BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

ඔය මුදල පන්සලේ වැඩකට යොදවන්න.....?- (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

March 24, 2023 • 3:09 PM

ඔය මුදල පන්සලේ වැඩකට යොදවන්න.....?- (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘ආ... ඒ ගැන අවුලක් හිතන්න එපා. මං ළඟ ඒකට විසඳුමක් තියෙනව.
  • ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනව.
  • ඔයා ඒකට සූදානමක් ඇතුව ආව නං එච්චරයි,’’ යැයි හෙතෙම පැවසුවේ ඇගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය සපුරා ම ඇය වෙත පවරමිනි.
  • රථ ගාල අසලට ගිය විට පෙර දිනයේ ඔවුන් රැගෙන ගිය රථය ද තිබිණ; නමුත් එය තිබුණේ තවත් රථ තුනක් පිටුපසට වන ලෙසිනිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි වැඩ ටික ඉවර කරගෙන ම ඒ විසඳුම ඉදිරිපත් කරමු. මොකද හැමුදුරුවොත් එක විදිහක් නෙ...’’

ඇය සතුව පවත්නා විසඳුම හෝ අදහස කුමක් ද යන්න හෙළි නොකළ බැවින් ඒ පිළිබඳ තව දුරටත් නොවිමසිය යුතු යැයි අදහස් කළ ප්‍රතිෂ්ඨ ‘‘හම්ම්ම්... ඔවු... ඔයා කියන එකෙත් ඇත්තක් තියෙනව. ඔයා ඒකට සූදානමක් ඇතුව ආව නං එච්චරයි,’’ යැයි හෙතෙම පැවසුවේ ඇගේ නිදහස භුක්ති විඳීමේ අයිතිය සපුරා ම ඇය වෙත පවරමිනි.

*         *          *          *          *          *          *          *          *

පෙර දිනයේ ඇල්පිටියෙන් බැසගත් සැණින් උදෑසන ආහාරය එහි දී ලබාගත්ත ද මෙවර ඔවුන් උදෑසන ආහාරය ගැනීම සඳහා තෝරාගත්තේ පිටිගල නගරයේ පිහිටි ආපණ ශාලාවකි. ආහාර රැගෙන අනතුරුව: කිරි පිටි පැකට්ටුවක්, සීනි පැකට්ටුවක්, කෝපි පැකට්ටුවක් සහ තේකොළ පැකට්ටුවක් ද මිලදී ගත් ඔවුහු ත්‍රී රෝද රථ නැවතුම්පොළ වෙත ගමන් කළහ. රථ ගාල අසලට ගිය විට පෙර දිනයේ ඔවුන් රැගෙන ගිය රථය ද තිබිණ; නමුත් එය තිබුණේ තවත් රථ තුනක් පිටුපසට වන ලෙසිනිය. ඒ, ඔවුන් රථ පිටත්වීම සඳහා පිළිවෙළක් සකසා ඇති බැවිනි. එහෙත්දුර සිට ම මෙම යුවළ හඳුනාගත්, පෙර දින ඔවුන් රැගෙන ගිය රථයේ රියදුරු වහා ඔහු සිටි රථයෙන් බැසගත් ඉදිරියට පැමිණියේ ය.

‘‘ආ... මේ අපේ මහත්තෙයයි නෝනයි නෙ... අදත් පන්සලට යන්නෙයි...?’’ යනුවෙන් විමසුවේ කලක සිට හඳුනන පුද්ගලයෙකු ලෙසිනි.

සචේතනී මුව පුරා පිරි ස්මිතයකින් පිළිතුරු සැපයූවා මිස වදනකදු මුදා නොහළා ය. ඔහු සමග වදන් හුවමාරු කළේ ප්‍රතිෂ්ඨ පමණි.

‘‘ආ... මේ එදා අපිත් එක්ක ගිය මල්ලි නෙ... ඔවු මල්ලි... අදත් පන්සලට යන්න... යමුද...?’’

fgdsfgdfg

‘‘අනේ සර් සමාවෙන්න... අද මගේ ටර්න් එකට තව වන්ඩි තුනක් තියෙනවනෙ සර්... ඒ හිංද අර ඉස්සරහම තියෙන එකට නගින්න. මං යාළුවට කියන්නං,’’ යැයි පවසන අතර ම හෙතෙම රථ ගාලේ ඉදිරියෙන් ම තිබූ රථය පෙන්වමින් එදෙසට ගමන් කළේ ය; සචේතනි සහ ප්‍රතිෂ්ඨ ද ඔහු පසුපස ම ඇදුණහ.

‘‘මචං තිස්ස... මේ සර්රුයි මිසුයි අපේ පොඩි හාමුදුරුවන්ගෙ කැම්පස් එකේ යාළුවො දෙන්නෙක්. පරෙස්සමනේ ඇරලවපං හරි...’’

රථ පෝලිමේ ඉදිරියෙන් ම තිබූ රථය ආසන්නයට ගිය හෙතෙම එහි රියදුරුට ප්‍රතිෂ්ඨ සහ සචේතනි හඳුන්වා දී ‘‘එහෙනං මහත්තයො... තිස්ස ගෙනිහින් දාවි. පරිස්සමෙන් ගිහින් එන්න... බුදු සරණයි...!’’

‘‘හොඳයි... බොහොම ස්තුතියි...! එහෙනං අපි ගිහිං එන්නං,’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසු පසු මෙතෙක් වදනකුදු මුදා නොහළ සචේතනී ද උවණ පුරා පිරි ස්මිතයක් සහිතව ම ‘‘ගිහිං එන්නං’’ යැයි පැවසුවේ එම රියදුරුට කෘතගුණසැලකීමක් වශයෙනි.

*         *          *          *          *          *          *          *          *



පන්සලට අයත් රථ ගාල වෙත පැමිණෙන තුරුම අද දින ඔවුන් රැගෙන ආ ත්‍රී රොද රථයේ රියදුරු වදනක් හෝ මුදා නොහළහ. ඒ ඇතැම් විට පෙර දින ඔවුන් ආ රථයේ රියදුරු ඔවුන් හඳුන්වා දුන් බැවින් විය හැකි ය. රථයෙන් බැසගත් පසු ද  ඔහු ගමනට නියමිත ගාස්තුව පැවසුවා මිස ඉනොබ්බට කිසිවක් ම නොවිමසා, මුදල් ගෙන, ආයාචනාත්මක ස්මිතයක් පා ‘‘තැන්කියු සර්...! බුදු සරණයි...!!’’ යනුවෙන් ආශිර්වාද කළා හැර වෙනත් කිසිවක් ම නොපැවසී ය.



පාලම මතින් පන්සල් භූමියට ඇතුළු වන අතර ‘‘මේ මනුස්සයා නං කිසිම කතාවක්-බහක් නැතුව ඔහේ ආව නේද...?’’ යැයි සචේතනී ප්‍රතිෂ්ඨගෙන් විමසුවා ය.

‘‘හම්ම්ම්... කොහොමටත් මිනිහ ටිකක් වෙනස් කෙනෙක්. අනික අර එදා ආපු මනුස්සය අපි අඳුරණව කියල ඇඟෙව්ව නෙ; අපි හාමුදුරුවො ගියපු කැම්පස් එකේ යාළුවො කියලත් කිව්ව නෙ...  සමහර විට ඒ නිසා වෙන්නැති,’’ යැයි ප්‍රතිෂ්ඨ පිළිවදන් සැපයූවේ මඳ උපහාසයෙන් යුතු ස්මිතයකින් මුව සරසාගෙන ය.

‘‘ඇයි අනේ ඔයා නිකං නෝණ්ඩියට වගේ හිනාවෙන්නෙ...?’’

සචේතනි විමසුවේ ප්‍රතිෂ්ඨගේ මන්දස්මිතය තුළ පැවති උපහාසාත්මක සිතුවම කියවාගැනීමට අපොහොසත් වූ බැවිනි.

xfggsd

‘‘නෑ ඉතිං... එදා ඒ මනුස්සය ම නෙ අපි හාමුදුරුවන්ගෙ කැම්පස් යාළුවො කියල අපි දෙන්නව නම් කරේ... මමත් ඉතිං ඒක නෑ කිව්වෙත් නෑ... ඔවු කිව්වෙත් නෑ... ඒ මනුස්සයත් ‘එහෙම නෙවෙයි ද’ කියල ඇහුවෙත් නෑ. ඉතිං අපිට වැඩි වාසියක් එන්නෙ කොහොම ද... මං ඒ චරිතෙම කරා... මං විතරක් නෙවෙයි ඔයත්...’’ යැයි පැවසු ප්‍රතිෂ්ඨ යළි පෙර පරිදි ම සිය උවන ස්මිතයකින් පිරවී ය.

දෙදෙනා පංසල් මිදුලට යන විට ද විමලානන්ද හිමි පුටුවක අසුන්ගෙන මග බලා සිටියේ ඔවුන් බලාපොරොත්තුවෙන් මෙනි; උන්වහන්සේගේ පළමු වදන් පෙළින් එය වඩාත් තහවුරු කෙරිණ.

‘‘ආ... මේ එන්නෙ නෝනයි මහත්තෙයයි... මං මේ මග බලාගෙනමයි හිටියෙ...? අදනං මොන මොනවදෝ බරට ම උස්ස ගෙන නේද...’’ යැයි පැවසුවේ වසර ගණනාවක සිට හඳුනන යුවළක් වෙත දක්වන සෙනෙහස් බැල්මක් වුවන පුරා සිතුවම් කරගෙන ය.

රැගෙන ගිය ත්‍යාග පාර්සල් ටිපෝව මත තැබූ සචේතනී පළමුව හිමිට නමස් කාර කළා ය. දෙවනුව ප්‍රතිෂ්ඨ ද එසේ කළ පසු හාමුදුරුවරුන්ගේ මුවෙන් නිරන්තරයෙන් ගිලිහෙන ‘‘සුවපත් වේවා...!!’’ යන දෙවදන වා තලයට මුසු විය.

‘‘හම්ම්ම්... මට අද පොඩි පොඩි වැඩ කටයුතු කිහිපයක් ම යෙදිල තියෙනව. ඒ හිංද මං ගිහිං පොත අරං දුන්නට පස්සෙ මහත්තෙයල ඒ වැඩේ කරගන්න. වැඩේ ඉවර වෙලා මට කතා කරන්නකො ඈ...’’ යැයි පවසන අතර ම නැගී සිටි උන්වහන්සේ සිවුරු පොට ද සකසාගෙන මිදුලට බැස පුස්තකාලය වෙත වැඩම කළහ; ප්‍රතිෂ්ඨ සහ සචේතනි දෙපළ ද උන්වහන්සේ පිටුපසින් ගමන් කළහ.

*         *          *          *          *          *          *          *          *

පෙර දිනයේ මෙන් ම පුස්තකාලය මධ්‍යයේ තිබු මේසය වෙත අත දිගු කර උන් වහන්සේ ‘‘නෝනයි මහත්තෙයයි මෙහෙන් ඈඳිගන්නකො... මං පොත අරං එන්නං...’’ යැයි පවසා පිටත්වන්නට සුදානම් වත් ම ප්‍රතිෂ්ඨ උන්වහන්සේ ඇමතී ය.

‘‘හාමුදුරුවනේ මේ...’’ යැයි විමසත් ම ‘‘ඔවු මහත්තෙයො... මොකක් ද ප්‍රශ්නෙ යැයි උන්වහන්සේ විමසූහ.

‘‘අපිට මේ... ප්ලග් පොයින් තියෙන තැන පෙන්නල ම ගියානං...’’

‘‘ආ... ඒකට කරදර වෙන්න ඕනෙ නැ මහත්තයො... මහත්තෙල දැං ඔය ඉඳගෙන ඉන්න මේසෙ යට ම කිහිපයක් තියෙනව... කැමති දෙකක් ප්‍රයෝජනේට ගන්න....’’ යැයි පැවසූ උන්වහන්සේ පිටව ගියහ.

ආපසු හැරුණු ප්‍රතිෂ්ඨ සචේතනී වෙත අවධානය යොමු කළේ තරමක වික්ෂිප්ත භාවයකිනි.

‘‘ඇයි...?’’ යනුවෙන් ඇය විමසුවේ ද ප්‍රතිෂ්ඨට නොදෙවෙනි වික්ෂිප්ත භාවයකිනි.

‘‘නෑ... මං ඒත් කල්පනා කරා බිත්ති පුරා ම රාක්ක තියෙන මේකෙ ප්ලග් පොයින්ට් නැතුව ඇති කියල... බලං ගියාම හාමුදුරුවොත් සෑහෙන්න අප්ඩේට් නෙ... මං හිතන්නෙ... මේ ලයිබ්‍රියෙ පොත් පත් තව අය පාවිච්චි කරනව. ඇත්තට ම ඒක හොඳ වැඩක්.’’

සචේතනි ඒ සඳහා පිළිවදන් සපයන්නට ප්‍රථම හාමුදුරුවෝ ඔවුන් අබියස සිටගත්හ.

‘‘මෙන්න මහත්තයො පොත... පරිස්සමෙන් වැඩේ කරගන්න.’’

පොත අතට ගත් ප්‍රතිෂ්ඨ ‘‘හාමුරුවනේ... අපිට පොත ස්කෑන් කරන්න පොතේ පිටු ගලවන්න වෙනව නෙ... මං කල්පනා කරේ...’’

‘‘නෑ නෑ... මහත්තෙය ඒ ගැන කරදර වෙන්න ඕන්නෑ... පන්සලේ පරණ පොත් බයින්ඩ්  කරන කෙනෙක් මේ කිට්ටුව ඉන්නව. බයින්ඩින් මැෂින් එකකුත් පන්සලේ තියෙනව. මේ තියෙන පරණ පොත් හුඟක් බයින්ඩ් කරල තියෙන්නෙත් එහෙම තමයි. මහත්තෙය කියන්න හදන දේ මට තේරෙනව. මහත්තෙය ඒ ගැන කරදර වෙන්නෙපා. මහත්තෙය පරිස්සමින් පිටු ගලවල ස්කෑන් කරල පොත මට දෙන්නකො. මම ඉතිරි වැඩ ටික කරගන්නං. කොහොමටත් තව මේ වගේ පරණ පොත් කිහිපයක් තියෙනව. ළඟදි ම ඒ මනුස්සයට එන්න කියල ඒ පොත් ටිකත් බයින්ඩ් කරවගන්නයි මං හිතාන හිටියෙ. ඒ වැඩෙත් එක්ක ම මේකත් කරගන්නං. මහත්තෙයල මහත්යෙලගෙ වැඩේ කරගන්නකො...’’

‘‘හොඳමයි හාමුදුරුවනේ...’’ යැයි පැවසු ප්‍රතිෂ්ඨ යළිත් සචේතනි වෙත අවධානය යොමු කළේ ය. ඔහුගේ නෙත් තුළ ලියවී තිබුණේ ‘මේ හාමුදුරුවො නං මරු පොරක් අප්ප’ යන වදන් බව සචේතනී හොඳින් ම කියවා ගත්තා ය.

‘‘හොඳයි... එහෙනං වැඩේ කරගෙන යන්නකො... වැඩේ අහවර කරාට පස්සෙ මට කතා කරන්නකො...,’’ යැයි පැවසූ ස්වාමීන් වහන්සේ පුස්තකාලයෙන් පිටතට වැඩම කළහ.

*         *          *          *          *          *          *          *          *

හෝරාවකුත් මිනිත්තු කිහිපයක් ඉක්ම යන විට ප්‍රතිෂ්ඨ සමස්ත කෘතිය ම ස්කෑන් කර අවසන් කළේ ය. අනතුරුව ස්කෑන්රය සහ ලැප්ටොප් පරිගණකය ද ගලවා ඉවත් කිරීමට පෙර එය එසේ නොකරන්නැයි පැවසූ සචේතනී ඊට පෙර ගොස් හාමුදුරුවෝ කැඳවාගෙන එන ලෙස පැවසුවා ය.

‘‘ඒක හරි... මටත් ඒක අමතක උණා නෙ...’’ යැයි පැවසු ප්‍රතිෂ්ඨ ආවාස ගෙය දෙසට ගොස් මිනිත්තු කිහිපයකින් යළි පැමිණියේ හාමුදුරුවන් ද සමග ය.

‘‘හම්ම්ම්... එහෙනං... මං මේ මහත්තෙයයි නෝනයි දෙන්න ම විශ්වාස කරනවා. ඒ විස්වාසෙ බිඳින්න එපා...’’ යැයි පැවසුවේ අවධාරණාත්මක ස්වරයෙනි.

‘‘එහෙමයි හාමුදුරුවනේ... අපි ඔබවහන්සේ අපි ගැන තිබ්බ  විස්වාසෙ පොඩ්ඩක්ත් බිඳින්නෙ නෑ.’’ යැයි පැවසු සචේතනී ඒ අතර ඇගේ අත් බෑගයේ තිබූ දෙකට නැවූ ලියුම්කවරයක් පිටතට ගෙන, හාමුදුරුවන් අබියසට ගොස් නමසාකාර කර නැගිට එම ලියුම් කවරය හාමුදුරුවන් වෙත පෑවා ය.

‘‘මේ මොනවයි මේ...?’’

හාමුදුරුවෝ විමසුවේ ලියුම්කවරය අතට නොගෙන ය.

මේ කිසිවක් නොදැන සිටි ප්‍රවිෂ්ඨ ද සචේතනි දෙස සහ හාමුදුරුවන් දෙස අවධානය යොමු කරගෙන සිටියේ උන් වහන්සේ මේ පිළිබඳ යමක් ඔහුගෙන් විමසුව හොත් කුමක් පවසන්නේ ද යන උභතෝකෝටිකය සමග ය. ඒ අතර සචේතනිගේ හඬ ඔහුට ඇසිණ.

sdgdfsd

‘‘නෑ හාමුදුරුවනේ... ඔබවහන්සේ අපිට ගොඩක් උදවු කරානෙ... මෙතන පොඩි තැග්ගක් තියෙනවා. ඒක ඔය පන්සලේ වැඩකට යොදාගන්න. අපේ නං ගං මොනවත් ඕනෙ නෑ...’’

‘‘හම්ම්ම්... එකත් එහෙම ද...? හොඳයි ගමුකො බලන්න...’’ යැයි පැවසූ උන්වහන්සේ ලියුම්කවරය ගෙන එය දිගහැර එහි තිබු මුදල පිටතට ගත්හ.

එහි තිබූ මුදල දෙස විසල් දෑසින් යුතුව මොහොතක් බලා සිටි උන්වහන්සේ... ‘‘මෙච්චර මුදලක් මොකටෙයි නෝනෙ මේ උදවුවට... කවුද මහත්තෙය ද කිව්වෙ...’’

‘‘අ... අ... ඔවු හාමුදුරුවනේ... මහත්තෙය තමයි කිව්වෙ... මොකද මේ කරපු උදව්වෙන් මට මගේ හොඳම මිතුරිය වැටෙන්න යන කරදරෙනුත් ගැලවෙන්න පුළුවන්. මටත් මේ පොත ප්‍රයෝජනවත්නෙ හාමුදුරුවනේ.’’

එලෙස පැවසු සචේතනී ප්‍රතිෂ්ඨ වෙත අවධානය යොමු කරමින් ඇසක් ඉඟි මැරුවා ය. ඒ කුමක් සඳහා ද යන්න සැනෙකින් අවබෝධ කරගත් ප්‍රතිෂ්ඨ ‘‘ඔවු හාමුදුරුවනේ... මේ ගැන වැරැදි අදහසක් ගන්න එපා... ඔය මුදල පන්සලේ වැඩකට යොදවන්න....’’ යැයි පවසා ‘මේ ගැනි මාව ආයෙත් සැරයක් අමාරුවෙ දැම්ම නෙ... අඩුම ගානෙ කලිං කිව්වනං එතන තියෙන ගාණවත් මං දැනගන්නව නෙ... දැං හදිසියෙවත් හාමුදුරුවො ඒ ගැන මොනව හරි ඇහුවොත් මං මොකද්ද දෙන උත්තරේ...?’ යැයි තමාගෙන් ම විමසමින් සිදුවන්නේ කුමක් දැයි බලා සිටියේ ය.



‘‘පන්සල්වලට මුදල් පරිත්‍යාග කරනන්යි කියල හරි එපයි කියල හරි මං කියන්නෙ නෑ. ඒක බෞද්ධ දායක දායිකාවන්ගෙ කැමැත්ත ඇතුව කරන්න ඕන දෙයක් මිසක අපිට අයිතියක් නෑ මේ වැඩේට මෙච්චරක් දෙන්න මේ වැඩේට මෙච්චරක් දෙන්න කියල නියම කරන්න. කොහොම උනත් ඔය නෝනයි මහත්තයයි ගත්තු මේ තිරණේ ගැන මං දරන්නෙත් එහෙම අදහසක්. හැබැයි දැං මං මේ කියන දේත් හොඳට අහගෙන ඒ අනුව කටයුතු කරනවනං මං බොහොම කැමතියි.’’



හාමුදුරුවෝ එසේ පැවසුවේ මාරුවෙන් මාරුවට ප්‍රතිෂ්ඨ සහ සචේතනි වෙත උන්වහන්සේගේ දෙනෙත් විසි කරන අතර ය.

හාමුදුරුවෝ එසේ පවසා අවසන් වත් ම ‘‘කියන්න හාමුදුරුවනේ...’’ යැයි ප්‍රතිෂ්ඨ සහ සචේතනි එක වරම පැවසුවේ පෙර කතිකා කරගෙන සිටි පරිදි ය.

‘‘මෙතන පහළොස් දහක් තියෙනව නෙ... මේ උදව්වට මෙච්චර මුදලක් ඕනෙ නෑ... මං කියන්න ද... මං මෙතනිං පන්දහක් ගන්නං... ඒත් මේ ඔය මහත්තෙයගෙයි නෝනගෙයි හිත සතුටු කරන්න ඕනෙ නිසා. අනිත් දහදාහ ආයෙ ඔය නෝනල ගන්න. පුළුවන් නං මහත්තෙල ඔය පොත ප්‍රින්ට්අවුට් ගද්දි මට ඒකෙ කොපි පහක් විතර අරං දෙන්නකො... ඒ හොඳටෝ ම ඇති....’’ යැයි පැවසුවේ එය උන්වහන්සේගේ අවසන් නිගමනය යැයි දෙදෙනාට ඒත්තු ගන්වමිනි.

කිසිවක් ම පවසන්නට නොහැකිව ප්‍රතිෂ්ට සහ සචේතනී කිහිප විටක් ම දෙදෙනාගේ නෙත්වලින් මාරුවෙන් මාරුවට මොනවාදෝ විමසූහ. එහි ගැබ්ව තිබුණේ ‘‘අපි දැං මොකද කරන්නෙ ප්‍රතිෂ්ඨ’’ සහ ‘‘අපි දැං මොකද කරන්නෙ සචේති’’ යන වදන් බව එකිනෙකා ක්ෂණයෙන් අවබෝධ කරගත්හ.

‘‘හම්ම්ම්... මට තේරෙනව... දැං දෙන්නට ම තියෙන්නෙ එක ම ප්‍රශ්නෙ... එහෙම නේද...?’’

හාමුදුරුවෝ එසේ විමසුවේ දෙදෙනාගේ ම සිත් කියවාගත්තකු පරිද්දෙනි.

‘‘ආයෙ හිත හිත ඉන්න දෙයක් නෑ...’’ යැයි පැවසු උන්වහන්සේ පන්දහසේ කොළ තුන අතුරෙන් එක් කොළයක් උන්වහන්සේගේ අතට ගෙන අනෙක් කොළ දෙක යළි ලියුම් කවරයට බහා ‘‘ආ... නෝනල මේක ආපහු ගන්න. මම මේ පන්දාහෙන් ලයිබ්‍රියට පොත් ටිකක් ම අරගෙන දාන්නං,’’ යැයි පවසා ලියුම් කවරය සචේතනි වෙත පෑහ.

මහත් ව්‍යාකුලකත්වයට පත් සචේතනී යළිත් වරක් ප්‍රතිෂ්ඨ වෙත අවධානය යොමු කළේ පිළිසරණක් පතන්නියක ලෙසිනි. කළ යුතු හොඳ දේ කුමක් ද යන්න තීරණය කළ ප්‍රතිෂ්ඨ එය ක්‍රියාත්මක කළේ ය.

‘‘කමක් නෑ සචේති... උන්වහන්සේගෙ කැමැත්ත නෙ...’’

ඉවර නෑ....


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/03/24




වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...