BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 10: දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. - ජයසිරි අලවත්ත ලියයි

T

The Leader

March 15, 2022 • 12:05 AM

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. - ජයසිරි අලවත්ත ලියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘ටීචර්... ත්‍රීවිල් එක ආව. සමන්ති ත්‍රීවිල් එක ගාවට ඒවි. අපි යං අහිංසනා.’’
  • එතෙක් මා අසල සිටි කාංචනා මිස් ද මා සමග මනසෙන් කළ ගනුදෙනුව අවසන් කළ බව හැඟුණේ ඇය ද ඉඳ සිටි අසුනෙන් නැගි සිටි බැවිනි.
  • මෙහි මා නොදන්නා, මට සඟවන කුමක් හෝ සිදුව ඇති බව පැහැදිලි ය.
  • කවුද අහිංසනා මේ වෙලාවෙ ගෙදර ඉන්නෙ...?’’ කාංචනා මිස් එසේ විමසන විට යළි සිහි විකල්වන බවක් මට හැඟිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

සිතුවිලි අතර සැඟවී සිටි මා යළි මතුපිටට පැමිණියේ දුලීකාගේ කටහඬ දෙසවනට රිංගූ බැවිනි. එතෙක් මා අසල සිටි කාංචනා මිස් ද මා සමග මනසෙන් කළ ගනුදෙනුව අවසන් කළ බව හැඟුණේ ඇය ද ඉඳ සිටි අසුනෙන් නැගි සිටි බැවිනි.

‘‘දුලීකා... මෙහාට එන්න දරුවො පොඩ්ඩක්...’’

අසුනෙන් නැගිට දුලීකා එන මගට ගිය කාංචනා මිස් ඇය කැඳවාගෙන කාමරයෙන් පිටතට ගියා ය. මෙහි මා නොදන්නා, මට සඟවන කුමක් හෝ සිදුව ඇති බව පැහැදිලි ය. නමුදු ඒ කුමක් ද යන්න අපැහැදිලි ය. එය පැහැදිලි කරගත හැක්කේ දුලීකාගෙන් ම පමණි. දැන් මා සමග ඇය ද මගේ නිවසට යාමට පැමිණීම මට මහත් සහනයකි. එවිට නිවසට යාමට පෙර ඒ සියල්ල මට දැනගත හැකි ය.

 

Pin op inspiration quotidienneනමුදු එළඹි නිමේෂයේ දී ඒ සියලු බලාපොරොත්තු සිඳී බිඳී ගියේ පවතින පාලන ක්‍රමයට විරෝධය දක්වන පිරිස් සීනිගම දේවාලයට ගොස් දෙවියන්ට පළිගසන පොල් ගෙඩියක් බිඳී විසිරී යන්නා සේ ය.

 

‘‘එහෙම නං දුලීක ඔයා පංතියට යන්න. මමයි සමන්තියි අහිංසනාලගෙ ගෙදර ගිහිං එන්නං... කවුද අහිංසනා මේ වෙලාවෙ ගෙදර ඉන්නෙ...?’’

කාංචනා මිස් එසේ විමසන විට යළි සිහි විකල්වන බවක් මට හැඟිණ. නුමුදු එය ප්‍රදර්ශනය නොකළ මා ‘‘ ආ... මො.. මොකද්ද මිස් ඇහුවෙ...?’’ යැයි විමසුවේ මිස් ඇසු දෙය නොඇසුණ නිසා නොව මිස් දුලීකාට පැවසූ දේ වඩාත් තහවුරු කරගනු පිණිස ය.

‘‘මං ඇහුවෙ ළමයො මේ වෙලාවෙ ගෙදර ඉන්නෙ කවුද කියල...’’

කාංචනා මිස් එවර විමසුවේ තරමක් රළු ස්වරයෙනි.

Abstract Woman Pictures, Photos, and Images for Facebook, Tumblr,  Pinterest, and Twitter

‘මං බොරුවක් කරනව කියල මිස්ට දැනුණ ද... නෑ නෑ... එහෙම වෙන්න බෑ’

‘‘මිස් මේ... මේ... මේ වෙලාවෙ නං ඉතිං ගෙදර ඇත්තෙ කමලාවතී නැන්ද විතරයි. ඇ... ඇයි මිස්...’’

‘‘ආ... කමක් නෑ... අපි ගෙදර ගිහිං අම්මට කෝල් එකක් ගමු. හරි... අපි යං... එහෙනං දුලීක... ඔයා පංතියට යන්න. හැබැයි ඕප දූප අහන්නත් එපා... කතා කරන්නත් එපා... තේරුණා ද...?’’

කාංචනා මිස් දුලිකාට අණ කළේ සුපුරුදු ගුරු භූමිකාවට අවතීර්ණ වෙමිනි. කාංචනා ද ‘‘හොඳයි මිස්’’ මිස් යැයි පැවසුවා හැර වෙනත් කිසිවක් ම නොවිමසා පිටව ගියා ය. මාත් කාංචනා මිසුත් ත්‍රී විලරය අසලට යන විට සමන්ති ද ඒ අසල සිටගෙන ගුරු විවේකාගාරය දෙස නෙත් යොමා සිටියේ වැඩිවියට පත් දැරියක කාමරයෙන් එළියට කැඳවාගෙන එනවා වැනි හැඟීමෙනි.

****

11 Female Abstract Expressionists Who Are Not Helen Frankenthaler - Artsy

නිවසට පැමිණෙන තෙක් අපි තිදෙනා අතර එකදු වදනක් හෝ හුවමාරු නොවිණ. එය ද මට ගැටලු සහගත ය. නමුදු සිදුවන යමක් වේ නම් එයට මුහුණ දෙනවා මිස වෙනත් කිසිවක් ම කළ නොහැකි බව සක් සුදක් සේ ම පැහැදිලි ය. මා කාමරය තුළට ම ඇරලූ කාංචනා මිස් ‘‘දරුවො... මට දෙන්න අම්මගෙ ෆෝන් නම්බර් එක... මං කොල් එකක් දාල ම යන්නං... සමන්ති... ඔය බෑග් එක අර මේසෙ උඩිං තියල ත්‍රීවිලර් එක ගාවට යන්න. කියන්න මං ඉක්මනට එන්නං කියල,’’ යැයි පවසා මා පැවසු අංකය ඇගේ දුරකතනයේ සටහන් කරගත්තා ය. ඉක්බිති ‘‘කමලාවතී... කමලාවතී,’’ යැයි හඬ නගන අතර යළි මා දෙසට හැරී ‘‘එහෙනං... ඔයා ඇඳුම් මාරු කරල වොෂ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරන්න. බයවෙන්න එපා. මං අම්මත් එක්ක කතා කරලයි යන්නෙ,’’ යැයි පවසා දොර වසා පිටව ගියා ය.

ඇය මව සමග කතා කරන්නේ මොනවා ද යන්න දැනගැනීමේ දැඩි අවශ්‍යතාවක් පැවතිය ද එය කළ නොහැකි ය. කාංචනා මිස් දොර වසාගෙන පිටවූයේ මට එළියට නොපැමිණෙන ලෙස නොකියා කියමිනි. ඉදින් මා කෙසේ නම් දොර විවෘත කර පිටතට යන්න ද...

විනාඩි පහක් හෝ ගෙවී යාමට මත්තෙන් යළි කාංචනා මිස්ගේ හඬ රැව් දුන්නේ ය; ඒ, දොරට පිටතිනි.

‘‘අහිංසනා... අහිංසනා...’’

මා දොර විවෘත කිරීමට සුදානම් වුව ද යළි කාංචනා මිස්ගේ හඬ දොර විනිවිද මගේ දෙසවන් කරා ඇතුළු විය.

‘‘නෑ නෑ... දුව... දොර අරින්න ඕන නෑ... මං අම්මට කතා කරා... ඒ නිසා කලබල වෙන්න එපා. ආ... ඔයා හෙට ඉස්කෝලෙ එන්න ඕනෙ නෑ. මං අම්ට කිව්ව ඇවිත් මාව හම්බවෙන්න කියල. ඔයා රෙස්ට් කරන්න. මං යනව...’’

ප්‍රශ්න කිරීමට ඉඩක් නොතබා ම කාංචනා මිස් කාමරය අසලින් ඉවත්ව යන බව ඇගේ පාවහන්, සාලයේ පොළොව බදා සිටින පිගන් ගඩොල් සමග ගැටෙන හඬ සාක්ෂි දැරී ය. ඒ සමග ම යළි දෙසවන් කරා ඇතුළු වූයේ කමලාවති නැන්දාගේ හඬ ය.

‘‘පොඩි බේබි... පොඩි බේබී... මං බොන්න මොනව හරි ගේන්න ද... එහෙම නැහ්නං බේබි වොෂ් එකක් දාගෙන මට කතා කරනව ද?’’

 

Burn Digital Art by Scott Smith

මේ මොහොතේ මට වුවමනා කිසිවක් බීම නොව හොඳින් නිදාගැනීම ය. එවිට මේ මොහොතේ සිත දවන ගින්න ද, ගත දවන ගින්න ද තාවකාලිකව හෝ නිවී යනු ඇත. එය මහත් ම සැනසිල්ලකි.

 

‘‘නෑ නැන්දෙ... ඕනෙ නෑ... මං වොෂ් එකක් දාගෙන ටිකක් නිදාගන්නං. මං කතා කරනකං මට කතා කරන්න එපා...’’

‘‘හා බේබි... එහෙනං නිදාගන්න...’’ යැයි පැවසූ කමලාවතී නැන්දාගේ දෙපා ද කෙමෙන් කෙමෙන් කාමරයෙන් ඈත්ව මුළුතැන් ගෙය දෙසට ඇදෙන ආකාරය මම මනසින් දුටුවෙමි.

******

‘‘දුව... දුව... ඔයා තාම නිදිද ද...? මේ දොර අරින්න දුව...’’

 

ඝනඳුරු ගුහාවක සිරවී සිටි මට ඒ වදන් පෙළ හමා ආයේ කිනම් දිසාවකින් ද යන්න පවා නිනව් නොවී ය; තදින් පියවී තිබූ දෙනෙත් විවර කරන්නට යත්න දැරුව ද එසේ කළ නොහැකි බව හැඟිණ.

 

‘‘දුව... මේ දොර අරින්න...’’

යළිත් ඒ හඬ දෙසවනට ඇතුළු විය; එවර නම් හඬ පැහැදිලි ය; ඒ අම්මාගේ හඬ ය. එක් වර ම අවදිව ඍජු කෝණ හැඩයෙන් සයනය මත වාඩි වූ මා ‘‘ඉන්න අම්මා ඉන්න...’’ යැයි පැවසුවේ ස්වංක්‍රීයව ම ය.

‘‘ආ... ඔයාට හොඳට ම නින්ද ගිහිං වගේ... හරි දුව... කලබල නැතුව ඇවිත් දොර අරින්නකෝ...’’

සැබැවින් ම මා පියවි සිහියට පැමිණියේ අම්මාගේ ඒ වදන් කිහිපයෙනි. එතෙක් මා කළ කී සියල්ල සුළගේ පාවී යන්නාක් මෙන් මට හැඟිණ; වහා නැගිට ගොස් දොර විවර කළේ පූර්ණ සිහියැති පුද්ගලයෙකු ලෙසිනි.

Midwifery Basics 4. Motherhood, Mothering and Infant Feeding | All4Maternity

‘‘අම්මා...’’

මට පැවසිය හැකි වූයේ එපමණකි. මා බදා වැලඳගත් අම්මා... ‘‘හරි හරි... මට කාංචනා මිස් හැම දෙයක් ම කිව්ව. මං ඒ වෙලාවෙ ම එන්නයි හැදුවෙ... ඒත් මිස් කිව්ව ඔයාට අමාරුවක් නෑ කියල. ඒකයි ඉස්කෝලෙ ඇරිල ම ආවෙ,’’ යැයි පවසා මගේ දෑතින් ම අල්ලාගෙන ගොස් සයනය මත වාඩිවූවා ය.

ඇය තවමත් සිටින්නේ ඔසරිය ඇඳගත් ගමන්ම ය. විදුහල්පතිනියක වන ඈ රාජකාරිය ද නවතා දමා එන්නට සැරසුණ ද කාංචනා මිස් එය වළකාලන්නට ඇත්තේ මට බරපතළ අසනීපයක් නොමැති බව හැඟුණ බැවින් විය හැකි ය. එහෙත් ඇය අම්මාට මොනවා කියන්නට ඇති ද... මම අම්මාගේ ඇකයේ හිස හොවාගෙන ඇගේ උවන දෙස ඍජුව ම බලා සිටියෙමි. ඇය ද නිහඩව ම මගේ උවන දෙස බලා සිටියා ය.

‘‘කියන්න අම්මෙ... මට මොනවද වෙලා තියෙන්නෙ... කවුරුවත් මොකවත් ම කියන්නෑ... හැමෝ ම ගල් ගිලල වගේ... මට මොකක් හරි අසනීපයක් ද අම්මෙ...?’’

 

වදනකුදු නොදෙඩූ ඇය ඇගේ දෙනෙත් පුරා ආදරය මුසු සිහින් සිනාවක් සිතුවම් කරගනිමින් මගේ හිස අතගැවා ය; මගේ උවනේ ඇඳී ඇත්තේ කුමනාකාරයේ සිතුවමක් දැයි පිරික්සන්නට මෙන් ඇගේ දෙනෙත් මගේ උවන පුරා සක්මන් කෙරව්වා ය. මගේ උවනේ සිතුවම් වී තිබූ කිසිවක් නිවැරැදිව කියවාගත නොහැකි වූ ඇය අසරණව ද, අනුකම්පාසහගතව ද, කරුණාබරිතව ද ඇගේ දෙනෙත් සහ මගේ දෙනෙත් සරල රේඛා දෙකක තබා දශමයක් හෝ වෙනස් නොවන ලෙස රඳවාගත්තා ය.

 

‘‘කියන්න මගෙ පැටියො... ඔයාට විශේෂ අසනීපයක් නෑ නේද...? එහෙම දැනෙනව නං අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු ද...?’’ 

ඇගේ හිස පහත් කර, මගේ එක් කොපුලක් සිපගන්නා අතර විමසුවා ය.

‘ඇත්තට ම මට එහෙම අසනීපයක් තියෙනව ද... මට මොනවද උණේ කියල මංවත් දන්නැතිව මං කොහොමද අම්මට උත්තර දෙන්නෙ...’

 

‘‘ඇයි දුව ඔයා කල්පනා කරන්නෙ... කියන්න... දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව...’’

 

අමෝද්‍ය සර් පිළිබඳ සිහින දකිමින් සිටි මා ඒ මොහොතේ ක්‍රියා කර ඇත්තේ කෙසේ ද කියා නොදැන අම්මාගේ පැනයට පිළිතුරු සැපයිය නොහැකි ය. එබැවින් මගේ පිළිතුර පමා කළ යුතු ය; ඔවු හෙට දිනයේ සිදුවන්නේ කුමක් දැයි අවධානයෙන් සිට ඊට අනුකුලව කටයුතු කළ යුතු ය.

‘‘නෑ අම්ම... මට එහෙම විශේෂ අසනීපයක් නෑ. ඇත්තට ම ඒ වෙලාවෙ උණේ මොනවද කියල මමවත් දන්නෑ අම්මෙ... කෝ... අපේ එකෙක්කත් මොකවත් කියන්නෙත් නෑ නෙ අම්මෙ. දැන්නං මට කිසිම ලෙඩක් නෑ අම්මෙ... මට බඩගිනියි... අපි කෑම කමුද අම්මෙ...?’’

ඇගේ ඇකයෙන් හිස ඔසවාගත් මා ඇය මෙන් ම ඇගේ එක් කොපුලක් සිපගෙන නැගී සිටියා ය. ඒ සමග ම අම්මා සාලයේ තබා ආ ඇගේ අත්බෑගයේ තිබෙන ජංගම දුරකතනය නාද විය.

ඉවර නෑ...


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2022/03/15    


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් - වජ්ජා’වජ්ජ 07

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 


 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...