The Leader News
BREAKING
Top Ad
වායාම

කාලඤ්ඤූ (වායාම 57) - සුජිත් අක්කරවත්ත

T

The Leader Desk

October 14, 2022 • 7:16 AM

කාලඤ්ඤූ (වායාම 57) - සුජිත් අක්කරවත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රහසක් වන තරමට එය මිහිරි මෙන්ම ගුප්තය.
  • තවත් ඈතට යන විට එයම රස කතා කට කතා බවටද, එයම ප්‍රතිරෝධී විරෝධාකල්පයන් දක්වාද ගමන් කරයි.
  • මේ අවුල ගැන කිසිම සොයා බැලීමක් දැනුවත් බවක් අහිමි කරමින් මෙම අදහස වේගයෙන් පැතිර යමින් පවති.
  • නිර්මාණවාදී දේව භාෂිතයන් විසින් තමන්ගේ නිර්මාණයක් යැයි පැතිරූ රාජ්‍ය නායකයා ප්‍රජාව අතරින් මතු වන සුවිශේෂී මානවයෙක් බව ප්‍රථම වරට වදාරා සිටින්නේ ගෞතමයන් වහන්සේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රහසක් වන තරමට එය මිහිරි මෙන්ම ගුප්තය. එමෙන්ම කුතුහලය සහ විමසිල්ලෙන්ද අගතැන්ය. තවත් ඈතට යන විට එයම රස කතා කට කතා බවටද, එයම ප්‍රතිරෝධී විරෝධාකල්පයන් දක්වාද ගමන් කරයි. මෙම කථාව දිගට ගමන් කරමින් මේ වන විට නායකයන් යනු විනෝදාස්වාදය අහිමි කරගෙන ජනතාව වෙනුවෙන් කැපවිය යුත්තේයැයි අදහස්ද තහවුරුව පවති.

 

ලෞකික රාජ්‍යය පාලනය කරන්නා ලෞකික සතුට අහිමි කර ගත් අයෙකු විය යුතුද? මේ අවුල ගැන කිසිම සොයා බැලීමක් දැනුවත් බවක් අහිමි කරමින් මෙම අදහස වේගයෙන් පැතිර යමින් පවති. නායකයා දෙස බලන දැක්ම මෙතරම් මානව විරෝධී වූයේ කෙසේද? රාජ සම්මත පාලකයන් විඳගත් විනෝදාස්වාදය ප්‍රජා සම්මත යුගයේ අභියෝගයට ලක් වූයේ කෙසේද? අන් ආකාරයෙන් යුග වෙනස කවරක් වුවද රාජ්‍ය නායකයන් යනු ලෞකික දියුණුවට කැප වීම පිණිස ලෞකික සමාජය විසින් ඔසවා තබා ගන්නා ලෞකික නායකයාය. ආගමික නායකයන් සිටියදී ලෞකික නායකයන් රාජ්‍ය නායකයන් සේ ප්‍රජා සම්මතව බිහිවන්නේ මේ නිසාය.

 Old Clock

 

ප්‍රජාවේ පුරවැසියෙකුට මෙන්ම රාජ්‍ය නායකයෙකුට පවතින්නේ එකම කාලයකි. කාලය වඩාත් වැදගත් වන්නේ පුද්ගලයා සතු පොදු වූ සෑම කාරණයක්ම සපුරා ගත යුත්තේ කාලය සමඟ වීම නිසාය. මෙම කාලය සහ අකාලය අතර අන්තර් බන්ධනය රාජ්‍ය නායකයෙකුගේ ජීවිතය දෙසට යොමා හෙලන මානව දැක්මකින් බලන්නේ ගෞතමයන් වහන්සේය. නිර්මාණවාදී දේව භාෂිතයන් විසින් තමන්ගේ නිර්මාණයක් යැයි පැතිරූ රාජ්‍ය නායකයා ප්‍රජාව අතරින් මතු වන සුවිශේෂී මානවයෙක් බව ප්‍රථම වරට වදාරා සිටින්නේ ගෞතමයන් වහන්සේය. එසේ වදාරන උන්වහන්සේ රාජ්‍ය නායකයාගේ ගුණාංග පිළිබඳ විග්‍රහය ඉදිරියට ගෙන යමින් තවත් පෘථුල කලාපයකට අපව රැගෙන යයි. ඒ “කාලඤ්ඤූ නායකයා” ගැන උන්වහන්සේ කියා දීමත් සමඟය.

 

රාජ්‍යය නායකයාගේ වැදගත් චරිතාංගයන් අතරට එක්වන මෙම “කාලඤ්ඤූ ගුණය ” පිළිබඳ යොමන අවධානයෙන් අප ඈතට ගොස් ඇති බව පෙනේ. බෞද්ධ සමාජය ඒ ගැන දක්වන්නේ නිහඬ බවකි. එය නැතිනම් නොදන්නා කමය. රටේ නායකයා ජාති ප්‍රේමියෙක් දේශප්‍රේමියෙක් ජනතා හිතවාදියෙක් වෙන්න ඇවසි බවට ප්‍රකට මත රාශියකි. ඒ අතරට රාජ්‍ය නායකයා සමාජවාදියෙක් ධනවාදියෙක් ජාතිකවාදියෙක් ලිබරල්වාදියෙක් නව නූතනවාදියෙක් ලෙසද ප්‍රගතිශිලීයෙක් විය යුතු වගටත් අදහස් ගොන්නකි. ඒ අතරට රටේ නායකයා බෞද්ධයෙක් විය යුතු බවත් බුදුන් වහන්සේ වදාල විදියේ පාලකයෙක් විය යුතු බවත් කියයි.

 

photo 1529485726363 95c8d62f656f 

 

මේ සියල්ල කියන අතර බුදුන් වහන්සේ වදාල විදිය ලෙස කියවෙන්නේ බණ අහන සිල්ගන්න පහන් පත්තු කරගෙන ජාති ප්‍රේමී කතා කියන පුද්ගලයා ලෙස මහා සංස්කෘතික රූපයක් මවාගෙන ඇත. එවිට ඒ තමයි බෞද්ධ නායකයා කියා පිළිගනියි. කිසිවෙක් බුදුන් වහන්සේගේ දේශිත නායක ගුණ ගැන සැබෑ අදහස් ගැඹුරට කතා නොකර උන්වහන්සේ නොකී සිල්ලර රටාව මහා රටාව කරගෙන පවති. ඒ නිසා රාජ්‍ය නායකයාගේ ගුණයන් අතර අන් ගුණ සේම කාලඤ්ඤූ ගුණය ත්‍රිපිටකයේම හිර වී සජීවී දේශපාලනයෙන් පරිබාහිරව පවති.

 

දැන් විමසා බැලිය යුතු වන්නේ මෙලෙස “ කාලඤ්ඤූ ගුණය ” සහිත නායකයා ලෙස බුදුන්වහන්සේ වදාරන්නේ කුමක්ද යන්නය. නායකයන් පත්කරන විට තිබිය යුතු ගුණාංග අතරට මේ නම් කරන්නේ කවර රාජ්‍යය ලක්ෂණයක්ද යන්නය.

 

“ කාලඤ්ඤූ ” කියා හඳුන්වන්නේ කාලය සහ අකාලය මැනවින් දන්නා යන්නය.

 

prasannaprasanna weerakkody paintingඒ කිවේ කාලය හා භාවයන් කළමනාකරනය ගැන මනා කොට දන්නා බවය. රාජ්‍ය නායකයෙකු යනු කවර කාල අවකාශයකට ගැලපෙන ලෙස රූපාන්තරණය විය හැකි බවත්ය. ඔහුට කළ යුත්ත කළ යුත්තේ කවර කාලයකද, බලය අත්හළ යුත්තේ මෙන්ම බලයෙන් ඈතට වී සිටිය යුත්තේ කවර මොහොතකද යන්න පිළිබඳ ඇති කාල අකාල අවබෝධයයි.

 

එමෙන්ම බුදුන් වහන්සේ ලෞකික පාලකයෙකු සාර්ථක වීමට බලපාන කරුණු අතරින් දක්නා වැදගත් කරුණක් මේ කාලඤ්ඤූ ගුණයට එක් කර තිබේ. එනම් රාජ්‍ය නායකයා නිසි කාලයේ විනෝදාස්වාදය ලැබිය යුතු බවයි. රාජ්‍ය නායකයා ලෞකික මිනිසෙකු ලෙස උපරිම තෘප්තිදායකයෙකු වීමට නම් ඔහු ජනතා සේවයට මෙන්ම තම විනෝදාස්වාදය පිණිස කාල අකාලය තෝරා ගත යුතුය. මෙමඟින් බුදුන් වහන්සේ පෙන්වන්නේ විනෝදාස්වාදය පවා කළමනාකරණ කරන සමබර මනුසත් පුතෙකු ලෙස රාජ්‍ය නායකයා සිටිය යුතු බවයි.

 

අසීමාන්තිකව ජනතාව වෙනුවෙන් වැඩ කිරීම හෝ අසීමාන්තිකව විනෝදාස්වාද වීමද කාලඤ්ඤූ ගුණය අහිමි කර ගැනීමකි. ඒත් පුදුමය විනෝදාස්වාදය පසෙක දැමූ මිනිසෙකු ගැන අදහසක් නායකයා සමඟ පටලවාගෙන බෞද්ධ අදහසක් යැයි ප්‍රභවය ලබා ඇති සැටිය. එමෙන්ම ප්‍රභවය ලබා එම අදහස අධිපති මහජන අදහසක් සේ නවීන සමාජය පවා තම ප්‍රමුඛතම මතවාදයක් ලෙස භාවිතා කර ගන්නා අරුමය. එමෙන්ම නායකයන් තම ලෞකික ආශා කලාපය සඟවගන්නට දරන වෑයමය. එමෙන්ම කිසිදු ජාතික ප්‍රගමනයකට දායක නොවන ගතානුගතික උත්සව පුජා වලට කාලය කා දමන පාලකයන්ට ජනතාවගේ ආදරයද හිමි වීමයි. නායකයන්ද එයටම රුචි වීමයි.

 

අන් අතකින් කාලය කළමනාකරණ කර ගන්න නොදන්නා ජන සමාජයක් බවට ලංකාවම පත් වී ඇත. නැකත ගැනම කතා කරන්නේය. ඒ කියන්නේ හරිම වේලාවට වැඩ කිරීමය. ඒත් කිසිම වේලාවකට වැඩ කරන්න බැරි ජනතාවක්, නායකයන් මැද කාල අකාලයේ අසරණ වු රටක් බවට ලංකා රට පත් විය.

 

බුදුන් වහන්සේ පුද්ගල සමබරතාවය සහිත ලෞකික ජන නායකයා යනු විනෝදාස්වාදය වගේම සංචාරය සතුට හා රාජ්‍ය කාර්යයන් සියල්ල නියමිත උපරිම අර්ථයෙන් කරන්නා බව කියා දී ඇත. ඒත් සිදු ව ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් ප්‍රතික්‍රියාවේ පිරි සමාජයකි.බුදුන් වහන්සේ කියා දෙන කාලඤ්ඤූ ගුණ කලාපය ලංකාවේ දේශපාලනයට කැඳවාගන්න ප්‍රමාද වී හෝ දැන් සූදානම් විය යුතුය.

 

කාලයට වැඩකරන්න කාලයට විනෝදවන්න එයයි බුදු වදන.

 

සරාග රසායනය - (වායාම 21 : සුජිත් අක්කරවත්ත)(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
sa4408@gmail.com



වායාම වෙනත් ලිපි කියවන්න

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...