BREAKING
Top Ad
ආරක්ෂක

රට පුරා පත්තු වෙන වෙඩි නවත්වන්න අලුත් ආණ්ඩුවට හැකි වෙයි ද? අදත් අහුංගල්ලේ වෙඩිතැබීමක්

T

The Leader

January 8, 2025 • 11:38 PM

රට පුරා පත්තු වෙන වෙඩි නවත්වන්න අලුත් ආණ්ඩුවට හැකි වෙයි ද? අදත් අහුංගල්ලේ වෙඩිතැබීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අහුංගල්ල ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
  • වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
  • නව රජයක්, අලුතින් මහජන ආරක්ෂාව භාර ඇමැතිවරු ඇතුළුව ආරක්ෂාව භාර ප්‍රධානීන්ගේ වෙනස්කම් සිදුවුව ද රටේ තැන තැන වෙඩි තැබිම් යළි හිස ඔසවන බව පෙනෙන්නට තිබේ.
  • බියක්, සැකක් නොමැතිව අපරාධකරුවන් තම ආයුධ හසුරුවමින් දිනෙන් දින නිදහසේ තම ඉලක්ක හඹා යෑම වත්මන් පාලනය යටතේත් ආරම්භ වී ඇති බව අපරාධ පිළිබඳ වාර්තා පිරික්සීමේදී පැහැදිලි වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අද (09) උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග පැවසීය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබු පුද්ගලයා "ලොකු පැටී" නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බව ද සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.





රට පුරා පත්තු වෙන වෙඩි නවත්වන්න අලුත් ආණ්ඩුවට හැකි වෙයි ද?

නව රජයක්, අලුතින් මහජන ආරක්ෂාව භාර ඇමැතිවරු ඇතුළුව ආරක්ෂාව භාර ප්‍රධානීන්ගේ වෙනස්කම් සිදුවුව ද රටේ තැන තැන වෙඩි තැබිම් යළි හිස ඔසවන බව පෙනෙන්නට තිබේ.

බියක්, සැකක් නොමැතිව අපරාධකරුවන් තම ආයුධ හසුරුවමින් දිනෙන් දින නිදහසේ තම ඉලක්ක හඹා යෑම වත්මන් පාලනය යටතේත් ආරම්භ වී ඇති බව අපරාධ පිළිබඳ වාර්තා පිරික්සීමේදී පැහැදිලි වේ.


වත්මන් රජය 'රට ගොඩනැංවීමට ගන්නා වැඩ පිළිවෙළේදී' රටේ සිදුවන අපරාධ හා ඝාතන පාලනය කිරිම අත්හළ නොහැකි සාධකයක් වන අතර, එහිදී රට පුරා සිදුවන වෙඩි තැබිම් සම්බන්ධව ගන්නා පියවර පිළිබඳව බීබීසි සිංහල සේවය විමසා බැලීය.


අලුත් ආණ්ඩුවේ පත්වීමෙන් පසු ගෙවුණු කාලය තුළ වෙඩි තැබිම් කීයක් සිදුවෙලා ද?




ජනාධිපතිවරණය පැවති 2024 සැප්තැම්බර් 21 වන දා සිට 2025 ජනවාරි 07 වන දා දක්වා රට පුරා වෙඩි තැබිමේ සිදුවීම් 34ක් වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

වත්මන් රජයේ පාලන සමය තුළ සිදුවූ එම වෙඩි තැබීම්වලින් 17 දෙනෙකු මිය ගොස් ඇතැයි බීබීසි සිංහල සේවය කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

ඉන් වෙඩි තැබීම් 32ක් 2024 වසරේ සැප්තැම්බර් 21 වන දා සිට දෙසැම්බර් 31 දක්වා කාලයේදී සිදුව තිබේ.

2025 වසරේ ජනවාරි 07 වන දා වන විට වෙඩි තැබිම් 2ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි.


මෙම සියලු සිදුවිම්වලින් සිද්ධි 13ක් පමණ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකරන ලද වෙඩි තැබීම් බවට පොලිසිය සැක පළ කරයි.

මෙම සිදුවීම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි ද පොලිස් වාර්තාවල සඳහන් වේ.


bbc 2

'යුක්තිය මෙහෙයුම' නැවතිලා ද?

පසුගිය රජය විසින් 'විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නීතියේ රැහැනට හසුකර ගැනීමේ අරමුණින්' 'යුක්තිය' නමින් මෙහෙයුමක් දියත් කර තිබිණි.

එම මෙහෙයුම දෙස් විදෙස් මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්වූ අතර තවමත් එම මෙහෙයුම ක්‍රියාත්මක දැයි බීබීසි සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීය.

"යුක්තිය මෙහෙයුම කියන නමින් ඒක නැවතුණාට අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් අපි දිගින් දිගට ම කරගෙන යනවා," යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කියා සිටියේ ය.

81dc1520 9f23 11ee adb5 57a45d53518f.jpg

"විශේෂ කාර්ය බලකාය දකුණේ සහ බස්නාහිර අපි දාලා තියෙනවා බයික් දාලා වෙන ම ටීම්ස් විදිහට. දැනට බස්නාහිර සහ දකුණු පළාතේ තමයි පහුගිය අවුරුද්දේ වෙඩි තැබීම් වැඩිපුර සිද්ධ වුණේ."


නීති විරෝධී ගිනිඅවි සොයා කරන මෙහෙයුම්

නීති විරෝධි ගිනිඅවි සොයා කරන මෙහෙයුම් සම්බන්ධව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ය.

 

weapons 1 0

"නීති විරෝධීව සමාජයේ තියෙන ආයුධ ටික පොලිසිය භාරයට ගන්න ඔත්තුකරුවන්ගෙන් වගේ ම අපේ අංශවලිනුත් අපි යොදවලා ඒ ක්‍රියාවලිය දිගින් දිගට ම සිද්ධ වෙනවා. පහුගිය වසරේ 2,202 වගේ මට මතක, සමාජයේ තිබ්බ නීති විරෝධි අවි අපේ අතට ගත්තා," ඔහු පැවසුවේ ය.

'දිගින් දිගට ම මේක මෙහෙම තියෙන්න බෑ'

"මේක පාලනය කරන්න අවශ්‍ය යි. දිගින් දිගට ම මේක මෙහෙම තියෙන්න බෑ," යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල රට තුළ සිදුවන වෙඩි තැබීම් පිළිබඳව බීබීසි සිංහල සේවයට අදහස් පළ කරමින් පැවසීය.

වැඩ බලන පොලිස්පතිවරයාට මෙන්ම අමාත්‍යංශ්‍ය ලේකම්වරයා වෙත මෙම සිද්ධි පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස සහ මෙම ක්‍රියාකාරකම් වැළැක්වීමට අවශ්‍ය පූර්ව සූදානම් යාන්ත්‍රණයක් සැකසීමට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. 

"ඒ අනුව ඊයේ ඉඳලා STF කණ්ඩායම් ස්ථානගත කරන්න තීන්දු කළා හඳුනාගත් පොලිස් වසම් තුළ. ඉතින් ඒ කර්තව්‍යය ඉදිරියට තව ශක්තිමත් කිරීම තමයි අපේක්ෂාව."


දැනට හඳුනාගෙන ඇති වෙඩි තැබීම් බහුල ප්‍රදේශවල නිරන්තර මෙහෙයුම් සිදු කිරීමට ද ඇමැතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.

'ක්ලීන් ශ්‍රී ලංකා' තුළින් ගන්නා පියවර මොනවා ද?

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවා ඇති "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ මෙවැනි ක්‍රියාකාරකම් පාලනයට ගන්නා පියවර ගැන ද ආනන්ද විජේපාල ඇමතිවරයා බීබීසි සිංහල සේවයට පැවසීය.

image 6b800fe218

"ඉදිරියේදී පොලිස් දෙපාර්තුමේන්තුව විශේෂ කාර්යභාරයක් ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කරන්න අවශ්‍ය වෙනවා. ඒක තනි තනියම නෙමෙයි සමස්තයක් හැටියට, උදාහරණයක් හැටියට විනයගරුක රියැදුරෙක් හදන එක, විනයගරුක සමාජයක් හදන්න පොලිසිය පැත්තෙන් දෙන දායකත්වය, නීතිය ස්ථාපනය කිරීමට අදාළ කටයුතු, අල්ලස, දූෂණය, වංචාව ඉවත් කිරීමේ කටයුතු, මත්ද්‍රව්‍ය පාලනය සහ මත්ද්‍රව්‍ය වළක්වා රටේ දරුවන් මත්ද්‍රව්‍යයෙන් බේරා ගැනීමේ කටයුතු, මත්ද්‍රව්‍ය සහ පාතාල කටයුතු දෙක ම ඒකාබද්ධව තියෙන්නේ මේ සියල්ල පොලිසිය පැත්තෙන් පැවරෙන වැඩසටහන් ක්ලීන් ශ්‍රී ලංකා යටතේ."


ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය මෙතෙක් නිසි වැඩපිළිවෙළක් සකස් කර නැතිමුත් ආයතන ඊට අනුගත වෙමින් සුදුසු ආකාරයට කටයුතු කරමින් වන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

'රට තුළ සිදුවන ක්‍රියාකාරකම් නැවැත්වීම පොලිසියේ කාර්යභාරයක්'

විදේශ රටවල සිටිමින් මෙරට අපරාධ සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා දිගින් දිගටම රතු නිවේදන ලබා ගනිමින් කටයුතු කරන බව මෙන්ම ඉදිරියට ද එම ක්‍රියාවලිය සිදුකරන බව ඇමැතිවරයා සඳහන් කළේ ය.

criminal threat now

"ර⁣ට තුළ කොහේ පාතාල නායකයන් රැඳී සිටියත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීම පොලිසියේ කාර්යභාරයක්. බන්ධනාගාරයේ ඉන්නවා ද, විදේශගතව ඉන්නවා ද කියන කාරණය වගේ ම රට තුළ සිදුවන වෙඩි තැබීම් ගැන විශේෂ අවධානය යොමු කරලා තියෙනවා."


මත්ද්‍රව්‍ය සම්බන්ධව සංවිධානාත්මක අපරාධ කල්ලි අතර සිදුවන විරසකයන් නිසා මෙවැනි වෙඩි තැබීම් බහුලව සිදුවන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් කියා සිටියේ ය.

(උපුටා ගැනීම් | BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...