BREAKING
Top Ad
වජ්ජා’වජ්ජ

වජ්ජා’වජ්ජ 49 : ඒ මගෙ මහත්තය හාමුදුරුවනේ...- (ජයසිරිගේ නවකතාවක්)

T

The Leader

December 16, 2022 • 12:03 AM

වජ්ජා’වජ්ජ 49 : ඒ මගෙ මහත්තය හාමුදුරුවනේ...- (ජයසිරිගේ නවකතාවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘‘සචේති...! මොකද්ද ඔයාට උණේ... මොකද්ද මං ඔයාට කරපු බොරුව...? ඇයි ඔයා එහෙම කියන්නෙ...?’’
  • ඒ වන විට මන්දගාමි ලෙස පැමිණෙමින් සිටි සචේතනී වේගය මඳක් වැඩි කර ප්‍රතිෂ්ඨ අසලට පැමිණ.
  • ඒ සමග ම සචේතනී ද ප්‍රතිෂ්ඨට සමගාමි ලෙස ඇවිද යන අතර යළි හිස පොළොව දෙසට නැඹුරු කරගත්තා ය.
  •   ඇය අමනාපයෙන් මෙන් ම කිසියම් වික්ෂෝභයකින් පසුවන බව ප්‍රතිෂ්ඨ අවබෝධ කර ගත්තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):



එහෙත් සචේති තවමත් නිහඬ ය... ඇගේ හිස තවමත් පොළොවට නැඹුරු කරගත්වන ම ය...


‘‘සචේති... මොකද මේ...? අපි මෙතන වාද කර කර ඉන්න එක හරි නෑ... අපි යං... යන ගමං කතා කරමුකො...’’


යැයි පැවසූ ප්‍රතිෂ්ඨ සචේතනී විරුද්ධ වුව ද කම් නැතැයි සිතමින් ඇගේ අතක් අල්ලා ගත්තේ ඇය සමග පන්සල දෙසට ගමන් කිරීමේ අදහස පෙරදැරිව ය.


කිසිවක් ම නොපැවසූ සචේතනී, ප්‍රතිෂ්ඨ ඇගේ අත අල්ලාගෙන සිටිය දී ම ඔහු පසු පස ගමන් කළා ය. දෙදෙනා ම පාලම මතට පැමිණි පසු සචේතනී යළි ඔවුන් පසු කර පැමිණි මග දෙ හැරී බලා, ඉදිරියෙන් පෙනෙන තෙක් මානයට ද නෙත් පා කර හැර මන්දගාමීව නතර වූවා ය; ඇය නතර වූ සැණින් අගේ අත අත්හල ප්‍රතිෂ්ඨ ‘‘ඇයි...?’’ යැයි විමසා මඳක් ඉදිරියට ගොස් නතර වී ආපසු හැරිණ. ඒ වන විට මන්දගාමි ලෙස පැමිණෙමින් සිටි සචේතනී වේගය මඳක් වැඩි කර ප්‍රතිෂ්ඨ අසලට පැමිණ. ඍජුවම ඔහුගේ උවන ඇගේ දෙනෙතේ ග්‍රහණයට නතු කරගත්තා ය. එය මායිම් නොකළ ප්‍රතිෂ්ඨ ‘‘නතර වෙන්න එපා... අහන්න තියෙන දෙයක් යන ගමන් අහන්න,’’ යැයි පවසා ඉදිරියට ඇදිණ. ඒ සමග ම සචේතනී ද ප්‍රතිෂ්ඨට සමගාමි ලෙස ඇවිද යන අතර යළි හිස පොළොව දෙසට නැඹුරු කරගත්තා ය.

jashk


‘‘ප්‍රතිෂ්ඨ... ඇයි ඔයා මේ හාමුදුරුවො අඳුරනව කියල මට කලින් නොකිව්වෙ...?’’


එසැණින් ම ප්‍රතිෂ්ඨගේ උවන පුරා සදය උපහාසය පිරි ස්මිතයක් සිතුවම් විණි. එහෙත් එය සචේතනීට දකින්නට නොලැබිණ. ඒ, ඇය තවමත් ගමන් කරන්නේ පොළොව දෙසට නැඹුරු කරගත් හිසෙන් යුතුව බැවිනි.


‘‘ආ... ඒක ද මේ ඩෝං ගියේ...?’’ යැයි පවසත් ම සචේතනී එතෙක් පොළොවට නැඹුරු කරගත් හිස ඔසවා ඇගේ දෙනෙත් ප්‍රතිෂ්ඨ වෙත යොමු කරන විට ඔහු හිස සචේතනී වෙතට හරවා, ඊට මොහොතකට පෙර ඔහුගේ උවන සිතුවම් කරගත් සදය ස්මිතය ඒ ආකාරයෙන් ම රඳවාගන්නට යත්න දැරි ය.


‘‘නැතුව... මට නං හිතෙන්නෙ ඔයා ඒ හාමුදුරුවො දන්නව විතරක් නෙවෙයි මෙහෙ ඇවිල්ලත් තියෙනව ද කොහෙද...’’

 

some women cry by femeitaly d8wcwij fullviewඒ වදන් පෙළ ඇගේ මුවෙන් ගිලිහෙන මොහොතේ ඇගේ උවනේ සටහන් වී තිබුණේ: කහ, රත් සහ රෝස පැහැ මිශ්‍රිත වී නිර්මාණය වූ පැහැයකි. දෙනෙත් දිලිසෙමින් පැවතිණ; ඒ දෙනෙත් තුළ මේ දැන් දැන් පිටතට පනින්නට බලා සිටින අක් බිඳු කිහිපයක් රැඳී තිබිණ.

 

ඇය අමනාපයෙන් මෙන් ම කිසියම් වික්ෂෝභයකින් පසුවන බව ප්‍රතිෂ්ඨ අවබෝධ කර ගත්තේ ය.


‘‘නැ නෑ සචේති... ඇත්තට ම ඔයා හිතන විදියෙ දෙයක් මං කරේ නෑ... අනික එහෙම දෙයක් තියෙනව නං ඔයාට තව ටිකකිං ඒක දැනගන්න ලැබෙයි නෙ...’’ යැයි පැවසුවේ තවත් බොහෝ දේ පැවසීමට ඇතැයි යන සැකයක් සචේතනිගේ මනසේ තැන්පත් කරමිනි.


‘‘එහෙනං ඔයා ඇයි අර ත්‍රීවිල්කාරයට කිව්වෙ හාමුදුරුවො ඔයාගෙ හිතවතෙක් කියල...?’’


සචේතනී පෙරළා විමසුවේ ඇය තුළ පවත්නා සැකය ඒ ආකාරයෙන් ම පවතින බව හඟවමිනි.


‘‘අයියෝ... ඔයාට එහෙමවත් ස්ථානුයෝගි නුවණක් නැද්ද...? හරි... ඔයා ආයෙත් මගෙයි ත්‍රීවිල්කාරයගෙයි සංවාදෙ මතක් කරන්න... මං කියන්නෙ මං හාමුදුරුවො අඳුරණව කිව්වට පස්සෙ ඌ මගෙං ආයෙත් අහපු දේයි, මං ඒකට උත්තර දුන්න විදියයි මතක් කරන්න... ආ... හරි... මතක්ක කරන්නකො...’’


ප්‍රතිෂ්ඨ එසේ පැවසුවේ කිසියම් අභියෝගයක් එල්ල කරන ස්වරයෙනි.


ප්‍රතිෂ්ඨගේ වදන්වලට පිළිතුරු සපයනවා වෙනුවට සචේතනී මොහොතක් මනසෙන් ත්‍රී රෝද රථය වෙත ගමන් කළා ය.

*         *          *          *          *          *          *          *          *

kjss ‘‘ආ... මේ අපේ විමලානන්ද හාමුදුරුවො...’’


‘‘අන්න හරි... මේ.. උන්වහන්සේ මගේ මිත්‍ර ස්වාමින්වහන්සේ නමක්,’’


‘‘ආ... කැම්පස් එකේදි වෙන්නැති නේද මහත්තෙය...?’’


‘‘පන්සලට තව හුඟක් දුර ද මල්ලි...?’’


‘‘ආ... නෑ... දැන්නම් මේ අත දිගඅරින දුර.’’

*         *          *          *          *          *          *          *          *

ත්‍රී රෝද රථ රියදුරා සහ ප්‍රතිෂ්ඨ අතර හුවමාරු වූ දෙබස් යළිත් සචේතනීගේ සවන් පුරා දෝංකාර දුණි.


‘‘ඔවු... මට මතකයි... මට මතකයි එක තැනකදි ඔයා උගේ කතාව මගඇරිය වගේ එකක් උණා. ඇයි ඒ...?’’


යමක් අවබෝධ වූ බව හඟවමින් සචේතනි පැවසුවා ය.


‘‘අන්න හරි... දැන් ඔය මොළේ පෑදෙන්නෙ... මම එහෙම උත්තර දුන්නෙ නැත්තං ඌ අලගිය මුලගිය තැං ඔක්කොම අහනව. ඇර කැම්පස් කතාවට මම උත්තර දුන්නනං ඌ ඒකත් තව දිගඅරිනව. ඒ හිංද තමයි මංතැනට සුදුසු දේ තැනට සුදුසු විදියට ම කරේ...’’


වදනකුදු නොදෙඩූ සචේතනී පරාජය බාරගත්තා සේ යළි හිස පොළොව වෙත නැඹුරු කරගෙන ම ඉදිරියට ගමන් කළා ය.


‘‘දැං හරි ද... දැංවත් තේරුණා ද මං බොරු කිව්වෙ ත්‍රීවිල්කාරයට මිසක් ඔයාට නෙවෙයි කියල,’’ යැයි ප්‍රතිෂ්ඨ විමසන විට වදනින් පිළිවදන් නොසැපයූ සචේතනී පොළොවට නැඹුරු කරගෙන සිටි හිස ඉහළටත් පහළටත් සොලවන අතර දකුණතින් එල්ලාගෙන සිටි පාර්සලය වමතට මාරු කළා ය. ඇගේ අත පාර්සලයක් තිබෙන බව ප්‍රතිෂ්ඨට සිහිපත් වූයේ ඒ නිමේෂයේ ය.

 

5153079569 05d4382c98 b


‘‘ආ... මට අමතක උණා නෙ... දෙන්න මං අරං යන්නං’’ යැයි පවසා ප්‍රතිෂ්ඨ පාර්සලය ඉල්ලූ සැණින් සචේතනී පාර්සලය ප්‍රතිෂ්ඨ වෙත දුන්නී ‘දැන් ඔක්කොම හරි’ යන අදහස දනවමිනි.

 

පාලමෙන් එගොඩ වූ විට දක්නට ලැබුණේ විවිධ වෘක්ෂ ලතාවලින් ගහන පෙදෙසකි. වන ගහනය මැදින් දිව යන මාවත කාපට් අතුරා හෝ තාර දමා හෝ නොතිබිණ. පෙනෙන තෙක් මානයට දක්නට ලැබුණේ බොරලු පමණි. මාවත බොරලු වුව ද එම මාවතේ ඇවිද යන කිසියම් පුද්ගලයෙකු හබරණ පෙදෙසේ ඇති මාර්ගය පසු කර ගොස් ඇති නම් අනිවාර්යයෙන් ම එම පුද්ගලයාට ඒ මාවත සිහිවනු නොඅනුමාන ය. මාවත දෙපස විවිධ වර්ගවලට අයත් ශාක වර්ග අතර අඹ, කොස්, දෙල් සහ දොඩම් යනාදි ගස් වර්ගද දක්නට ලැබිණ. ඒ අතර තේක්ක සහ හොර ගස් ද දක්නට ලැබිණ. ඔවුන් පැමිණ තිබුණේ හොර ගස් දලුලන අවධියේ වන බැවින් සෑම හොර අත්තකම අගිසි සාමාන්‍ය වහරේ ‘‘මෙරුන්’’ යැයි හඳුන්වන වර්ණයෙනක් බැබළිණ.

 

මේ වන විට සචේතනී ද, ප්‍රතිෂ්ඨ ද මීට මොහොතකට පෙර පැවති ත්තත්වය සපුරා ම අමතක කර මාවත දෙපස පිහිටි වන අසිරිය නරඹමින් ම ඉදිරියට ඇදුණාහ.


‘‘ආ... අර තියෙන්නෙ පන්සල වෙන්නැති’’ යැයි විස්මයෙන් මෙන් සචේතනී පැවසුවේ පැරණි ඕලන්ද ගොඩනැගිලි ආකෘතියට ඉදි කර තිබූ ගොඩනැගිල්ල වෙත අත දිගු කරමිනි.


‘‘හම්ම්ම්... එහෙම වෙන්නැති,’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසුවේ වැඩි යමක් පවසන්නට පෙලඹුණහොත් යළි සචේතනීගේ සිතේ සැකයේ බීජ මතුවන්නට හැකි යැයි අනුමාන කරමිනි. එහෙත් සචේතනී ඔහුට නිහඩව ගමන් කරන්නට ඉඩ නොදුන්නා ය.


‘‘මේහ්... ඒක නෙවෙයි ප්‍රතිෂ්ඨ... ඇයි මේක පන්සලක් වෙලත් නිකං පල්ලියක හැඩේට හදල තියෙන්නෙ...?’’

 

asa


‘‘ආ... ඒකට හේතුවක් තියෙනව. මේ වගේ හැඩයට හදපු පන්සල් දකුණෙ හුඟක් තැන්වල තියෙනව. ඒකට හේතුව තමයි ඔය පෘතුගිසිකාරයොයි ලන්දේසිකාරයොයි මේ පළාත් යටත් කරගෙන හිටපු කාලෙ උන්ගෙ අනුග්‍රහයෙන් හදපු පන්සල්. ඒව හුඟක් හැදුවෙ පල්ලිවල ආකෘතියට. හරියට අර චීන ආධාරවලින් හදපු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවයි අලුත්කඩේ උසාවි ගොඩනැගිල්ලයි චීන ගොඩනැගිලි ආකෘතියකට හැදුව වගේ.’’


‘‘ආ... ඒකත් එහෙම ද...?’’


‘‘ඔවු... හැබැයි දැන් ඔයා අහන්න පුළුවන් මේ... අර නෙළුම් පොකුණත් හැදුවෙ චීන ආධාරවලින් නේද... ඇයි එහෙනං ඒක චීන ගොඩනැගිලි ආකෘතියට නැත්තෙ කියල...’’


එවිට මුව පුරා ස්මිතයක් සිතුවම් කරගත් සචේතනී ‘‘ආ... ඇත්තට ම මට එහෙම එකක් නං මතක් උණේ ම නෑ. හැබැයි දැන්නං එහෙම අහන්න හිතුණ... ඇත්තට ම ඇයි එහෙම උණේ...?’’


‘‘ඒක උණේ ද...? ඒක උණේ... ඔය වැඩේ සැලසුම් කරන කාලෙ හිටපු  ජාතික උරුමයන් සහ සංස්කෘතික ඇමතිගෙ යෝජනාවක් නිසා. චීන ගොඩනැගිලි ආකෘතියකට ඔය ගොඩනැගිල්ල හදනවට එයා විරුද්ධ උණා. විරුද්ධ උණා විතරක් නෙවෙයි ‘‘අපි ඒක කුට්ටම් පොකුණෙ හැඩේට හදමු,’’ කියලත් යෝජනා කරා. ඊට පස්සෙ තමයි ඔය ආකෘතියට හැදුවෙ.’’


ප්‍රතිෂ්ඨ ‘නෙළුම් පොකුණ’ පිළිබඳ දීර්ඝ විස්තරයක් කළේ ය.  


ඒ වන විට ඔවුන් දෙපළ පන්සලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ මිදුලට ම පැමිණ තිබිණ. දෙදෙනා ම මඳක් වටපිටාව දෙස අවධානය යොමු කළේ ඔවුන්ට වුමනා හිමි නම පිළිබඳ තොරතුරක් දැනගැනීම සඳහා ය. ඒ මොහොතේ ගොඩැගිල්ලේ දකුණු පසට මඳක් ඔබ්බෙන් පිහිටි තවත් පැරණි, කුඩා ගොඩනැගිල්ලක් වෙත ප්‍රතිෂ්ඨගේ අවධානය යොමු විය. එවිට ම එම ගොඩනැගිල්ලේ සිට පිටතට පැමිණෙන හිමිනමක් ඔහුට දක්නට ලැබිණ.


‘‘සචේති... ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න... මං අර හාමුදුරුවන්ගෙං අහල එන්නං,’’ යැයි පවසා පිටත්වන්නට සූදානම් වත්ම ‘‘ඔහොම යන්නෙපා ප්‍රතිෂ්ඨ... ඔය සපත්තු දෙක ගලවල අර අයිනකිං තියන්න. මාත් සෙරෙප්පු දෙක ගලවල තියන්නං,’’ යැයි පැවසු සැණින් ‘‘අහ්... මට ඒකත් අමතක උණාණෙ...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ පාවහන් යුවළ ද මේස් යුවළ ද ගලවා මේස් යුවළ පාවහන් යුවළ තුළට රිංගවා ආපසු හැරී බලත් ම පෙර දුටු හිමි නම ඔවුන් ඉදිරියේ පෙනී සිටියේ ඔවුන් කිසි සේත් ම බලාපොරොත්තු නොවූ විලසිනි.


‘‘මේ ඇත්තතො මක්කයි මෙතක කරන්නෙ...? බුදුන් වඳින්න ආපු දෙන්නෙක් නං නෙවෙයි වගේ...?’’


හිමි නම විමසුවේ කිසියම් ගුප්ත හඬකිනි.

 

s l400


වහා හිමි ඉදිරියේ දණ නමස්කාර කළ ප්‍රතිෂ්ඨ යළි හිස ඔසවත් ම ‘‘සුවපත් වේවා...!’’ යැයි ආමන්ත්‍රණය කළ හිමි නම එසැණින් ම උන්වහන්සේ අබියස දණ නමස්කාර කළ සචේතනීගේ හිසට අත තබමින් ‘‘සුවපත් වේවා...!’’ යැයි ප්‍රාර්ථනා කළහ.


‘‘හාමුදුරුවනේ... අපි කොළඹ ඉඳල ආවෙ... ලොකු හාමුදුරුවො මුණගැහෙන්න කියල,’’ යයි ඉතා ගෞරව පූර්වක ලෙස පැවසුවේ සචේතනී ය.


‘‘ආ... එහෙමෙයි... ඔය නෝන මහත්තෙයල කලිං දැනුං දුන්නයි...?’’


‘‘එහෙමයි හාමුදුරුවනේ... අපි ඊයෙ උන්නාන්සෙට කෝල් කරා.’’


සචේතනි යළි ඉතා මෘදු හඬින් පැවසුවා ය.


‘‘ආ... එහෙනං ඔහොම්ම ම ඇතුළට යංකො. ලොකු හාමුදුරුවො කාමරේ වැඩ ඉන්නව ඇති. මං ගිහිං උන්නාන්සෙට කියන්නං...’’ යැයි පවසා අඩි කිහිපයක් ඉදිරියට වැඩම කළ හිමි නම ආපසු හැරී ‘‘මේ... කවුරු ඇවිල්ල කියලයි මං කියන්න ඕනෙ...?’’ යැයි විමසී ය.


‘‘හාමුදුරුවනේ... මත්තෙගොඩිං කියන්නකො... පොතක් ගැන කතා කරපු කෙනා කියන්නකො...’’ යැයි පැවසුවේ සචේතනී ය.


‘‘ආ... හොඳයි හොඳයි...’’ යැයි පවසන අතර ම ඉදිරියට වැඩම කළ උන්වහන්සේ ‘‘නෝන මහත්තෙල එන්න... ඇවිත් මෙහෙන් ඉඳගන්න... මං ලොකු හාමුදුරුවොන්ට කියන්නං,’’ යැයි පවසන අතර ම එම ගොඩනැගිල්ලේ ඉස්තෝප්පුව බඳු කොටස දෙසට අත දිගු කර පෙන්වා ගොඩනැගිල්ල තුළට ගමන් කළේ ය.


ඔවුන් අවතීර්ණ වී සිටි කොටසේ මිදුල දෙසට වන්නට මුහුණලා වේවැල්වලින් වියූ ඉපැරණි හැඩැති අසුන් කිහිපයක් තබා තිබිණ. ඊට මුහුණලා ඒ ආකාරයේ ම ඉපැරණි බංකු බඳු අසුන් කිහිපයක් ද තබා තිබිණ. ඒ, ගිහි පුද්ගලයන්ගේ භාවිතය සඳහා බව දෙදෙනා ම අවබෝධ කරගත්ත ද කිසිවෙකු ඒවායේ අසුන් ගන්නට අදහස් නොකළහ. දෙදෙනා ම දෙදෙනාගේ උවනත් දෙස අවධානය යොමු කළේ අසුන් ගන්නවා ද නැද්ද යන්න කිනෙකාගෙන් විමසනවා මෙනි.


‘‘ආ... මේ නෝන වෙන්නැති අර මට පහුගිය දවස්වල කීප සැරයක් ම කතා කරේ...?’’


ඒ ගාම්භීර කට හඩ ඇසුණ සැණින් ප්‍රතිෂ්ඨ සහ සචේතනීගේ අවධානය එදෙසට යොමුවූයේ ස්වංක්‍රීයව මෙනි. ඒ හඩ කිසි සේත් ම හිමි නමක සතු හඩක් නොවිණ.


‘‘එහෙමයි හාමුදුරුවනේ... මම තමයි ඔබවහන්සේට කතා කරේ,’’ යැයි පිළිවදන් සපයන අතර ම ප්‍රතිෂ්ඨ වෙත අවධානය යොමු කළ සචේතනී පළමුවෙන් ම හාමුදුරුවෝ අබියස දණ නමස්කාර කළා ය; ඇය නැගි සිටින විට ‘‘සුවපත් වේවා...! යැයි ආමන්ත්‍රණය කළ හිමි නම ප්‍රතිෂ්ඨ දෙස අවධානය යොමු කළේ ය. ඒ වන විට ඔවුන් රැගෙන ආ පාර්සලය පැවතියේ ප්‍රතිෂ්ඨ අත ය.  ඔහු එම තිබූ පාර්සලය හාමුදුරුවන් වෙත පෑ ය; උන්වහන්සේ එය මත අත තැබූ සැණින් එය පසෙක තිබූ ටීපෝව මත තැබූ  ප්‍රතිෂ්ඨ ද දණ නමස්කාර කළේ ය. ඔහු යළි හිස එසවිමට පෙර ‘‘සුවත් වේවා...!’’ යැයි ආමන්ත්‍රණය කළ හාමුදුරුවෝ ‘‘හම්ම්ම්... නෝන සචේතනී කිව්ව නේද... එතකොට මේ මහත්තෙය...?’’ යැයි විමසා ප්‍රතිෂ්ඨ යමක් පවසන්නට පෙර ම ‘‘ආ... මේ ප්‍රතිෂ්ඨ... මගෙ මහත්තය හාමුදුරුවනේ...’’ යැයි සචේතනී පැවසුවේ කිසිදු අපහසුතාවකින් තොරව ය.


‘‘ආ... ප්‍රතිෂ්ඨ... අපූරු නමක් නොවැ...’’ යැයි හාමුදුරුවෝ හිස ඉහළ පහළ වනමින් විමසන විට ප්‍රතිෂ්ඨ පසු වූයේ දැඩි වික්ෂිප්තභාවයකිනි.


ඉවර නෑ...


මට සිහිනයක් ඇත' ඒ නිසා 'ගොඩයමු' ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)

නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com

2022/12/16



වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස් මෙතනින් බලන්න

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...