ලෝකයේ සංචාරය කිරීමට සහ නාගරික අත්දැකීම් විඳගැනීමට ඇති සිත්ගන්නාසුළුම වීදි (Coolest Streets) පිළිබඳ 2026 වසරේ නවතම ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර 'ටයිම් අවුට්' (Time Out) සඟරාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ආහාරපාන, සංස්කෘතිය, විනෝදාස්වාදය සහ ප්‍රජා සමගිය යන ප්‍රධාන නිර්ණායක පදනම් කරගනිමින් සැකසූ මෙම ලැයිස්තුවට ඕස්ට්‍රේලියාවේ වීදි දෙකක් ඇතුළත් වීම විශේෂත්වයකි.
මෙවර ලෝක ලැයිස්තුවේ පළමු ස්ථානය දිනාගෙන ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි 'සොං වොට්' (Song Wat Road) වීදියයි. පැරණි වෙළඳසැල් සහ නවීන කැෆේ සංස්කෘතිය එකට මුසු වූ අපූරු පරිසරයක් එහි නිර්මාණය වී තිබේ.
ඇඩිලේඩ් නුවර සැඟවුණු පාරාදීසය
මෙවර ඕස්ට්‍රේලියාවෙන් ලැයිස්තුවේ ඉහළම ස්ථානයක් හිමිකරගෙන ඇත්තේ ඇඩිලේඩ් නුවර පිහිටි එබෙනීසර් ප්ලේස් (Ebenezer Place) වීදියයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව එය 19 වැනි ස්ථානයේ පසුවෙයි.
ඇඩිලේඩ් නගර මධ්‍යයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි මෙය ඉතා කුඩා වීදියකි. "කුඩා දේවල් තුළ සැබෑ සුන්දරත්වය සැඟවී ඇති බව මෙම වීදිය ඔප්පු කරනවා" යැයි 'ටයිම් අවුට්' සංස්කාරක මෙලිසා වුඩ්ලි පවසයි.
ගිම්හාන කාලයත් සමඟ මෙම වීදිය අතිශය කාර්යබහුල වෙයි. විශේෂයෙන්ම සෙනසුරාදා දිනවල පැවැත්වෙන රාත්‍රී වෙළඳපොළ (Ebenezer Night Markets) නිසා දේශීය ආහාරපාන සහ කලා නිර්මාණ රසවිඳීමට විශාල පිරිසක් මෙහි ඇදී එති.
ලෝක ප්‍රකට මිචෙලින් (Michelin Guide) ඇගයීමට ලක්වූ Golden Boy සහ Africola වැනි අවන්හල් මේ ආසන්නයේ පිහිටා තිබීම සංචාරක ආකර්ෂණය තවත් වැඩි කරයි.
සිඩ්නි නුවර 'වෝඩ් මාවතේ' නව පිබිදීම
ලෝක ලැයිස්තුවේ 24 වැනි ස්ථානයට පත්ව ඇත්තේ සිඩ්නි නුවර පොට්ස් පොයින්ට් (Potts Point) ප්‍රදේශයේ පිහිටි වෝඩ් මාවතයි (Ward Avenue).
අතීතයේ රාත්‍රී සමාජශාලා නිසා ප්‍රසිද්ධියට පත්ව තිබූ 'කිංග්ස් ක්‍රොස්' (King’s Cross) ප්‍රදේශයට යාබදව මෙම වීදිය පිහිටා ඇත.
වසර කිහිපයකට පෙර සිඩ්නි නුවර පැනවූ රාත්‍රී සමාජශාලා සීමා කිරීම් (Lockout laws) හේතුවෙන් මෙම කලාපයේ ව්‍යාපාර දැඩි පසුබෑමකට ලක්ව තිබුණි.
එහෙත් අද වන විට පැරණි කලාත්මක මහල් නිවාස (Art Deco apartments), නිස්කලංක කැෆේ සහ Caravin, Paradise වැනි නවීන වයින් අවන්හල් නිසා වෝඩ් මාවත සිඩ්නි නුවර වඩාත් සුන්දරම නවාතැනක් බවට පත්ව ඇතැයි සංචාරක විචාරකයෝ පෙන්වා දෙති.
ලොව ප්‍රමුඛතම වීදි පෙළගැස්ම
2026 වසරේ ලොව සිත්ගන්නාසුළුම වීදි අතර මුල් ස්ථාන පහ මෙසේ සටහන් වේ:
* පළමු ස්ථානය: සොං වොට් වීදිය (Song Wat Road) - බැංකොක්, තායිලන්තය
* දෙවන ස්ථානය: ගෝල්බෝන් වීදිය (Golborne Road) - ලන්ඩන්, එක්සත් රාජධානිය
* තෙවන ස්ථානය: ෆර්නැන්ඩස් ඩි එන්සිසෝ (Fernández de Enciso) - බුවනෝස් අයර්ස්, ආර්ජන්ටිනාව
* සිව්වන ස්ථානය: වාසන්කටු (Vaasankatu) - හෙල්සින්කි, ෆින්ලන්තය
* පස්වන ස්ථානය: නීල් වීදිය (Neil Road) - සිංගප්පූරුව
පසුගිය 2025 වසරේදී බ්‍රිස්බේන් නුවර මොන්ටේග් වීදිය 6 වැනි ස්ථානයටත්, 2024 වසරේදී මෙල්බර්න් නුවර හයි වීදිය ලොව පළමු ස්ථානයටත් පත්ව තිබුණි.
ඕස්ට්‍රේලියානු නගරවල වීදි සංස්කෘතිය අඛණ්ඩව ලෝක අවධානය දිනා ගැනීමට සමත්ව සිටින බව මෙම නවතම ශ්‍රේණිගත කිරීමෙන් යළිත් තහවුරු වෙයි.
මූලාශ්‍ර සබැඳිය:
Two streets in Australia named among ‘coolest’ in the world - Nine.com.au



