BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (33) : ජූඩ්

T

The Leader

June 8, 2023 • 1:07 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (33) : ජූඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූඩ්ව මං මුලින්ම දැක්කේ ජයවර්ධනපුර රෝහලේදී ය.
  • ඇතැමුන්ට මෙන් ඔහුට ප්‍රඩක්ෂන් හවුස්වලින් පඩි ගෙවුවේ නැත.
  • ඕනෑම ඒජන්සියක ලොකුම හොර ගුහාව AV ඩිපාර්ට්මන්ට් එක බව නැවත සදහන් කරන්නේ එබැවිනි.
  • අප ලියන දැන්වීමේ ඇති තාක්ෂණික අඩුපාඩු කියාදී අපත් සමගම කමර්ෂල් එක ගොඩදමා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු ග්‍රාන්ට්ස් එක හා එකතුවීමට දින ගණනකට පෙරාතුව මගේ දැන්වීමක් රූපගත කරමින් තිබිණ.

ජූඩ් එය නැරඹීමට පැමිණියේය.

ඔහුව මුලින්ම හඳුනාගත්තේ එහෙමය.

AV ඩිපාර්ට්මන්ට් එකකදී හමුවිය හැකි අවංකම මිනිසා ඔහු ය.

ජූඩ් සත පහක්වත් වංචා කළ පුද්ගලයකු නොවේ.

ඇතැමුන්ට මෙන් ඔහුට ප්‍රඩක්ෂන් හවුස්වලින් පඩි ගෙවුවේ නැත.

ඔහුට හොඳ වාහනයක් තිබුනේ නැත.

තිබුනු වාහන කට්ටත් ගත්තේ බොහොම අමාරුවෙනි.

 

PHOTO 2023 06 08 11 38 38 1

ජූඩ් අවංක මිනිසකු වන්නේ වටේ සංසරණය වන අනෙක් ප්‍රඩක්ෂන් මැනේජර්ලාගේ වතගොත ඇසූ විටය.

AV ඩිපාර්ට්මන්ට් එකෙන් වෙළෙඳ දැන්වීමකට බජට් හදද්දී contingency යනුවෙන් යම් මුදල් ප්‍රමාණයක් වෙන් කරයි.

එසේ වෙන් කරන්නේ ‍යම් අවිනිශ්චිත ගෙවීම් සිදු කිරීමට ය.

contingency වලින් ගෙදරට අවශ්‍ය බඩු ගත්, කාර් එක සර්විස් කළ AV මැනේජර්ලා අතර ජූඩ් දෑත් කිළිටි කර නොගත්තෙකි.

පුද්ගලික අංශය පසෙක තියේවා, අවුරුදු එකහාමාරකින් වාහනයේ ලීසිං එක ගෙවා අවසන් කළ ප්‍රඩක්ෂන් මැනේජර්ලා රාජ්‍ය අංශය තුලින් ද වාර්තා වී තිබේ.

ඕනෑම ඒජන්සියක ලොකුම හොර ගුහාව AV ඩිපාර්ට්මන්ට් එක බව නැවත සදහන් කරන්නේ එබැවිනි.

 

ජූඩ් සමග වැඩ කිරීම ඉතා පහසුය.

ඔහු විෂය හොදින් දනියි.

පණ්ඩිත ටෝක් නැත.

අප නොදන්නා දේ කියා දෙයි.

අප ලියන දැන්වීමේ ඇති තාක්ෂණික අඩුපාඩු කියාදී අපත් සමගම කමර්ෂල් එක ගොඩදමා දෙයි.

තිර පිටපතක් ඔහු අතට දුන් විට ඔහු තෝරන්නේ ප්‍රඩක්ෂන් හවුස් එකක් නොවේ.

ඊට සුදුසුම අධ්‍යක්ෂවරයා කවුද යන්නයි.


PHOTO 2023 06 08 11 38 40

දවසක් ජූඩ්ට මරු වැඩක් විය.

ඇත්තම කිව්වොත් මරු වැඩක් කළා කීවොත් වඩාත් නිවැරැදි ය.

සම්පත් බැංකුව උදෙසා පෝ දින දැන්වීමක් නිර්මාණ විය.

එහි පුවත්පත් දැන්වීම් සදහා පෙනී සිටියේ ග්‍රාන්ට්ස් එකේ මංගලාගේ දුවය.

හැබැයි රූපවාහිනී දැන්වීමේ පෙනී හිටියේ මාලනී ෆොන්සේකා ගේ මල්ලිගේ දුවය.

ඒ සෙනාලි ෆොන්සේකා ය.

මේකට මංගලාගේ හිත හොඳ නැති බව ආරංචි විය.

අපි ඒ සදහා කතාවක් ගෙතුවෙමු.

සෙනාලි යනු ජූඩ්ගේ වයිෆ්ගේ පුංචි අම්මා ගේ දුව බවත්, මංගලාගේ දුවව ගන්න කියද්දීත් අපේ විරෝධය නොසලකාම ජූඩ් සෙනාලි ව ඊට තෝරගත් බවත් මංගලාට සැල කර සිටියෙමු.

මංගලාට ඒ ඇති ය.

ටික දිනක සිට මංගලා තමන්ගේ මුහුණ නොබලන බව ජූඩ් අපට දැන්වූයේ ය.

අපි අප කළ හරිය කීවෙමු.

" උඹලා මේ මොකද කළේ...? "

කියමින් ජූඩ් සිනාසුනේය.

ඉන් පසුව මංගලාට ඇත්ත පවසා ජූඩ් වැඩේ ෂේප් කරගෙන තිබුණි.


තිස්සමහාරාම, ගිරිඋල්ල, පල්ලේකැලේ ඇතුළු බොහෝ ප්‍රදේශවල දර්ශනතලවල ජූඩුත් මාත් කරක්ගැසුවෙමු.

නුවර පාරේ ගියොත් අප ගොඩවදින්නේ අඹේපුස්ස රෙස්ට් හවුස් එකට නොව ඊට මදක් ඈතින් පිහිටි ජිනදාස තලගුලි මුදලාලිගේ හෝටලයට ය.

ඒ ගමන්වාරවලදී ජූඩ් අමතක නොකර ගන්නා දෙයක් විය.

එය නම් සීනි දමා බැදපු කෙසෙල් පෙතිය.

PHOTO 2023 06 08 11 38 38

ඔහු ඒවා මිලදී ගත්තේ තම එකම දියණිය වෙනුවෙනි.

එකල අපට නිතර නිතර වර්ණ සංයෝජන කටයුතු සදහා සිංගප්පූරුවට යෑමට සිදුවිය.

එහෙත් ජූඩ් කිසිදු දැන්වීමක් උදෙසා ඒ වනවිට වර්ණ සංයෝජනය සදහා එතෙර ගොස් තිබුනේ නැත.

නැවත වතාවක් මට සිංගප්පූරුවේ VHQ වෙත යෑමට සිදුවිය.

ජූඩ් නොපැමිණෙන්නේ නම් මමද මෙවර නොයන බව ඔහුට දැන්වූයෙමි.

ඒ අවස්ථාවේ ජූඩ් මා සමග පැමිණියේ ය.

එය ඔහු වර්ණ සංයෝජනය කටයුත්තකට විදේශගත වූ ප්‍රථම අවස්ථාවයි.

ජූඩ් පෙරළා ලංකාවට පැමිණියේ බොහෝ තාක්ෂණික කරුණු ඉගෙනගෙනය.

ඒ ජූඩ් ගේ හැටිය.


ජූඩ්ගේ වටිනාකම ජූඩ් අස්වන තුරුම ග්‍රාන්ට්ස් එකට වැටහුණේ නැත.

ජූඩ්ව යැවිය යුතුම ඇඩ් ෆෙස්ට් එකට ජූඩ් ව කවදාවත් යැව්වේ නැත.

ඒ වෙනුවට ගියේ මිරිකුවත් ජූස් නොඑන කිරි පුස්සන්‍ ය.

පසු කාලීනව ජූඩ් ග්‍රාන්ට්ස් එකෙන් ඉවත් වී ලියෝ එකට බැදුනේය.

ඒ ගිහිනුත් ඉදහිට අප කතා කළේත් මොකක් හෝ කමර්ෂල් එකක් ගැනය.

නැතිනම් ඊට අදාළ කරුණක් ගැනය.

PHOTO 2023 06 08 11 38 39

යැවිය යුතුම ලිස්ට් එක වෙනුවට දෙවියන් ගේ අතට හැම විටම අහුවෙන්නේ දවසක් හෝ වැඩිපුර තියාගත යුතු මිනිස්සුත් ගේ ලිස්ට් එකය.

මට හිතෙන්නේ දෙවියන් එසේ කරන්නේ හොඳ මිනිසුන් කෙරෙහි ඇති අහිතකින් නොවේ.

ජීවත් වෙන සෙසු මිනිසුන්ට දඬුවම් කිරීමට ය.

දිනක් සුව නින්දට වැටුණු ජූඩ් යලි අවදි වූයේ නැත.

ඔහු අප කාටත් නොකියාම ඒ නින්දෙන් ම නික්ම ගොස් තිබුණි.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...