BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? - ජයසිරි අලවත්ත ලියයි

T

The Leader

February 15, 2022 • 2:40 AM

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? - ජයසිරි අලවත්ත ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෝද්‍ය සර්ගේ උණුසුමට තුරුලු වී සිටින මොහොතේ දී ‘‘හා සර්... ආයෙමත් එහෙම වෙන්නෙ නෑ,’’ යැයි මා පවසන්නේ අවංකව ම ය. එහෙත් පසු දිනයේ
  • ඒ හැසිරීම සර්ගේ සිත වේදනාවෙන් පුරවාලන බව මම හොඳින් ම දනිමි.
  • මට දඬුවම් පමුණුවන තත්පරයක් තත්පරයක් පාසා ම සර්ගේ හදවත වේදනා දෙන බව ද මම හොඳින් ම දනිමි.
  • අද දින ද සර් පංතියට ඇතුළු වූ සැණින් මගේ මනස මා සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට පියඹා ගියේ මටත් හොර රහසේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පංති කාමරයේ දී මා හැසිරෙන්නේ ඊට හාත්පසින් ම වෙනස් ආකාරයකිනි. ඒ හැසිරීම සර්ගේ සිත වේදනාවෙන් පුරවාලන බව මම හොඳින් ම දනිමි. මට දඬුවම් පමුණුවන තත්පරයක් තත්පරයක් පාසා ම සර්ගේ හදවත වේදනා දෙන බව ද මම හොඳින් ම දනිමි. එසේ නම් මා කළ යුත්තේ කුමක් ද...? කළ යුත්තේ අන් කිසිවක් නොව පංතියේ අනෙක් සිසු සිසුවියන් මෙන් පාඩමට සිත් යොමු කිරීම නොවේ ද... එහෙත් සිදුවන්නේ කුමක් ද...? අමෝද්‍ය සර් දුටු සැණින් කටුස්සෙකු අවස්ථානුකුලව උගේ සිරුරේ පැහැය වෙනස් කරනවාටත් වඩා වැඩි වේගයකින් මගේ හැසිරීම් රටාව වෙනස් කරගැනීම නොවේ ද...? එය මගේ අධ්‍යාපනයට තෙරම් බාධාවක් ද...මගේ අනාගත පැවැත්මට කෙතරම් බාධාවක් ද...?

 ahinsaka

දිසාපාමොක් ඇදුරිඳුගේ බිරිඳගේ අනුකම්පාවට සහ ස්නේහයට බඳුන් වූ අහිංසක කුමාරයා කෙරෙහි ඊර්ෂ්‍යා කළ, ඔහු සමග ම අකුරු කළ සගයින් ඇදුරිඳුට කේළාම් කී ලෙසින් මා කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙන විරුද්ධවාදියෙක් හෝ විරුද්ධවාදිනියක් මගේ වෙනස් වීම වටහා ගතහොත් කුමකින් කුම් වේදැයි පසුගිය දිනක සර් මට සිහිපත් කර දුන් අයුරු මෙන් ම ඒ මොහොතේ අමෝද්‍ය සර්ගේ මනස කෙතරම් ව්‍යාකුල වී තිබුණේ ද යන්න මේ දැන් මෙන් මගේ මනසේ සිතුවම් වන්නේ ය.

 

වර්තමානයේ අමෝද්‍ය සර්ගේ හැසිරීම් රටාව අනුව නම් මහාමේරු පර්වතය සර්ගේ හිස මත පතිත වුව ද සර්ට මා අත්හළ නොහැකි ය. එමෙන් ම මගේ අනාගතය අඳුරු වනවා දකින්නට සර් කිසිසේත් ම අකමැති ය. සම්මත ජීවන රටා, සිරිත් විරිත් මෙන් ම සදාචාර විධික්‍රම හිස මත තබාගත් සමාජයේ සර්ටත් මටත් පිළිසරණට කිසිවෙකු සිටීවි යැයි කෙසේ නම් විශ්වාස කරන්න ද...? එබඳු වාතාවරණයක් තුළ ‘මම’ පුද්ගලිකව ද, ‘අපි’ පොදුවේ ද මේ පිළිබඳ තීරණයකට එළඹිය යුතු යැයි සම්මතයකට පැමිණ ගතවූයේ පැය විසි හතරකටත් අඩු කාලයකි.

අද දින ද සර් පංතියට ඇතුළු වූ සැණින් මගේ මනස මා සිටි ස්ථානයෙන් වෙනත් ස්ථානයකට පියඹා ගියේ මටත් හොර රහසේ ය. නමුදු ඒ පියඹා යාම ක්ෂණයෙන් අවබෝධ කරගන්නට අමෝද්‍ය සර්ට හැකියාව ලැබිණ. එක් වර ම එය ප්‍රදර්ශනය නොකළ සර් ඊට සුදුසු අවස්ථාවක් බලමින් කුරුමානම් අල්ලන බව නම් මට වැටහිණ. මම, ඒ කුරුමාණමට ගොදුරුවීමේ නොතිත් ආශාවෙන් පෙළෙමින් සිටියෙමි. සර්ගේ පාර්ශ්වයෙන් සර් සාර්ථක විය; මගේ පාර්ශ්වයෙන් මම ද සාර්ථක විමි.

****

Collectible Impressionist Style Figurative Oil Painting by Eleanor Maurice  For Sale at 1stDibs

‘‘අපි ගිය සතියෙ පාඩම අවසන් කරේ 220 වෙනි කවියෙන් නේ ද...’’

සර් ගුත්තිල කාව්‍ය පොත දෙස දැස් යොමාගෙන සිටින අතර ම එසේ විමසුවේ එක් හෝ තවත් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක ඉලක්ක කරගෙන නොවේ. එය පොදුවේ විමසු ප්‍රශ්නයකි. ඒ පැනයට සියල්ලෝ ම එක විට ‘‘ඔවු සර්’’ යැයි පැවසුවේ ද එබැවිනි.

‘‘හොඳයි... කාටද ඒ කවිය මතක...?’’ යැයි සර් විමසනවාත් සමග ම ‘‘මට මතකයි සර්’’ යැයි හඬ නගන අතර ම අත එසවූයේ පෙර දින සර් පැවසු පරිදි ම මගේ විරුද්ධවාදිනියක වන සජිනි ය.

‘‘හරි... එහෙනං සජිනි ඒ කවිය ගායනා කරන්න බලන්න.’’

සර් ද ‘‘හා හොඳයි’’ නොකියා කවිය ‘ගායනා කරන්න’ යැයි පැවසුවේ ඇයට අභියෝග කරන්නාක් මෙනි.

 

‘‘ගුත්තිල ඇදුරු සඳ

ඔහු වාදයට සවන් සඳ

වයව තත් සිඳ සිඳ

නැඟෙයි නද සිඳි තතින් මන නද’’

 

සජිනි කිසිම අපහසුවකින් තොරව කවිය ගායනා කළා ය; එසැණින් එළඹියේ ඒ අවාසනාවන්ත මොහොත ය.

‘‘වෙරි ගුඩ් සජිනි.. වෙරි ගුඩ්...! හරි... හම්ම්ම්... අපි මේකෙ තේරුම මොකද්ද කියල අහිංසනාගෙන් අහමු... අහිංසනා... කියන්න බලන්න මේ කවියෙ තේරුම... එහෙමත් නැත්නං අර්ථය මොකද්ද කියල...’’

සර් එසේ ඇසු බව මට නොඇසුණි. මා ඒ මොහොතේ සිටියේ පෙර දිනයේ සර් සමග තුරුලුව සිටි ස්ථානයේ ය.

‘‘අහිංසනා...’’

 

එවර සර්ගේ කට හඬ මගේ දෙසවන් කරා ඇතුළු වූයේ හීයක බඳු වේගයකිනි. මා පියවි ලොවට පිවිසියේ ඒ හී සරය මගේ එක් සවනකින් ඇතුළුව අනෙක් සවනින් පිටව ගිය වේදනාව සමග ය. සර් වෙත සපයන්නට තරම් පිළිතුරක් මගේ මුවෙන් ගලා නොආවේ ය. සැණින් නැගී සිටි මම සර් දෙස නෙත් අයා සිටියෙමි.

 

‘‘මගේ මූණ දිහා බලාගෙන ඉන්න නෙවෙයි කිව්වෙ... දැන් සජිනි ගායනා කරපු කවියෙ තේරුම මොකද්ද කියලයි ඇහුවෙ...’’

තව දුරටත් සර්ගේ මුහුණ බලා සිටීමට අපහසු වූ බැවින් මම මගේ හිස පහතට නැඹුරු කළෙමි.

‘‘ඒ පාර මොකද... මොකද කවියෙ තේරුම ඩෙස්ක් එකේ ලියල තියෙනව ද...?’’

සර් පෙර මෙන් ම රළු හඬින් විමසී ය.

‘‘නැ සර් මේ...’’

මට පැවසීමට හැකි වූයේ එපමණකි...

‘‘මොකද්ද අහිංසනා මේ වැඩේ තේරුම... මං මගේ උගුර ලේ රහ වෙනකං තමුසෙලට උගන්නනව. තමුසෙල ඔහේ බකංනිලාගෙන ඉඳල ගෙදර යනව... එහෙම කරන්න නං මොන කෙහෙල්මලට ද තමුසෙල ඉස්කෝලෙ එන්නෙ...?’’

Girl sitting, standing - Tomás Cohen

මට නොපෙනුණ ද මේ මොහොතේ පංතියේ කොලු කෙල්ලන්ගේ දෑස් යොමුව ඇත්තේ කුමන දිශාවට ද, ඒ දැස්වල ලියවි ඇත්තේ මොනවා ද යන්න වටහාගැනීම මට අපහසු නොවේ. එමෙන් ම ඊළග නිමේෂයේ සිදුවන්නේ කුමක් ද යන්න පවා දැන් මට මැවී පෙනේ. ඒ සිදුවීමට සුදානම් වූ මා යළි සර්ගේ මුහුණ බැලුවෙමි. පංතියේ සියලු දෙනාගේ දෑස් මා දෙස යොමුව තිබිණ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සර් ක්‍රියාත්මක වූයේ මා සිහිනෙකින් හෝ බලාපොරොත්තු නොවූ ලෙසිනි.

විසල් කළ දැසින් මා දෙස බලා සිටි සර් යටි තොල මුව තුළට ඇතුළු කර ඒ මත උඩු ඇන්දේ දත් පෙළ තබා තෙරපුවේ මා වෙත කරන තරවටුවක් ලෙසිනි. එසැණින් ම යළි හඬ නැගු සර් ‘‘හරි... අහිංසනා උත්තරේ දන්නෙ නැහැ නෙ... මං කැමතියි ඒ ප්‍රශ්නෙටත් උත්තරේ සජිනිගෙන් ම දැනගන්න. සජිනි... ඔයා කියන්න බලන්න ඒ කවියෙ තේරුම මොකද්ද කියල...’’

සර් එසේ කියා අවසන් වන්නටත් පෙර ම නැගිට සිටි සජිනි පයිප්පයකින් වතුර ගලා එන තරම් වේගයෙන් යමක් පැවසුවා ය. එය ද මට ග්‍රහණය නොවුණි. මන් ද මා ඒ මොහොතේ ලැගුම් ගෙන සිටියේ සර්ගේ හදවතෙහි ය. ඒ හදවතේ රිද්මය මට ඉතා පැහැදිලිව ම ඇසිණ; ඒ හදවතේ ලියැවී ඇති අකුරු ද මට පැහැදිව ම පෙනිණ.

‘මේ විදියට ගියොත් නං අහිංසනා මට තීරණයක් ගන්න වෙනව. එහෙම නැත්නං ඔයා තීරණයක් ගන්න. එක්කො මං මේ ඉස්කොලෙන් අස්වෙලා යන්න ඕනෙ. එහෙම නැතිනං ඔයා මේ ඉස්කෝලෙන් අස් වෙලා යන්න ඕනෙ. එහෙම නොවුනොත් ඔයයි මමයි දෙන්න ම ලොකු අමාරුවක වැටෙනව.’

සර් එසේ පැවසුවා ද නැද්ද යන්න මෙන් ම එය සැබෑවක් ද මායාවක් ද යන්න පසක් කරගැනීමට පවා මට කාලයක් ඉතිරි නොවිණ. නිලංකාර වී ගිය මගේ දෑස් යළි විවර කළ විට මට දක්නට ලබුණේ: අමෝද්‍ය සර්, සජිනි, දුලන්ති, දුලීකා සහ ඉංග්‍රීසි උගන්වන සුභද්‍රා ටීචර් යන අය මා වටකරගෙන සිටින ආකාරය යි; ඔවුන්ගේ හිස් පහත් වී, ඒ සියලු දෑස් මා වෙත යොමු වී තිබෙන ආකාරය යි. ‘මොකද්ද උණේ අහිංසනා...’ යන වදන් වැල ඒ සෑම මුහුණක ම ලියවී තිබිණ. ඒ පැනයට කෙසේ පිළිතුරු සපයන්න ද හෝ කුමක් පවසන්න ද යන්න නිශ්චය කරගත නොහැකි මම දෝතින් මුහුණ වසාගත්තෙමි. එවිට ම කිසිවෙකු මගේ හිසට යටින් අත දමා කඳ කොටස ඉහළට ඔසවනවා සේ දැනිණ. තවත් තත්පර කිහිපයකින් මගේ මුහුණේ ඇලී තිබූ මගේ ම දෑත් තවත් දෑතකින් ගලවා දමනවා දැනිණ. එවිට දෙනෙත් හැරි මා දුටුවේ මා ඉදිරියේ වාඩිවි සිටින මගේ ප්‍රාණ සම මිතුරිය දුලීකා මා දෙස බලා සිටින ආකාරය යි. මම මා වටා දෑස් යොමු කළේ මා දෙස බලා සිටින අනෙක් අය කවුද යන්න දැන ගැනීම සඳහා ය. නමුදු මා ඉදිරියේ තිබෙන දුලීකාගේ රුපකාය හැර අන් කිසිවෙකුගේ රූපකායක් මා අසලක හෝ නොතිබිණ.

Toulouse Lautrec: Two friends. Art Print, Canvas on Stretcher, Framed  Picture

ගිණිය නොහැකි තරමට විශ්මයාර්ථ ලකුණු ඇඳී තිබූ ඇගේ දෑස් දෙස මොහොතක් එක එල්ලේ ම බලා සිටි මම ‘‘දුලිකා...’’ යැයි පවසනා අතර ම ඇගේ ළය මඬල මත මගේ හිස හොවාගත්තෙමි. එහෙත් ඉකි ගසනවා හැර වෙනත් කිසිවක් පැවසීමට තරම් මානසික හෝ කායික ශක්තියක් මා සතුව නොපැවතිණ.

මට හැකි තරම් හඩන්නට ඉඩ හැරි දුලිකා විනාඩි තුන හතරකට පසු මගේ හිස අතගෑවේ ‘‘දැන් ඇඬුව ඇති... කතා කරපන්.’’ යන වදන් ඇගේ මුවෙන් පිට නොකරමිනි. එහෙත් ඇගේ හදවතේ ලියැවී ඇති ඒ වදන් මගේ මනසේ චිත්‍රණය විය.

‘‘ඇත්තට ම දුලී මට මොකද්ද උණේ...’’

කිසිවක් කර කියාගැනීමට නොහැකි තරම් අසරණව සිටි මම දුලිකාගෙන් විමසුවෙමි.

 

‘‘උණේ...! තවම මොකවත් උනේ නැහැ හැබැයි ඉස්සරහට නං ලොකු දෙයක් වේවි හොඳේ...’’

 

ඉවර නෑ...

 

jayasiri 04 e1619629387941

ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 

වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


 

Leader Whats app

 

 

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...