ඔවුන් දිවසත් අයියාට දන්වා තිබුණේ හැකි ඉක්මනින් දිවසත් අයියා තීරණයක් නොගතහොත් ඒ සියල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යන රාජ්‍ය නොවන ආයතනයක් වෙත පවරන්නට මවත් පියාත් තීරණය කර ඇති බවයි.
ඉදින් මමත් අමෝද්‍යත් එකතුව ගත් තීරණය වඩා වටිනා තීරණයක් නොවේද... එහි මහඟු ඵලය කුමක්දැයි දැනගත හැකිවන්නේ අනාගතයේ දී ය.
මෙම සිද්ධියෙන් ඉක්බිති අමෝද්‍ය පිළිබඳ මා දැක්වූ ආදරය සහ විශ්වාසය වඩ වඩාත් වර්ධනය විය. ඒ අන් කිසිවක් නිසා නොව බිරිඳගේ දේපළ වෙනුවෙන් අයිතිවාසිකම් කියන්නට, ඒ දේපළ අත්පත් කරගන්නට, ඒ වෙනුවෙන් මානුෂීයත්වය පවා වෙන්දේසි කරන්නට තරම් පෙලඹෙන පිරිමි සිටින සමාජයක මගේ දේපළ සියල්ල මට අහිමිව යන මොහොතේ පවා ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නට ඔහු පෙලඹුණ බැවිනි.
‘‘අමෝද්‍ය... ඔයාට දිවසත් අයිය කතා කරා ද...?’’
සිදුවීමෙන් දෙදිනකට පසු නිවසට පැමිණි අමෝද්‍ය ගෙන් නිදහස් මොහොතක් බලා මා විමසී ය.
‘‘ආ... ඔවු පැටියො... ඇයි...?’’
ඔහුගෙන් රළු පිළිතුරක් බලාපොරොත්තු වුව ද ඔහු පෙරළා විමසුවේ ඉතා සැහැල්ලු ස්වරයෙනි.
‘‘ඇයි අහන්නෙ... ඔයාට අපේ අම්මයි තාත්තයි ගැන තරහක් එන්නෙ නැද්ද...? දිවසත් අයිය ගැන ඊර්ෂ්‍යාවක් එන්නෙ නැද්ද...?’’
පානය කරමින් සිටි තේ කෝප්පය මේසය මත තැබූ අමෝද්‍ය අසුනෙන් නැගී සිට, මා අතේ සිටි කනිෂ්ක පුතු ඔහු අතට ගෙන ‘‘මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලිං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න ද...?’’ යැයි විමසී ය.‘‘ඔවු... අහන්න අමෝද්‍ය...’’
එක් වතාවක් නොව දෙවතාවක් ම දරුවාගේ දෙකොපුල් සිපගත් අමෝද්‍ය ‘‘ඔයා මගෙං අහපු ප්‍රශ්න දෙක ම මං ඔයාගෙං ඇහුව නං ඔයා දෙන උත්තරේ මොකද් ද...?’’
අමෝද්‍ය විමසුවේ මා කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවූ පැනයකි. නමුදු ඔහු එසේ විමසන්නට ඇත්තේ ඇයි ද යන්න පිළිබඳ මට අවබෝධයක් තිබිණ.
‘‘අවංකව ම අමෝද්‍ය... මට ඒ දේවල් ගැන තන්හාවක් හරි ලෝබකමක් හරි නෑ. ඒ දේවල් එයාලගෙ. හැබැයි දිවසත් අයියට හැර වෙන කෙනෙකුගෙ අතට ඒ දේවල් ලැබුණ නම් මට ටිකක් දුක හිතේවි; ලෝබත් හිතේවි. නමුත් දිවසත් අයියට ම ලියපු නිසා එහෙම දේවල් අපිට තිබුණ ද කියන එකත් මං අමතක කරා අමෝද්‍ය.’’
සත්‍ය වශයෙන් ම මා පැවසුවේ මසිතට නැගි අවංක ම අදහස ය. ඒ පිළිබඳ අමෝද්‍ය කුමන අදහසක් දරාවි ද යන්න පවා මට අදාළ නොවිණ.
සැණෙකින් මා අසලට ආ අමෝද්‍ය දරුවා ඔහු අත සිටිය දී ම මගේ නළල සිප ‘‘තැන්ක්යු පැටියො... දැන් තමයි මගේ හිතට සැහැල්ලුවක් දැනුණෙ,’’ යැයි පැවසුවේ මගේ දෙනෙත් තුළට ඔහුගේ දෙනෙත්වලින් විහිදෙන ආලෝක කදම්බ පෙළක් ඇතුළු කරමිනි.
‘‘ඒ කිව්වෙ...!’’
එක් වර ම ඔහුගේ අදහස වටහා ගැනීමට අපොහොසත් වූ මා විමසී ය.
‘‘නෑ... මං හිතුවෙ ඒ දේපළ ඔයාට නැති වෙච්ච එක ගැන ඔයා දුකෙං ඇති කියල; ඒ වගේ ම ඒ දේපළ නැති උණේ මං නිසා කියල හිතනව ඇති කියල.’’
අමෝද්‍යගේ මුවෙන් ගිලිහුණ ඒ වදන් එක් පසෙකින් මට දරාගත නොහැකි තරමේ වේදනාවක් අත්පත් කර දුන් අතර තවත් පසෙකින් ඉමහත් සැනසිල්ලක් අත් පත් කර දුන්නේ ය.
වේදනාවක් ගෙන දුන්නේ මට හිමි දේපළ මට අහිමි වීම පිළිබඳව මා පශ්චාත්තාප වනු ඇතැයි සිතා අමෝද්‍ය වේදනා විඳීම ය. එසැණින් ම සිතට සැනසිල්ලක් රැගෙන ආවේ අදාළ කාරණය සම්බන්ධයෙන් අමෝද්‍යගේ අවංක අදහස මා සමග පැවසීම ය. සැබැවින් ම මා යළි යළිත් සිහිපත් කරන්නේ එබඳු පුරුෂයකු ලබන්නට මා කෙතරම් වාසනාවන්ත විය යුතු ද යන්න ය. ඔහු කුමන හේතුවක් මත ඔහුගේ පවුලේ අය සමග මා සම්බන්ධ නොකළ ද, ඔහු අදාළ සම්බන්ධතා කෙතරම් හොඳින් නඩත්තු කළ ද මා සහ දරුවා පිළිබඳ ඔහුගෙන් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම් නොපිරිහෙළා ඉටු කරන්නට ඔහු නිරන්තරයෙන් ම සැදී පැහැදී සිටියේ ය; ඔහු කිසිදු දිනෙක බාහිර ප්‍රශ්න කිසිවක් ම නිවසට රැගෙන නොඑන්නට වග බලාගත්තේ ය. එනම් ඔහුගේ පවුලේ ප්‍රශ්න, ක්ෂේත්‍රයේ ප්‍රශ්න, යහළු මිත්‍රාදින්ගේ ප්‍රශ්න යනාදි කිසිවක් පිළිබඳව නිවසේ දී වදනක් හෝ භාවිත නොකරන්නට ඔහු වගබලාගත්තේ ය. මේ වන විට ඔහු පෙර මෙන් නිවසේ දී උපකාරක පංතිවලට අදාළ කිසිදු කටයුත්තක් නිවසේ දී නොකරන්නට ද පෙලඹී සිටියේ ය. මා දිනක් ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවේ නිකමට මෙනි.
මේ ආකාරයට නිදහසේ ගත කරන තවත් දවසක මා ඔහුගෙන් මෙවැන්නක් විමසී ය.
‘‘මේහ්... දැන් ඔයා කසාද බැඳල දරුවෙකුත් ඉන්නව කියල තාමත් ඔයාගෙ යාළුවො දන්නැද්ද...?’’
මා එලෙස විමසුවේ මෙතෙක් කාලයකට ඔහුගේ යහළුවන් හෝ හිතවතුන් කිසිවෙක් අප නිවසට පැමිණ හෝ ඔහු සහ මා එබඳු කිසිදු යහළුවකු, යෙහෙළියක හෝ හිතවත් කෙනෙකුගේ නිවසට නොගොස් තිබූ බැවිනි.
‘‘ම්ම්ම්... මේ මොකද එකපාට්ට ම යාළුවොයි හිතවතුන් ගැනයි අහන්න හිතුණෙ...?’’
ඔහු පැනයක් විමසුව ද එහි ගැබ්ව තිබුණේ ඉතා ම සැහැල්ලු ස්වරයකි.
‘‘නෑ... මං නිකමට ඇහුවෙ... ඇත්තට ම ඔයාට එහෙම ඉන්න පුළුවන් ද... එයාල මේ ගැන මොනවත් ම අහන්නෙ නැද්ද...?’’
‘‘අම්මෝ... මොකද අහන්නැත්තෙ... අහනවා අහනවා... අහනව විතරක් නෙවෙයි එක එක යෝජනාත් ගේනවා. මේ ළඟදිත් අම්ම ‘හොඳ තැනකිං’කියල යෝජනාවක් ගෙනාව,’’ යැයි හෙතෙම පැවසුවේ මඳ උපහාස ස්මිතයක් ද උවනතේ සිතුවම් කරගන්නා අතර ය.

‘‘ඉතිං...! ඔයා මොකද කිව්වෙ...?’’
‘‘මං ද...? මං ඉතිං සුපුරුදු උත්තරේ ම දුන්න,’’ යැයි ඔහු පැවසුවේ සැහැල්ලු ස්වරයෙනි.
‘‘ඒ කියන්නෙ...?’’ යැයි මා විමසත් ම ඔහු මා සිතු පරිදි ම සුපුරුදු පිළිවදන ම මුදා හැරී ය.
‘‘ඔවු... මං කිව්ව මට කලින් නංගිට ‘හොඳ තැනකිං’ කටයුත්තක් හොයන්න කියල.’’
අමෝද්‍ය එලෙස පැවසුවේ කුඩා දරුවකු විහිළු කරන විලාසයෙනි; ඒ සමග ම මෙසේ ද පැවසී ය.
‘‘දැං අහන්න එපා ‘මගේ යාළුවන්ටත් දැම්ම කියන්න එපා ද...?’කියල. මොකද මගේ පැත්තෙ අයට වඩා ඔයාගෙ පැත්තෙ අයනෙ ඔයාගෙ අම්මයි තාත්තයි අඳුරන්නෙ. ඒ නිසා අපි මේ ඉවසගෙන හිටපු විදියට තව ටික කාලයක් ඉවසගෙන ඉමු.’’
ඒ අදහසට විරුද්ධ විමට තරම් ශක්තියක් මට නොතිබිණ. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු, ඔහුගේ පාර්ශ්වය සමග ගනුදෙනු කරන ආකාරය අනුව මට මගේ පාර්ශ්වය සමග සමීප සබඳතා ගොඩනංවාගැනීම අවැසි යැයි ඉල්ලා සිටිය නොහැකි බැවිනි. නමුදු මා ඕස්ට්‍රේලියා නොගොස් ආපසු පැමිණ ඇති බවත්, මා දැන් ලංකාවේ කොතැනක හෝ අමෝද්‍ය සමග වෙසෙන බවත් ඔවුන් දන්නා බව මට විශ්වාස ය. එබඳු තත්ත්වයක් තුළ මට මගේ සමීපතම යෙහෙළිය වන දුලීකා සමග හෝ මගේ අදහස් බෙදා හදාගැනීමට අවකාශ පවතී නම් එය කෙතරම් අගනේ ද යන්න සිතුණු වාර අනන්ත ය. එහෙත් ඒ සියල්ල මා විඳ දරා සිටින්නේ අමෝද්‍ය මාත් දරුවාත් වෙනුවෙන් කරන කැපකිරීම හේතුවෙනි. එය තව කෙතරම් කාලයක් වුව ද ඉවසා දරාගෙන සිටිය යුතු ම ය; එහෙත් ඒ කාලය කෙතරම් දිගු ද යන්න අවිනිශ්චිත ය.
* * * * * * * * *
කාලය ඉතා වේගයෙන් අප පසු කරමින් යන බව හැඟුණේ කනිෂ්ක පුතු පෙර පාසලකට යැවිය යුතු නේදැයි දිනක් අමෝද්‍ය සිහිපත් කළ මොහොතේ දී ය. ඒ වන විට මා සමස් ගැබිනියකි. එබැවින් කනිෂ්ක පුතුගේ කටයුතු, නිවසේ කටයුතු සහ මා සායන සඳහා රැගෙන යාම යනාදි සියල්ල ම කාන්තිට කළ නොහැකි බැවින් අපට සහයෝගය ලබාගැනීම සඳහා කුමාරි නම් තවත් තරුණියක් පැමිණ සිටියා ය. ඇය සම්බන්ධ කර දුන්නේ කාන්ති ය.
කනිෂ්ක පෙර පාසලට බාර දීමට පෙර ඇය පැමිණියේ මා සායනයට රැගෙන යාම සඳහා පමණි. නමුදු කනිෂ්ක පෙර පාසලට බාර දීමෙන් ඉක්බිති දරුවා රැගෙන යාම සහ ආපසු කැඳවාගෙන ඒම ද ඇය වෙත පැවරිණ. ඒ සඳහා නිත්‍ය ත්‍රී රෝද රථයක් ද වෙන් කරගෙන තිබිණ. මාතෘ සායනය පිහිටියේ නිවාස සංකීර්ණයේ ම බැවින් මාත් කුමාරිත් ඒ සඳහා පා ගමනින් ම ගමන් කළේ අමෝද්‍ය ගේ බලවත් විරෝධතාව මත ය. මන් ද මා විවෘත සමාජය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ඔහු තුළ යම් බියක් පැවතිණ. ඒ, කුමන හෝ මොහොතක මා කවුදැයි හෙළිදරව් වේ ය යන බිය ය. ඔහු ද දිවයිනේ ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකු වුව ද ඒ ඔහු යැයි නිවාස සංකීර්ණයේ කිසිවෙක් දැන නොසිටියහ. ඔහු නිවාස සංකිර්ණයේ අසල්වැසියන්ට පවසා තිබුණේ හෙතෙම පුද්ගලික විශ්වවද්‍යාලයක ගුරුවරයෙකු බවයි. ඔහු ම පැවසූ පරිදි ඔහු එසේ තමා හඳුන්වා දී ඇත්තේ ද මා සහ ඔහු කාගේ කවුදැයි ලෝකයාගෙන් වසන් කරගැනීම සඳහා ය.* * * * * * * * *
තවත් තෙමසක් ඉක්මයාමෙන් ඉක්බිති අපගේ කුටුම්බයට දියණියක ද එකතු වූවා ය. මගේ ද කැමැත්ත පරිදි අමෝද්‍ය ඇයට නම් තැබුවේ සසී උපේන්ද්‍රා ලෙසිනි. නමට ම සරිලන පරිදි ඇය සඳ මෙන් පියකරු දැරියක වූවා ය.
එතැන් සිට මා යළි කාර්ය බහුල ගෘහණියක වූවා ය. කාර්ය බහුල යැයි කිවාට සැබැවින් ම මා වෙත පැවරී තිබුණේ දියණියගේ කටයුතු ම පමණි. නිවසේ කටයුතු සියල්ල කාන්තිට පැවරී තිබූ අතර පුතුගේ කටයුතු සියල්ල පැවරි තිබුණේ කුමාරි වෙත ය.
මේ වන විට අමෝද්‍ය, මා, දරු දෙදෙනා සහ කාන්තිටත්, කුමාරිටත් විසීම සඳහා අප විසූ කුඩා නිවසේ පැවති ඉඩ-කඩ ප්‍රමාණවත් නොවිණ. මන්ද පුතු කනිෂ්ක නිරන්තරයෙන් ම දුව පැන ඇවිදින බැවින් සහ කාන්ති සහ කුමාරි යන දෙදෙනා එකම කාමරයක විසූ බැවිනි. ඒ දෙදෙනා එකම කාමරයක ඉන්නට අකමැත්තක් පළ නොකළ ද අප ඒ වන විට සිටි නිවසේ පිහිටි කාමරය ඔවුන් දෙදෙනාට ප්‍රමාණවත් නොවිණ. නිවාස සංකීර්ණයට නුදුරින් පිහිටි කිරිගම්පමුණුවේ නිවසක් වෙත අප සියලු දෙනා සංක්‍රමණය වූයේ ඒ සියලු කටයුතු පහසු කරගැනීම සඳහා ය. එය තරමක් විශාල ඉඩමක පිහිටි කාමර හතරකින් සමන්විත නිවසකි. අවට පරිසරය ද පෙර නිවසට වඩා නිස්කලංකය; සුවදායක ය. එහි පිහිටි කාමර දෙකක් කුමාරිට සහ කාන්තිට භාවිත කරන්නැයි අමෝද්‍ය පැවසුව ද ඔවුන් පැවසුවේ මෙම නිවසේ කාමර නිවාස සංකීර්ණයේ පිහිටි නිවසේ කාමරයකට වඩා ඉඩ-කඩ පැවති බැවින් දෙදෙනාට ම එක කාමරයක් ප්‍රමාණවත් බවයි.
කිරිගම්පමුණුවට පැමිණ මසක් ඉක්ම යන්නට මත්තෙන් නිවාස සංකිර්ණයේ පිහිටි නිවස කුලී පදනම මත දරු දෙදෙනක් සහිත යුවළකට ලබා දීමට හැකි විය. අමෝද්‍ය පැවසුවේ තව දෙවසරකින් එහි ණය මුදල ගෙවා අවසන් කළ පසු එම නිවස පිළිබඳ තීරණයකට එළඹිය හැකි බවයි.
* * * * * * * * *

ඉවර නෑ...
(ජයසිරි අලවත්ත)නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2023/04/01
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්




