The Leader News
BREAKING
Top Ad
වායාම

ධම්මේන පරේ රඤ්ඤතීති රාජා - (වායාම 62) - සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

November 18, 2022 • 11:27 AM

ධම්මේන පරේ රඤ්ඤතීති රාජා - (වායාම 62) - සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලන විද්‍යාව නමින් පසක් කර ගන්නා විෂයට අදාල කර නොගන්නේ කුමන පදනම නිසාද?
  • ලංකාවේ බෞද්ධ කතිකාව තුළ සෑම විටම යටපත් කර ඇති තේමා දෙකකි.
  • අනෙක නම් රාජ්‍ය සහ දේශපාලනයට බැඳී ඇතිව උන්වහන්සේ දේශිත ධර්ම කරුණුය.
  • මෙම තේමා ප්‍රවේශ දෙකින් බෞද්ධ අධ්‍යාපනය මෙන්ම පොදු ජන ධර්ම කතිකාවද ඈතින්ම තබා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
දේශපාලන විද්‍යාව නමින් පසක් කර ගන්නා විෂයට අදාල කර නොගන්නේ කුමන පදනම නිසාද? මේ ගැන සෙවීමක් හෝ  විමසීමට රුචි මනාපයක් නොමැති  වන්නේම එය යටපත් කර දැමීම සඳහාමද?
 
 
ලංකාවේ බෞද්ධ කතිකාව තුළ සෑම විටම යටපත් කර ඇති තේමා දෙකකි. එකක් නම් තථාගතයන් වහන්සේ වදාළ ලෞකිකත්වය සහ ශෘංගාරාත්මක මඟ පෙන්වීමට අදාළ තේමාවය. අනෙක නම් රාජ්‍ය සහ දේශපාලනයට බැඳී ඇතිව උන්වහන්සේ දේශිත ධර්ම කරුණුය.
 
 
මෙම තේමා ප්‍රවේශ දෙකින් බෞද්ධ අධ්‍යාපනය මෙන්ම පොදු ජන ධර්ම කතිකාවද ඈතින්ම තබා ඇත. මෙ තුළින් සිදු වූයේ බුදු දහම සහමුලින්ම ආගමක් සේ ප්‍රචලිත වීමය. බොහෝ අය තුළ පමණක් නොව සම්මත පිළිගැනීම බවටද පත්ව ඇත්තේ බුදුන් වදාල ධර්මය ආගමක් බවය. බුදු දහම බිහි වන්නේම ආගම් වලින් වියුක්ත වීම තුළින් පමණක් විමුක්තිය උදා කර ගැනීමටය. ඒත් සිදුව ඇත්තේ බුදු දහම “බුද්ධාගම”  නමින් ආගමක්  බවට පත් කරලීමය. මෙසේ ප්‍රචලිත වීම පහසු වූයේ ලෞකිකය හා ශෘංගාරයද රාජ්‍ය හා දේශපාලනයද ගැන ගෞතම තථාගතයන්ගේ මඟ පෙන්වීම කතිකා සංවාද හා අධ්‍යයන කලාපයෙන් බැහැර තබා තිබීමත් සමඟය.
 
 
මේ විපතේ බුදු දහම හෙලා දැමුනේ ඇයිද යන්න ගැන ගැඹුරට කිඳා බැස බැලීමට කිසිවෙක් උත්සහා දරා නැත. මෙමඟින් සිදුව ඇති විපත නම් ලොව ප්‍රමුඛම ථෙරවාදී බෞද්ධ සමාජය වන ලාංකික සමාජය ලෞකික සතුට නොදුටු එමෙන්ම දියුණු දේශපාලන රාජ්‍යයක් බවට පත් නොවීමය. ලංකාවට සියවස් අටකට වඩා දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ පැටලීම ලිහා ගැනීමට හැකියාව ලැබී නැත. එය දැන් රාජකීය යුගයේදී නොවු තරම් මේ ප්‍රජාත්‍රාන්තවාදී යුගයේ බරපතල  ගැටළුවක් වී ඇත. දහමක් ආගමක් බවට පෙරලා හැඩ තලා ගැනීමෙන් සිදු ව ඇත්තේ සැබවින්ම පැටලීමකි. එම පැටලීම නම් ලෞකික සතුට අහිමි, එම නිසා ලොව්තුරු සැපය අහිමි කර ගත් අසහනකාරී සමාජයකි. වාර්ගික හා  කුල පංති භේද වෙනුවෙන් තුන් වරක් කැරළි ගසමින් ලෙයින් රට පොඟවා ගන්නට තරම් තත්ත්වයද දරුණු වූයේම මෙම පටලැවිල්ලේ තර්කාන්විත උත්තරය විදියටය. ඒකත්වය දෙස නොව බහුත්වය දෙස බැලීමෙන් පමණක් ගැටළුව හා ගැටළුවේ හේතුව සේම ගැටළුවට ඇති පිළිතුරු සාධනය කර ගැනීමට මඟ බව බුද්ධ ඥාණ දේශනාවය. එත් ප්‍රශ්නය වූයේ ආගමික සර්ව බලධාරී චින්තනය අනුව යටපත්ව “ බුද්ධාගම ” නමින් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේපිත ඒකත්වයෙන් ගැටළුව දකිමින් ඒකත්වයෙන් උත්තර සොයන මිත්‍යාවේ ඇද වැටීමය. දැන් මේ සියල්ලටම හේතුව බටහිරයන්ගේ ආගමනය සේ ප්‍රචලිතවාදී මතයකි. ඔවුන් ගොස් සියවසක් ආසන්න වූවද පැටලීම ලිහා ගැනීම වෙනුවට සතුරා හේතුව ලෙස දැකීම උත්තරය වී ඇත.
 
 
මේ කරුණ හේතු ලෙස දකිමින් ලිහා ගන්නට මත්තෙන් නිරාවරණය කර ගත යුත්තේ බුදුන් වදාල ධර්මයයි. බුදුන් වදාල ධර්මය බොහෝ විට සඟුන් වදාරණ ධර්මය ලෙස මතුවේ. බොහෝ විට සමහර සඟුන් වහන්සේලා මඟින්ම මේ යටපත් වීම සිදු වී ඇත්තේය. ඒ උන්වහන්සේලාගේ අවබෝධයේ සීමාවය. නොවේනම් සසුන පාලනය කරන දේශපාලන රාජ්‍ය බල කණ්ඩායමේ අවබෝධයේ සීමාවය. එම නිසා මේ දෙපිරිසම දුටුවේ රාජ්‍ය දේශපාලනයෙන් පෘථුල නොවන සමාජයක්ද ලෞකික ශෘංගාරමය සතුට සොයා නොයන ජනතාවක්ද සහිත රටකි. දැන් ඇවිත් නතරව ඇත්තේ අසහනය සොරකම, දුගීබව හිඟන බව මෙන්ම අශීලාචාර කමින් පිරීගිය රටකි. එම නිසා බුදුන් වදාල ධර්මය දේශිත සඟුන් වහන්සේලා යටපත් වූ අතරම, බුදුන් වදාල රාජ්‍ය දේශපාලනය දුටු දේශපාලනඥයන්ද යටපත්ව තිබුනේය. මේ නිසා බුද්ධාගමට  දිරි  දෙමින් “ බුදු දහම ” යටට පෑගී ගියේය. එසේ හෙයින් මේ පැටලීම ගැන තේරුමක් හෝ වගේ වගක් නැත. එසේත් නැතිනම් එවන් අවුලක් අපේ අවුලට හේතුව බවවත් නොදන්නා තරමට ගැටළු දිග පළලය. නැත්නම් එයටද සංවේදී නොවන තරමට මිත්‍යාමතිකය.
 

අවිචාරවත් මිත්‍යා පුද පූජාවල මුලසුන දරන්නේ විටෙක රටේ ප්‍රධානීන්ය. තවත් විටක සසුන්  භාරධාරීන් මිත්‍යා රැල්ලේ බියට නිහඩව වැඩ වසති. ධර්මය දන්නෝ අපට මොකෝ අපි සසර කෙලවර නිවී සැනසෙමු යැයි වැඩ වසති. මේ ගැන දුටිමින් බුදුන් වහන්සේ වාසෙට්ඨ සූත්‍රය දේශනා කරමින් සිතීමේ කවුළුව විවර කර ඇත. ඒ නිසා මුලින්ම කළ යුත්තේ බුදුන් වහන්සේ පාලකයා, රාජ්‍ය නායකයා ඔස්සේ දේශපාලනය වෙනස් කිරීමට කළ යෝජනා දෙස බැලීමය. ධර්මයෙන් ජනතාව සුවපත් කරන්නා රාජ්‍ය නායකයාය. මේ වාසෙට්ඨ සූත්‍රයේ මූලික හරයයි. ඒත් ධර්මය ආගම ලෙස අර්ථ විකෘතියට පත් වූ විට ධර්මයත් ජනතාවත් සුවපත් කිරීම ලෙස මතුව ඇත්තේ අන්ධ භක්තියයි. රාජ්‍ය නායකයා මල් පූජා කිරීම, බණ ඇසීම, පෙරහැරවල් කරවීම සහ දාන සිදු කිරීම ධාර්මික පාලකයා ලෙස අධිපති කර තබා ඇත. ඒ නිසා මේ බුදු වදන දෙස නැවත හැරී බැලිය යුතුය. උන්වහන්සේ මෙසේ වදාරන්නේය. එනම්,
 
 
“  ධම්මේන පරේ රඤ්ඤතීති රාජා ”
 

රාජ්‍ය නායකයා ධර්මය හඳුනාගෙන ධර්මයෙන් ජනතාව සුවපත් කළ යුතු වන්නේය. එම නිසා පාලකයා ධර්මය දන්නා පුද්ගලයා විය යුතු බවට බුදුන් වහන්සේ වදාරන්නේය. එහි අරුත කවරක්ද? එනම් රාජ්‍ය නායකයා ජනතාව මිත්‍යාවෙන් ගලවා ගත යුතු බවය. ධර්මය අධර්මයෙන් වෙන් කර ධර්මය තුළින්ම ජනතාව සුවපත් කල යුතුය. ධර්මයෙන් ගැටළුවලට උත්තර සොයා හදා ගත යුතු බවය. රාජ්‍ය නායකයා ධර්මය දන්නා විට ඔහු ගුණ සමුදායකින් හෙබි බහුත්ව චින්තමය ප්‍රභාවකින් පූර්ණ වන බව තථාගත දේශණයය. තම ජනයා වෙනුවෙන් ඥාණය වැය කරන්නේ ධර්මය දන්නා රාජ්‍ය නායකයා බවත්, එම නිසාම තමන්ගේ ශ්‍රමය ජනතාව වෙනුවෙන්ම වැය කරන්නට ඔහු ප්‍රත්‍යක්ෂයෙන් දන්නා බවත් උන්වහන්සේ අවධාරණය කරයි.
 
 
ධර්මය ආගමෙන් වෙන් කර ගන්නා පුද්ගලයාට ආන්තික දර්ශණ නැති බවත් පක්ෂ වාදයෙන් තොර බවත්  ඒ නිසාම ඔහු ධර්මය තම මතය ලෙස දක්නා බවත් ගෞතමයන් වහන්සේ දීර්ඝව පැහැදිලි කර දෙයි. මන්ද ධර්මාවබෝධය ඇත්තා  පරාර්ථයෙන් පූර්ණත්වයට පත් වන නිසා මහජන සුවය හෙවත් රාජ්‍යය යහපත පතමින් රාජ්‍ය පාලනය කරයි. මේ නිසා ධර්මාවබෝධය ඇත්තා විශිෂ්ඨයෙකු වන බවත් එවන් ප්‍රජාවක් සහ රාජ්‍යයක් වාස භූමියකට සුදුසු රාජ්‍යයක් බවත් උන්වහන්සේ වටහා දෙයි.
 
 
දැන් අපි ධර්මය දන්නා ලෙස දුටුව රාජ්‍ය නායකයා වූයේ මෙවන් පාලකයෙකු නොවේ. භක්තියෙන් ගිලී ගිය ආගමික රැලි  මලා හා අන්ත පූජා විදි වලින් ජනතාව මෝහනය කරන මිත්‍යාවෙන් ජනයාගේ රාජ්‍යයේ ප්‍රශ්ණ වසා දමන්නාටය. රාජ්‍යය ඉසුරුමත් වර්ධයෙන් පෙරට ගෙන යාමට ඒ රටේ ජනතාවද ඉසුරුමත් විය යුතුය. රාජ්‍ය නායකයාට රටත් ජනතාවත් එවන් ලෞකික සාරත්වයට කැඳවාගෙන යාමට ඔහු සතු විය යුතුම ප්‍රභාවක් සේ “  ධම්මේන පරේ රඤ්ඤතීති රාජා ” නම් ධර්මාවබෝධය බුදුන් වහන්සේ යෝජනා කරන්නේ එබැවිනි. මන්ද ධර්මාවබෝධය ලබන්නා ජනතාව ලෞකික වේදනාවෙන් නිදහස් කොට ඔවුනට ලෞකික විමුක්තිය දිය යුතුය. ලෞකික විමුක්තිය ප්‍රජාවට උදා කළ නොහැක්කේ නම්, ඔහු රජා ඛන්ති නොවේ නම් මහාසම්මත චක්කවතී රාජ්‍ය නායකයා ලෙස බුදුන් වහන්සේ හඳුන්වන්නේ නැත. බුදුන්වහන්සේ පවසන්නේ ජාතියට ලෞකික ජීවිතය දුන් පාලකයා ජාතියක පාලකයා බවය.
 


Sujith 2021(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com



වායාම අනෙකුත් ලිපි මෙතනින් බලන්න


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...