BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 53 : අද නං මෙයාට හොඳට ම මල පැනල - (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

January 13, 2023 • 7:34 AM

වජ්ජා’වජ්ජ 53 : අද නං මෙයාට හොඳට ම මල පැනල - (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘හාමුදුරුවනේ... මං තව එක යෝජනාවක් කරන්නං... ඔබවහන්සේ ඒකට කැමති ද අකමැතිද කියන්නකො...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඍජුව ම හාමුදුරුවන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් ග්‍රහණයට නතු කරගත්තේ ය.
  • ඇත්තට ම මහත්තයො මං මේ දේ කරන්නෙ මේ නෝනගෙ තියෙන අන්න ඒ කළගුණ සැලකීමේ ලක්ෂණයට.
  • එනම් ඔවුන් දෙපළ මැටිවිලියට යා යුතු බව ත්‍රී රෝද රථ රියදුරු දන්නේ කෙසේ ද යන පැනය යි.
  • රියදුරු, ඔහුගේ ඉදිරිපිට මඳක් ඉහළින් සවි කර ඇති කණ්ණාඩිය දෙස බලා ‘‘සර්...
අකුරු ප්‍රමාණය (Font Size):

 

‘‘හම්ම්ම්... මේ ශාලාවෙන් පිටට පොත ගෙනියන්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් තියෙනව නං කියන්න මහත්තෙයො. මං ඒ උදව්ව කරන්නං.’’


‘‘මේකයි හාමුදුරුවනේ මගේ යෝජනාව....’’

*         *          *          *          *          *          *          *          *

ප්‍රතිෂ්ඨගේ යෝජනාවට සාවධානව සවන් යොමා සිටි හාමුදුරුවෝ ‘‘ම්ම්ම්... ඔවු... ඒකත් නරක නෑ. ඒත් අපිට පොත එළියට ගෙනිහින් තමයි...’’ යැයි පවසත් ම ඊට බාධා කළ ප්‍රතිෂ්ඨ ‘‘නෑ නෑ හාමුදුරුවනේ... අපි ඒ හැම දෙයක් ම අරගෙන එන්නං. පොඩි වෙලාවකට... ඒ කියන්නෙ හාමදුරුවනේ පොත බයින්ඩ් කරගන්න නං ටවුමට පොඩ්ඩක් ගෙනියන්න වෙනව. මේ...’’

Buddhist monks are standing in front of windows in the morning light.එවර හාමුදුරුවෝ ප්‍රතිෂ්ඨගේ අදහස අතරමැදට පැමිණ ‘‘හරි හරි... මට තේරෙනව... කමක් නෑ කමක් නෑ... අපි එහෙම කරමුකෝ. මොකද ඔය නෝනයි මහත්තයයි මේ කටයුත්ත කරන්නෙ තමන්ගෙ යෙහෙළිය වෙනුවෙන් නෙ... ඇත්තට ම මහත්තයො මං මේ දේ කරන්නෙ මේ නෝනගෙ තියෙන අන්න ඒ කළගුණ සැලකීමේ ලක්ෂණයට. නෑ මං කියන්නෙ මේ... වෙන කෙනෙක් නං මෙච්චර මහන්සි වෙන්නෑ නෙ... ‘අනේ ෂොරි ඒ පොත හොයාගන්න නෑ නෙ...’ කියල මගඇරල ඉන්නව නෙ... නමුත් මේ සචේතනී නෝන එහෙම නොයිඳ තමන්ගෙ යෙහෙළිය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනව නෙ... ඉතිං මට ඇයි බැරි මගේ පැත්තෙං කරන්න පුළුවං මේ පුංචි උදව්ව කරන්න. අපි එහෙම කරමු මහත්තයො.’’
 
 
මෙතෙක් තිබූ: මහේශාක්‍ය, උද්ධච්ච, ආඩම්බරකාර ස්වරූපය වාෂ්ප වී ගොස් ඉතා නම්‍යශිලීත්වයක් පෙන්නුම් කළ උන්වහන්සේ ප්‍රතිෂ්ඨගේ යෝජනාවට සිය පූර්ණ කැමැත්ත පළ කළහ.
 
 
‘‘එහෙම නං හාමුදුරුවනේ... අපි කවද්ද ආයෙ එන්න ඕනෙ...?’’

වුවමනාව පවතින්නේ සචේතනීට වන බැවින් ඇය ක්ෂණයෙන් විමසුවා ය.

‘‘නෝනල කැමති දවසක...’’

සචේතනීගේ පැනය වැඩි මායිම් නොකළ උන්වහන්සේ පිළිවදන් සැපයූහ.

එසැණින් සචේතනී ප්‍රතිෂ්ඨ වෙත ඇගේ දෙනෙත් යොමු කළේ ‘ඔයාට පුළුවං දවසක් කියන්නකො...’ යන වදන් දෙනෙත් තුළින් ප්‍රදර්ශනය කරමිනි. ඒ බැල්මේ සැඟව පවතින වදන් කියවාගැනීම ප්‍රතිෂ්ඨට ද එතරම් අපහසු නොවිණ.

‘‘එහෙනං ඉති අපි Next Saturday එමු... කමක් නෑනෙ හාමුදුරුවනේ...?’’ යැයි විමසූ ප්‍රතිෂ්ඨ හාමුදුරවන්ගේ මුවෙන් ගිලිහෙන වදන් මොනවාදැයි විමසිලිමත් විය.

ඒ වන විටත් සචේතනීගේ සිරුරේ දෙනෙත් අලවාගෙන සිටි හාමුදුරුවෝ එක පැහැර සිහිනයෙන් අවදිවූවා සේ තිගැස්සී ක්ෂණිකව ම සිවුරු පොට සකසාගන්නා අතර ‘‘ඔවු... නෝනලට පුළුවන්නම් එදාට යොදාගන්න. මේ... හදිසියෙවත් එන්න බැරි වෙනව නං විතරක් මට කලින් කෝල් එකක් දෙන්න.’’ යැයි පැවසුවේ යලි සචේතනිගේ රුව විඳීමේ අනාගත බලාපොරොත්තු සිතේ රඳවාගෙන ය.

‘‘හොඳයි හාමුදුරුවනේ... එහෙනං... අපි ගිහිං එන්නං’’ යැයි පවසන අතර ම හාමුදුරුවන් ආසන්නයට ගිය සචේතනී උන්වහන්සේට වැඳ නමස්කාර කළා ය. උන්වහන්සේ ද ‘‘සුවපත්වේවා...!’’ යැයි පවසා එසැණින් ම... ‘‘මේ... යන්න කලිං තේ ටිකක් බීල යන්න එන්න...’’ යැයි පවසන විට ම ප්‍රතිෂ්ඨ ද පැමිණ උන්වහන්සේට වැඳ නමස්කාර කළේ ය. එවිට ද ‘‘සුවපත්වේවා...!’’ යැයි පවසා එසැණින් ම ‘‘යං මහත්තයො... අපි තේ ටිකක් බීලම යමු...’’ යැයි පවසා පුස්තකාලයෙන් පිටතට වැඩම කළහ; සචේතනී සහ ප්‍රතිෂ්ඨ ද හාමුදුරුවන් පසු පස පැමිණ පුස්තකාලයෙන් පිටතට පැමිණියහ.
 
 
Tibet 1363 1024x684

හාමුදුරුවෝ පුස්තකාලයේ දොර වසා, සිය ඉණතුරේ ගසාගෙන සිටි යතුරු කැරැල්ලේ එක් යතුරක් තෝරාගෙන එම යතුරෙන් දොරගුළ දැමූහ; ඉක්බිති යළි යතුරු කැරැල්ල ඉණතුරෙහි ගසාගෙන ‘‘එන්න...’’ යැයි පවසා පෙර පැමිණි මගට පිළිපැන්නාහ. ප්‍රතිෂ්ඨ සහ සචේතනී ද උන්වහන්සේ පසුපස වැටුණාහ.

*         *          *          *          *          *          *          *          *

තේ පැන් සංග්‍රහයෙන් ඉක්බිති ප්‍රතිෂ්ට සහ සචේතනී පන්සල් භූමියෙන් පිටතට පැමිණියහ; පාලම ද පසු කළ දෙපළ ඔවුන් පන්සල වෙත එන අවස්ථාවේ ත්‍රී රෝද රථයෙන් බැසගත් ස්ථානයට ද ළඟා විය. එහෙත් එකිනෙකා සමග වදනකදු හුවමාරු කර නොගත්තේ ය.

‘දැන් මොකද කරන්නෙ...?’ යන වදන් දෙනෙත්වල සටහන් කරගත් දෙදෙනා, දෙදෙනාගේ උවනත් දෙස අවධානය යොමු කරත් ම ත්‍රී රෝද රථයක් ඔවුන් අසලට ළඟා විය. එහි සිටි රියදුරු හිස පිටතට දමා, ඉතා සුහද ස්මිතයක් පා ‘‘යමු සර්... මැටිවිලියට නේද...?’’ යැයි විමසි ය.

එක්වර ම ප්‍රතිෂ්ඨගේ සහ සචේතනිගේ අවධානය ත්‍රී රෝද රථයේ රියදුරු වෙත යොමු විය. ඒ, එකම පැනයක් දෙදෙනාගේ ම මනසට නැගුණ බැවිනි. එනම් ඔවුන් දෙපළ මැටිවිලියට යා යුතු බව ත්‍රී රෝද රථ රියදුරු දන්නේ කෙසේ ද යන පැනය යි. යළි දෙදෙනාගේ ඔවුනොවුන් දෙදෙනාගේ දෙනෙත් කියවන්නට සූදානම් වත් ම මෙතෙක් අගුළු ලා සිටි මුව පළමුව විවර කළේ ප්‍රතිෂ්ඨ ය.  

‘‘එහෙනං අපි මේකෙ යං...’’

8b98b18d1129f17badca33ecd3df8d59කිසිවක් ම නොපැවසූ සචේතනී සිය සිරුරේ බර රථයේ අසුන මත රැඳවූ පසු ප්‍රතිෂ්ඨ ද ඇය අසලින් ම සිය සිරුර රැඳවූයේ කිසිදු හැඟීමකින් තොරව ය.

‘‘යං මල්ලි...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ ඍජුව ම ත්‍රී රෝද රථයේ ඉදිරිපස වීදුරුවෙන් දක්නට ලැබෙන දර්ශන පෙළ දෙස විනාඩි කිහිපයක් අවධානය යොමු කරගෙන සිට ‘‘මේ... ඔයා කොහොම ද මල්ලි අපි මැටිවිලියට යනව කියල දන්නෙ...’’ යැයි විමසී ය.

රියදුරු, ඔහුගේ ඉදිරිපිට මඳක් ඉහළින් සවි කර ඇති කණ්ණාඩිය දෙස බලා ‘‘සර්... මගෙන් ද ඇහුවෙ...?’’ යැයි විමසුවේ මන්දස්මිතයක් ද උවන පුරා සිතුවම් කරගනිමිනි.

‘‘නැතුව මනුස්සයො... වෙන කාගෙන්ද...?’’ යැයි ප්‍රතිෂ්ඨ පෙරළා විමසුවේ අමනාප ස්වරයෙනි. සැබැවින් ම ඒ අමනාපය රියදුරු සමග නොව සචේතනී සමග ය...’’

‘‘සොරි සර්... මං දැක්ක සර්ල ඇවිදිං බහිනව. ඒ වාහනේ පාර්ක් කරන්නෙ මැටිවිලිය හංදියෙ නෙ... ඒ හිංද මං හිතුව සර්ල යන්නෙ මැටිවිලියට කියල.’’

රියදුරුගේ පිළිතුරත් සමග ම ප්‍රතිෂ්ඨගේ මුහුණ පුරා තැවරී තිබූ අඳුරු පැහැය තරමක් පැහැපත් විය. ඔහු සිරුර මඳක් පහත් කර හිස රියදුරු අසුනට ළං කර, ‘‘මේ... දැං ඔයා මැටිවිලියෙං එහාට හයර් යන් නැද්ද...?’’ යැයි විමසී ය.

එසේ ඇසූ සැණින්, වාහනය ධාවනය කරන අතර ම හිස පිටුපස හැරවූ රියදුරු ‘‘ඇ... ඇයි සර් එහෙම ඇහුවෙ...?’’ යැයි විමසුවේ තරමක් විමතියෙනි.
 
 
Escher 4

මේ වන විට සචේතනි ද යම් වික්ෂිප්ත භාවයකට පැමිණ සිටියා ය. ඒ, ප්‍රතිෂ්ඨගේ හැසිරීම සම්බන්ධයෙනි. එහෙත් ඇය කිසිවක් නොවිමසා ම ප්‍රතිෂ්ඨගේ හැසිරීම් අධ්‍යයනයේ පමණක් නිරත වූවා ය.

‘‘නෑ නෑ... අපිට යන්න ඕනෙ ඇල්පිටියට මල්ලි... ඒකයි මං එහෙම ඇහුවෙ,’’ යැයි පැවසූ ඔහු ඉතා සිහින් ස්මිතයක් උවනෙහි තවරාගනිමින් එය සචේතනී වෙත පා කර හැරී ය. එය බාරගන්නා බව හැඟවූ සචේතනීට ඔහුගේ දෙනෙත්වල සටහන් වි තිබුණේ ‘කමක් නෑ නේද...?’ යන තෙවදන බව වටහාගන්නට අපහසු නොවිණ; ඇය ද පෙරළා පෑ මන්දස්මිතයකින් කියා පෑවේ ‘ඔයාගෙ කැමැත්තක්’ය යන්න වටහාගන්නට ප්‍රතිෂ්ඨ ද සමත් විය. යළි පෙර සේම රියදුරාට ආසන්න වූ ප්‍රතිෂ්ඨ ‘‘ටිකක් ඉක්මන් කරල යමු නේ මල්ලි,’’ යැයි පැවසී ය. රියදුර ද ‘‘හරි සර්’’ යැයි පැවසුවේ තමා ඉදිරියේ ඇති කණ්ණාඩියේ ඔහුගේ දෙනෙත් අලවා, ඒ දෙනෙත් ප්‍රතිෂ්ඨ වෙත පරාවර්තනය කරන අතර ය.

*         *          *          *          *          *          *          *          *

2ae90c4127df97af90b8c00e75f70f8eමිනිත්තු විස්සක් ඉක්ම යන්නට මත්තෙන් ත්‍රී රෝද රථය ඇල්පිටියට ළඟා විය. ප්‍රතිෂ්ඨ වාහනයෙන් බැසගත්තේ කලිසමෙහි පිටුපස සාක්කුවේ බහා තිබූ මුදල් පසුමිබිය ද අතට අරගන්නා අතර ය. ඒ, ඔහු රියදුරුගේ මුදල් ගෙවන බවට වූ සංඥාව ය; සචේතනී ද ඊට විරුද්ධත්වයක් නොපෑවා ය.

‘දැං මං මේක ගෙවන්න හැදුවොත් ත්‍රීවිල්කාරය අනිවාර්යයෙං අපි ගැන වෙන විදියකට හිතනව. මොකද මෙයා චේචර වෙලා මාත් එක්ක එක වචනයක් කතා කරේ නැහැ නෙ... ඒ නිසා ඔන්න ඔහෙ ගෙවපුවාවෙ.’

ඒ සිතුවිලි අතරින් ම සචේතනී ද සිය සිරුර රථයෙන් පිටතට ගත්තා ය.

රියදුරුගේ මුදල ගෙවූ ප්‍රතිෂ්ඨ ආපසු හැරී සචේතනිගේ උවන දෙස එක් වරක් බලා ඉදිරියට ගමන් කළේ ‘එනව යන්න,’ යන දෙවදන සුළඟේ පා කරමිනි. සචේතනීට ඔහුගේ හඬ නෑසුණ ද ඔහුගේ ඉරියව් කියවා ගත්තා ය; එහෙයින් ඇය නිහඬව ම ඔහු පසුපස ම ඇදුණා ය.

‘මං දන්නව මෙයාගෙ මල පැනල තියෙන්නෙ ඇයි කියල. ඒ වෙලාවෙ මං එහෙම නොකියන්න අර හාමුදුරුවො...’ යැයි ඇය සිතත් ම ප්‍රතිෂ්ඨ, සචේතනී තමා පසු පස එනවාදැයි සැක හැර දැනගැනීම සඳහා ආපසු හැරී බැලී ය. ඔහු නිවැරැදි ය; ඇය, කිසිදු කතාබහකින් තොරව ඔහු පසුපස ම ඇදෙන්නී ය. ඔහු, යළි ඉදිරියට ගමන් කළේ ය.
 
 
කිසිදු කතාබහකින් තොරව බස් නැවතුම් පොළට පැමිණි දෙපළ අධිවේගි මාර්ගය ඔස්සේ මහරගම බලා පිටත්වන බස් රථයකට ගොඩනැගුණහ; පළමුව බස් රථයට ගොඩ වූ ප්‍රතිෂ්ඨ ඍජුව ම අවධානය යොමු කළේ පසුපස ම පිහිටි අසුන වෙත ය; ඔහුගේ මුවේ මන්දස්මිතයක් සිතුවම් වුව ද ආපසු නොහැරුණු හෙතෙම ඍජුව ම එම අසුන ආසන්නයට ගොස් සිටගෙන සිටියේ ‘ඔයා කොනෙන් වාඩිවෙන්න’ යැයි වදනින් නොපවසමිනි. ඔහුගේ නිහඬ භාවය තුළ රැඳී පවත්නා අදහස වටහාගත් සචේතනී පසුපසම අසුනේ දකුණු පස විදුරුව ආසන්නයට ගොස් අසුන්ගත්තා ය; ඒ සමග ම ප්‍රතිෂ්ඨ ද ඇය ආසන්නයෙන් ම අසුන් ගත්තේ පිටතින් සිට ඔවුන් දෙස බලන ඕනැම පුද්ගලයෙකුට ඇය පන්සලේ දී පැවසු දෑ සත්‍යයක් ය යන්න පසක් කරන විලසිනි.
 
 
Fairytale 48x48 mixed media masterඔහු, ඇය අසලින් අසුන්ගත් සැණින් ම ඔහු දෙස ආකර්ෂණීය ස්මිතයක් පා කර හැරි සචේතනී ඉතා මෘදු හඬින් ‘‘මං සල්ලි දෙන්නං හරි ද...’’ යැයි පැවසුවා ය. කිසිදු වදනක් මුවෙන් පිට නොකළ ප්‍රතිෂ්ඨ සිය දෙනෙතින් වදන් දහසක් පමණ විදාරණය කළේ ය. ඒ දෙනෙත් තුළ: ප්‍රශ්නාර්ථයක්, තැතිගැන්මක්, නිහඬතාවක් මෙන් ම දැඩි ආදරණීය බවක් ද සිතුවම් වී තිබිණ. ඒ සියල්ල ම ක්ෂණයකින් කියවා ගන්නට සචේතනී සමත්වූවා ය.

‘ඇත්තට ම මං කරේ වැරැද්දක් ද... එහෙමනං එයා යද්දි ත්‍රීවිල්කාරයට නොකිය කිව්වෙත් මං හාමුදුරුවන්ට කියපු දේ ම නෙවෙයි ද...? එයා ත්‍රීවිලර් එකේදි හැසිරුණෙත් එයයි මායි කපල් එකක් වගේ නෙ...’

‘‘ඔය... සල්ලි ගන්න... සල්ලිගන්න...’’

සිතුවිලි දැහැනින් මිදුණු සචේතනී කොන්දොස්තර වෙත මුදල් ගෙවන මොහොතේ ද ප්‍රතිෂ්ඨගේ සිරුර ඇයට සියුම් උණුසුමක් ලබා දෙමින් ඇය ආසන්නයේ ම රැඳී තිබුණ ද ඔහුගේ මනස වෙනත් කොහේදෝ නොපෙනෙන මානයක රැඳී පවතින බව ඇය වටහාගත්තා ය; එහෙත් ඔහුගෙන් කිසිවක් ම විමසන්නට ඇය බිය වූවා ය.
 
 
කොන්දොස්තරට මුදල් ගෙවා මිනිත්තු දහයක් ඉක්ම යන්නට මත්තෙන් බස් රථය ගමන ඇරඹී ය; එතැන් සිට තවත් මිනිත්තු පහක පමණ කාලයක් ප්‍රතිෂ්ඨ සහ සචේතනී දෙපළ මතු නොව අවට පැවති සියලු සජිවී මෙන් ම අජීවි වස්තු පසු කර ඇදී ගියේ ය. ප්‍රතිෂ්ඨ අසුනට බර වී දිගු කල්පනාවක ය; සචේතනී ද... ඔවුන් පසුකර වේගයෙන් ඇදී යන පරිසරයේ කොහේදෝ තැනක අතරමං වී සිටින්නී ය. තව දුරටත් ඒ තනිකම, පාළුව දරාගත නොවුණු ඇය සෙමෙන් ඇගේ හිස ප්‍රතිෂ්ඨගේ පපුතුරෙහි සැතපුවා ය. ප්‍රතිෂ්ඨ ද නොදැනුවත්ව ඔහුගේ නැහැ තුඩ සචේතනිගේ හිස මත තැවරී ය; ඒ සියුම් උණුසුම දැණුණ සැණින් ඇගේ සිරුරට සිහින් විදුලි සැරයක් ඇතුළු වී ඒ විදුලි සැරය සිහින් රේඛා සමුහයක් ලෙස සමස්ත සිරුර පුරාම ගමන් කළේ ය. ඇය තව තවත් ඇගේ හිසේ බර ඔහුගේ පපුතුර මත ඇතිරුවා ය. ඇගේ උණුසුම් සුසුම් ඔහුගේ පුපු තුර මත තැවරෙමින්, එතැන විනිවිද සිරුර තුළට ගමන් කළේ සමස්ත සිරුර ම සියුම් ගැස්මකට ලක් කරමිනි.
 
 
ඉවර නෑ...


 

නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
 
2023/01/13



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...