BREAKING
Top Ad
වායාම

වායාම : පළමු සේනගේ වාග් පෙරළිය - (සුජිත් අක්කරවත්ත)

T

The Leader

July 30, 2023 • 2:41 AM

වායාම : පළමු සේනගේ වාග් පෙරළිය - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාහිත්‍ය වගේම වාග් විද්‍යාව ලක් ඉතිහාස හැඩ තලය අමුතු වෙනසකට බඳුන් කල හැටි කියවා ගත යුතු කතාවකි. ඉතිහාසය දෙස දේශපාලනිකව ආගමික
  • මේ තේමා තාලය දිගේ එබී බලන විට නැගෙන යුග කාල බෙදීමේ රේඛනය වැටී ඇත්තේ සලමෙවන් හෙවත් පළමු සේන රජුගේ රාජ්‍ය සමය (ක්‍රි.ව.846-866)සමඟය.
  • පළමු සේන රජු සිංහල වාග්වේදීන්ගේ නිබඳ ගෞරව හරසර ලබන රාජ්‍ය නායකයා ලෙස ඉස්මත්තට ඇවිත් ඇත.
  • එමෙන්ම බුදු ගුණ සපිරි සාහිත්‍යයට සිංහල බස ගොනු කල රාජ්‍ය නායකයා ලෙස ඔහු භික්ෂූන් වහන්සේලා මහත් ඇගයීම් සහිතව තහවුරු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාති උපමාන වලින් බලනු හැර මේ මානය දිගේ බැලීම් දැකීම් සිදුවී නැති තරම්ය.

ශ්‍රී  ලංකාවේ වංශ කතාවේ හැඩතලය සාහිත්‍යමය භාවයන් වලින් හැසිරවීමට ලක් වූ යුග ගණනාවක් දැකීමට හැකිය.

මේ තේමා තාලය දිගේ එබී බලන විට නැගෙන යුග කාල බෙදීමේ රේඛනය වැටී ඇත්තේ සලමෙවන් හෙවත් පළමු සේන රජුගේ රාජ්‍ය සමය (ක්‍රි.ව.846-866)සමඟය. පළමු සේන රජු සිංහල වාග්වේදීන්ගේ නිබඳ ගෞරව හරසර ලබන රාජ්‍ය නායකයා ලෙස ඉස්මත්තට ඇවිත් ඇත. ඔහු රචිත "සියබස්ලකර" විසින් සිංහල භාෂා වාග් ව්‍යූහය සඳහා කරන ලද ශාස්ත්‍රීය බලපෑම අති ප්‍රබලය. එසේම එම කෘතිය මේ දක්වා ගලා එන ශාස්ත්‍ර තලයේ නියාමන මානයන් වැනිය. එමෙන්ම බුදු ගුණ සපිරි සාහිත්‍යයට සිංහල බස ගොනු කල රාජ්‍ය නායකයා ලෙස ඔහු භික්ෂූන් වහන්සේලා මහත් ඇගයීම් සහිතව තහවුරු කරයි.

නමුත් කථිකා කල යුත්තේ පළමු සේන රජු සියබස්ලකර රචනා කරන්නේ කවර සමාජ දේශපාලන සංදර්භයකද යන්නය. එසේම "සියබස්ලකර" සිංහල භාෂාත්‍ර ස්වරයට එක් වන්නට පෙර මෙරට වාග් තාලයේ ස්වභාවය කෙසේද යන්නය. ඒ කියන්නේ පළමු සේන රජුගේ යුගයට පෙර සමය සහ ඔහුට පසු සමය ලෙස තීරණාත්මක භාෂාත්‍රසාරි යුග දෙකක් දැකිය හැකිය. ඇත්තටම දුටුගැමුණු එළාර දෙරජුන්ගේ යුගයට පෙර යුගය හා ඊට පසු යුගය ලංකාවේ දේශපාලන සමාජ තලයේ වාර්ගික යුග රේඛනයක් ඇද දමා ඇත. එසේම පළමු සේන රජු විසින්ද භාෂාව මත යුග රේඛාවක් බිහි කර තබා තිබේ.එය කවරක්ද.

khkhksdkd

ඒ කවරක්ද යන්න වටහා ගන්නට නම් තේරුම් ගත යුත්තකි. ඒ අනුව, එය කළ හැක්කේ  ක්‍රි.ව. නමවන සියවසට පෙර ලංකාවේ භාෂා සාහිත්‍ය භාව ශාස්ත්‍රීය තාලය දෙස එබී බලමිනි. ඇත්තටම රාජ්‍ය නායක භූමිකාවේ නියුතු  දේශපාලඥයෙකුට ශාස්ත්‍රඥයෙකු ලෙස භූමිකාවක් මතු වූයේ මන්ද. අති ගැඹුරු ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කරමින් තම දේශපාලන පුනරාගමනය සිදු කරන්නට පළමු සේන රජතුමා හිතුවේ මන්ද. එය පෙන්වන්නේ එක අතකින් එකල ලංකා සමාජය පෙන්වා තිබෙන සබුද්ධික ප්‍රබුද්ධත්වයය. අනෙක් අතින් සාහිත්‍ය භාෂාව හා  කලා ශාස්ත්‍රයන් තුල තිබූ තේමා ඒ ඔස්සේම වෙනම මානයකට හරවා ගැනීම සඳහා වූ සමාජ දේශපාලන අභිලාෂයක් මතුව ඇති බවයි .

එසේ නම් පළමු සේන රජු සුවිශේෂී බව සැබෑය. ඒත් පරීක්ෂා කර බැලිය යුත්තේ ඔහු විසින් ශාස්ත්‍රීය තලයේ පරාජය කර තිබූ එයට පෙර කල්හි සිංහල භාෂාවේ වාග් ව්‍යුහය තානය සහ බස් වහර ස්වර තාලය කවරක්ද යන්නය. එමෙන්ම ඔහු විසින්, සිංහල සාහිත්‍ය බුදු සිරිතටම සීමා කරන්නට අණ පනවන්නේ මන්ද යන්නය. මේ තීරුව කනිමින් දිගු පරීක්ෂණයක නිරතව සිටිමි. මෙය ලංකාවේ තවත් විපර්යාසයන්ගේ ඇරඹුමක් මුණ ගස්වයි. එම මුණ ගැසීම විසින් වර්තමානයට වැදගත් සංඥාවක්ද ගෙන එයි. ඒ ගැන වටහා ගැනීමට නම් වඩා හොදින්  බැලිය යුතු වනුයේ පෙර කී පරිදි  පළමු සේන රජුගේ මේ ව්‍යායාමයය. ඒ ව්‍යායාමයට පෙර අවධියය. එමෙන්ම ඔහු සමීපයේ තිබූ තත් යුග සමයය.

4197492 relief with words in stone in ancient vatadage buddhist stupa in pollonnaruwa sri lanka

ක්‍රි.ව පළමු සියවස  සිට ක්‍රි.ව.අටවන වස දක්වා වසර අටසියය ලාංකික ශාස්ත්‍රීය කතිකාවේ උණුසුම් සමයකි. එයට හේතු වනුයේ බුදු දහම මාන තුනකින් ශාස්ත්‍රීයව හා ප්‍රායෝගිකව ගලා යාමය. ඒ මහා විහාරය, අභයගිරිය සහ ජේතවනාරාමය ශාස්ත්‍ර කේන්ද්‍රයන් හරහාය. ඒවා ලොව්තුරු මෙන්ම ලෞකික ශිල්ප විද්‍යා ස්ථානය. ඒ කියන්නේ නූතන සරසවි වලට කල නොහැකි වූ මහත් වූ  සමාජ බලපෑමක් එම විද්‍යාස්ථාන කළ බවය. ඒ වගේම ලංකාවේ සොබා ඥාණ දහරාව මේ ශාස්ත්‍රීය ස්ථාන නිසා තවත් තියුණු තරඟයක් එක් කරයි. එයම විසින් නව දේශපාලනික තලයක් කරා සමාජ විහිදීමක් ඇතිවී තිබේ. ඒ සඳහා මුල් වනුයේ පණ්ඩුකාභය රජ සමයට පෙර සිට පැවති රිටිගල පබ්බත ගුරුකුලය හා නානාපාෂාණ්ඩ ප්‍රවාහය මෙන්ම සිත්තම්ගල ආචාර මූලයේ සමාජකරණයය. පසු කාලයක රිටිගල,සිත්තම්ගල හා නානාපාෂාණ්ඩය විසිර යන්නේ ආයතන  ලෙස පවතින්නට නොහැකි වීමෙන්ය.

නමුත් එම දහරා සමාජ ප්‍රවාහය තුල ගලා ගිය බව දැකිය හැකිය.මේ අනුව සය මානමය දැකීම් දහරාවක් ලංකාවේ ශාස්ත්‍ර තාලය තුල ගමන් කරයි. ෂඩ් පරමේශ්වර ලෙස පසුකාලීනව බහුමාන ගත වන්නේ මේ ශඩ් (සය) දහරාය. මේ දහරා  සය සමඟ ඇති වන සම බැඳීම විසින් දේශපාලන රික්තයක් ඇති කරයි. බුද්ධදාස, සීගිරි කාශ්‍යප දෙරජුන්ගේ සිට කුමාරදාස, අග්බෝ රජවරු දක්වා ලංකාවේ ශාස්ත්‍ර භාවී කලාත්මක දේශපාලන  යුගය බිහි වෙයි. බුද්ධදාස හා සීගිරි කාශ්‍යප දෙපළගෙන් මෙම අළුත් තාලය බිහිවී කුමාරදාස පළමුවන අග්බෝ දක්වා දිගු කාලයක්  ගමන් කරයි. ලංකාවේ කවි සහ සිත්තම් යුගය ලෙස මේ යුගය කැපී පෙනෙන්නේය.  එමෙන්ම එම සමය භාෂා ශාස්ත්‍රීය කලාවේ රස ජනනීය යුගයක්ද, ආර්ථිකව සුරක්ෂිත ශාස්ත්‍ර සමාජයක්ද වී තිබේ. මෙයම අවසානයේ සිංහල භාෂාවේ කලාවේ භාව ස්වීය වර්ධිතව මානය සහිතව ගලා එන අයුරු දැකිය හැකිය. සීගිරි කවියන් හා අග්බෝ යුගයේ දොළොස් මහා කවීන්ගේ නැගී ඒම දක්වා පෙන්වන්නේ මේ පුනරුද යාමයය.

sigir

සීගිරි කැටපත් පවුර

සිංහල භාෂාවේ හදභාෂාමය භාව ලෝලය ලංකාවේ දේශපාලනය රාජ්‍යයට පාදම වූයේ මේ විධියටය. ඒ කියන්නේ වර්ග, ජාති ආගමික වාද අතහැර කලාව කවිය භාෂාව වාග් විද්‍යාව තම සමාජ මානය කොට ගත් ප්‍රසස්ත ජනකාන්ත වූ රාජ්‍ය ක්‍රමයක් මෙසේ ස්ථාපිත වී තිබේ. එමඟින් ලාංකිකත්වයේ පොදු ගුණිතය තවත් තහවුරු වී ඇති බවත් පෙන්වයි. එම තහවුරුව අවසානයේ මතුවන පළමු සේන රාජ සමය පෙන්වන කතාව පැහැදිළි කර ගැනීමට මාවතය.

ශ්‍රී ලංකාවේ සේන නමින් රජවන රජවරු අතර සමාන කමක් දැකිය හැකිය. පළමු සේන රජුට පසු දෙවන සේන ඒ නමින් රජවේ. ඔවුන් අභියස ශාස්ත්‍රීය සමාජයක් තිබුනි. ඒත් පළමු සේන රජතුමා හද බස සමඟ බැදි සිංහල බස වියරණ තර්කනයට පෙරලා තම ශාස්ත්‍රීය වියමන බැද තබයි. "සියබස්ලකර" විසින් සිංහල භාෂාවේ ව්‍යාකරණ රටාව සංස්කෘත භාෂාවේ ව්‍යුහය හා අනුරූප කර තැබීය. එය ප්‍රශස්ත කාර්යයක් සේ ගැනේ. සැබැවින්ම "සියබස්ලකර"ශාස්ත්‍රීයව ප්‍රශස්ත මහා ග්‍රන්ථයකි. නමුත් එය මඟින් භාෂාවේ හද ස්වර මිය යන අතර සිංහල භාෂාවේ භාව ප්‍රමෝදය ව්‍යක්තව ව්‍යාකරණ තර්කනයේ බැඳේ. අනෙක් අතින් සියබස්ලකර කෘතිය ඔස්සේ පළමු සේන රජු අති භයානක තහනමක් පැනවීය. එනම් පැදියෙන්ද ගද්‍යයෙන්ද ලිවිය යුත්තේම බුදු සිරිතට අදාල තේමා පමණක් මැයි තහවුරු කිරීමය. රාජ්‍ය නායකයා එසේ ශාස්ත්‍රීය තලයේ කළ වෑයම මහත් ප්‍රසංශාවට ලක්ව අද දක්වා කථා කරයි. පළමු සේන රජුගේ ව්‍යායාමය සිංහල භාෂාවේ ආරක්ෂාවට මුල්වූ බව සැබෑය. මෙරට බලගතු බෞද්ධ සාහිත්‍යක් බිහිවීමට ඔහුගෙන් ලද ශාස්ත්‍රීය උද්දීපනය අගය කල යුතුය. ඒත් සිංහල හදබස මුකුලිත වීමට රජුගේ කෘතිය පසුකාලීනව බලපෑවේය.

එසේම බුදු සිරිතෙන් බැහැරව නිර්මාණ බිහි නොවන්න සියබස්ලකර පැනවූ ශාස්ත්‍රීය අණ බරපතල බලපෑමක් කලේය. මෙතරම් දියුණු බලවත් සාහිත්‍ය නිර්මාණමය ලාංකික ඥාණ පරම්පරාව බුදු සිරිතින් බැහැරව සාහිත්‍ය කලා සිත්තම් වල යෙදීම නතර වන්නේ සියබස්ලකරට පසුවය. චිත්‍ර,නාට්‍ය,ගද්‍ය,පද්‍ය නිර්මාණ සියල්ල සියබස්ලකර ශාස්ත්‍රය අනුව බුදු සිරිතට බැඳේ. පළමු සේන රජුගේ මෙම අති ගැඹුරු ශාස්ත්‍රීය වියමන ඒ සා බලවත්ය. සීගිරි ගීයෙන් මතුවී හදබසේ භාව ලෝලී ගී කවි සිතුවම්ද අග්බෝ යුගයේ දොළොස් මහා කවීන්ගෙන් විකසිත වූ කාව්‍ය මානීය ලෞකික ඉමද නතර කල ශාස්ත්‍රීය මහා බාධාව එය විය. නමවන සියවසෙන් පසු ලංකාවේ සෘජු භාව ලෝලී නිර්මාණ කිසිවක් නැත. ඒත් නිර්මාණකරුවන් භාවමය මානව හැඟීම් කදිමට නිරූපණය කලේය. ඒ බුදු සිරිතට බැඳුණු ගද්‍ය පද්‍ය සිත්තම් හරහාය. සියබස්ලකර වන්දනා කරුණු හැර එය විසින් ඇති කල විපරිතය ගැන කථිකාවක් නැත. සියබස්ලකර, රාජ්‍ය නායකයා ලෙසින් පළමු සේන රජු අති ශාස්ත්‍රීයව නිර්මාණය කළ නිසාද එය රාජ්‍ය ව්‍යවස්ථාපිත අරුතක්ද විය. ලංකාවේ හද බස මියැදෙන්නේ එතැනින්ය. එතැන් පටන් සියබස්ලකර ආධිපත්‍ය පරයා යන්නට බැරිවිය. නිර්මාණකරුවන්  බුදු සිරිත ඇතුලට ගොස් භාව ලෝල  ලාලිත හැඟීම් මතුකර භාව දීප්තිය රැගෙන ගියාය. ඒත් මානව දිවිය සෘජුව භාව වින්දනාත්මක ලියා තබන්නට හෝ සිතුවම් කරන්නට නොහැකිව ඇත.

සියබස්ලකර ලංකාවේ එක දේශපාලන යුගයක ආරම්භයයි. එසේ නම් සියබස්ලකර ලියමින් භාව නිර්මාණකරණයට සීමා බඳින්නට තරම් හේතුව කුමක්ද. වර්ග ජාති භේද තාල වෙනුවට සෞන්දර්ය කලාව මත ගලා ගිය දීප්ත යුගයක් ශාස්ත්‍රිය කෘතියකින් ආපිට හරවන්නට හේතුව කුමක්ද. පළමු සේන රජුගේ සියබස්ලකර ඔස්සේ, එම යුගයට පා නගාම බැලිය යුත්තේය. ඒ බැලීම නොකොට හදබස හා භාව ලීලාව නිදහස් කළ නොහැක. සියළු සිංහල කලාවන් ආගම හා රාජ්‍යය ලග දණ නමන්නේ මේකය.


කාලඤ්ඤූ (වායාම 57) - සුජිත් අක්කරවත්ත(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com


වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...