BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (36) : මහකණුමුල්ල

T

The Leader

June 12, 2023 • 12:10 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (36) : මහකණුමුල්ල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය දවස්වල වැඩිපුර කතා වුණේ දේවානම් පිය තිස්ස ගැන ය.
  • වජිරට අමුතුම ගමන් රටාවක් ඇත.
  • වජිර පැමිණ හිඟන්නෙකු ලෙස අප බොන දෙස බලා සිටියද ඌට බොන්න නොදුන්නෙමු.
  • බැරිම තැන වජිර එතැනින් ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද කතා කරනුයේ බොන්න පිය තිස්ස කෙනෙක් ගැන ය.


ඔහු වජිර මහකණුමුල්ල ය.

වජිර මට මුලින්ම හමුවන්නේ ෆීනික්ස් එකේදී ය.

ඔහු කොහෙන් කොහොම ආවාදැයි මට මතක නැත.

කොහොම හරි ඔහු ආවේය.

වජිරට අමුතුම ගමන් රටාවක් ඇත.
 
ඔහු ඇවිදින්නේ පාවෙනවා වගේය.
වජිර මුල් කාලයේ වැඩට හොරය.

වජිරව අන්තිමට දැම්මෙ මගේ ගෲප් එකටය.

" උඹට මාස 3 ක් දෙන්නම්... ඒ මාස තුනේ වැඩ පෙන්නුවේ නැත්නම් වජිරව අයින් කරන්න වෙනවා..."

අපේ විධායක නිර්මාණ අධ්‍යක්ෂවරිය වූ රුචී ෂර්මා වජිරව බාර දුන්නේ ඒ අනතුරු ඇඟවීමත් සමගිනි.
 
වජිරයා මෙව්වල් කිරීමට නම් වෙනම ප්ලෑනක් ඇඳිය යුතුය.
වජිර මගේ කණ්ඩායමට එකතු වීමට සතියකට පෙර සිට මම ඔහු සමග සිනාසීම අත් හිටෙවුවෙමි.

ගුඩ් මෝනිං කී විට අහක බලන් ගියෙමි.

" අරූ ගාවට ගියොත් මට ගෙදර යන්න වෙන එක ෂුවර් ..."

වජිර සෙස්සන්ට එසේ පවසා තිබිණ.

මට අවශ්‍ය වූයේත් එයමයි.

වජිරට අතීතයක් තිබුණි.

ඒ අතීතය මතක් කර ගෲප් එක තුල ඔහුට විහිළු කිරීම නතර කරවූවෙමි.

වජිර අන්තිමට ආවේ ඔහු හිතාගෙන හිටි ගෲප් එකට නොවේ.
 
ඔහුට මුළින්ම පැවරුවේ සිරස සංවත්සර කැම්පේන් එකයි.
 
බයටම ඔහු එය හොඳටම කළේය.
 
එපමණක් නොව ඒ වෙනුවෙන් අවුරුද්දේ අන්තිමට ඔහු ස්ලිම් සම්මාන උළෙලේ වේදිකාවටත් ගොඩ විය.
අවසානය දක්වාම ඔහු මා සමග හොදින් වැඩ කළේය.

ජොබ් එකත් රැකගත්තේය.

" උඹ ඌට මොකද කළේ..?"

රුචී ෂර්මා අවසානයේ මගෙන් ඇසුවේ එයයි.
 
PHOTO 2023 06 12 10 36 53

වජිර ගේ හදන්න බැරි ගති කිහිපයක් තිබේ.

රාත්‍රී වැඩ යෙදුණු විට පොඩියට එකක් දමා ගැනීම මගේ කලා අධ්‍යක්ෂවරයකු වූ හේමන්ත ගුණවර්ධනගේ මූලිකත්වයෙන් ආරම්භ වන්නකි.

මේ සදහා වජිරට ද ඇරැයුම් ලැබේ.

" මං කවදාවත් මගේ සල්ලිවලින් බොන්නේ නෑනේ..."

දවසක් එසේ බී අවසානයේ වජිරයා කිව්වේය.

මේ කතාවට හේමන්තටත්, මටත් මාරයා නැග්ගේය.
 
ආයෙත් නං අපේ සල්ලිවලින් මූට බොන්න නොදෙමුයි කියා තරයේ සිතා ගතිමු.
තවත් දිනෙක රාත්‍රී වැඩ නිමවී අපි ෆීනික්ස් පිළිකන්නේ පොඩි එකක් පටන් ගත්තෙමු.

හැබැයි වජිරයාට ඇරැයුම් නොකළෙමු.

වජිර පැමිණ හිඟන්නෙකු ලෙස අප බොන දෙස බලා සිටියද ඌට බොන්න නොදුන්නෙමු.

බැගෑපත්ව ඉල්ලා සිටියද අප නොවේ ඌට එක උගුරක් වත් දුන්නේ.

බැරිම තැන වජිර එතැනින් ගියේය.

මද වේලාවකට පසුව තේ හදමින් සිටි අධිකාරි ආවේය.

ඔහු අපෙන් චූටි එකක් ඉල්ලා සිටියේ ය.

චූටි එකක් නොව ලොකු එකක්ම වත්කර දුන්නේ අධිකාරි හොඳ එකා නිසාය.

ටික වේලාවක් ගතවිය.

හේමන්තටත්, මටත් කවුදෝ බනිනු ඇසෙන්නට විය.

සිදුවී ඇත්තේ මේක ය.

අධිකාරිව එවා ඇත්තේ වජිර විසිනි.

අධිකාරි අතේ ගෙන්වා ගත් අපේ අරක්කු බී වජිර අපටම බනී.
 
එදින අප දෙදෙනාම වජිරට පරාද විය.
PHOTO 2023 06 12 10 36 53 1
 
තවත් අවස්ථාවක අර්වින් ගෙදර පාටියක් දැම්මෙ ‍ය.

මේ වූ කලි වජිර අර්වින් ගේ ගෙදර පාටියකට යන පළමු අවස්ථාව ‍යි.

මම වජිර කැඳවූයෙමි.

අර්වින් ගේ ගෙදර යන පළමු අවස්ථාවේ අප නම් කේක් ගෙඩියක් හෝ බිස්කට් පැකට් එකක් හෝ රැගෙන යන බවත්, එබැවින් මොනවා හෝ රැගෙන යන මෙන් දන්වා සිටියෙමි.

එසේම අර්වින් ගේ ගෙදර කාමර 3 ක් ඇති බවත්, බීලා වැඩි වුණොත් ඉන් එකක නතර විය හැකි බවත්, එසේ නවතින්නේ නම් සෙක්ට්‍රිට නම දිය යුතු බවත් දැන්වූයෙමි.

" පිස්සුද ... මං බොස්ගේ ගෙදර ගිහින් කාඩ් කුඩු කරගන්නේ නෑ... මං අද බොන්නෙත් නෑ... "

වජිර එසේ කිවිවේය.
 
මූ අපේ ලනුව ගිල්ලේ නැතැයි කියා පැය බාගයක්වත් සෝක වීමට ඉඩක් ලැබුනේ නැත.
 
අර්වින් ගෙන් කෝල් එකකි.

" තමුසෙ අර යකාට මොනවද කිව්වෙ...? අන්න අරූ අද අපේ ගෙදර නවතින්න හදනවා..."

වජිර ෂේප් එකේ සෙකට්‍රි ළඟට ගොස් තමන් රාත්‍රියේ නතර වෙන බවත් කාමරයක් වෙන් කර තබන ලෙසත් දන්වා තිබේ.

ඔන්න දැන් රාත්‍රීය උදාවිය.

සියල්ලන්ම පැමිණ තිබේ.

ඒත් වජිර නැත.

රාත්‍රී 9 ට පමණ කලු ෂර්ට් එකක් හා සරමත් ඇඳගෙන වජිර පාවි පාවි ආවේ බිස්කට් පැකට් එකක් ද අතේ රුවාගෙන ය.
 
PHOTO 2023 06 12 10 36 52 1

ස්ලිම් සම්මාන උළෙලේ දී සෙට් වීම සදහා සති ගණනකට පෙර සිට සම්මාදම් එකතු කිරීම සිරිතකි.
 
වජිර කැඳවූ අපි පෙර වැරැදි සිහිපත් කරදී බොන්න ඕනෑ නං සල්ලි දමන ලෙස දැන්වූයෙමු.
 
 
අපට ඕනෑ වූයේ කවදාවත් මගේ සල්ලිවලින් බොන්නේ නෑ කියූ එකාට උගේ සල්ලිවලින්ම පෙවීම ය.
එහෙත් වජිර සල්ලි දැම්මෙ නැත.

අප බොන්න දුන්නේ ද නැත.

අන්තිමට වජිරත්, විපුලත් ස්ලිම් සම්මාන අස්සේම පිටකොටුවට ගොස් ගල් බෝතලයක් ගෙනාවෝය.

ගල් බී අවසානයේ මේ දෙන්නා ගහගත් බව පසුව ආරංචි විය.

මා දන්නා පරිදි වජිර වජිරගේ සල්ලිවලින් බීපු එකම අවස්ථාව එය විය.

දැන් මේ ලිපිය දුටු පසු වජිර මට කුණුහරුපයෙන් බනින්න පටන් ගනු ඇත.

ඒ, වජිරගේ අනිත් නරක පුරුද්දයි.
 
 
 
WhatsApp Image 2023 06 14 at 9.54.31 AM
                               ඇඩ්වර්ටයිසිං ලෝකය කියවන වජිර මහකණුමුල්ල

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්

JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...