමට පොලීසිය සමත් වූයේ නැත. එහි දී නීතිඥවරුන් විසින් පොලීසියේ ඉහළ නිලධාරීන් ඉදිරියේ ම ඇතැම් පොලිස් නිලධාරීන්ට ඇඟිල්ල දිගුකරමින්, සිද්ධියේ සැකකරුවන් බව කෑ ගසා එම නිලධාරීන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අපවාදයට ලක් කරන විට ඊට එරෙහි වීමටවත් පිට කොන්දක් පොලීසියට තිබුණේ නැත. නීතිඥවරුන්ට එවැනි බලයක් නොමැති බව පැවසීමටවත් නොහැකි පොලීසියකින් ඉතිරි කටයුතු කරගැනීමට කල්පනා කිරීම විහිළු සහගත ය.

තමන්ගේ ඉදිරි පදවි වෙනුවෙන් සිය වගකීම් පැහැර හැරීමත්, ඒවා වෙනුවෙන් පහළ නිලධාරීන් බිල්ලට දීමත් පොලීසියේ දෛනික පුරුද්දකි. වැලිකඩ දී මෑතකදී සිදු වූ රාජ්කුමාරි ඝාතනය වැනි සිද්ධියක් හරහා මෙහි හැඩය වටහා ගත හැක. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ගේ දුරකථන වාර්තා හරහා මෙහි බලපෑම් ක්ෂ්‍රේත්‍රය හෙළි කරගැනීමට හැකියාව ඇති වුව ද, විමර්ශනය කෙරෙන්නේ ඒ ආකාරයට නොවේ.

පෙර සිදු වූ බොහොමයක් සිද්ධීන් මෙන් ම අත් අඩංගුවට පත් වූ නිලධාරීන්ගෙන් කවරෙකු හෝ රජයේ සාක්ෂිකරුවෙකු කර ඉතිරි සියලු දෙනා දං ගෙඩියට දැක්කීම පහසු වනු ඇත. වැසී යනු ඇත්තේ ඉහළ සිට අනීතික ක්‍රියාව සදහා අණ ලබාදුන් පුද්ගලයන්ගේ “නම් ය”. ඔවුහු නැවතත් සිය පුරුදු ක්‍රියාව ආරම්භ කරනු ඇත.

ආරක්ෂක ව්‍යුහයේ පවතින හිඩැස් පිළිබඳ ව කතාන්දරය වඩා විශාල ලෙස පෙනී යන නමුත්, මේ බෝලය එකිනෙකා වෙත මාරු කරනවා හැර වෙනත් පිළිතුරක් කිසිවෙකු ළඟ නොමැති බව ද පෙනෙයි. ලංකාව වැනි කුඩා දූපත් රාජ්‍යයක ආරක්ෂක ව්‍යුහය එහි අභ්‍යන්තරයේ ගතිකයන්ට ඔරොත්තු දෙන මුත් බාහිර තර්ජනයක් කෙරෙහි ඒවා සවිමත් නැත.

විශාල හමුදාවක් වෙනුවට වඩා ක්‍රමික බුද්ධි සේවාවක් නිර්මාණය කරගැනීමේ ක්‍රමෝපායකටත්, වෙරළ හා ගුවන ආරක්ෂා කිරීමේ නාවික හා ගුවන් තාක්ෂණයත් කෙරෙහි අවධානය යොමුවිය යුතුය.

ඒවා මිල අධික දේවල් වශයෙන් බැහැර විය හැකි අවදානම ද තිබේ. ආර්ථික අතින් හෙම්බත් වූ රටකට එවැනි කටයුතු කිරීම අපහසු වීම පැහැදිලි විය යුතුය. පවතින තත්ත්වය ම කලමනාකරණය කිරීමට පමණක් ඉඩ වෙන් වීම ඒ අනුව අනිවාර්‍යතාවයකි.

20200427 04
එයින් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ ව අපි කිසිවෙක් හෝ වගකීමට ද බැදී නැති වුව ද , සිදු වීමට නියමිත වන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය වැනි ත්‍රස්ත්‍ර කිරීමක් කොමඩියක් ලෙස අවසන් වීම පමණි.

මතු සම්බන්ධයි…….


සබැඳි ලිපිය :
ජාතික ආරක්ෂාව, රාජ්‍ය සහ බුද්ධි අංශය ; ගල් ගහන ගස කාගේද ?


(carbonnews.lk)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...