BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (32) : සූර පප්පා

T

The Leader

June 5, 2023 • 11:41 PM

ඇඩ්වර්ටයිසිං ලෝකය (32) : සූර පප්පා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සූර පප්පා කිව්වේ සුරේෂ් ටය.
  •  එහෙම එකක් ගැන අසා නැති මුදලාලි පැන්ටා පටී නැති බව පවසයි.
  • " කමක් නැද්ද මහත්තයා ...?"  සුරේෂ් ඉල්ලන්නේ මිරින්ඩා බව නොතේරෙන මුදලාලි අසන්නේය.
  • එහෙත් මේ කිසිම ලිපියකට, කිසිම දවසක සුරේෂ් පිළිතුරු ලිපි ලියන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු දමිළ පිටපත් රචකයා ය.

හොඳ සිංහලෙන් කිව්වොත් ටැමිල් කොපි රයිටර් ය.

එහෙත් සුරේෂ් එම පට්ටමට අකැමැති ය.

ඔහුට ඕනෑ වූයේ නිර්මාණ අධ්‍යක්ෂවරයකු වීමටය.

සුරේෂ් ග්‍රාන්ට්ස් එකෙන් අස්වීමටද, ෆීනික්ස් එකට බඳවාගැනීමට ද මා සම්බන්ධ බැවින් ඔහු ගැන හොඳට ලිවිය හැකිය.

ඒ කාලේ දවල්ට බත් කා අප කණ්ඩායමක් ගාලුපාර පැත්තට එන්නේ අතුරුපසක් සොයාගෙනය.

මේ පිරිසට අජිත් නිශාන්ත, සංජීව, සුරේෂ් හා මාත් අයත්ය.

සුරේෂ්ට යෝගට් අරහංය.

ඒ වෙනුවට ඔහු වෙන මොනවා හෝ කයි.

නැත්නම් ෆැන්ටා එකක් හෝ බොයි.

hhj

ෆැන්ටා, කොකාකෝලා, මිරින්ඩා බඩී බෝතල් මාර්කට් එකට ආවේ මේ කාලයේ දීය.

 සුරේෂ් ට වැදුණු බඩී කාඩ් එක මේකය.

" මුදලාලි මට පැන්ටා පටී එකක්  දෙන්න .."

 සුරේෂ් මුදලාලි ගෙන් ඉල්ලා සිටියි.

 එහෙම එකක් ගැන අසා නැති මුදලාලි පැන්ටා පටී නැති බව පවසයි.

" මුදලාලි මට එහෙනං මැරෙන්ඩ එකක් දෙන්න .."

සුරේෂ් නැවත ඉල්ලයි.

" කමක් නැද්ද මහත්තයා ...?"

 සුරේෂ් ඉල්ලන්නේ මිරින්ඩා බව නොතේරෙන මුදලාලි අසන්නේය.

201108 omag point 600x411
ඒ කාලයේ ලයිලා ගේ සෙක්ට්‍රි ඉන්දිරා ය.

මැදිවිය පසු කල දමිළ ජාතික කාන්තාවක් වූ ඇය නිහඬ ගති පැවතුම්වලින් යුක්ත වූවාය.

අජිතුත් මාත් කරන්නේ සුරේෂ් ගෙන් දිනකට දෙමළ කුණුහරුප වචනය බැගින් ඉගෙනගැනීමයි.

ඉන්පසු එයින් වාක්‍යයක් හදාගන්නා අපි ඉන්දිරා යන විට ඇයට ඇසෙන සේ හඬගා කියමු.

සුරේෂ් ව ගෙන්වා ගන්නා ඉන්දිරා ඔහුට පලු පැලෙන්න බනියි.

" අර අහිංසක ළමයින්ට නරක වචන උගන්නන්නේ ඇයි? "

ඉන්දිරා අසන ප්‍රශ්නවලට සුරේෂ් ට කට උත්තර නැත.

" උඹලාට මං ආයේ එක කුණුහරුප වචනයක් කියලා දෙන්නේ නෑ... මගෙන් අහන්නත් එපා...බලපං මං නිකං බැනුම් අහනවා..."

එහෙම කියන සුරේෂ් ටික දවසකින් නැවත ඒ වැරැද්දම කරයි.

person writing letter with metal quill
සුරේෂ් ඒ කාලේ දෙමළ පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිව්වේය.

මෙම ලිපි පළවූ පසු සුරේෂ් ට ලිපි ගලාගෙන එයි.

වැඩිපුරම ලිපි එවන්නේ දමිළ යුවතියන් ය.

ඔයිනුත් මඩකළපුව පැත්තේ යුවතියක් සුරේෂ් ට දිගටම ලියුවාය .

ඇය ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.

එහෙත් මේ කිසිම ලිපියකට, කිසිම දවසක සුරේෂ් පිළිතුරු ලිපි ලියන්නේ නැත.

දිනක් අර මඩකළපුව පැත්තේ යුවතිය මෙසේ ලියා එවුවාය.

" ඔයා දෙමළෙන් හරි උත්තර එවන්න .. මට දෙමළ කියවන්න පුළුවන් .."

සුරේෂ් මට ඒ ලිපිය පෙන්නුවේ ය.

" බලපං කොච්චර නෝන්ඩියක් ද... දැන්වත් මේකිට ලියපං..."

මම කීවෙමි.

ඒ අනුව ලිපි ගනුදෙනුව ඇරඹිණ.

දැන් වැඩේට මාස ගණනක් ගෙවී ඇත.

කෙල්ලගේ තාත්තා ඉන්නේ කැනඩාවේ ය.

16 realistic tamil woman painting by ilayaraja

 සූරේෂුත් කැමැති ය.

 කෙල්ලත් කැමැති ය.

එහෙත් තාම දෙන්නට දෙන්නා දැක නැත.

 පිංතූරයක් එවන්නැයි සුරේෂ් දිනක් ඉල්ලා ‍යැව්වේය.

" මාව දැක්කම ඔයාට මාව එපා වෙයිද දන්නේ නෑ.."

යනුවෙන් ඇය ලියුවාය.

එසේ නොවන බවට සුරේෂ් සහතික විය.

දිනක් සුරේෂ් මා ඉදිරියේ පෙනී සිටියේ මහාසෝන් යක්ෂයා ආරූඪ වූ පරිද්දෙනි.

" යකෝ...! තෝ මාව කෑවා...!"

 සුරේෂ් අත ඇති ජායාරූපය මට දික් කළේය.

ටෝච් එකක් පත්තු කළත් ඒ ජායාරූපයේ ඉන්න කෙල්ල හඳුනාගැනීමට බැරිය.

සමහර විට සුරේෂ්ව ටෙස්ට් කරන්න ඇය බොරුවක් කළා වන්නට පුළුවන.

කෙසේ වෙතත් තමන් රට යන බවට ලියුමක් ලියා සුරේෂ් ග්‍රාන්ට්ස් එකෙන් අස්වී ඊට වඩා අඩු පඩියකට මෙල් ඇඩ්ස් එකට බැඳුනේය.

ෆීනික්ස් එකට ඔහු නැවත එක්කර ගැනුනේ ඊට පසුවය.



බාන්ස් පෙදෙස පටන් ගන්නා තැන ඉස්සර ඇලෙක්සැන්ඩ්‍රා නමින් ජාත්‍යන්තර පාසලක් තිබිණ.

එහි වැඩිපුර හිටියේ මුස්ලිම් දරුවන් ය.

හිටි අඩියේම එහි අයිතිකරුවන් විසින් නිවාස සංකීර්ණයක් සෑදීමට පාසල විකුණා දමා තිබිණ.

 ඉතින් හැමදාම මේ පොඩි එවුන් පෝස්ටර් කටවුට් තියාගෙන පාරේ ස්ට්‍රයික් ය.

 සුරේෂ් ඔෆිස් එකට එන්නේ මේ දරුවන් අතරිනි.

සුරේෂ් ගේ නිකට වළ ගැහී ඇත.

 හරියටම අලවංගුවකින් ඇන්නා මෙනි.

බැලූ බැල්මට සුරේෂ් ගේ දමිළ බවක් නොපෙනේ.

 සුරේෂ් දුටු පොඩි එකෙක් අනෙකාට දමිළ බසින් මෙසේ පවසා තිබේ.

" බලපං මචං අරූගේ බුරිය තියෙන තැන...!"




(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...