BREAKING
Top Ad
වායාම

වායාම : ස්ත්‍රී ශාසනයේ ශෝකාලාපය - (සුජිත් අක්කරවත්ත)

T

The Leader

August 13, 2023 • 6:10 AM

වායාම : ස්ත්‍රී ශාසනයේ ශෝකාලාපය - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ත්‍රියට බුදු වන්නට පතන සමාජයක් සේ ලංකාවේ සමාජය මව්වත්ය. නොවේනම් ස්ත්‍රී වාචිකය. තවත් ගැඹුරට කැණ කියන්නේ නම් මාතෘ නිමිතිය.
  • නොවේ නම් සමාජීය බුදු බව නොපතා "ගෙදර බුදුන් අම්මා" කියාය.
  • මෙවන් වදනක් ලංකා ජන පපුවේ පැලවී අතු ඉතිලා ජාන බද්ධව ගලාවිත් ඇත්තේ මන්ද.
  • මේ කැණීමත් ලක් ඉතිහාස පවතේ ඇතුලාන්තයේ ගැබදොර හැර ගන්නට ඇති කදිම මාවතකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්ත්‍රියට ලාංකිකයන් බුදු බව පතන්නේ , අම්මා බුදු වේවා කියමිනි. නොවේ නම් සමාජීය බුදු බව නොපතා "ගෙදර බුදුන් අම්මා" කියාය. මෙවන් වදනක් ලංකා ජන පපුවේ පැලවී අතු ඉතිලා ජාන බද්ධව ගලාවිත් ඇත්තේ මන්ද. මේ කැණීමත් ලක් ඉතිහාස පවතේ ඇතුලාන්තයේ ගැබදොර හැර ගන්නට ඇති කදිම මාවතකි. මන්ද යත් ලක් ඓතිහාසික අන්දරය ලේඛණ ගත කිරීම ස්ත්‍රිය විසින්ම ප්‍රථමව නිර්මිතව කර ඇති බැවිණි. ශ්‍රී ලාංකික වංශ කථාවේ ශේෂව ඇති ප්‍රථම කෘතිය දීපවංශයය. දීපවංශය ස්ත්‍රීන් විසින් ලියා පල කල බව එම කෘතිය තුලම සනාථ වේ. ඉන් සියවසකට ඉක්බිතිව පුරුෂ ශාසනය විසින් මහාවංශය ලියා තබයි. දැන් අතීත පවතේ දොර හැර දෙන්නට ස්ත්‍රිය මුල් වූයේ මන්දැයි සෙවිය යුතුය. එමෙන්ම "අම්මා බුදු වේවා"යි කියා නැවත ඇයට "ගෙදර බුදුන් අම්මා" ලෙස ජන වහර කියන කථාව එකට සහබද්ධව බැලිය යුතුය. අනෙක් අතට "ස්ත්‍රිය බුදු වේවා" යැයි නොපතා, "අම්මා බුදු වේවා"යි පතන්නේ කිමද. තවත් ඈතට ගොස් බැලිය යුත්තේය. එනම් අම්මාගේ බුදු බව යලි ගෙදරට සීමා කර ඇයව, සමාජීය ප්‍රජාවේ බුදු බවට ගලපා නැත්තේ මොන හේතුවක් නිසාද යන්නය.

sri lanka buddhist

මේ සියල්ල විසින් එක්ව එක් තැනක හමු වන්නේ එක් කදිම කතාවකි. එනම් ශ්‍රී ලාංකික සමාජය නිර්මාණය කල ජාන වංශ සියල්ල ස්ත්‍රීවාදී චින්තාවක රැදී සිටින සැටිය. එහෙත් දීපවංශයේ කතුවරියන්, මහාවංශය නොකියන බොහෝ පවත් ලියා තබා තිබියදී මතු නොවන්නේ මන්ද. ස්ත්‍රිය මුල් යුගයේ පටන් පුරුෂයන් සමඟ සම පෙලේ සිටි වග ලංකා සමාජය ඈතට දිව ගොස් බලන විට පෙනී යයි. ඒත් පසු ප්‍රතික්‍රියාව වේදනාකාරීය. එය සිදුවන්නේ ස්ත්‍රී ශාසනයේ ආගමනයට පසුවය.

පුරුෂයන් ශාසනයට පාත්‍ර වූ සැනින්ම ලාංකික ස්ත්‍රියද ශාසන වරම් ලැබුවේය. එය ලංකාවේ ස්ත්‍රී පුරුෂ සම ඇගයීම් වල කදිම කථාවකි. මෑත යුගයේ නිදහස් අධ්‍යාපනය, සර්වජන ඡන්ද බලය ආදිය ලාංකික ස්ත්‍රීන්ට, පුරුෂයන්ට සමානව, එකම සමීප සමයක ලැබිණි. එය ලංකා සමාජය දෙස වෙනම ඇසකින් බලන්න තරම් වටිනා කරුණකි. කොහොමත් "ස්ත්‍රී ශාසනයේ ශෝකාලාපය" සෘජුව ආරම්භ වනුයේ අනුරාධපුර මැදි සමයේය. එය වඩාත් වේදනාකාරී ගමනකට ගමන් කරන්නේ රාජේන්ද්‍ර චෝල අධිරාජ්‍යයා ලංකාව යටත් කර ගැනීමට පසුවය. ස්ත්‍රී ශාසනය සහ මුලින්ම වඳවී යන්නේ පොළොන්නරු යුගය ආරම්භයේදීය. එවිට පුරුෂ ශාසනයද අතුරුදන්ව තිබුණි. ඒත් මහා විජයබාහු (ක්‍රි:ව 1055 – 1110) රජතුමා ශාසනය යලි ප්‍රතිස්ථාපනය කරන විට ස්ත්‍රී ශාසනය පිහිටුවීමට මුල් නොවූයේ මන්ද. රජු ඒ තත්වයට පත් වනුයේ ඇයිද යන්න සෙවිය යුතුය. ස්ත්‍රීන් කෙරෙහි අති සංවේදී රජ දරුවෙකු සේ පළමු විජයබාහු රජතුමා කැපී පෙනේ. එසේ නම් ඔහුට ස්ත්‍රියගේ පැවිදි වරමට දේශපාලන නායකත්වය දීමට නොහැකි වනුයේ මන්ද.

වායාම 75: ද්විත්ව පුරුෂ රාජ සමය

මේ කරුණු හිතේ තබා ගෙන හැරී බැලිය යුතු තැන සංඝමිත්තා මහ රහත් උත්තමාවිය සිරිලක වැඩම කල දිනයය. ඇය ලංකාවට වැඩම කරන්නේ වටිනා නිමිති දෙකක් සමඟය. එකක් ස්ත්‍රී පැවිද්ද සඳහාය. අනෙක ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමය. ඇය වඩමා වදාල ස්ත්‍රී සසුන අතුරුදහන්ය. ශ්‍රී මහා බෝධිය සජීවීය. එසේම ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ අවසාන ගිහි භාරකාර වූයේද ස්ත්‍රීයකි. එනම් "ඕවිල්ලේ කුමාරිහාමි"ය. ස්ත්‍රියක් සතු වූ එම උරුමය පසුව ස්ත්‍රීන්ට අහිමි වන්නේ ඉංග්‍රීසි පාලන යුගයේ සිදුවු අසංවේදී සිදුවීම් මැදින්ය. කොහොම හරි බැලිය යුතු තැන සංඝමිත්තාවන් වැඩම කල දවසය.

ස්ත්‍රී ශාසනය පිහිටුවීමට මහරහත් තෙරණිය වැඩම වීමත් සමඟ ඇය පසු පසින් ස්ත්‍රී රහත් වරියන් දස නමක් වඩින්නේය. ශ්‍රී ලාංකික පුරුෂ ශාසනයේ ආරම්භය ලෙස මිහිඳු මහරහතුන් සමඟ වැඩම කල පුරුෂ තෙරණුන්ගේ නම් පමණක් නොව, ඒ දින උන්වහන්සේ සමඟ පැමිණි උපාසක ගිහියා වූ පණ්ඩුකගේ නම් පවා අපි දනිමු. ඒ ගැන සෙල්ලිපි චිත්‍ර හා බොහෝ මතු කිරීම් තිබේ. සංඝමිත්තා තෙරණිය සමඟ වැඩම කල ස්ත්‍රී රහත්වරියන් ගැන හමුවන එකම නිල ශාස්ත්‍රීය දත්තය ඇත්තේ දීපවංශයේ පමණි. එහි එකී ස්ත්‍රී රහත්වරියන්ගේ නම් තිබියදී පවා ඒවා ජනගත නොවේ. අධ්‍යාපනයේ කඩඉම් ප්‍රශ්ණ පත්‍ර වලට නොපැමිනේ. විෂය නිර්දේශයේ ඒ ගැන ඡේද නැත. බිතිසිතුවම් මත මහරහත් තෙරණිය සංඝමිත්තාවන් නිරූපනය වන්නේ තනිවමය. ඒත් එතුමියගේ සහෝදරයා වූ මහ මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලක වඩින රූ සිතුවම් තුල උන්වහන්සේ සමඟ වැඩිය පුරුෂ රහතුන් හා ගිහි පුරුෂයාද නිරූපණය වේ. මේ මන්ද ?. දීපවංශයේ ඇති ස්ත්‍රී රහත්වරියන්ගේ තතු මහාවංශය ලියා නොතිබුණේ මන්ද. පසු ශාසන වාර්තා වලින් මේ කරුණු ඉවතට ගියේ කිමද. බුදු වන්නට අම්මාට ආරාධනා කරන පතන මාතෘ ප්‍රේමී සිංහලයන්ගේ සමාජයට මේ කරුණු අමතක වූයේ කෙසේද. ස්ත්‍රී ශාසනය ගැන කතිකාවට බට බොහෝ අයට මේ ප්‍රශ්ණ මතු නොවන්නේ කවර හේතුවක් නිසාද. මේ තේමාව ගැන මෙනෙහි කරමින් සිටින සිංහලයාද පසුව නිරායාසයෙන්ම අම්මාට බුදු බව පතා, ඇය "ගෙදර බුදුන්" නමින් යලි නම් කරන්නේය.

ස්ත්‍රීන්ට බුදුවිය නොහැකි බවට තදබල මතයක් වේ. ඒ පිළිබඳ ගෞතම තථාගතයන් වහන්සේද සපයා ඇති පිළිතුර මහජනකරණය වී ඇත්තේද එබඳු ලෙසය. සැබැවින් බුදුන් වහන්සේ ස්ත්‍රීන්ට බුදුවිය නොහැකි යැයි කියා නොමැත. උන් වහන්සේ වදාරා ඇත්තේ ස්ත්‍රීන්ට බුදු වීමට ඇති අපහසුතාවයන්ය.ඒත් එම අපහසුව පසෙක තබා බුදු වරියන් බිහිවී ඇත්තේද. එවන් බුදු වරියන් වහන්සේලා පිළිබඳ වාර්තා මහායාන තන්ත්‍රයානික ධර්ම සාහිත්‍යයේ ඇත. නමුත් ඓතිහාසික බුදු වරියක් නම් තවම වාර්තා වී නැත. ඓතිහාසික නොවන දෑ අසත්‍ය යැයි එක් විටම කිව නොහැක. sar 08 24 ishnanenකේ.කේ සමන් කුමාර සාහිත්‍යවේදියා "නේරංජනාවේ ස්නානය" කෘතිය ලියමින් සිංහල පාඨකයා වෙත බුදු රජාණීයන් වහන්සේ නමක් රැගෙන ආවේත් එම නිසාම විය හැකිය. කෙසේ නමුත් ස්ත්‍රියට බුදු විය නොහැකි බවට වූ තර්කය වෙනම කතා කල යුතුය. ඒත් දැන් ප්‍රශ්ණය ස්ත්‍රියට රහත් විය හැකි බව දැන දැනම, එසේ වී තිබියදී, ඒ ගැන වාර්තා පවතිද්දී, ස්ත්‍රී පැවිද්ද ශෝකාලාපයක් වී ඇත්තේ මන්ද කියාය.

පොළොන්නරුවට ලක් රාජධානිය රැගෙන ගියේ රාජේන්ද්‍ර චෝල නම් චෝළ-සොළී රජුය. ඔහුගේ හින්දු ආගමිකත්වය විසින් ඇති කල මතවාදීමය බලපෑම් විසින් ලක් සසුනේ ස්ත්‍රී පැවිදි ශාඛාව විසිර ගියාද. එසේ නැතිනම් පළමු විජයබාහු රජු යලි ශ්‍රී ලාංකික රාජ්‍ය දේශපාලන බලය ස්ථාපිත කිරීමෙන් පසු ඔහුට ඒ සඳහා ඉඩ නොදුන්නාද. පොළොන්නරුවේදී භික්ෂූණී ශාසනය පිහිටුවීමට එරෙහිව ඇතිවී ඇති දේශපාලන බලපෑම් පුරුෂ ශාසනයේ බලපෑමක්ද. එහෙම නොවේ නම් ථෙරවාද ලෝකයේම ස්ත්‍රී පැවිද්ද අහිමි වී යාමද. නොවේ නම් ස්ත්‍රීන්ගේ හැසිරීමේ ප්‍රශ්ණයක්ද. සිතන්නට විතරක් නොවේය සොයාගන්නට විමසන්නට ඇති පැති බොහෝය. ලාංකික විද්වතුන් අතර වූ ස්ත්‍රීත්වයට පවා ජය ගත නොහැකි ශෝකාලාපය මෙයයි. ලක්දිවට තවමත් ස්ත්‍රී පැවිද්ද පිහිටුවා ගත නොහැකි ශෝකාලාපයේ ගැඹුර මේ තරම් අනුවේදනීය කථාවකි. ක්‍රි:ව දෙළොස් වන සියවසෙන් පසු සිදුවූ පුරුෂ ශාසනයේ බිඳ වැටීම් ගණනාවකි. සසුන සහමුලින් අතුරුදන්ව ගිය වාරද බොහෝය. ඒ සෑම විටම ශ්‍රී ලාංකික යති පරපුරෙහි භික්ෂූන් වහන්සේලාගේ සහ ගිහි බෞද්ධයන්ගේ අතිමහත් කැප වීමෙන් යලි සසුන පිහිටු වන්නේය. ඒ සදහා දේශපාලන නායකත්වයන් වල නායකත්වය ලැබේ. ඒත් ප්‍රශ්ණ කල යුත්තේ ස්ත්‍රී ශාසනය පිහිටුවන්නට රිසි වී නැත්තේ මන්ද කියාය.

 109163944 143a6984

එමෙන්ම පොළොන්නරු යුගයේ ස්ත්‍රී පැවිද්ද අහිමි වීමෙන් පසු ලක් කිරුළ දැරූ ස්ත්‍රීන් සිව් දෙනෙක් බිහි විය. ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකාවන් වූ එම සිව්දෙනාගේ ප්‍රථමයා වන්නේ ලීලාවතී මහ රැජින (ක්‍රි:ව 1197 – 1200, 1209 – 1210, 1211 ක්‍රි:ව 1202 - 1208)ය. මින් ලීලාවතී යනු තුන් වරක් ලංකා රාජ්‍ය දැරූ නිර්භීත ගැහැණියකි. දෙවැන්නා කල්‍යාණවතී මහ රැජිණයි(ක්‍රි:ව 1202-1208). මෙම දෙන්නාගේ යුගයේ මේ දෙදෙනාවත් ස්ත්‍රී පැවිද්දේ ශෝකාලාපය වෙත ස්වකීය හදවත විවර නොකලේ මන්ද. ඒ වගේම ජනසම්මත යුගයේ ලංකා රාජ්‍යය ස්ත්‍රීන්ද සහිත ජනතා ඡන්දයෙන් ස්ත්‍රීන් දෙදෙනෙකුට හිමිවේ. ඒ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය (ක්‍රි:ව 1960-1965,1970-1977) සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණියටය (ක්‍රි:ව 1994-2005). මේ දෙදෙනාවත් ඒ සඳහා නායකත්වය දී නැත්තේ කිමද. නොවේ නම් ඔවුන් සමඟ එක්ව ගෞතම තථාගතයන් ස්ත්‍රීන්ට ලබාදුන් විමුක්ති මාර්ගය යළි දිනා ගැනීමට ලක් අම්මාවරු සහ ස්ත්‍රීන් පෙල ගැසී නැත්තේ මන්ද. නැතිනම් එවන් උත්සාහයක් තිබී වාර්තා නොවී යටපත් වූවාද. දැන් අතීතයේ ඇවිද ගිය දන්නා තේමාවලින් නොදන්නා තේමා වලට ගමන් කල යුතු යැයි කිව යුත්තේ ඒකය. ඇත්තම කථාව තමන්ට "ගෙදර බුදුන් අම්මා" කම ලබාගෙන හිත හදා ගෙන ශ්‍රී ලාංකික ස්ත්‍රී වංශය නිහඞ වුනාද. අම්මාට බුදු බව වැඩියෙන්ම දෙන්නේ පුරුෂ පුතුන්ය. පුතුන් අම්මා ගෙදර බුදුන් කර සැබැවින්ම බුදු බව අහිමි කලාද . එහි දිගුව ලෙස ස්ත්‍රීත්වයට පැවිද්ද හා රහත් බව අහිමි වීමේ ශෝකාලාපය බිහිවූවාද ?.

ලක් සසුනේ ස්ත්‍රී කැරැල්ල ආරම්භ වූ ඉතිහාස පවත් දැන් ගොඩ ගත යුතුය. අනුලා බිසව පැවිද්ද ලබා ගන්නා විට අනුලා බිසව විසින් රජ ගෙදරින් පලවා දැමූ දේවකී මහ බිසවුන්ද පැවිද්ද ලබාගෙන "මහා මෙහෙණි උයන" පිහිටුවා ගත් පුවත හොඳින් පරීක්ෂෘ කර බැලිය යුතුය. මහමෙහෙණි උයන, "මහමෙව්නා උයන" වූවා යැයි පයෝධරී ස්ත්‍රී වංශය මකා දැමිය නොහැකි කථාවක් නූතනය දක්වා රැගෙන විත් ඇත. එසේ නම් පුරුෂයන්ගේ හා ස්ත්‍රීන්ගේ දේශපාලන ඝට්ටනය, ලිංගික ආරෝව ශාසනය කරා ගමන් කලේද. සැබැවින් ස්ත්‍රී සහ පුරුෂ දෙබෙදුම මේ ශෝකාලාපයේ පදනමද. ඒ නිසාම සංඝමිත්තා තෙරණිය පසුපසින් වැඩිය මහ තෙරණියන්ට සිතුවමකවත් වැඩ ඉන්න ඉඩ අහිමි වූවාද. අම්මාට බුදු බව පතන පුතුන් ලිව් කවි ගී සෙල්ලිපි වල ඉතිහාස වාර්තා සිතුවම් වල ඒ මහරහත් තෙරණියන් මැකීයත්ම මේ ශෝකාලාපය ඇරඹෙන්නේය. ඉතිහාසය මැදින් බලා විමසිය නොහැක. එය අග මැද මුල සියල්ල ගලපා බැලිය යුතුය.

 
Sujith 2021

(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com

වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...