BREAKING
Top Ad
වායාම

වායාම : (81) ධර්මධරයන් සහ විනයධරයන් (සුජිත් අක්කරවත්ත)

T

The Leader

July 22, 2023 • 1:33 AM

වායාම : (81) ධර්මධරයන් සහ විනයධරයන් (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බුදු සමය බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සමඟ බෙදී යන්නට විය. එම බෙදුම ථෙරවාදය මහායානය ලෙස ප්‍රකටය. නමුත් මෙම ප්‍රකට වාදයන් නිකායන් ලෙස භේදගත වීමට පාදම ලෙස බලපාන්නේ කවරක්ද.
  • ධර්මාවබෝධය මිස අන් යමකින් ඇති ඵලය කුමක්දැයි යන ප්‍රශ්ණය නැගී එන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි සමයේමය.
  • එමෙන්ම ධර්මාවබෝධයෙන් ඇති ප්‍රථිඵලයක් විනයධර නොවේනම් නැතය යනුවෙන් එයට ප්‍රතිවිරුද්ධව පිරිසක් නැගී සිටියේය.
  •  මේ දෙකම තිබුණද සමාධිය නොවේ නම් ඇති අර්ථය කුමක්ද ආදී ලෙස එම අර්ථ විවරණයන් මතුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ ගැන නිසි එබී බැලීමක් කල යුතුය. ධර්මාවබෝධය මිස අන් යමකින් ඇති ඵලය කුමක්දැයි යන ප්‍රශ්ණය නැගී එන්නේ බුදුන් වහන්සේ වැඩ සිටි සමයේමය. එමෙන්ම ධර්මාවබෝධයෙන් ඇති ප්‍රථිඵලයක් විනයධර නොවේනම් නැතය යනුවෙන් එයට ප්‍රතිවිරුද්ධව පිරිසක් නැගී සිටියේය.

මේ අනුව ධර්මධරයන් සහ විනයධරයන් යැයි මතවාදීහු දෙපිරිසක් මෙසේ ගෞතම බුද්ධ ශිෂ්‍ය පුත්‍රයන් තුලින්ම මතුවීමට පටන් ගනී. ඒ අනුව ධර්මවාදීන්ගේ හා විනයවාදීන්ගේ වාද විවාද ප්‍රතිවාද තර්ක විතර්ක ප්‍රතිතර්ක අතරින් බුද්ධ ශාසනය ගලා එන්නට විය.

17 5 orig

 මෙම විවාදයම ශාසන භේදය දක්වා ඇදී ගියේය. එයම නිකායාත්‍ර දක්වාම බලපාන්නේය. බුදු දහම නිදහස් දහමක් වීම නිසා එය වාද විවාද මැදම නැගී ඒම ස්වභාවිකයි. ඒත් ධර්මධරයන් සහ විනයධරයන්ගේ අර්ථ විවරණයන් මැද තවත් පාර්ශවයන් එය මැදට එක්වේ. සීලය,ප්‍රඥාව, සහ සමාධිය ගැන කියවීමක් මතු වන්නේ මේ මැදින්ය. සැබැවින්ම ශීලය නොවේ නම් ප්‍රඥාවෙන් පලක් වේද.  මේ දෙකම තිබුණද සමාධිය නොවේ නම් ඇති අර්ථය කුමක්ද ආදී ලෙස එම අර්ථ විවරණයන් මතුවේ. එයට මැදිව ශාසනය තුල මත ආදේශකයන්ගේ නැගීම සිදුවේ. ඒත් ධර්මධරයන් හා විනයධරයන් අතර,  විවාදය ප්‍රකට විවාදය වූයේය. එහි පාදම මැදින් මහායානිකත්වය හා ථෙරවාදීත්වය නමින් නිකාය ද්විත්වයක් නැගී ආවේය.

දැන් නූතන සසුන මේ මුල් අදහස් දෙක මැදින් ඇවිත් දහස් ගණනක අදහස් මතිමතාන්තර මත පවතී. එම පැවතීම සොයා ගන්නට නම් එහි පාදමේ ඇති ධර්මධර - විනයධර නම් කථිකාව වටහා ගත යුතුය. එය වටහා ගැනීමට නොහැකි තරම් සංකීර්ණ වන්නේය. මන්ද සමාජය නිබඳවම එක් අන්තයක පහස පතන නිසාය. එම නිසාම ධර්මධරත්වයේ අන්තයද විනයධරත්වයේ අන්තයද ලෙස ශ්‍රාවක සමාජය බෙදී යන්නට විය. වඩාත් තීව්ර ප්‍රශ්ණය වූයේ ගිහි සමාජයේ බහුතරය බුද්ධ පුත්‍රයන් යනු විනයධරයන් විය යුතුම සේ ඇදහීමයි. ඒ අනුව විනයධරයන් අතුරින් වනවාසීන් බිහිවිය.

 
විනය ඇත්තේ ලෝකය, සමාජය,නගරය,ගම අතහැර වනවාසීව බවුන් වඩමින් සිටින භික්ෂූන් තුල ලෙස පිළිගැනීම සිදුවන්නේ මේ අනුවය. එවිට ගිහියන්ගේ වඩාත් ප්‍රියතාවයට පාත්‍ර භික්ෂූ සමාජයක් ලෙස වනවාසීන්  මතුවේ. වනවාසීන්ගේ මතවාදී පාදම විනයධරත්වයයි. විනයධරත්වය වඩාත් ඉහලින් ගිහියන්ගේ ජනප්‍රියතාවයට පාත්‍ර වූයේ පෙර ඇබ්බැහියන් සමඟය. ඒ හින්දු, බ්‍රාහ්මණ සහ ශිව ආගම් හා විශේෂයෙන් ජෛන ආගමේ ප්‍රමුඛතාවයන් වල වෘත සහ සීලයන් මූලික බවට වූ ඇදහීම සමඟ තිබූ පලපුරුද්ද නිසාය.
 
dhuthanga 4

මේ විධියට බලන විට විනයධරත්වය ධර්මධරත්වය යන විවාදය මැඳින් මතුවී එන්නේ සීලයයි. සිල්වතුන්ගේ මතුවීමක් ගැන අවධානය ඇති වන්නේ එවිටය. ශිලය මුලික වීමෙන් ඇතිවන පැවිද්ද ගැන දිගු කථාවක් මතුවේ. භික්ෂූන් සිල්වතුන් විය යුතු යැයි සාමාන්‍ය ජන වහරේ පවා පැලපැදියම් වන්නේ එසේය. මේ අනුව ධර්මධර විනයධර වාදය අවසානයේ සීලය මුලිකත්වය ගන්නා තැනට තල්ලු වේ. විනයධරත්වය යන්නට වඩා සිල්වතුන් යන්නට සාමාන්‍ය ජනතා බහුතරයද මනාප වූයේ මේ සමඟය.
 
ඇත්තටම විනයධර යන්න පවා ඇති වන්නේ ධර්මාවබෝධය ඇති පුද්ගලයාගේ ස්වභාවය තුලින් බව ධර්මධරයන්ගේ ඉගැන්වීමය. ධර්මධරත්වය පිහිටන්නට නම් විනය මූලික බව විනයධරයන්ගේ පැහැදිළි කිරීමය. මේ අනුව ධර්මධරයන් විනයධරයන් අතර ඇතිවන මතවාදය පසුව නිකාය භේදයට ගමන් කරයි. එයම පසුව සීලය මූලිකය යන්න සමඟ සබැඳී යයි. සීලය ඉහලින් කියවුනේ ජෛනයන්ගේ මතවාදයේය. සීලය බුදුදහමට ඈඳුනේ මේ සමඟය. ධර්මධරයන් විනයධරයන් දෙපිරිසම යටපත් වෙමින්, සිල්වතුන්ගේ ව්‍යාපාරය මතුවන්නේ මේ විධියටය.
 
 
 දැන් බැලිය යුත්තේ බුදුන් වහන්සේගේ ශාසනය ධර්මධරයන්ගේ ශාසනයක්ද නොවේ නම් විනයධරයන්ගේ ශාසනයක්ද යන්නය. ඉතිහාසය මුළුල්ලේ මේ ගැන ඇතිව ඇති වාදය නිමාවක් නම් නොවීය. සිදුවූයේ එම වාදය දිගුවන තරමට "නිවන" දුර යාමය. විනයෙන් තොරව පවතින ධර්මධරත්වයද, ධර්මධරත්වයෙන් තොරව පවතින විනයද යනු චාරිත්‍රයක් පමණි. සැබැවින්ම "විනය" යනු නීතියක් නොවේය. එය අවබෝධත්වය තුලින් නිරායාසයෙන් උපදින පැවැත්මක් වැනිය. අන් අතකින් විනයානුකූල අවබෝධය ධර්මධරභාවය රඳවා ගැනීමට පිටුවහලක් බවය. ඒ අනුව විනයධරයන්ගේ ශාසනය සහ ධර්මධරයන්ගේ ශාසනය දෙයාකාරව ගලා යයි. බුදුන් වහන්සේ වදාල මාර්ගයේ ඇත්තේ ධර්මධාරිත්වය හා විනයධාරීත්වය එකට පවතින මාවතකි. ඒත් මෙය දෙපසට බෙදාගෙන නිකාය මතවාද පාර්ශව බිහිවී ඇත. මේ නිසා විනයධරයන්ට එරෙහිව ධර්මධරයන් හා ධර්මධරයන්ට එරෙහිව විනයධරයන් වාද විවාද වලින් නතර නොවේ. ඔවුන් තම දැක්ම පැවැත්ම වෙනුවෙන් ගිහි බලය රැස් කරයි. ගිහි බලයෙහි අවසානය ඇත්තේ දේශපාලන බලය තුලය.
the impact of mahayana buddhism on sri lanka thumb 
 
ඉතින් අවසානයේ බලය සොයා ගිය සසුන දේශපාලන බලය ළඟ නතර වේ. එහි නතර වු භික්ෂූ සාසනයෙන් ධර්මධරත්වය සේම විනයධරත්වයද පලා යයි. ඒත් පුදුමයක් සිදුවන්නේය. එනම් ධර්මධරත්වය ගැන නොතකා විනයධරත්වය ගැන සෙවීමට ගිහි සමාජය දක්වන වඩාත් ප්‍රියශිල නැඹුරුවයි. ඒ විනයධර නැඹුරුව අනුව වනවාසිය භික්ෂුව කරා සමාජය ගමන් ගනී. වනවාසී භික්ෂුව වෙතින් වේගයෙන් ශීල ව්‍යාපාරය මතුවේ. එයම ග්‍රාමවාසී භික්ෂුව තුලින් මතුවේ. අවසානයේ විනය පසෙකට තබා ශීලය ගැන කථිකාවක් මතුපිටට පැමිණේ. ශීලය කල්යත්ම ශ්‍රද්ධාව ලෙස මතුවේ. ශ්‍රද්ධාව පසුව පසෙකට වී භක්තිවාදය මතුවේ. එම භක්තිය ගිහි බලය ලගට ගොස් රාජ්‍ය බලය ලග නතර වෙයි. සියල්ලෝම නිවනට දුරින් රාජ්‍ය බලය ලගින් ලැගුම් ගන්නේ මෙසේය.
 
රාජ්‍ය බලය තම වසඟයේ තබා ගැනීමට ගිහි බලයද, ගිහි බලය  වසඟයේ තබා ගැනීමට භක්තිවාදයද පැතිර යන්නේය. එතැනින් බුදුදහමින් භික්ෂුන් වහන්සේ ඉවතට ගමන් කරයි. ගිහියන්ද ඉවතට ගමන් කරයි. රාජ්‍යයද ඉවතට ගමන් කරයි. ඒ අනුව බුද්ධාගම නමින් ආගමක් තැනේ. බුදුන් වහන්සේ "බුදු දහම" බිහිකලේ කවර ආගමකින්වත් මානවයාට හෝ ලෝක සත්වයාට විමුක්තිය උදාකර ගත නොහැකි බැවිනි. එබැවින් බුදුන් වහන්සේ ඒ සඳහා බිහිකල "බුදු දහම" ශ්‍රාවකයන් විසින් "නිවන" පසෙක තබා සිදුකල වාදය නිසා ආගමක් සේ ආරෝපණ වේ. ආගම මානව විමුක්තිය හිර කර අන්ධ මිත්‍යාවට ජීවිතය ගෙන ගොස්ය. භික්ෂුත්වය ලෞකික ලෝලත්වයට කොටු වන්නට පටන් ගනී.
6773e615534316a922032f3fd344911c san jose sri lanka
 
 
දැන් ධර්මධරත්වය විනයධරත්වය ගැන විවාද නැත. දහම ආගමක් වි ඇති නිසා හැමදේම වෘත චාරිත්‍ර වත්පිළිවෙත් උත්සව පෙරහැර බවට පත්වී හමාරය. රාජ්‍යය ඒවා අපූරුවට ඉටුකර දීමෙන් රජයට ආගමික බලය ලබාගත හැකිය. ආගමිකයන්ට ලෞකික සැප අසීමිතව රැස් කරගත හැක. පුරවැසියාට ජීවිතය අහිමි වී ඇත. එසේ හෙයින් විනයධර හා ධර්මධර සුසීලන් අවශ්‍ය නැති තැනට පත්වන තරම් ශාසනය වියවුල්ය. විනයධරයේ තහවුරුවක් වූ වනවාසයද ධර්මධරයේ තහවුරුව වූ ග්‍රාමවාසයද භක්තිවාදයට යටව ගියේය. භක්ති පූජාව ඇති විට රාජ්‍යයට යන පාර පහසුය.
රාජ්‍යයෙහි පැටලීමෙන් නිර්වාන විමුක්තිය වෙනුවට ශ්‍රාවකයන් බලය විදින පිරිසක් ලෙස පරාවර්තනය විය. විනයධරත්වය ධර්මධරත්වය පලාගොස් ඕලාරික සඟුන්ගේ විලම්භීත  බිමක් බවට ශාසනය ගොදුරු වූයේය. මේ දූරදර්ශතාව මතුව ඇත්තේ යලි ධර්මධරත්වය සහ විනයධරත්වය එකට බැඳුනු මහා සඟුන් වහන්සේලාගේ ආගමනය සඳහාමය. බොල් හිස පුස් බව අතුරන භක්තිවාදය පුපුරන්නේ එවන් ශාස්ත්‍රධර ධර්ම විනයධරයන්ගේ පැමිණීමකිනි. ලංකා රාජ්‍යයේ වගකීම එම තැන සොයා ගැනීමය. ධර්මධරයන්, විනයධරයන් එකට එක්වූ විට බුද්ධ ශිෂ්‍ය පුත්‍රයන් උපත ලබන්නේය. එසේ උපදින තැන ඇත්තේ ආගමින් මිදී, ආමිසයෙන් මිදී, භක්තියෙන් මිදී බලය අත්හල තැනය. ධර්මධරත්වයෙන් විනයධරත්වයෙන් අගතැන් වූ විටදීය.


Sujith 2021
 
(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com

වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි 
 

JW

 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...