BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (50) : ටිකල් පාරේ රා පෙරේ...!

T

The Leader

June 30, 2023 • 12:05 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (50) : ටිකල් පාරේ රා පෙරේ...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කළුවන් කළු රුවයිඅපෙ ගම මදින්නාමන්ඩි නැතුවරා හැමටම බෙදන්නා....
  • ප්‍රනාන්දු රා මදින්නා ගැන සිංදුවක් කිව්වේ එලෙසය.
  • ඇඩ්ඩාට ඊට පසු හොඳ කිතුල් රා මාතලේ පැත්තේ දී හා බෙරැන්නෑවේ දී ලැබී ඇත.
  • මේ දුටු ඔහුගේ ඇතැම් මිතුරන් සිනාසුනේ බොරැල්ල ගෙන්දගම් පොළොවේ මොන කිතුල් ද කියමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

එන එන කැකුළු
මල නෑරම තලන්නා
දෙවියෝ රැකදෙන්න
අපෙ ගම මදින්නා....


සී. ටී. ප්‍රනාන්දු රා මදින්නා ගැන සිංදුවක් කිව්වේ එලෙසය.


හොද කිතුල් රා ටිකක් බොන්න නං කොළඹින් ඈතට යා යුතුය.

ඇඩ්ඩා කුඩා කාලයේ ඇඩ්ඩාගේ තාත්තා කිතුලක් මැද්දෙව්වේය.

 ඒ 1970 දී විතරය.

ඒ කිතුල තිබුනේ ගාල්ලේ ‍රිච්මන්ඩ් හිල් වලය.

ඒ දවස්වල තෙලිජ්ජ හැන්දක් විතර ඇඩ්ඩාට ද ලැබෙයි.

ගාල්ලේ කිතුල නැවතුනේ රා මදින්නාගේ පංගුවෙන් ඌ සීනි කරිඤ්ඤං පෙරා තාත්තාට මාට්ටු වූ නිසාය.

සීනි කරිඤ්ඤං කිව්වේ කසිප්පුවලටය.

ඇඩ්ඩාට ඊට පසු හොඳ කිතුල් රා මාතලේ පැත්තේ දී හා බෙරැන්නෑවේ දී ලැබී ඇත.

එදා අපි රා බිව්වේ ‍රා බෝතල් ටික ඇලේ බස්සවා තබා කූල් කරගෙන ය.

බෙරැන්නෑවේදී කිතුල් රා බිව්වේ ප්‍රෝ ඉමේජ් එකේ මොහාන් සමගය.

ඒ කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් කළ වාර්තා වැඩ සටහනක් කරද්දීය.

ඉන් පසු හොඳම කිතුල් රා පොදක් කට ගෑවේ බොරැල්ල ටිකල් පාරෙනි.

 

මේ කොළඹ අටේ රා පෙරපු කතන්දරේ ය.

ෆීනික්ස් ලොක්කා වූ අර්වින් දවසක් කිතුල් පැලයක් ගෙනවිත් ටිකල් පාරේ පිහිටි තම ගෙවත්තේ සිටුවීය.

මේ දුටු ඔහුගේ ඇතැම් මිතුරන් සිනාසුනේ බොරැල්ල ගෙන්දගම් පොළොවේ මොන කිතුල් ද කියමිනි.

අර්වින් ඒ කතා ගනන් ගත්තේ නැත.

කිතුල් පැලය ටිකෙන් ටික වැඩී මහ ගසක් බවට පරිවර්තනය විය.

PHOTO 2023 06 30 10 48 26
ටික කලෙකින් කිතුල් මලක් ද වැටුණි.

කොහෙන්දෝ රා මදින්නකු සොයා ගත් අර්වින් කිතුල මදින්න පටන් ගත්තේ ‍ය.

ඒ දවස්වල මේ කිතුල මදින්නාට දවසට රුපියල් 300 ක් ගෙවිය යුතුය.

කිතුල් රා ටික ගෙට ගත් පසු අර්වින්ට මුලින්ම මතක් වුණේ එදා තමන්ට හිනා වුණු මිතුරන් ය.

ඔහු පළමුවෙන්ම කළේ එසේ සිනාසුණු මිතුරන් ගෙන්වා කිතුල් රාවලින් සංග්‍රහ කිරීම ය.

දිනක් අර්වින් ලොක්කා දවල් 2 ට විතර ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එක පැත්තේ කැරකුණේය.

" තමුසෙට හවස මුකුත් වැඩක් තියෙනවාද?"

අප වෙත පැමිණි අර්වින් ඇසුවේය.

සාමාන්‍යයෙන් වැඩක් නැතත් අපි උත්තර දෙන්නේ වැඩක් තියෙනවා කියලාය.

විශේෂයෙන්ම ක්ලයන්ට් සර්විසිං එකේ අයට අපි උත්තර දෙන්නේ එහෙමය.

එහෙම උත්තර දීම අපේ සෞඛ්‍යයට හිතකර බව අත්දැකීමෙන්ම ඔප්පු වී තිබේ .

අර්වින්ට ටෝන් කිහිපයක් තිබේ.

ඔහු ප්‍රශ්න ඇසුවේ සොමියට බර ටෝන් එකකිනි.

එනිසා හවස මුකුත් වැඩක් නැති බව ඔහුට වාර්තා කළෙමු.

" වැඩිය සද්ද කරන්නේ නැතුව එනවා...යං පොඩි ගමනක්"

අපි අඩි සද්දයක්වත් නෑසෙන සේ ඔහුගේ පසු පසින් ගියෙමු.

 ඔහු අපව රැගෙන ගියේ ඔහුගේ ගෙදරට ය.

ඒ ගමනට හේමන්ත, ජීවක සම්බන්ධ වූවා මතකය.

PHOTO 2023 06 30 10 48 25
අප වාඩි වී සිටින්නේ ගෙමිදුල දෙසට මුහුණ පා ය.

ටික මොහොතකින් උපාලි පැමිණියේ උණු උණු කොච්චි වඩේ පීරිසියක් සමගිනි.

මෙහිදී උපාලි කිව්වේ උපාලි හේරත්ට නොව අර්වින් ගේ කෝකියාට ය.

උපාලි වඩේ පීරිසිය තබා පිට වෙනවාත් සමග රා මුට්ටියත් රැගෙන රා මදින්නා ගහෙන් බසිනු පෙණින.

මොහොතකින් රා බඳුන අපේ මේසය මතය.

මේ සියල්ලම ස්ට්‍රැටජි එක, ක්‍රියේටිව් ටික, මීඩියා ප්ලෑන් එක හරියටම සෙට් වෙන ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් මෙනි.

නැවතත් අර්වින් ගෙන් රා කට්ටක් ගහන්න ඇරැයුමක් ලැබෙන තුරු බලා සිටියද ඉන්පසුව කවදාවත් රා පොට් එකේ දොරටු අපට විවෘත නොවීය.

ඊට ප්‍රධාන හේතු 2 ක් බලපෑවේය.

 බෝධි බොස්ගේ ගෙදර රා බී අවුත් ඔලුව රිදෙනවා කියා මේසය මත ඔලුව ගසාගෙන සිටීම එකකි.

අනෙක රා බී අවුත් කැරකෙනවා කියා රොහාන් පියදාස ෂෝර්ට් ලීව් දමා යෑමය.

" තමුසෙලාව ආයේ රා බොන්න එක්කං යන්නේ නෑ "

යනුවෙන් අර්වින් විසින් එම අවස්ථාවේ නිල වශයෙන් නිවේදනය කරන ලදි.

දැන් එම කිතුල් ගස අර්වින් ගේ නිවසේ නැත.

අර්වින් ගේ නිවස ආසන්නයේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය, සුමල්, ලිලාමනී ගේ නිවාස ඇතුළු ප්‍රභු නිවාස රැසක් ද, ලීඩෝ, රිට්ස් ඇතුළු වාත සිංහල චිත්‍රපටි පෙන්වන සිනමා ශාලා ද  පිහිටා ඇත.

එහෙත් එක්තරා දවසක අකුණක් වැදුණේ අර්වින් ගේ අහිංසක කිතුල් ගහට ය.

 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


''ඇඩ්වර්ටයිසිං ලෝකය'' සම්පුර්ණ ලිපි පෙළ මෙතනින්


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...