BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 68 : අපි කොහොමද මේ දරුවො සමාජෙට යවන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

April 28, 2023 • 8:37 AM

වජ්ජා’වජ්ජ 68 : අපි කොහොමද මේ දරුවො සමාජෙට යවන්නෙ...? -(ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එබැවින් එදින සන්ධ්‍යාවේ අප සියලු දෙනා ම මත්තෙගොඩ නිවාස සංකිර්ණයේ නිවැසියන් සහ ගම්වාසින්ගේ එකතුවෙන් සංවිධානය කරන ලද සිංහල අවුරුදු උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වුණෙමු.
  •   වේලාව උදෑසන දහයත් දහයමාරත් අතර වන්නට ඇත.
  • ඉක්බිති සිහින් හඬින් මෙලෙස විමසුවා ය.
  • එහෙමත් නැතිනම් අහල තිබුණත් අමතක ඇති,’’ යැයි පැවසූ ඇය යළිත් පෙර සේ ම ඇගේ දෙනෙත් මගේ උවනතේ ඇලෙව්වා ය.’’ ‘‘ම්ම්ම්...
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් දින තුනක් ඇතුළත එහි අනිටු විපාකයක් අප කුටුම්බය මත කඩා වැටුණේ අපි සියලු දෙනා අඳුරු සාගරයක ගිල්වමිනි.

 

වේලාව උදෑසන දහයත් දහයමාරත් අතර වන්නට ඇත. නිවසේ සිටි මාත් කාන්තිත් පසුවූයේ දිවා ආහාරය සකසමිනි. විදුලි සීනුව නාදවනු ඇසිණ. කාන්ති ගේට්ටුව විවෘත කිරීම සඳහා යෑමට සූදානම් වුව ද කුමන හෝ හේතුවක් මත ඇය වැළකූ මා ගොස් ගේට්ටුව විවර කරන විට මා ඉදිරියේ පෙනී සිටියේ: රෝස සහ කළු වර්ණ රටාවකින් සුසැදි චාම් සාරියකින් සැරසුණු, චාම් පෙනුමක් සහිත කාන්තාවකි. ඇය එක් අතක කඩදාසිවලින් නිර්මිත බෑගයක් එල්ලාගෙන සිටියා ය. මා දුටු ඇය තත්ත්පර කිහිපයක් මාවෙත ඇගේ දෙනෙත් එල්ල කරගෙන සිට ඒ දෙනෙත් මගේ ලලාට තලයේ සිට පා ඇඟිලි දක්වා ගමන් කරවූවා ය. ඉක්බිති සිහින් හඬින් මෙලෙස විමසුවා ය.

 

‘‘ඔයා ... මිසිස් කුමාරසිංහ...?’’ යැයි විමසුවේ පූර්ණ ස්මිතයකින් මුව සරසාගෙන ය.

‘‘ඔවු... ඔයා...? කාව හම්බ වෙන්න ද...?’’ යැයි මා විමසුවේ මීට පෙර කිසිදු දිනක ඇය මුණ ගැසී නොතිබුණ බැවින් සහ මීට පෙර මෙබඳු කිසිවකු අප නිවසට පැමිණ නොමැති බැවිනි.

‘‘මම චාමලී සන්දිපනී... සමහර විට නම අහල ඇති. එහෙමත් නැතිනම් අහල තිබුණත් අමතක ඇති,’’ යැයි පැවසූ ඇය යළිත් පෙර සේ ම ඇගේ දෙනෙත් මගේ උවනතේ ඇලෙව්වා ය.’’

‘‘ම්ම්ම්... නම් යන්තමට මතකයි වගේ...’’

1586852 FTUXFYPU 7

මා පැවසුවේ මඳක් අතීතයට ගමන් කරන අතර ය.

‘‘මතක නෑ...?’’ යැයි යළි විමසූ ඇය ‘‘චාමලී සන්දිපනී කුමාරසිංහ...’’ යැයි පැවසුවා ය.

මට එය අදහාගත නොහැකි විය; ඒ සමග ‘‘අක්කෙ ඔයා...! අමෝද්‍ය ගෙ...’’

‘‘ඔවු... අමෝද්‍ය කියන්නෙ මගේ අයිය...’’

 

එක් වරම සිතට නැගුණේ ප්‍රහර්ෂයක් වුව ද ක්ෂණයේ ඒ ප්‍රහර්ෂය අතුරුදන් වූවා සේ හැඟිණ. එහෙත් එබන්දක් සිදු නොවුණා සේ අංග ලක්ෂණ සකසාගත් මම ‘‘හානේ අක්කෙ...!’’ යැයි පවසන අතර ම ඇය වැලඳගත්තෙමි; ඇය ඊට පිළිවදන් සැපවූයේ එලෙස ම හැසිරෙමිනි.

 

‘‘යං අක්කෙ ගෙට...’’ යැයි පවසමින් මා ඇය කැටුව නිවස තුළට පැමිණියේ සැබැවින් ම හෘද ස්පන්දන වේගය අධික වූ  පුද්ගලයෙකු ලෙස ය. මන් ද ඇය පැමිණියේ සුබ පණිවිඩයක් රැගෙන නොවන බව මගේ යටි සිත මට ඉඟි කළේ ය. එහෙත් මා ඇය පිළිගත යතු ය. මන් ද ඒ මගේ අමෝද්‍ය ගේ සොයුරිය යි; මගේ නෑනණ්ඩිය යි; මගේ දරු දෙදෙනාගේ නැන්දණිය යි.

*         *          *          *          *          *          *          *          *

ඇය නික්ම ගියේ මා කිසිදු ආකාරයකින් බලාපොරොත්තු නොවූ වාතාවරණයක අනතුරු හැඟවීමක් කරමිනි; අපේ කැණිමඬල සුනු විසුනු කෙරෙන අසුබ ආරංචියක් මගේ මනසට මතු නොව හදවතට ද ඇතුළු කරමිනි. නමුදු එය ඇගේ වරදක් නොවේ. ඇය පණිවිඩකාරියක් පමණි. කෙසේ වුව ද ඇය මා කෙරෙහි මෙන් ම දරු දෙදෙනා කෙරෙහි ද අප්‍රමාණ ස්නේහයක් දක්වන බව ඇගේ හැසිරීම් රටා සාක්ෂි සැපයී ය. එහෙත් උද්ගතව ඇති තත්ත්වය අනුව ඇගේ: ආදරය, කරුණාව, සෙනෙහස මෙන් ම අනුකම්පාව ලද ද මේ මහා ව්‍යසනයෙන් මිදීමට එය පිහිටක් නොවන බව විශ්වාස ය. ඇගේ යෝජනාවට අනුව නම් මෙය ඉතාම කල්පනාකාරිව සහ සාමකාමීව, සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු පැනයකි.

13027784 dsc 0084ඇය මා වෙත මේ සියලු කරුණු ගෙනහැර පෑවේ දරු දෙදෙනාගේ නාමයෙන් කිසිදු කලබලයක් නොකරන ලෙස පොරොන්දු කරවාගනිමිනි. එය සම්පූර්ණ සත්‍යයකි. ‘කලබල වුවහොත් කොරොස් කටේවත් අත දාගත නොහැකි ය’ යන කියමන සැබෑ නොවේදැයි මට ප්‍රත්‍යක්ෂ වූයේ එවිට ය. මට දැන් පැන නැගී ඇති ගැටලුව වන්නේ මෙය විසඳාගන්නේ කෙසේ ද..., ඒ සඳහා මා මුල පිරිය යුත්තේ කෙසේ ද යන්න ය. මන් ද මගේ යැයි කිසිවකු මට දැන් ඉතිරිව නැත; සිටිනවා නම් ඒ දිවසත් අයියා පමණි. එහෙත් මගේ ම සොයුරා බඳු ඔහුට මා මෙවැන්නක් කෙසේ නම් පවසන්න ද...?

මගේ දෙමාපියන්, ඥාතීන්, මිතුරු මිතුරියන් අත්හැර දමා පැමිණ දැන් වසර හත අටකට ආසන්න ය. මේ වන තුරු ඒ කිසිවකු මා ඉන්නේ කොතැන ද, කරන්නේ කුමක් ද යන්න නොදනී. ඇතැම් විට මා තවමත් ජීවතුන් අතර දැයි පවා ඇතැම් අය සැක කරනවා ඇත. මන් ද ඔවුන්ට අනුව අවසන් වතාවට මා ලංකාවෙන් පිටව ගොස් දැනට වසර අටක් පමණ කල් ගතවී තිබේ. එහෙත් සිදවූ සියල්ල දන්නේ මට සමීපතම කිහිප දෙනා පමණි. එබඳු වටපිටාවක් තුළ ඒ සැඟව ගිය සත්‍ය මා කෙසේ නම් ඔවුන්ට පවසන්න ද...?

චාමලී අක්කා පැවසූ ආකාරයට මේ මොහොතේ ද අමෝද්‍ය වෙසෙන්නේ සුනේත්‍රාගේ ඇගේ නිවසේ ය. ඇය මේ සියල්ල පිළිබඳ අධ්‍යයනය කරන්නේ දැනට වසර පහක පමණ සිට ය. ඇගේ උත්සාහය දැන් ඵල දරා ඇත. චාමලී අක්කා මා හමුවට පැමිණ තිබු‍ණේ සුනේත්‍රා ඇයට ලබා දී ඇති සියලු සාක්ෂි සම්පිණ්ඩනය කරගැනීමෙන් ඉක්බිතිව ය. ඇයට මා හමුවන්නැයි බල කර ඇත්තේ ද සුනේත්‍රා  ය. ඇය එසේ පවසා ඇත්තේ මෙහි ඇති තතු නිවැරැදිව ම දැනගැනීමේ අටියෙනි. ඒ හැර මට හෝ මගේ දරුදෙදෙනා පිළිබඳ ඇය තුළ වෛරයක් නැති බව චාමලි අක්කා දිගින් දිගට ම පැවසුවා ය. එහෙත් දැන් අනාගතය පිළිබඳ සුබ සිහින දැකිය නොහැකි ය.

 

තවත් පසෙකින් මට මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ද ගත නොහැකි ය. ඒ, අමෝද්‍ය මීට පෙර සුනේත්‍රා විවාහ කරගෙන ඇති බැවිනි. එසේ නම් අමෝද්‍ය මා සමග විවාහ වූයේ කෙසේ ද...? එක් පුරුෂයෙකු එක් විවාහයකට වඩා ලියාපදිංචි කර ඇත්නම් ලංකාවේ නීතියට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි. අමෝද්‍ය එය නොදන්නවා විය නොහැකි ය; එහෙත් ඔහු මා සමග ද විවාහ විය.

 

මේ සියල්ල මගේ මනසට ගෙන දෙන්නේ මහත් පීඩාවකි. එහෙත් මා දැන් ඒ සියල්ල ඉවසිය යුතු ය; අවම වශයෙන් තව දෙදිනකින් අමෝද්‍ය පැමිණෙන තෙක් හෝ ඉවසිය යුතු ය. දිවසත් අයියාට මේ පිළිබඳව දැන්විය යුත්තේ ද අමෝද්‍ය සමග මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් ඉක්බිතිව ය. මෙය දැනගත් පසු ඔහු කෙබඳු පියවරක් ගනී ද...? ඔහු කෙතරම් සන්තාපයට පත්වනු ඇති ද...? එහෙත් මට මේ සම්බන්ධයෙන් යමක් විමසීමට සිටින්නේ ඔහු පමණ ම ය. ඔහු මේ මොහොතේ මා අත්හැර නොයන බව මට විශ්වාස ය. එහෙයින් තව පැය කිහිපයක් ඉවසිය යුතු ය...

*         *          *          *          *          *          *          *          *

‘‘ඇයි අමෝද්‍ය ඔයා මේ හැම දෙයක් ම මගෙන් හැංගුවෙ...? මට තියෙන ආදරේට ද... එහෙම නැත්නම්...’’

‘‘ඇයි... එහෙම නැත්නම් මොහොකට කියල ද ඔයා හිතන්නෙ...?’’

 

lksj

අමෝද්‍ය නිවසට පැමිණි දින රාත්‍රියේ නිවසේ වෙසෙන සියලු දෙනා නිදිගත් පසු නිදි යහනේ දී මා විමසුවේ මෙහි ඇති තතු දැනගැනීමේ අටියෙනි. මගේ පළමු පැනය විමසා අවසන් වන්නට පෙර ම ඒ සඳහා කුමන හෝ පිළිතුරක් සපයන්නට අමෝද්‍ය පෙර සුදානමෙන් සිටි බව ඔහුගේ පිළිවදනින් ප්‍රත්‍යක්ෂ විය.

 

‘‘මේ අහන්න... මම ඔයාගෙන් අතීත කතා මොනවත් ම අහන්නෙ නෑ... ඒව ඇහුව කියල ඇති වැඩකුත් නෑ... කොටින් ම ඔයා දැන් අවුරුදු දහයක් විතර තිස්සෙ ම මට බොරු කරේ ඇයි කියලත් මං අහන්නෙ නෑ... ඒත් මට කියන්න දැන් අපි මොකද කරන්නෙ කියල... අපේ දරුවො දෙන්නට මොකද වෙන්නෙ කියල... මට මං ගැන කිසිම දුකක් හරි නෑ. මං වැරැද්දක් කරා කියල මං හිතන්නෙත් නෑ. ඒත්... ඒත් අමෝද්‍ය මේ දරුවො... අපි කොහොමද මේ දරුවො සමාජෙට යවන්නෙ...? අනේ මංද අමෝද්‍ය... මට තේරෙන්නෑ...’’

 

අඩ අඳුරේ පැවති කාමරය තුළ නිදි යහනේ වැතිර සිටින අමෝද්‍යගේ දෙනෙත් එල්ල වී තිබුණේ සිවිලිම වෙත ය. මා විමසන කිසිදු පැනයකට පිළිවදන් සපයන්නට ඔහුගේ මුව විවර නොවන බව මට හැඟිණ. එහෙත් මට නිහඬව සිටිය නොහැකි ය; හඬ නැගීමෙන් ද ඵලක් නැත. මට කළ හැකිව තිබුණේ අනෙක් පසට හැරී ඉකිබිඳීම පමණි.

*         *          *          *          *          *          *          *          *

මා කොපමණ වේලා එලෙස ඉකිබිඳින්නට ඇතිදැයි මම නොදන්නෙමි. එහෙත් කිසියම් මොහොතක මගේ බඳවටා අතක් එතෙන බව මට දැනිණ. ඒ සමග ම සිහින් ඉකිබිඳුමක් ද ඇසිණ. ඒ ඉකිබිඳුම අතරින් කිසියම් වදන් කිහිපයක් ද මගේ දෙසවන් තුළට ඇතුළු විය.

‘‘අහිංසනා...’’

ඒ මගේ සවනතට ඇතුළු වූ පළමු වදන ය.

‘‘මං දන්නව අහිංසනා... මං කරේ සමාව ඉල්ලන්න බැරි වරදක්... ඒක කරේ ඇයි කියන එකට මගේ ළඟ උත්තර කොච්චර තිබුණත් දැන් වැඩක් නෑ කියලත් මං දන්නව අහිංසනා... හැබැයි මං ඔයාට එකක් කියන්නං අහිංසනා... මං... මං... මං ඔයාට ආදරෙයි අහිංසනා... ඇත්තට ම අහිංසනා...’’

 

In Bed The Kiss by Henri Toulouse Lautrec

එක දිගට ම ඔහුගේ මුවෙන් ගලා එන ඒ වදන් වැල මගේ සවනට ඇතුළු වූයේ සිහින් ඉකිබිඳුමක් ද සමග ම ය. එතෙක් ඔහුට පිටුපා සිටි මා ඔහු වෙතට හැරුණේ මා කෙතරම් වේදනාවෙන් පෙළුණ ද මීට පෙර කිසිදු දිනක ඔහු මෙබඳු තත්ත්වයකට පත් නොවුණ බැවිනි. අතීතය කෙසේ ගෙවුණ ද දැන් අප මුහුණ දිය යුත්තේ අනාගතයට ය. ඒ සඳහා මාර්ගය සකසාගත යුත්තේ යුද වැදීමෙන් නොව සාමයෙන්, සමගියෙන් සාකච්ඡා මාර්ගයට පිවිසීමෙනි.

 

අප දෙදෙනා එකිනෙකාගේ සිරුරු කිටි කිටියේ වෙළා ගත්තේ පළමු වරට සයනය මත නැගි යුවළක් ලෙසිනි. දෙදෙනා ම දෙදෙනාගේ සිරුරු එකි නෙක තෙරපාගනිමින් ඉකිබින්දේ පවසන්නට වදන් නැතුව නොව, විමසන්නට පැන නැතුව නොව, එසේ පවසන වදන් දෙදෙනාට ම නොඇසේ ය යැයි හැඟුණ බැවිනි. මන් ද මේ මොහොතේ අප ඉදිරියට ඇදී එන දුහුවිලි කුණාටුවට යට නොවෙන්නට නම් දෙදෙනා ම එකාවන්ව කුණාටුව මගහැරිය යුතු ය. එසේ නොවුන හොත් දෙදෙනා ම කුණාටුවට හසුව විනාශ වන්නේ ය. මීට අට වසරකට පමණ පෙර නම් අප දෙදෙනා පමණ ය. නමුදු මේ වන විට අප දෙදෙනාගේ ආදරයේ තවත් ඵල දෙකක් ලොවට බිහි වී ඇත. අප ඔවුන් වෙනුවෙන් කුණාටුව මගහැරිය යුතු ය. ඒ වෙනුවෙන් එකට අත්වැල් බැඳගත යුතු ය.

kishore ghosh imgpsh fullsize anim 6

 

‘‘අමෝද්‍ය... මේ අහන්න... මං ඔයාට වචනෙකින්වත් දොස් කියන්නෙ නෑ... ඒත්...’’

‘‘මට තේරෙනව අහිසනා... මට තේරෙනව... මං ඔයාට ගොඩක් වැරදි කරල තියෙනව. ඔවු... නීතියෙන් දඬුවමට ලක් වෙන වැරදි විතරක් නෙවෙයි අධ්‍යාත්මික වශයෙන් දඬුවම් ලබන්න ඕන වැරදිත් මං කරල තියෙනව. ඒ වගේ ම කවද හරි මේ කුණාටුවට මුහුණ දෙන්න වෙනව කියලත් මං දැනගෙන හිටිය. ඒ නිසා ම තමයි මං හැම වෙලාවෙ ම ඔයාල ලෝකයගෙන් වසං කරල තියන්න උත්සාහ කරේ. ඒත් දැන් ඒ හැම දෙයක් ම ඉවරයි. මොනව වුනත් අහිංසනා දරුවො දෙන්නට මේ දේවල් දැනගන්න තියන්න එපා. කෙල්ලට නං කොහොමටත් එහෙම තේරුමක් නැහැ නෙ... කොල්ලට වුනත් දැනගන්න තියන්න එපා. මං මගේ පැත්ත බැලන්ස් කරගන්නං... ඔයා බය නැතුව ඉන්නකො...’’

මගේ හිස අතගාමින් අමෝද්‍ය පැවසුවේ මේ වන විට සියල්ත සිදුවී හමාර බැවින් ඉදිරියේ කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කිසියම් සැලසුමක් ඇතුව බව මට හැඟිණ. එබැවින් මා තව දුරටත් මගේ අමෝද්‍ය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු විය; ඔහු වෙත චේදනා එල්ල කරන්නට හෝ ඔහු සමග ගැටෙන්නට නොයා යුතු යැයි අදිටන් කරගත්තේ ය.

‘‘දැන් අපි නිදාගමු... ඔයා පුරුදු විදියට ඔයාගෙ වැඩටික කරගෙන යන්න. ඉස්සරහට මට වැඩිපුර ගෙදර එන්න බැරිවෙයි. ඒ ගැන අවුලක් හිතන්න එපා. මං ඔයාල වෙනුවෙන් කරන්න පුළුවං උපරිම දේ කරනවා. මොකද ඔයා මං වෙනුවෙන් කරපු කැප කිරීම මට අමතක නෑ...’’

අමෝද්‍ය තවදුරටත් පැවසුවේ මගේ වේදනාව සමනය කිරීම සඳහා වුව ද එය කෙතරම් දුරට සාර්ථක වේද නැද්ද යන්න තීරණය කරන්නේ අනාගතය යි. එහෙත් මට අමෝද්‍ය ගෙන් එක් දෙයක් විමසිය යුතු ය.

‘‘අමෝද්‍ය... මං දෙයක් අහන්න මට ඇත්ත ම කියනව ද...?

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com


2023/04/28


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...