The Leader News
BREAKING
Top Ad
වායාම

වායාම 68 : සමනාරාමයේ සමනයන් - (සුජිත් අක්කරවත්ත)

T

The Leader Desk

February 17, 2023 • 12:27 PM

වායාම 68 : සමනාරාමයේ සමනයන් - (සුජිත් අක්කරවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පිළිබඳ මූලික වංශ කථා සියල්ලේ ගැඹුරු විවරණයක් කර ගැනීම සඳහා ප්‍රවේශ දත්ත සපයා තිබේ.
  • එයට හේතුව ලෙස දැකිය හැකි කරුණු අතර මුල් පෙලේ සඳහන් කළ හැක්කේ සමනයන්ගේ තෝතැන්න හෙවත් “සමනාරාමය”ය.
  • සමනාරාමය, හෙවත් ශ්‍රමණාරාමය ලෙස නිල භූමියක් පණ්ඩුකාභය රජතුමා තම රාජ්‍යත්වය ලබා ගත් සැනින් නම් කරයි.
  • එය ඔහු අනුරාධපුර නගරය නිල අගනුවර බවට පත් කරන විට එහි විසූ සමන වාසීන්ගේ භූමිය නගර අංගයක් බවට පත් කරන අවස්ථාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ පිළිබඳ මූලික වංශ කථා සියල්ලේ ගැඹුරු විවරණයක් කර ගැනීම සඳහා ප්‍රවේශ දත්ත සපයා තිබේ. එමෙන්ම අවශ්‍ය වේ නම් ඒ වෙනුවෙන් උත්ප්‍රේරකමය ප්‍රවාද සහ ජන අන්දරද වේ. පුරාවිද්‍යාත්මක ගවේශණ සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහාවූ ප්‍රමාණවත් සාක්ෂිද බොහෝය. එහෙත් ඒ ගැන නිල උත්සාහයක හෝ නිරත නොවන්නා වූ හේතුව කුමක්ද. එයට හේතුව ලෙස දැකිය හැකි කරුණු අතර මුල් පෙලේ සඳහන් කළ හැක්කේ සමනයන්ගේ තෝතැන්න හෙවත් “සමනාරාමය”ය.

 

සමනාරාමය, හෙවත් ශ්‍රමණාරාමය ලෙස නිල භූමියක් පණ්ඩුකාභය රජතුමා තම රාජ්‍යත්වය ලබා ගත් සැනින් නම් කරයි. එය ඔහු අනුරාධපුර නගරය නිල අගනුවර බවට පත් කරන විට එහි විසූ සමන වාසීන්ගේ භූමිය නගර අංගයක් බවට පත් කරන අවස්ථාවකි. එසේ නම් මේ “සමන” හෙවත් සමන වාසීන් කවුරු වෙත්ද. සමන, ශමන, ශ්‍රමණ ලෙස ආදි භාෂා වහරින්ද හෙළ සහ පෙළ බසින්ද දක්වන්නේ බෞද්ධ භික්ෂුන් සහ බෞද්ධ ශ්‍රාවකයන්ය. බුදුන්වහන්සේවද මුල්ම ලේඛණ වල හඳුන්වන්නේ ශමණ භවතුන්, ශ්‍රමන භවතුන්, සමන භවතුන් වහන්සේ ලෙසය.

 

සමන හෙවත් ශ්‍රමණ සම්ප්‍රදාය පැන නගින්නේ බුදුන් වහන්සේගේ ලොව්තුරු උදානය සමඟය. එසේ නම් අමුතු දිගු විස්තර අවශ්‍ය නොවේ. මේ සමනාරාමය ලෙස හදුන්වන්නේ මුල්ම ලාංකික බුද්ධ ශ්‍රාවකයන්ගේ තෝතැන්න බව පැහැදිළිය. නමුත් ලක්දිව ප්‍රථම ආරාමය ලෙස මහා විහාරය සහ මිහින්තලය නිල ලේඛණ වල ලියා ඇත. පිළිගැනීමද එයයි.

 

1564556215 Mihinthalaya L

එසේ නම් පසුව බිහිවූ මහා විහාරයට සහ මිහින්තලයට සමනාරාමය යටපත් වූයේ කෙසේද. වෙසෙසින්ම සමනාරාමය යනු රාජ්‍ය අනුග්‍රහයෙන් තැනූ ආරාමයක් නොව තම දාර්ශණික සාක්ෂාත් භාවය තුලින් අවබෝධගාමී වූ බෞද්ධ ශ්‍රාවකයන් විසින් ගොඩනැගූ තෝතැන්නය. ඒ අනුව එම ස්ථානය මෙසේ යටපත් වීමට හේතුව කුමක්ද. රාජ්‍ය මතවාද විසින් යම් ආවරණයකට ලක් වන්නට පෙර මුල් පියවි බුදු දහමෙහි ලාංකික නිල භූමියට මෙවන් තත්වයක් ඇති වන්නේ කවර හේතුවක් මතද. මේ ගැන සිතා බලන්නට කවරෙක් හෝ නැත. එවන් ස්ථානයන් හදුනා ගනිමින් මුලාශ්‍රගත සම්භාව්‍ය වංශ කථා ලියා තබා තිබියදී  මෙසේ නිහඩ යටපත් කිරීමක් සිදු වන්නේ කෙසේද.

 

මේ කරුණ දෙස විචාරශීලීව බලා ගැඹුරු විනිවිද යාමක් අවශ්‍ය වේ. මන්ද බුදුන් වහන්සේගේ දහම රාජ්‍ය දේශපාලන න්‍යායන් මත ක්‍රි.පු. තුන්වන සියවස තුල ආරක්ෂාකාරි උපයෝගීතා රැකවරණයකට පත්වේ. එම පත්වීමත් සමඟ බුදු දහම පාර්ශවීය වශයෙන් න්‍යායවාදයන් කරා ගමන් කරයි. සුප්‍රකට මහායාන ථෙරවාද තන්ත්‍රයාන ලෙස න්‍යාය තලයන් වලට ගමන් කරන්නේ මෙම රාජ්‍ය අත පෙවීම හෙවත් ශාසනය දේශපාලන ආරක්ෂණ වාදයට ගමන් කිරීමයි. ඉන් පසු ලාංකික බුදු දහමද නිල වශයෙන් මෞර්ය අශෝක අධිරාජ්‍ය සමයේ සිදුවන මෙම පාර්ශවීය කාරණයෙන් රාජ්‍යය බුදු දහම පිළිගන්නා තැනට දේශපාලන අර්ථයෙන් පිවිසේ. එතැන් පටන් ලංකාවේ බුදු දහම හා බුද්ධ ශාසනය ක්‍රි.පූ.තුන්වන සියවසහි වාතාවරණය වෙත පසු බැසීම ආරම්භ වේ.

 

එම කාලයේ පටන් ඇරඹි ආරාම හා එතැන් සිට පැවිදි වූ භික්ෂූන් වහන්සේලා පමණක් ජනප්‍රිය හා නිල ලේඛණ ලෙස තහවුරු වේ. එවිට මෙම පරස්පරය කලාපීය භූ දේශපාලන අධිපත්‍ය විසින් කරන ලද යටපත් කිරීමද, නොවේ නම් ජනකාන්ත ඉතිහාසකරණයහි අර්ථකථනයද. මේ ගැන නිනව්වක් නැතිකම විසින්ම සිදුවන්නේ සමනාරාම වාසීන්ගේ ඉතිහාසය සහමුලින්ම යටපත්වී යාමය. ආගමිකත්වයෙන් තොර දහමක් මත පදනම් වූ සමනාරාම  වාසීන්ගේ යටපත් වීම විසින් නූතනය දක්වා බුදු දහම මුහුණ පාමින් සිටින ගැටළු උපත ලබා ඇති බව මනා කොට වැටහේ. එනම් දහම යටපත්වී ආගම්කරණය ඉස්මතු වීමයි.

pandukhabahaya

Prasanna Weerakkody paintings

 

පණ්ඩුකාභය රජතුමා අනුරාධපුරය අගනුවර ලෙස තෝරා ගන්නා විට එහි තිබූ පෞරාණික සංස්කෘති හා කලාත්මක භූමි ගනනාවක් හඳුනාගෙන ඒවා ජීවමාන සංරක්ෂිත ස්මාරක ලෙස පිළිගනී. ඉන් එකක් වන සමනාරාමය කෙසේ බිහිවන්නට ඇතිද. බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ සමයේ උන් වහන්සේගේන් පියවි සැබෑ බුදු දහම හඳුනා ගත් මුල් ලාංකික ශ්‍රමණයන් හා ශ්‍රාවකයන් මෙම භූමිය තම ලෞකික ලොව්තුරු නිවන සඳහා ක්ෂේම භූමියක්  කර පවත්වා ගන්නට ඇත.

 

පණ්ඩුකාභය බිහිවන්නේ බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් දෙකකට ආසන්න කාලයකදීය. එසේ නම් මේ වංශ මූලාශ්‍ර විසින් පෙන්වන එක් සත්‍යයකි. එනම් මුල්ම ලාංකික බෞද්ධ භූමිය වන සමනාරාමය  සියවස් දෙකක් පුරා රාජ්‍ය අනුග්‍රහයකින් තොරව ස්වීයව නොනැසී පැවතී ඇති බවය. වඩාත් පුදුමය වන්නේ එය පණ්ඩුකාභය රජතුමා විසින් ඓතිහාසික ජීවමාන දාර්ශනික භූමියක් ලෙස අති විශේෂ ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර ස්වීය නිදහස දී තිබියදී අතුරුදන් වන්නේ කෙසේද කියාය.

 

විශේෂයෙන්ම දැනට ශේෂ වංශ කථා ලියවෙන්නේ ක්‍රි.ව. පස්වන සියවසේදීය. එසේ නම් පණ්ඩුකාභය රජතුමා සමනාරාමය සුවිශේෂී භූමියක් ලෙස සිතන්නට ඉඩ තබා වසර නවසීයකට පසුවය. වසර නවසියයකට පසුවත් ලාංකික සම්භාවය වංශ කථා සියල්ල තුල ලියා ඇති භූමියක් මෙලෙස අතුරුදන් වූයේ කෙලෙසද. එසේ අතුරුදහන් වූ පුවත ඉතහාසය කැන ගැඹුරට බැලිය යුතුය.

පණ්ඩුකාභය පුවතට අදාලව මිස ඉන්පසු සමන ශ්‍රාවකයන්ගේ නිදහස් ලොව්තුරු - ලෞකික භූමිය ගැන කිසිම මූලාශ්‍ර තතු විත්තියක් ලේඛණ වල හමු නොවේ. මෙවන් ආකාරයට මුල් ලාංකික සමන ශ්‍රාවකයන්ගේ තෝතැන්න අහිමි කලේ කවුරුන්ද. එම ප්‍රශ්ණය නූතන කතිකා කලාපයට කැන්දා ගත යුත්තේය. ඒ ලංකාවේ බහුවර්ණාවලීමය සමාජය පුපුරුවා දැමූ ඛේදාන්තයේ ආරම්භය හමුවන තැනය.

බහුවර්ණාවලිය හෙවත් සිංහල සුසැඳිය අතුගා දැමීමේ ආරම්භය සමනාරාමය මෙසේ බිම්බත් වූ දාය. සමනාරාමයේ සමනයන් සොයා යා යුත්තේ එබැවිණි.



Sujith 2021(සුජිත් අක්කරවත්ත)
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී

sa4408@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...