BREAKING
Top Ad
විදේශ

දහස් ගණනක් කාන්තාවන් ඖෂධ සමාගමකට එරෙහිව නඩුමඟට

T

The Leader

October 24, 2023 • 10:07 AM

දහස් ගණනක් කාන්තාවන් ඖෂධ සමාගමකට එරෙහිව නඩුමඟට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇගේ සිව්වැනි දරුවා ලැබීමෙන් පසු 43 හැවිරිදි කෙලී පැට්‍රීෂියා ද ලුස්, ස්ථිර වන්ධ්‍යාකරණ සැත්කමක්
  • මම ඉතින් ඒක හොඳම විකල්පය කියලා ඉක්මනට පිළිගත්තා," කෙලී පවසයි.
  • නමුත් මෙහි එක් අඩුපාඩුවක් තිබුණි: ඇය මෙම උපකරණය භාවිතා කිරීම ගැන යම් දිනෙක පසුතැවුණත්, මෙම ක්‍රියාවලිය ආපසු හැරවිය නොහැකිබව ඇයට දැනුම්දෙනු ලැබුණි.
  • මෙම උපකරණය ඉවත් කිරීමට නම් ගර්භාෂය මුළුමනින්ම ඉවත් කිරීමට සිදුවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වන ෆැලෝපීය නාල බන්ධනයක් සඳහා දෙවසරකට වැඩි කලක් බලා සිටියා ය. ඒ අතරේ ඇයට බ්‍රසීලයේ අගනුවර වන බ්‍රසීලියාහි රජයේ රෝහලකින් ඇමතුමක් ලැබුණි.

අදාළ සැත්කම වෙනුවට ඉදිරිපත් කෙරුණු විකල්පය කෙලීගේ සිත් ගත්තේ ය.

"ඩොක්ටර්ස්ලා මට දේශනේකට එන්න කියලා එෂුවර් (Essure) ගැන කිව්වා. එයාලා මට ඒ උපකරණෙ විස්තර කළේ විප්ලවීය, වේදනා රහිත, කැපුම් සිද්ධ කරන්න ඕන නැති, රස්සාවෙන් නිවාඩු ගන්න ඕන නැති, එදිනෙදා වැඩවලට බාධාවක් නොවෙන ක්‍රමයක් විදියට. මම ඉතින් ඒක හොඳම විකල්පය කියලා ඉක්මනට පිළිගත්තා," කෙලී පවසයි.

නමුත් මෙහි එක් අඩුපාඩුවක් තිබුණි: ඇය මෙම උපකරණය භාවිතා කිරීම ගැන යම් දිනෙක පසුතැවුණත්, මෙම ක්‍රියාවලිය ආපසු හැරවිය නොහැකිබව ඇයට දැනුම්දෙනු ලැබුණි. මෙම උපකරණය ඉවත් කිරීමට නම් ගර්භාෂය මුළුමනින්ම ඉවත් කිරීමට සිදුවනු ඇත. ඇය වගකීම් බැහැර කිරීමේ ලේඛනයකට අත්සන් තැබුවා ය.

පෑනක් වැනි සිහින් උපකරණයක් මඟින් යෝනි මාර්ගය හරහා එෂුවර් උපකරණය තැන්පත් කෙරිණි. එෂුවර් දුන්නක් මෙන් සවිවෙන ෆැලෝපීය නාලවල අභ්‍යන්තර විවරයන් ද, ගර්භාෂ කුහරය ද පෙනෙන ලෙස, සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් මේ උපකරණය ගැබ්ගෙල හරහා ඇතුළු කරයි.


නාරිවේද හා ප්‍රසව විද්‍යා සංගම්හි බ්‍රසීල ෆෙඩරේෂනයේ (FEBRASGO) උපත්පාලන කමිටුවේ සාමාජිකයෙකු වන කාර්ලොස් පොලිතානො පැහැදිලි කරන පරිදි, පළමු අභියෝගය මතුවන්නේ මෙතැන දී ය.

"[ගර්භාෂය] සිදුරුවෙන එක වළක්වන්න, මේ දුන්න ෆැලෝපීය නාලවල විවරවල ස්ථානගත කිරීම ඉතාම ප්‍රවේශමෙන් සිදුකරන්න වෘත්තිකයාට සිද්ධවෙනවා," ඔහු පවසයි.

එෂුවර් උපකරණ නිෂ්පාදනය කරන බේයර් සමාගමට අනුව, අනතුරුව ශරීරය සාමාන්‍ය ලෙස සුවවීමේ ක්‍රියාවලියක් අරඹන අතර, ඇතුළු කිරීමෙන් දළ වශයෙන් මාස තුනකට පසු ෆැලෝපීය නාලය මුළුමනින්ම වැසීගොස් ශුක්‍රාණු හා ඩිම්බ එකට එකතුවීම වළකයි.

ස්ථිර අතුරු ආබාධ

කෙසේ වෙතත්, උපකරණය ඇතුළු කළ වහාම කෙලීට වේදනාවක් දැනෙන්නට විය.

"ඇතුළු කළායින් පස්සෙ මට බඩවැල්වල ප්‍රශ්න, ශ්‍රෝණි වේදනාව, ලේ ගැලීම, හන්දි වේදනාව, දැඩි ඉරුවාරදය වගෙ ප්‍රශ්න ආවා. ඊට අමතර මට කොන්දේ පහළ හරියේ දැඩි වේදනාවක් ආවා. ඒ නිසා මට ඇවිදගන්නවත් බැරිවුණා," ඇය පවසයි.

2017 දී, මෙම උපකරණය ඇතුළු කිරීමෙන් පසු බරපතල අතුරු ආබාධ ඇතිවූ විවිධ රටවල කාන්තාවන් පිළිබඳ වාර්තා හෙළිදරව් විය. මෙය, ලොව පුරා එෂුවර් භාවිතාව අත්හිටුවීමේ ආරම්භය සනිටුහන් කළේ ය.

බ්‍රසීලය, කැනඩාව සහ යුරෝපා සංගමයේ අනෙකුත් රටවල් මෙම උපකරණය භාවිතාව පෙරවිකිණීම්වල දීම අත්හිටුවා දැමීය.

එක්සත් ජනපදයේ ෆෙඩරල් ඖෂධ අධිකාරිය (FDA) මෙම උපකරණය නිකුත් කරද්දී 'බ්ලැක් බොක්ස්' අනතුරු ඇඟවීමක් අඩංගු කළේ ය. එමඟින්, අදාළ ඖෂධය හෝ උපාංගය නිසා බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකිබවත්, ඒවායින් ඇතැම්වා "ජීවිතයට තර්ජනයක්" විය හැකි මට්ටමේ බවත් අඟවයි.

උපකරණයේ විකිණුම් 70%කින් පහත වැටීමත් සමග, 2018 දී නිෂ්පාදකයා එය ඇමෙරිකානු වෙළඳපොළෙන් ඉවත්කර ගත් අතර අනතුරුව අනෙක් රටවල දී ද එයම සිදුකළේ ය. වර්තමානයේ දී එෂුවර් ලොව කිසිදු තැනක අලෙවි නොකෙරෙයි.

කෙසේ වෙතත්, මේ තහනම නිසා, ඒ වන විටත් එම උපකරණය අධිරෝපණය කරවාගෙන තිබූ කාන්තාවන්ගේ දෛනික ජීවිතයේ කිසිදු වෙනසක් සිදු නොවීය.

"එෂුවර් එකට හොඳින් අනුවර්තනය වුණු අයට, කිසිම වෙනසක සලකුණක් පෙන්නුම් කළේ නැහැ," පොලිතානො පවසයි. නමුත් එය භාවිතා කරන්නන්ගෙන් කොටසකට, ස්ථිර වන්ධ්‍යාභාවය පැමිණියේ දිගුකාලීන බලපෑම් ද සමග ය.

"මම සාමාන්‍ය සමාජ ජීවිතයක් තිබ්බ ක්‍රියාශීලී කාන්තාවක් වෙලා හිටියා. ඒත් මට ශ්‍රෝණියේ වේදනාව, යටිබඩේ දැඩි වේදනාව, රුධිර වහනය, පියයුරුවල යි කකුල්වල යි වේදනාව, මාව අඩපණ කරපු ඔළුවෙ කැක්කුම් එන්න පටන්ගත්තා," බ්‍රසීලියාහි වෙසෙන 44 හැවිරිදි ලිලියන් ෆෙයිතෝසා පවසන්නී ය.

ඇයට, උපකරණයේ අඩංගු ද්‍රව්‍යයක් වන නිකල් ලෝහය සඳහා ආසාත්මිකතාවක් ඇතිවූබව ඇය විස්තර කරයි. මෙය කැසීම හා වේදනාව ඇති කරමින් ඇගේ ජීවිතයේ ගුණාත්මකබවට බලපෑම් කළ අතර, ඉන් නිකුත් කෙරුණු අප්‍රසන්න ගන්ධයන් නිසා ඇය ස්වයංව හුදෙකලා විය.

xzdg4එෂුවර් උපකරණයේ අඩංගු ද්‍රව්‍යයක්වන නිකල්, ලිලියන්ට ආසාත්මිකතාවක් ඇති කළේ ය

 

"අපිට විකුණුවේ බොරු බලාපොරොත්තුවක්. මේ උපකරණෙ දාගත්තු කාන්තාවකගෙ ජීවිතේ කොච්චර අසීරු වෙනවා ද කියලා ඕගොල්ලන්ට හිතාගන්නවත් බෑ," ඇය පැමිණිලි කරයි.

කෙලී ඇගේ එෂුවර් උපකරණය අධිරෝපණය කරවාගත් බ්‍රසීලියාහි මාතෘ හා ළමා රෝහල පිළිබඳ වගකියන සෞඛ්‍ය අධිකාරිය බීබීසීයට පැවසූ පරිදි, එය අධිරෝපණය කෙරුණු සමයේ දී අදාළ එෂුවර් උපකරණය බ්‍රසීලයේ සෞඛ්‍ය නියාමන ආයතනය විසින් අනුමතකර තිබී ඇති අතර, ලොව පුරා භාවිතාවට ගෙන ඇත.

එෂුවර් උපකරණය අධිරෝපණයකර ඇති කාන්තාවන් රජයේ සෞඛ්‍ය ජාලය විසින් නිරීක්ෂණය කෙරෙනබව ද අදාළ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එම රෝගීන් පිළිබඳව පසුවිපරම් කිරීම සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වෙත නිශ්චිත මාර්ගෝපදේශයක් නිර්මාණයකර ඇති අතර, රෝගීන් කැමති නම් ඔවුන්ගේ ගර්භාෂය ඉවත් කිරීමට අයිතිය ලබාදී ඇත.

එෂුවර්හි නිෂ්පාදක බේයර් සමාගම ද, එම උපකරණයේ ආරක්‍ෂිතබව සම්බන්ධයෙන් පෙනී සිටියේ ය.

"එෂුවර් උපකරණයේ ආරක්‍ෂිතබව ගැන දැවැන්ත විද්‍යාත්මක අධ්‍යයනයන් සංඛ්‍යාවක් තහවුරු කරයි," බේයර්, බීබීසීය වෙත ලිඛිත ප්‍රකාශයක් ලබාදෙමින් ප්‍රකාශ කළේ ය.

"මේ දත්තවලට, පසුගිය අවුරුදු 20 පුරාවට කාන්තාවන් 270,000ක් සහභාගීකර ගනිමින් සමාගම සහ වෙනත් ස්වාධීන පර්යේෂකයින් විසින් සිදුකරන ලද සායනික අධ්‍යයනයන් 10ක් සහ තථ්‍යලෝක නිරීක්ෂණ අධ්‍යයනයන් 70කට වැඩි ගණනක ප්‍රතිඵල අඩංගු ය," සමාගමේ ප්‍රකාශයෙහි සඳහන්විය.



නීතිමය සටන්

zdfe33rඅනාගත ගැබ්ගැනීම් වැළැක්වීම සඳහා මෙම නම්‍යශීලී දඟරය ෆැලෝපීය නාලවලට ඇතුළු කරනු ලැබේ


හතළිස් හැවිරිදි ෂෙලී ෆ්‍රසාඕ 2023 මුල්භාගයේ දී ඇගේ ගර්භාෂය, ගැබ්ගෙල, ෆැලෝපීය නාල, සහ තැන්පත්කර තිබූ එෂුවර් උපකරණය ඉවත් කෙරුණු පූර්ණ ගර්භාෂ විච්ඡේදන සැත්කමකට භාජනයවූවා ය.

"ඒක සිසේරියන් එකකට සමාන, උදරයේ කරන සැත්කමක්. සැත්කමෙන් සුවය ලබමින් හිටපු කාලෙ, මට බඩවැල්වල ඇලීමක් [උදරයේ ඇතිවන කැළැල් පටක නිසාවෙන් උදර පටක හා ඉන්ද්‍රියන් එකට 'ඇලෙයි'] සිද්ධවෙලා දරුණු බ්ලොක්වීමක් සිද්ධවුණා. මට තවත් ඔපරේෂන් එකක් කරන්න වුණා මේ නිසා," ඇය පවසයි.

ලිලියන් ද එෂුවර් උපකරණය ඉවත්කරවා ගැනීම සඳහා එම ශල්‍යකර්මයටම මුහුණදීමට සැරසී සිටියත්, ඇගේ ගර්භාෂයේ ඇතිවී තිබෙන තෙවැනි ගණයේ තුවාලයක් සඳහා ඊට පෙර ප්‍රතිකාර ලබාගත යුතුබව සොයාගත්තා ය.

කෙලීට, ඇගේ ගර්භාෂය ඉවත් කිරීමෙන් තොරව උපකරණය ඉවත්කරවා ගැනීමට අවශ්‍යවූ නමුදු වැඩිදුර සංකූලතාවන්ට මුහුණදීමට සිදුවූයෙන්, ගර්භාෂය මුළුමනින්ම ඉවත් කිරීමට සිදුවිය.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව තුළ ද මෙවැනි සිදුවීම් සිදුව ඇතැ යි හෙළිවීමෙන් පසු, කාන්තාවෝ තිදෙනාම බේයර් සමාගමට එරෙහිව නඩු පැවරීමට අදහස් කරති.

බේයර් සමාගමට එරෙහිව එක්සත් ජනපදය තුළ පවරා තිබූ නඩු 39,000කට වැඩි ගණනක් සමථයකට පත්කිරීම සඳහා, 2020 වසරේ අගෝස්තුවේ දී සමාගම ඩොලර් බිලියන 1.6ක මුදලක් ගෙවීය.

එෂුවර් අධිරෝපණයෙන් පසු දැඩි වේදනාවක් දැනෙනබව පවසන එක්සත් රාජධානිවැසි කාන්තාවෝ දෙසිය දෙනෙක්, බේයර් සමාගමට එරෙහිව සාමූහික නීතිමය පියවරකට පැමිණීමට සැරසෙමින් සිටිති.

මෙවසරේ දී ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ දහසකට අධික පිරිසක් අදාළ උපකරණය ඔවුනට වේදනාව, විඳවීම සහ අධික රුධිර වහනය උරුම කළබව පවසමින් පන්ති ක්‍රියාමාර්ග නඩුවක් ගොනු කිරීමට එක්වූහ.

බේයර් සමගම, එය බීබීසීයට ලබාදී තිබූ ප්‍රකාශය හරහා එහි නිෂ්පාදනය වෙනුවෙන් පෙනී සිටි අතර, එක්සත් ජනපදය තුළ ගනු ලැබුණු නීතිමය එකඟත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ වාණිජමය තීරණයක් පමණකැ යි තර්ක කළේ ය.

"එක්සත් ජනපදය තුළ සමථයට පත්වුණු නඩුවල දී, එම නිරාකරණ ගිවිසුම් සම්බන්ධයෙන් බේයර් සමාගම් පාර්ශවයෙන් කිසිදු වරදක්, දෝසයක්, හෝ වගකීමක් පිළිබඳ පිළිගැනීමක් නොතිබුණි," බේයර් පැවසීය.

(උපුටා ගැනීම - BBC සිංහල සේවය)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...