BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

T

The Leader

May 4, 2023 • 11:32 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (10) : මහින්ද අයියා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ලෝකයේ හමුවන සුවිශේෂී චරිතවලින් එකකි මහින්ද අයියා.
  • එසේ පැමිණි ඔහුගේ 50 වැනි උපන් දිනය සමරන්නේ ද ග්‍රාන්ට්ස් එක තුල දීමය.
  • කාලෙකදි ගැරට් ජයවර්ධන ගේ ඒජන්සියට රවී ඔන්ඩච්චි හා මහින්ද යන්න හදන බව ආරංචි වුණා....
  • මහින්ද සෙවන ලොතරැයිය අතහැරියේ 1995 අවුරුද්දේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්පූර්ණ නම කිව්වොත් මහින්ද ජීවානන්ද ය.

එහෙම වුනත් ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකට ඔහු මහින්ද අයියා ය.

 

අද සිටින කොම්පියුටර බාස්ලා අතර ඔහු කැපී පෙනෙන්නේ තවමත් අතින් විෂුවල් එකක් ගැසිය හැකි අවසන් පරපුරේ එක් ප්‍රධානම නියෝජනයක් ඔහු වන බැවිනි.

 

මහින්ද ග්‍රාන්ට්ස් ප්‍රචාරක ආයතනයට එක් වන්නේ කිරි කජු කොල්ලෙකු වශයෙනි.

එසේ පැමිණි ඔහුගේ 50 වැනි උපන් දිනය සමරන්නේ ද ග්‍රාන්ට්ස් එක තුල දීමය.

එය විශේෂ දිනයකි.

මහින්ද පැමිණෙන විට මුළු ඔෆිස් එකම සරසා තිබුණි.

හැමෝම ස්ටිකර් එකක් පැළැද සිටියහ.

එහි සදහන් වූයේ " we love you Mahinda “ යනුවෙනි.

එදින රෙජී කන්දප්පා විශේෂ කතාවක් කළේය.

එහි සාරාංශය මෙසේ විය.

" මම රවී ඔන්ඩච්චිත්, මහින්ද ජීවානන්දත් එකම කාලේ ග්‍රාන්ට්ස් එකට බඳවා ගත්තේ....

රවී මගේ ඥාතියෙක් වෙනවා...

මං මේ දෙන්නටම ඉගැන්වුවා...

කාලෙකදි ගැරට් ජයවර්ධන ගේ ඒජන්සියට රවී ඔන්ඩච්චි හා මහින්ද යන්න හදන බව ආරංචි වුණා....

මං රවී ගෙන්නලා ඇහුවා කවුද උඹට ඉගැන්නුවේ කියලා ..

රවී කිව්වා ගැරට් ජයවර්ධන කියලා ...

එතනින් එහා කතා කරලා වැඩක් නැති නිසා මං මුකුත් ඇහුවේ නෑ...

ඊළඟට මං මහින්ද ගෙන්නලා ඇහුවා කවුද උඹට ඉගැන්නුවේ කියලා ...

මහින්ද කිව්වා බාගයක් බොස්, බාගයක් ගැරට් කියලා ...

මං ඊළඟට ඇහුවා උඹත් අස් වෙලා යනවද කියලා ...

මහින්ද කිව්වා නෑ කියලා ...

මහින්ද කියන්නේ අන්න ඒ වගෙ මිනිහෙක් ...!"

ඊට වඩා දෙයක් මහින්ද ගැන කිව යුතු නැත.

සෙවන ලොතරැයි ටිකට් පත් එකල මසකට වරක් නිකුත් විය.

එහි සෑම විෂුවල් එකක්ම වැදුණේ මහින්ද ගේ පැන්සල් පහරිනි.

සෙවන රූපවාහිනී දැන්වීම් බොහෝමයක් අධ්‍යක්ෂණය කළේ ටෙලිස්ටාර් අධිපති බන්ධුල වීරක්කොඩි විසිනි.

මහින්ද සමග රූපගත කිරීම්වලට ‍යෑම ප්‍රීතිය ගෙන දෙන්නක් විය.

රූපගත කිරීම අවසන් වූ පසු ප්‍රීතිය ඩබල් වීමට හේතු තිබිණ.

මහින්ද සෙවන ලොතරැයිය අතහැරියේ 1995 අවුරුද්දේ ය.

නව ආණ්ඩුවේ ලොතරැයිය බාර ඇමැතිතුමා සබ්ජෙක්ට් එකට බර කෙනෙක් විය.

ඔහු යටතේ පළමු රැස්වීමට ගිය විට ඇමැතිතුමාගේ ගෝලයන් විමසුවේ දැන්වීමට ගන්නා මොඩ්ල්ස්ලා ගැනය.

මොඩ්ල්ස්ලා පාවිච්චි කිරීම ගැනය.

මහින්ද මීටිම ඉවර වී එලියට ආවේ මල අතේ තියාගෙනය.

"මේ වගෙ එවුන්ට මං ආයේ වැඩ කරන්නේ නෑ"

එදායින් පසු මහින්ද සෙවන ලොතරැයිය වෙනුවෙන් වැඩ කළේ නැත.

මහින්දගේ වටිනාකම රෙජී කන්දප්පා දැන සිටියත් ඒජන්සියේ ඇතැම්  ලොක්කන්ට ඔහු ගේ වටිනාකම තේරුනේ නැත.

 

මහින්ද අයියා දැන්වීම් ලෝකයේ තුප්පහි සංස්කෘතියේ නියෝජනයක් නොවිනි.

 

එවිට බොහෝ අවස්ථාවන්වලදී සිදුවන්නේ දේශපාලන ගේම්වලට ආසන්න දේවල් ය.

ඔවුන් මුළින්ම කළේ හොඳ මිතුරන් වූ මහින්ද හා රොහාන් පියදාස බිඳවීමයි.

එය කළේ සහකාර නිර්මාණ අධ්‍යක්ෂවරුන් වූ ඔවුන් දෙදෙනාම එකම කණ්ඩායමකට ඇතුළු කිරීමෙනි.

වැඩි කලක් යන්නට මත්තෙන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය විය.

ඒ මහජන බැංකුවේ ෂූට් එකක් මුල් කරගෙනය.

කාරණාව සුළු එකකි.

අදාළ ෂූට් එක රොහාන්ට නොකීමය.

කාලයක් යනතුරු දෙදෙනා මූණ නොබැලූ අතර එහි පීඩනය වැඩිපුර දැනුනේ ඇච්චන් වූ අපටය.

මහින්දට අවසන් කෙනෙහිලිකම සිදුවූයේ 2004 වසරේදී ඔහුට වඩා කණිෂ්ඨයකුගේ නිර්මාණ කණ්ඩායමකට ඔහුව ඇතුළු කිරීමෙනි.

ඔහු කොන්ද පණ ඇති කලාකරුවකු වශයෙන් එළියට බැස්සේය.

ඉන් පසු ඔහු එක් වූයේ සර්වා ආයතනය සමගයි.

අදටත් ඔහු එහි සේවය කරයි.

 

මහින්ද අයියා ඇඩ්වර්ටයිසිං ලෝකයට පය ගසා සිටින පුස්සන් අතර සිටින නියම වැඩකාරයෙකි.

 

ඔහු විවිධාකාර කලා නිර්මාණ කරයි.

ජායාරූප ගනියි.

චිත්‍ර අඳියි.

එහෙත් තැන තියෙන්නේ ඉංග්‍රීසි කතා කරන ' පොෂ්' ආර්ට් ඩිරෙක්ටර්ස්ලාට ය.

 

PHOTO 2023 05 05 10 11 27

PHOTO 2023 05 05 10 11 25PHOTO 2023 05 05 10 11 25 1PHOTO 2023 05 05 10 11 26PHOTO 2023 05 05 10 11 26 1

මහින්ද ගේ නිර්මාණ කිහිපයක්

 

ඉස්සර සිංගර් ආයතනය වෙනුවෙන් වාර්ෂික ඉදිරිපත් කිරීමක් කළ යුතුය.

සිංගර්, අකායි, සන්සුයි ආදී වශයෙන් බ්‍රෑන්ඩ්ස් ගණනාවක් සිංගර් සමාගම සතු විය.

 

බම්බලපිටිය හන්දියේ පොත් කඩවලින් අප උස්සාගෙන එන සඟරාවල ඇති රූප කපා මහින්ද අයියා අපූරුවට විෂුවල් මවන අයුරු බලා සිටින අපට මැජික් මෙනි.

 

මේ යුගයේ කොම්පියුටර් කියන වචනය පමණක් අප අසා තිබුණි.

කාලයකට පසු ග්‍රාන්ට්ස් එකටත් කොම්පියුටර් ලැබුණි.

තවත් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙකු වූ ඩග්ලස් පෝල් තමාට ලැබුණ කොම්පියුටරයෙන් මුලින්ම කළේ රෙජී කන්දප්පා ගේ රූපය ඇඳීම ය.

ඒ දෙස මදක් බලා සිටි මහින්ද අයියා කිව්වේ මෙපමණකි.

" මල්ලි, බෝනස් දෙන්න තව කල් තියෙනවා ...!"

 ඒ කතාවට හොල්මන් ද පෝල් වී ගිය ඩග්ලස් පෝල් දඩස් ගා කොම්පියුටරය වසා දැමීය.

දිනක් මහින්ද අයියා, රොහාන් පියදාස හා මම ක්ලැරන්ස් විජේවර්ධන ගේ තලපත්පිටිය ගෙදරට ගියේ ජිංගල් එකක් ගැන සාකච්ඡා කිරීමට ය.

 ක්ලැරන්ස් ගේ රොක්ලන්ඩ් බෝතලයෙන් මහින්දට හා රෝහාන්ට සැලකූ නමුත් ක්ලැරන්ස් මට බොන්න දුන්නේ නැත.

මට ලැබුනේ කිරි එකක් පමණි.

මීටිම ඉවර වුනේ රෑ 10 ත් පසුවී ය.

නුගේගොඩ ඩොමිනික් එකට ගොස් " පව් වැඩේ මූ " කියා මට බොන්න අරන් දුන්නේත් මහින්ද අයියා ය.

පසුව ඩොමිනික් එකේ හිස් බිලක ෆ්‍රයිඩ් රයිස් 3 ක් කෑ බවට මං ලවා බිලකුත් ලියවාගෙන " මූ මේ වැඩේට නං මරු..." කියා කිව්වේත් මහින්ද අයියා ය.

 

ඇඩ්වර්ටයිසිං ලෝකයේ ' අයියා ' යන ගෞරව නාමයෙන් හඳුන්වන්නේ ඉතාම ළබැඳි මිනිසුන් කිහිප දෙනෙකු පමණි.

 

සුන්දර සිනාවකින් මුව පිරුණු මහින්ද අයියා එහි මුල් පෙළේ වැජඹෙන කෙනෙකි.

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)



ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :

ඇඩ්වර්ටයිසිං ලෝකය (9) : උඹ කතා නැත්තේ මොකද අද උමා

ඇඩ්වර්ටයිසිං ලෝකය (8) : පුතා මම රොසන්

ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...