ලොව පුරා රසිකයන්ගේ ආදරය දිනූ 'පීසා හට්' (Pizza Hut) අවන්හල් ජාලයේ සම-නිර්මාතෘ ඩෑන් කාර්නි (Dan Carney) පසුගියදා දිවි ගමනට සමුදුන්නේය.
1931 වසරේ උපත ලැබූ ඔහු, 1958 වසරේදී සිය සොහොයුරු ෆ්‍රෑන්ක් සමඟ එක්ව ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ඉතා කුඩා අවන්හලකින් මෙම දැවැන්ත ව්‍යාපාරය ආරම්භ කළේය. මවගෙන් ණයට ගත් ඩොලර් 600ක මුදලකින් ඇරඹි එම කුඩා ව්‍යාපාරය ලෝක මට්ටමේ සන්නාමයක් දක්වා ඔසවා තැබීමට ඩෑන් ගත් තීරණ අදටත් ව්‍යාපාරික ලෝකයට මහඟු ආදර්ශ සපයයි.
ව්‍යාපාරය ලොකු වෙද්දී හිරවුණු අයිතිකරු
පීසා හට් ව්‍යාපාරය සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් අලුත් ශාඛා විවෘත වන විට, ඩෑන් කාර්නි බරපතල ගැටලුවකට මුහුණ දුන්නේය. ඒ වන විටත් සියලුම අවන්හල්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ බඩුබාහිරාදිය තමන්ගේම වාහනයෙන් ගොස් බෙදා හැරීම ඔහු විසින්ම සිදු කළේය.
ශාඛා සංඛ්‍යාව වැඩි වත්ම ඩෑන්ගේ දවසෙන් වැඩි කාලයක් ගත වූයේ මහමග බඩු ප්‍රවාහනය කිරීමටයි. ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට හෝ නව උපායමාර්ග සකස් කිරීමට ඔහුට කාලයක් ඉතිරි නොවීය.
සැපයුම් ජාලය අන්සතු කිරීමේ තීරණය
තමන් කරන්නේ ව්‍යාපාරය දියුණු කිරීම නොව, එදිනෙදා කුඩා මෙහෙයුම් වැඩවල හිරවී සිටීම බව ඩෑන් තේරුම් ගත්තේය. පසුව සොහොයුරන්ගේ ව්‍යාපාරික ජාලය හරහා බිහි වූ වෙනම සැපයුම් ආයතනයකට එම බෙදාහැරීමේ වගකීම භාර දීමට ඔහු තීරණය කළේය.
බඩු බෙදා හැරීමේ බරින් නිදහස් වූ ඩෑන්ට, එතැන් පටන් පීසා හට් ජාලය ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට අවශ්‍ය පූර්ණ අවධානය යොමු කිරීමට හැකි විය.
ව්‍යාපාරිකයන් උගත යුතු පාඩම
අවන්හල් කර්මාන්තය පිළිබඳ විශ්ලේෂණය කරන 'Owner.com' ආයතනය පෙන්වා දෙන්නේ, මෙරට මෙන්ම ලොව පුරා බොහෝ කුඩා ව්‍යාපාරිකයන් අදටත් ඩෑන් එදා මුහුණ දුන් ගැටලුවේම සිරවී සිටින බවයි. යම් කාර්යයක් ඉටු විය යුතු වූ පමණින්, එය ව්‍යාපාරයේ අයිතිකරු විසින්ම කළ යුතු නැත.
ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට නම් අයිතිකරු විසින් අනුගමනය කළ යුතු පියවර 3ක් එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1- කාලය කා දමන වැඩ හඳුනා ගැනීම: ව්‍යාපාරය ඉදිරියට ගෙන යන තීරණ ගැනීමෙන් අයිතිකරුව ඈත් කර තබන, නිතරම කාලය වැය වන එදිනෙදා කාර්යයන් හඳුනා ගත යුතුය.
2- ක්‍රමවේදය සටහන් කර පුහුණු කිරීම: එම කාර්යය නිවැරදිව කරන ආකාරය පැහැදිලිව සටහන් කර, සුදුසු සේවකයෙකුට ඒ පිළිබඳව මනා පුහුණුවක් ලබා දිය යුතුය.
3- පූර්ණ වගකීම පැවරීම: පුහුණුව ලබා දීමෙන් පසු, එම කාර්යයේ සම්පූර්ණ වගකීම අදාළ සේවකයාට භාර දී අයිතිකරු එයින් නිදහස් විය යුතුය.
වෙනත් කෙනෙකුට කළ හැකි වැඩක් වෙනුවෙන් ව්‍යාපාර හිමිකරුවෙකු වැය කරන සෑම පැයක්ම, එම ව්‍යාපාරය දියුණු කිරීමට අහිමි වන පැයකි. ඩෑන් කාර්නිගේ ජීවිත කතාව ව්‍යාපාරික ලෝකයට ඉතිරි කර ගිය වටිනාම පණිවිඩය එයයි.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය:
Learn with Owner.com - YouTube Community Post



