BREAKING
Top Ad
ආරක්ෂක

'චැනල් ෆෝ' සංවාදය : රවී සෙනෙවිරත්නගේ 'ජනහඬ' අනාවරණයට ප්‍රතිචාරයක් !

T

The Leader

September 19, 2023 • 2:43 AM

'චැනල් ෆෝ' සංවාදය : රවී සෙනෙවිරත්නගේ 'ජනහඬ' අනාවරණයට ප්‍රතිචාරයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ 'චැනල් ෆෝ' නාලිකාව විසින් පසුගියදා විකාශයක කරනු ලැබූ වීඩියෝ චිත්‍රපටයෙන් පසු මෙම ඛේදවාචකය පිළිබඳව යළිත්වරක්
  • විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් 'ජනහඬ' වැඩසටහනේදී කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ' විශේෂ වාර්තාකරුවකු' විසින් යොමුකර ඇති ලිපියක් 'ද ලීඩර් චැනල් ෆෝ' සංවාදය ඉදිරියට ගෙනයමින් පහත පළකර ඇත.
  • මෙම ලිපියද සංවාදයට විවෘත බව සලකන්න.  වගකීම් පැහැර හැරීමේ වේදනාව වසාගැනීමක් ද ?
  • එහිදී  විශේෂයෙන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන කටයුතු ගැන අදහස් ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආන්දෝලනයක් හටගෙන ඇති අතර මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු ද හෙළිදරව්වෙමින් පවතී. ඒ අතර ටී.එන්.එල් රූපවාහිනියේ 'ජන හඬ' වැඩසටහනට ඊයේ (18) සහභාගී වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ද පාස්කු ඉරිදා විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු රාශියක් හෙළිදරව් කළ අතර 'ද ලීඩර්' විසින් එම වීඩියෝව හා අදාල වාර්තාව'ද ලීඩර්' විසින් එම වීඩියෝව හා අදාල වාර්තාව අද දින ප්‍රකාශයට පත්කරනු ලැබිය.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් 'ජනහඬ' වැඩසටහනේදී කරනු ලැබූ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ' විශේෂ වාර්තාකරුවකු' විසින් යොමුකර ඇති ලිපියක් 'ද ලීඩර් චැනල් ෆෝ' සංවාදය ඉදිරියට ගෙනයමින් පහත පළකර ඇත. මෙම ලිපියද සංවාදයට විවෘත බව සලකන්න. 

වගකීම් පැහැර හැරීමේ වේදනාව වසාගැනීමක් ද ?

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ටී.එන්.එල් රූපවාහිනියේ 'ජන හඬ' වැඩසටහනට ඊයේ (සැප්තැම්බර් 18) සහභාගී විය. එහිදී  විශේෂයෙන් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන කටයුතු ගැන අදහස් ප්‍රකාශ කළේය. සිය වගකීම් ඉතාම සූක්ෂම ලෙස පැහැර හැරීමේ වේදනාව වසාගැනීම සඳහා සිය අදහස් දැක්වීම සිදුකළ ආකාරය හැඟේ.

 වැඩසටහන මෙහෙයවනු ලැබූ ජනමාධ්‍යවේදියාට මෙම විෂය ගැන එතරම් පුළුල් අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට නොතිබුණි. නමුත් ඔහුගේ වෑයම ප්‍රසංසා කළ යුතුය. ඔහු ඇසූ බොහෝ ගැටලු වලට පාදක වූයේ සාමාජ මාධ්‍යයේ විවිධ පාර්ශ්වයන් විසින් සඳහන් කර ඇති අදහස් මිස මෙම ඛේදවාචකය ගැන මේ දක්වා නිකුත් කොට ඇති විමර්ෂණ වාර්තාවල අඩංගු කරුණු කිසිවක් ප්‍රශ්න කිරීම වලට අදාළ කරගත්තේ නැත. මෙරට ප්‍රධාන අපරාධ විමර්ශකයෙකුගෙන් ප්‍රශ්න ඇසීමේදී එම විෂය ගැන යම් ප්‍රාමාණික කියවීමක් අවශ්‍ය වේ.

 
සෙනෙවිරත්න මහතා මෙරට සිදු වූ සුවිශාල මනුෂ්‍ය ඝාතනයක විමර්ශනය භාරව සිටි ප්‍රධාන වගකිව යුතු රාජ්‍යය නිලධාරියෙකු වන බැවින් ඔහුගේ අදහස් වගවීමට සහ වගකීමට බැඳී තිබේ. එහෙත් දුර්වල ප්‍රශ්න හමුවේ තම වගකීම් පැහැර හැරීම සාධාරනීකරණය කිරීමට සහ එය වෙනත් පාර්ශවයන් මත පැටවීමට සෙනෙවිරත්න මහතාට හැකිවිය.  
 
 
කෙසේ නමුත් සෙනෙවිරත්න මහතා සඳහන් කළ අසත්‍යය සහ අර්ධ සත්‍යය ගැන මෙහිදී කෙටියෙන් හෝ විමසීම වැදගත් වේ. එසේම රවී සෙනවිරත්න මහතාට ඉස්ලාමීය රාජ්‍යය නමැති ත්‍රස්තවාදී සංවිධානය ගැන ගැඹුරු කියවීමක් හෝ අවබෝධයක් නැති බව පෙනේ. ඔහු සඳහන් කළ එක්තරා කාරණයක් නම් යුධ හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකුගේ දුරකථනයක එමි අංකයක් ඔස්සේ විමර්ශන කළ නමුත් එය ඉහළ නියෝගයක් නිසා අතර මගදී නැවතීමට සිදුවූ බවත්ය. එය සත්‍යයකි. එය වැළක්වීමට හේතුව වූයේ අදාළ බුද්ධි මෙහෙයුම් වල තිබු සංවේදී බව නිසාය. 
 
jameel as a school boy
ජමීල් කුඩා කාලයේ ජයරුපයක් 
 
''සොනික්-සොනික්'' බුද්ධි මෙහෙයුමට අදාළ නිළධාරීන් ගැන අසත්‍යය සහ ඊට අදාළ සංවේදී තොරතුරු සමාජගත වීමෙන් බුද්ධි මෙහෙයුම් වල උපක්‍රම වලට සිදුවී ඇති හානිය මෙන් එමි අංකය අයත් දුරකථනය හිමි යුධ හමුදා බුද්ධි නිළධාරියාගේ කතාවද ඒ හා සමානය. 

ඔහු ජමීල් ගැන බුද්ධි මෙහෙයුමක් කාලයක් තිස්සේ සිදුකළ අයෙකි. පාස්කු දින බෝම්බ පුපුරනවිට යුධ හමුදාව විසින් ආවේක්ෂණය කළ අන්තවාදීන් ගැන සොයා බලන අතර ජමීල් එම ලයිස්තුවේ තිබු මුල් නම්වලින් එකකි. යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ඔහු සොයා ඔහුගේ ගෙදර යන්නේ ඒ නිසාය. මන්ද ඔහු සමග සම්බන්ධ වූ දුරකථනයේ පරිස්ථානය (ලොකේෂන්) ඔහුගේ නිවස බව තහවුරු වූ නිසා විය හැකිය.  ඉන් පසු ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙනු ලැබුවේ ඔහුගේ බිරිඳ සතුව තිබූ ජමීල්ගේ දුරකථනයෙනි. ජමීල්ව අල්ලා ගැනීම  අරමුණ වුණත් එය අසාර්ථක විය. මෙම මෙහෙයුම සිදුකළ නිළධාරියාගේ අනන්‍යතාවය හෙළිකිරීම සතුරාට හැරෙන්න්නට මේ ගැන සත්‍යය සොයන්නෙකුට ප්‍රයෝජනයක් නැති බව අපි අවබෝධකරගත යුතුය.      

සෙනෙවිරත්න මහතා ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් ගැන මූලික අධ්‍යනයක්වත් කළ බවක් නොපෙනේ. එය අවාසනාවන්තය. 
 
Abu Bakr
අබුබක්කර් අල් බැග්ඩෑඩි
 
2014 ජුනි 29 වැනිදා ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන් තම කැලිෆෙත් ප්‍රකාශ කිරීමත් සමග ලෝකයේ බොහෝ රටවල ජීවත් වූ අන්තවාදී කණ්ඩායම් ඒ සඳහා සහයෝගය  ලබා දුන්හ. එහිදී ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදීන්ගේ එවකට නායකයා වූ අබුබක්කර් අල් බැග්ඩෑඩි ප්‍රධාන ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරනු ලැබීය. 

ඒවා නම්, 

1- ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීමට පැමිණෙන ලෙස ආරාධනය කිරීම, 

2-  ඛාෆිර් එනම් අන්‍යාගමිකයින් විශේෂයෙන් බටහිර ජාතිකයින්, කතෝලික භක්තිකයින් සහ පිළිම වන්දනාකරුවන් මරා දැමීම සහ 

3- ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කිරීම සඳහා පැමිණීමට නොහැකි අය ඔවුන් ජීවත්වන රටවල සිට ඉස්ලාම් රාජ්‍යයට සහය දැක්වීම. 


මෙම මූලික ඉල්ලීම් අමතක කොට අයි.එස්. සංවිධානය හෝ එහි මතාවාදයට අභිප්‍රේරණය වූ පුද්ගලයින්ගේ කටයුතු ගැන අවබෝධ කරගත නොහැකිය.
 
 
කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ කිසිවෙකු ඉස්ලාමීය රාජ්‍යය සමග ඍජුව ගනුදෙනු කර නැති බව ඔහු ප්‍රකාශ කළේය. එසේම ඉස්ලාමීය රාජ්‍යය මතවාදයෙන් අභිප්‍රේරණය වූ කණ්ඩායමක් මෙම ප්‍රහාරය දියත්කළ බව ඔහු තහවුරු කළේය. එය සත්‍යයකි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ලෙස කටාර් රාජ්‍යයේ දශක ගණනාවක් සේවය කරමින් අයි.එස්. ගැන දේශනා පැවැත්වූ නවුෆර් මවුලවි බව එෆ්.බී. අයි පවා නිගමනය කළේ ඒ නිසාය. නමුත් සෙනෙවිරත්න මහතාගේ මෙම ප්‍රකාශය ඇතැම් පිරිස් විසින් විකෘති කළ ආකාරයක් දක්නට ලැබේ. 
 
 
සෙනෙවිරත්න මහතා සඳහන් කළ එක් තීරණාත්මක කාරණයක් නම් අපරාධ විමර්ශන කොට්ඨාශයට වගකීම පැවරෙන්නේ අපරාධයක් සිදු වූ පසුව බව කීමය. එය පරම සත්‍යය යැයි පිළිගෙන මේ කාරණය ගැන විමසා බැලුවත් සෙනෙවිරත්න මහතාට සිය වගකීම් වලින් නිදහස් විය හැකිද? අපරාධයක් සිදු වූ පසු විමර්ශන කරන්නේ නම් පාස්කු ප්‍රහාරයට පෙර මෙම අන්තවාදීන් විසින් සිදුකළ ප්‍රධාන සිදුවීම් එකොළහ ගැන කළ විමර්ශන වල ප්‍රගතිය කුමක්ද? අපරාධයක් වූ පසු විමර්ශනයට බැඳී සිටින  අපරාධ විමර්ශන කොට්ඨාශය ඒවා ගැන නිවැරදිව විමර්ශන සිදුකිරීමට අසමත් වූ නිසා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේද? 

මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනෙකුත් බුද්ධි අංශ විසින් එකතු කරගන්නා සියලුම තොරතුරු වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙස වාචිකව නියෝග කළ බව සඳහන් වීමය. ජාතික ආරක්‍ෂක මණ්ඩලයේදී කළා යැයි කියන එම වාචික නියෝගය අනුව යමින් රාජ්‍යය  බුද්ධි සේවාව පමණක් නොව යුධ හමුදා බුද්ධි අංශයද තම බුද්ධි වාර්තා සියල්ලම රවී සෙනෙවිරත්න මහතාට යවනු ලැබීය. එම වාර්තා වල සඳහන් බරපතළ කරුණු ගැන කිසිම සාධනීය විමර්ශනයක් සිදුකිරීමට සෙනෙවිරත්න මහතා අසමත් වූ බවට චෝදනා නැගෙයි. ඇතැම් බුද්ධි වාර්තා විවෘත කළේද පාස්කු ප්‍රහාරයෙන් පසුව බව විශ්වාසදායි ආරංචිමාර්ග සඳහන් කළේය. 

පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කළ කිසිම කොමිසමක හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ කිසිම තැනක අපරාධ විමර්ශන කොට්ඨාශයට කිසිඳු චෝදනාවක් එල්ල කර නැති බව ඔහු සඳහන් කර තිබේ. එය සත්‍යයය. ඊට හේතුවක් තිබේ. මන්ද මෙම කොමිසන් සභා සිල්ලේම අපරාධ වලට අදාළ වාර්තා යොමු කරනු ලැබුවේ අපරාධ විමර්ශන කොට්ඨාශයේ සේවය කළ නිළධාරීන් පමණි. ඒ නිසා අපරාධ විමර්ශන කොට්ඨාශයේ එකළ සේවය කල නිළධාරීන් ඉතාම සූක්ෂම ලෙස තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා යටපත් කරනු ලැබීය.  
 
 
මේ පිටුපස තියෙනවා යැයි කියන දේශපාලන කුමන්ත්‍රණය නිර්මාණය කිරීමට අවශ්‍යය පසුබිම සකස් කළේද රවී සෙනෙවිරත්න මහතාගේ බරපතළ නොසැලකිල්ල නිසා බව කීම අතිශෝක්තියක් නොවේ. ඒ නිසා අහිංසක පොලිස් නිළධාරියෙකු වූ අබුබක්කර් වැනි නිළධාරීන්ට වසර තුනක් තිස්සේ සිරදඬුවම් විඳිමින් අදටත් රැකියාවක් නැත. 
 
intel report
 
වව්නතිව් ප්‍රහාරයෙන් දින හතරකට පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බුද්ධි අංශ විසින් එකතු කරගන්නා සියලුම තොරතුරු වැඩිදුර  විමර්ශනය සඳහා අපරාධ විමර්ශන කොට්ඨාශයට ලබාදෙන ලෙස වාචිකව කළ නියෝගය පිළිපදිමින් නිකුත්කළ බුද්ධි වර්තාවක කොටසක්. මෙවැනි තීරණාත්මක නියෝග විමර්ශන වලදී අවදානයට යොමු නොවුයේ ඇයි? 
 
වව්නතිව් සිදුවීම ගැන කතා කරමින් සෙනෙවිරත්න සඳහන් කළේ එය සහරාන්ගේ කටයුත්තක් බව අපරාධ විමර්ශන කොට්ඨාශය දැනගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවයි. මෙය නම් අමූලික බොරුවකි. 2019 අප්‍රේල් 12 වැනිදා යුද්ධ හමුදා බුද්ධි අංශය වව්නතිව් ප්‍රහාරය සහාරන්ගේ කටයුත්තක් බව සඳහන් කරමින් බුද්ධි වාර්තාවක් ඔහු වෙත යොමුකොට ඇත. එසේම සහරාන් ඇතුළු සහචරයින්ගේ කටයුතු ගැන රාජ්‍යය බුද්ධි සේවයද ඉතාම පැහැදිළි වාර්තා සෙනෙවිරත්න මහතා වෙත යවා ඇත. ඒ කිසිවකට නිසි ක්‍රියාමාර්ග ගත බවක් දක්නට නොලැබේ. 

ලැක්ටෝ වත්තේ පුපුරණ ද්‍රව්‍යය සොයා ගැනීම :

ලැක්ටෝ වත්තේ පුපුරණ ද්‍රව්‍යය සොයා ගැනීමෙන් පසු තම කණ්ඩායම් එහි යනවිට හමුදා බුද්ධි අංශය එහි සිටීම් සැක සහිත බව හෙතම නොකියා කිව්වේය. සෙනෙවිරත්න මහතා මෙහිදී සත්‍යය වසන් කළ බව හැඟේ. හමුදා බුද්ධි අංශයේ සාමාජිකයින් එහි සිටි බව සත්‍යයකි. එහෙත් ඔවුහු එම ප්‍රදේශයෙන් වහාම ඉවත් කරමින් තම විමර්ශන කිසිවකට ඇඟිලි නොගසන බව සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායම ඔවුන්ට නියෝග කළේය. අඩුම තරමින් එම සිදුවීමේදී හෝ මෙම රාජ්‍යය බුද්ධි ආයතන අතර සහයෝගීතාවය පවත්වා ගැනීමට කටයුතු කළේ නම්, පාස්කු ප්‍රහාරය සිදු නොවීමට ඉඩ තිබුණි. දොඩන් ගොඩ බදාගත්තා සේ සියල්ලම බදාගෙන කිසිම දෙයක් නිවැරදිව සිදුකිරීමට නොහැකි වූ පසු වෙනත් පාර්ශවයක් මත වගකීම පටවා තමන් සුදනා වීමට උත්සහා කිරීම වචනේ පරිසමාප්ත අර්ථන්යෙන්ම අශීලචාරයය.
 
 
සෙනෙවිරත්න මහතා තම අදහස් දැක්වීමේදී සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ගත් බව සඳහන් කළේය. මෙය අලුත් කාරණයකි. එවැනි ජාත්‍යන්තර වරෙන්තුවක් ගත්බවක් මේ දක්වා වාර්තා ප්‍රසිද්ධ මාධ්‍යයේ වාර්තා වී නැත. එවැන්නක් රැගෙන තිබේ නම් එය මීට පෙර වාර්තා විය යුතුව තිබුණි. එසේම 2019 අප්‍රේල් 9 වැනිදා රාජ්‍යය බුද්ධි සේවාව විසින් ලබාදුන් බුද්ධි වාර්තාවේ ඉතාම පැහැදිළිව සහරාන් සහ ඔහුගේ සහචරයින් මෙම ප්‍රහාරය දියත් කරන බවත් ඔවුන්ගේ ප්‍රහාර වල ඉලක්කය පල්ලි සහ හෝටල් බවත් එම ප්‍රහාරය  මරාගෙන මැරෙන ප්‍රහාරයක් වියහැකි බවත් සඳහන් කර ඇත. එම වාර්තා සෙනෙවිරත්න මහතාට ලැබුණු නමුත් ඒවා ඔහුගේ අවධානයට යොමු නොවූයේ ඇයි? 
 
 
ඉන්දියාවෙන් තොරතුරු ලබාදෙන තෙක් ශ්‍රී ලංකාවේ බුද්ධි සේවාවන් ඒ ගැන වාර්තා නොකළ බව කීම  සම්පූර්ණ අසත්‍යයක් සහ මහජනතාව නොමග යැවීමකි.  සහරාන් ඇතුළු අනත්වාදීන්ගේ කටයුතු ගැන පැහැදිළි  බුද්ධි වාර්තා 200කට වැඩි  ප්‍රමාණයක් පොලිස්පති, ආරක්ෂක ලේකම්, රවී සෙනෙවිරත්න ඇතුළු වගකිව යුතු පාර්ශ්ව  වලට ලබා දී තිබේ. 

ඉන්දියාව සිදුකළේ ඔවුන්ගේ මූලාශ එනම් අබු හින්ද්  වැනි අවතාර් යොදා එකතු කරගත් තොරතුරු කාලයක් තිස්සේ මෙරට බුද්ධි අංශ වල  බුද්ධි තොරතුරු සමග තහවුරු කිරීම පමණි. ඒ හැරෙන්නට මෙරට බුද්ධි අංශ සිය වගකීම් පැහැර හැරියේය, යන චෝදනාව මුළුමනින්ම අසත්‍යයක් සහ එය තම වගකීම් පැහැරහැරීම වසාගැනීම සඳහා වෙනත් පාර්ශ්වයන් මුග්ද ලෙස පාවච්චි කරන මෙවලමකි. රාජ්‍ය බුද්ධි සේවාව තම වගකීම් සිදුකළ නමුත් ඒ ගැන මාධ්‍යය සන්දර්ශන පැවැත්වුවේ නැත. ඉන් උපරිම ප්‍රයෝහ්නය ගැනීමට සෙනෙවිරත්න මහතා සහ ඔහුගේ විශ්වාසිකන් කටයුතු කළහ. එහි කෙලවර කෙතරම්ද කියනවානම්, ශ්‍රේඨාධිකරණ නඩු තීන්දුවේ පවා සහරාන් ගැන විමර්ශනය කිරීම රාජ්‍යය බුද්ධි සේවාව විසින් නවත්වන ලෙස නියෝග කළ බව සඳහන් කොට ඇත. එය සම්පූර්ණ අසත්‍යයකි. එවැනි නියෝගයක් රාජ්‍යය බුද්ධි සේවාව විසින් ලබාදී නැත. 

සහරාන්ගේ බිරිඳ හාදියා අදාළ නීතිඥයා පුත්තලමේදී සහාරන් හමුවූයේ යැයි කීම අසත්‍යක්ද? 

සෙනෙවිරත්න මහතා සඳහන් කළ බොහෝ තොරතුරු එකකට එකක් පරස්පරය. ඔහු එක්තරා නීතිඥයෙක් ගැන කතා කරමින් එම නීතීඥයා පාස්කු ප්‍රහාරයට කිසිම සම්බන්ධයක් නොමැති බව තම විමර්ශන වලින් තහවුරු වූ බව සඳහන් කළේය. එහෙත් අදාළ නීතිඥයාගේ සංවිධානයේ භාණ්ඩාගාරික ඇතුළු ප්‍රධාන නිළධාරීන් තුන් දෙනෙක් පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ය. එසේම අදාළ නීතිඥයා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු සතුව තිබු ජංගම දුරකථන විසිකළ බව සඳහන් වේ. මේවා ගැන විමර්ශන නිවැරදිව සිදු වූයේ යැයි උපකල්පනය කළද, මේ වනවිට ඇපමත මුදා හැර සිටින එවැනි පුද්ගලයෙකු නිර්දෝශි යැයි ප්‍රකාශ කිරීම පිටුපස සත්‍යයට වඩා දේශපාලන වුවමණා එපාකම් ඇතිබව ඔප්පු නොවන්නේද? එසේනම් සහරාන්ගේ බිරිඳ හාදියා අදාළ නීතිඥයා පුත්තලමේදී සහාරන් හමුවූයේ යැයි කීම අසත්‍යක්ද? 

අපට ඇති අවබෝධය නම් අපරාධ විමර්ශණය යනු තනි සිද්ධියක් ගැන තොරතුරු වාර්තා කිරීම නොවන අතර ඒ හා බැඳුණු කරුණු සහ සිදුවීම් සම්බන්ධකරමින්  ඊට අදාළ පුද්ගලයින් ගැන පැහැදිළි විමර්ශනයක් සිදු කිරීමය. නමුත් සෙනෙවිරත්න මහතාගේ අදහස් වලින් ගම්‍ය වන්නේ ඔහු පාස්කු ප්‍රහාරය පමණක් නොව ඊට පෙර සිදු වූ සිදුවීම ද තනි තනිව ගෙන විමර්ශණය කොට තම දෑත් පිරිසිදු කර ගැනීමට උත්සහ කළ බවද? සාමූහික වගකීම පැහැර හැරීමෙන් රටක ජනතාවට මුහුණ දීමට සිදුවන ඛේදවාචක ගැන මෙවැනි ජ්‍යෙෂ්ඨ පුද්ගලයින්ට අවබෝධයක් නොමැතිද? 
 
 
රාජ්‍යය බුද්ධි අංශ ප්‍රධානියා 2019 අප්‍රේල් 20 වැනිදා සවස රවී සෙනෙවිරත්න මහතාට ලබා දී ඇතැයි පැවසෙන කෙටි පණිවිඩය ලැබුණු බව ස්ථීර කළත් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිම  පියවරක් නොගෙන සිටියේ මන්ද? පුදුමයනම් පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂණය කළ කිසිම කොමිෂන් සභා වර්තාවක සෙනෙවිරත්න මහතාගේ මෙම බරපතළ නොසැලකිල්ල ප්‍රශ්න කිරීමට එම කොමිෂන් සභාවල නියෝජිතයින් අසමත්වීමය.
 
 
අවසාන වශයෙන් පැහැදිළි වන්නේ සෙනෙවිරත්න මහතා ඇතුළු වගකිව යුතු නිළධාරීන් රටපුරා විහිදීගිය ප්‍රචණ්ඩ අන්තවාදය මැඩපැවැත්වීම සඳහා ඔවුන්ට තිබූ වගකීම බරපතළ ලෙස නොසලකා හැර ඇති ආකාරයයි. එය ඔවුන්ගේ වරදක් පමණක් නොවේ. සමස්ථ රටේම ඇති ව්‍යාකූල ස්වභාවය එයයි. "ගහනවා කියලා දැනගෙන හිටියා, ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ," යැයි කියූ එකළ ආරක්ෂක ලේකම්වරයාගේ හැසිරීමත් ; "තාත්තා කිව්වා හෙට පල්ලි වලට බෝම්බ ගහනවා කියලා," යැයි කියූ දේශපාලනඥයාද; පාස්කු දින පල්ලියේ දේව මෙහෙයට සහභාගී නොවී තම පෞද්ගලික වාසස්ථානයේදී  සිය යාඥාව පැවැත්වූයේ යැයි කියන රංජිත් කාදිනල් මැල්කම් හිමිද;  මෙම දිරා ගිය සමාජ ක්‍රමයේ රෝග ලක්ෂණ පමණි. මොවුන් කිසිවෙකුට අසරණ මිනිසුන් ගැන හෝ මෙවැනි අන්තවාදයක ඇති ගැඹුරු සමාජ යතාර්ථය ගැන තේරුම් ගැනීමට හෝ ඊට එරෙහිව කටයුතු කිරීමට කිසිම වුමණාවක් නැත. 

මේ නිසා මෙවැනි ගැටලු වල සැබෑ ඇත්ත වසා දැමීම සඳහා ඒවා කුමන්ත්‍රණ වලට බැර කොට ඇති අතර තම අදහස් සත්‍යය බව ඔප්පු කිරීම සඳහා තෝරාගත් පුද්ගලයින් කිහිප දෙනෙකු බිල්ලට දීමට උත්සහ කරති. මෙම විහිලු සහගත ප්‍රවණතාවය දෙස බලා සිටින සැබෑ වැරදිකරුවන්ට සහයදුන් පුද්ගලයින් ඔවුන්ගේ ඊළඟ ප්‍රහාරය සඳහා අවශ්‍යය පරිසරය නිර්මාණය කරගනිමින් සිටියහොත් ඒගැන පුදුම විය යුතු නැත. පසුගිය සිකුරාදා වැලිගමදී වහබ්වාදීන් විසින් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට පහරදීම එහි පෙර නිමිත්තක්ද?  


(විශේෂ ලියුම්කරුවෙකු විසිනි)

සංවාදයට විවෘතයි ....

සබැඳි පුවත :
CID හිටපු ප්‍රධානියා ගෙන් 'පාස්කු ප්‍රහාරය' ගැන බරපතල අනාවරණයක් !


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...