BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

T

The Leader

April 30, 2023 • 5:39 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇඩ්වර්ටයිසිං ඒජන්සිවලට කෝඩේ වදින කාල තිබේ.
  • සිංහල අංශයේ ඇබෑර්තු ගණනාවක් ඇති විය.
  • එහි උඩින්ම සඳහන් වූයේ මහා 'කලු සිංහලයා ' යනුවෙනි.
  • ඉහත යෙදුම යොදන්නට ඇත්තේද ඒනිසාම වන්නට පුළුවන.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ එකවුන්ට්ස් ගැලවී යාමෙනි.

තවත් කාලවලදී බුරුතු පිටින් සේවකයින් අස්වී යාමට පටන් ගනී.

කවුරු ගියත් නිර්මාණ අංශයේ ඇබෑර්තු පිරවීම ලේසි පහසු නැත.

මෙහෙම කාලයක් ග්‍රාන්ට්ස් එකටත් උදාවිය.

සිංහල අංශයේ ඇබෑර්තු ගණනාවක් ඇති විය.

ඒ අවස්ථාවේ ආයතනයට එක්වූ මුහුණු අතර චාමින්ද රත්නසූරිය, වින්දන ආරියවංශ( කුලරත්න ආරියවංශගේ පුත්) හා රවීන්ද්‍ර දෙවෙනිගොඩ විය.

රවීන්ද්‍ර දෙවෙනිගොඩගේ ඉල්ලුම් පත සුවිශේෂී එකක් විය.

එහි උඩින්ම සඳහන් වූයේ මහා 'කලු සිංහලයා ' යනුවෙනි.

ඔහු කලුම කලුය.

ඉහත යෙදුම යොදන්නට ඇත්තේද ඒනිසාම වන්නට පුළුවන.

කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලුම් පතේ නිර්මාණශීලී බව ඔහුව තෝරාගැනීමට ප්‍රධාන හේතුව විය.

කතා දෙකක් නැත.

මේ තිදෙනාගෙන් හොඳටම කොපි ලිවිය හැකි වූයේ දෙවෙනිගොඩ ටය.

මාස 3 ක් ගත විය.

දෙවැනිගොඩ හිටි අඩියේම අතුරුදන් විය.

ඔහු ටෙලිෆෝන් එක උස්සන්නේ නැත.

ඉන්න තැනක් හොයාගන්නට නැත.

මුළු ඔෆිස් එකම ඔහුව හොයයි.

එහෙත් කිසිම ආරංචියක් නැත.

අවසන් මාසයේ වැඩ කළ දවස් ටිකේ පඩිය ගන්නවත් පැමිණියේ නැත.

ඒ මදිවාට රවීන්ද්‍ර බාගෙට නතර කර ගිය වැඩ ටික අදින්න වූයේ මටය.

ඒ ඌව ගත්තේ මා බැවිනි.

සියල්ල ඉවසුවත් එක දෙයක් ඉවසිය නොහැකි විය.

ඒ හැමදාම කළමනාකාරිත්වය විසින් රවීන්ද්‍ර දෙවෙනිගොඩ ට වූයේ කුමක්දැයි මගෙන් විමසීමය.

රවීන්ද්‍ර දෙවෙනිගොඩ ‍ව මට හඳුන්වා දුන්නේ මාලින්ද සෙනෙවිරත්න ය.

මම මාලින්දට කතා කර මට සිදුවී ඇති කරුමය කීවෙමි.

" ඕකා ඔහොමයි .., ඌ එක තැනක වැඩි කාලයක් ඉන්නේ නෑ..! "

ඒ මාලින්ද ගේ පිළිතුර විය.

පසුවදාට ග්‍රාන්ට්ස් එකේ එවුන් රවීන්ද්‍ර ගැන ඇසුවොත් දිය යුතු උත්තරයක් මවිසින් සොයා ගතයුතු විය.

" කෝ රවීන්ද්‍ර ...?"

ඒ ආයතන ප්‍රධානීන් ගේ හඬයි.

" රවීන්ද්‍ර ට ස්වීප් එකක් ඇදිලා කෝටි ගාණක. මිනිහා ආපහු එන එකක් නෑ..!"

මං කටට ආ උත්තරය දුන්නේ ඒ මොහොතේ ෂේප් වීමටය.

එහෙත් එය එසේ වූයේ නැත.

මා කියූ බොරුව සැබෑ විය.

ඒ මෙසේය.

කොළඹ හිල්ටන් හෝටලයේදී දිවා ආහාරය ගන්නා වේලාවේදි රවීන්ද්‍ර දෙවෙනිගොඩව දැක තිබුනේ ග්‍රාන්ට්ස් එකේම ක්ලයන්ට් කෙනෙකි.

රවීන්ද්‍ර දෙවෙනිගොඩ ෆුල් සූට් ගසා එහි පැමිණ තිබේ.

උණු උණුවේම නිවුස් එක ග්‍රාන්ට්ස් එකට ගලා ආවේය.

දැන් ලොක්කෝ ලොකු ලොකු කතාවලය.

" ඔය දුප්පත් මිනිස්සුන්ට එක පාර සල්ලි ලැබුනම කවදාවත් නොගිය තැන්වලට යන්න හදනවා..."

" කවදාවත් නොකාපු කෑම කන්න හිතෙනවා ..."

" අතේ සල්ලි ටික ඉවර වුණාට පස්සේ ආපහු පාරට වැටෙනවා..."

මේ රවීන්ද්‍ර ට ඇදුනු ස්වීප් එක ගැන ග්‍රාන්ට්ස් ලොක්කන් දැක්වූ අදහස් මාළාවන් ය.

මේ අතර ග්‍රාන්ට්ස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ස්ටැන්ලි කාවල්ලෝ ට බම්බලපිටිය HSBC බැංකුව තුලදී රවීන්ද්‍ර දෙවෙනිගොඩ හමුවූයේ  රුපියල් ලක්ෂයේ මිටි කිහිපයක් සමගිනි.

ඇඟ බේරාගනු පිණිස මා දෙසූ බේගලය ඇස් පනාපිටම සැබෑ වූයේ එලෙසිනි.

එහෙත් ඇත්තටම සිදුවී ඇත්තේ මෙයයි.

රවීන්ද්‍ර දෙවෙනිගොඩ ට බැංකුවක ප්‍රචාරක කටයුතු කිරීමට අවස්ථාවක් සැලසී ඇත.

බැංකුවක ඇඩ්වර්ටයිසිං කරනවා කියන්නේ ප්‍රචාරක ආයතනයක සමෘද්ධියේ සංකේතයකි.

තනි පුද්ගලයකුට බැංකුවක ඇඩ්වර්ටයිසිං ලැබෙනවා යනු ස්වීප් එකක් ඇදුනා හා සමානය.

රවීන්ද්‍ර දෙවෙනිගොඩ තම ප්‍රචාරක ව්‍යාපෘතිය බැංකු නිලධාරින්ට ඉදිරිපත් කර තිබුනේ හිල්ටන් හෝටලයේ දීය.

ඔහු එදා ඊට සහභාගි වී ඇත්තේ ටයි කෝට් ඇඳ පැළඳය.

එසේ ඇඳගෙන පළයන් යැයි කියා ඇත්තේ ද මාලින්ද සෙනෙවිරත්න ය.

අර ක්ලයන්ට් දැක ඇත්තේ එයයි.

බැංකුව සදහා තෝරාගත් වෙළෙඳ දැන්වීම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අත්තිකාරම් මුදල් සදහා චෙක් එක මාරු කරගන්නට රවීන්ද්‍ර දෙවෙනිගොඩ ගොස් තිබුනේ HSBC බැංකුව වෙතය.

ආයතනයේ අධ්‍යක්ෂවරයා දැක තිබුනේ එයයි.

බොරුව ඇත්ත වූයේ එලෙසිනි.

කෙසේ වෙතත් රවීන්ද්‍ර දෙවෙනිගොඩට යලිත් ස්වීප් නම් ඇදෙනු එකක් නැත.

ඒ ඔහු ඉතාම තරුණ වයසේදී ජීවිතයෙන් සමුගෙන ගිය බැවිනි.

රවීන්ද්‍ර දෙවෙනිගොඩ මියගිය පුවතේ ඇත්ත සේම ඔහුට ස්වීප් එකක් ඇදුනු කතාවේ බොරුවත් බොහෝ දෙනෙක් අදටත් දන්නේ නැත.

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :


ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!


 

JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...