BREAKING
Top Ad
ඇඩ්වර්ටයිසිං ලෝකය

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

T

The Leader

May 1, 2023 • 1:23 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධිකාරි විශ්‍රාම ගිය හෝ විශ්‍රාම ‍යැවූ පොලිස් කොස්තාපල් කෙනෙකි.
  • ඇතැම් විට පොලිස් කොස්තාපල් රස්සාවට වඩා වැඩි වැටුපක් එහිදී ඔහුට ලැබෙන්නට ඇත.
  • අධිකාරිට මේ ටික හොඳටම ඇතිය.
  • බටුවන්දර නෝනා කියන ඕනෑම අනාවැකියක් අධිකාරිට ඇත්තය.
අකුරු ප්‍රමාණය (Font Size):



ජීවත් වුණේ හොරණ පැත්තට වෙන්නය.

හොඳට වතු පිටි තිබුණත් විශ්‍රාම ගිය පසු අධිකාරි කළේ ෆීනික්ස් එකට පැමිණ තේ හැදීමයි.

ඇතැම් විට පොලිස් කොස්තාපල් රස්සාවට වඩා වැඩි වැටුපක් එහිදී ඔහුට ලැබෙන්නට ඇත.

අධිකාරි ට උඩින් සිටියේ  රාජා ය.

රාජා නැතිදාට රජා අධිකාරි ය.

ෆීනික්ස් සේවකයින්ට නම් රාජා නිවාඩු දවස හොයාගන්නට ඇඩ්මින් එකෙන් විමසිය යුතු නැත.

තේ එක බීමෙන් පසු එය දැනගත හැකිය.

" අද අධිකාරි නේද තේ එක හැදුවේ ..? "

අපි එක තේ උගුරක් බීමෙන් පසු ඔහුගෙන් අසන්නෙමු.

" ඔව්... තේ එක හොඳයි නේද? "

අධිකාරි අහිංසකව විමසයි.

" තේ එක ටොප්...! "

" බොසුත් කිව්වා ‍රාජා ගේ තේ එකට වඩා අධිකාරි ගේ තේ එක මරු කියලා ..."

දයාන් කොට්ටච්චි ගෙන් පටන් ගන්නා මේ ලනු දීමට හේමන්ත ගුණවර්ධන, ගාමිණී අබේකෝන් , නෙවිල් පෙරේරා පමණක් නොව දවසකට වචන හතර පහකට වඩා කතා නොකරන ඩික්සන් ( ඩික්කා) ද දායකත්වය සපයයි.

අධිකාරිට මේ ටික හොඳටම ඇතිය.

ඔහු ඊළඟ කාමරයට තේ ට්‍රේ එක රැගෙන යන්නේ අමුතුම ගැම්මකිනි.

 

lkjyu

අධිකාරි කේන්දර බලන්න යන්නේ බටුවන්දර නෝනා ළගටය.

බටුවන්දර නෝනා කියන ඕනෑම අනාවැකියක් අධිකාරිට ඇත්තය.

බටුවන්දර නෝනා කිව්වා කියා දේශපාලන අනාවැකි ගණනාවක් ඡන්ද කාලයට  අධිකාරි අප හමුවේ කියා ඇත.

එහෙත් ඒ එකම අනාවැකියක් වත් සැබෑ වූයේ නැත.

එහෙම වුණාත් අධිකාරි බටුවන්දර නෝනා ඇදහීම අත් හැරියේද නැත.

අධිකාරි තේ රැගෙන පැමිණ කාමරයේ දොර අරින්නේ සීරුවටය.

කාමරයේ දොර අඟලක් පමණ විවෘත කර ඔහු විනාඩියක් පමණ රැඳී සිටී.

බාහිරින් බලන කෙනෙකුට සිතෙන්නේ ඔහු ක්‍රියේටිව් ඩිපාර්ට්මන්ට් එකේ සිටින අපට බාධා නොවන ලෙසින් දොර විවෘත කරනවා කියාය.

එහෙත් අධිකාරි කරන්නේ එය නොවේ.

ඔහු කරන්නේ හීනියට දොර ඇර අප කතා කරන්නේ මොනවාදැයි අසා සිටීමයි.

අධිකාරි හිතා ඉන්නේ අප මෙය නොදන්නවා කියාය.

ඔහු කන තරමක් ලනු කෑවේ මේ හේතුව නිසාය.

 

mtv web 515626

සිරස මැදිරි සංකීර්ණය ගිනි ගත්තේ මේ අවදියේ ය.

ඒ වනවිට නිමල් ලක්ෂපතිආරච්චි සිරසෙන් ඉවත්ව ගොසිනි.

අධිකාරී දොර ලාවට ඇරගෙන කන්දීගෙන සිටී.

" නිමල් ලක්ෂපතිආරච්චි සිරසෙන් අස් කළානෙ... මිනිහා ඒ තරහට සිරසට ගිනි තියලා...."

අපි අධිකාරිට ඇහෙන්නට කීවෙමු.

අධිකාරිට ඒ ප්‍රමාණවත් ය.

ඔහු දඩස් ගා දොර ඇරියේය.

එපා වාහෙට හොදි බෙදන්නා සේ තේ ටික බෙදාගෙන ගියේය.

" මට අද හරියට වැඩ..."

ඔහු හැරෙන තැපෑලෙන් පිටවිය.

අප ගෙතූ බොරුව ඔහුගේ සොයාගැනීමක් ලෙස ප්‍රචාරය කෙරිණි.

CID යට පරීක්ෂණ කටයුතු බාර දී නිමල් ලක්ෂපතිආරච්චි අත් අඩංගුවට ගැනීම දක්වා ඔහු ප්‍රවෘත්තිය විකාශය කර තිබිණ.

සත්‍ය හෙළිදරව් වී අධිකාරි ගේ කලිසම ගැලවෙන විට රාත්‍රී 11.00 පමණ විය.

ඔහු පසුවදා තේ රැගෙන පැමිණියේ රුපියලට අරන් නිකං දුන්නෙකු ලෙසිනි.

ෆීනික්ස් එකේ රෑ වැඩ කරන දිනවල කෑම එන්නේ චයිනීස් ඩ්‍රැගන් හෝටලයෙනි.

එය සෙට් මෙනූ එකකි.

මස් හෝ මාළු අඩංගු බත් එකට හතු හෝ කංකුං යන දෙකින් එකක් කරිය ලෙස තෝරාගැනීමට පුළුවන.

සමහරු කංකුං ද තවත් සමහරු බැදපු හතු ද ඇණැවුම් කරති.

එක් රාත්‍රීයක අපේ ආවතේවකරු වූයේ අධිකාරි ය.

 

menu

රංජන අමරදේව හතු සමග මාළු කෑම එකක් ද, අස්ලාන් කුකුල් මස් කෑම එකට අමතර කරියට කංකුං ද ඕඩර් කර තිබුණි.

රෑ 10.00 ට පමණ කන්න වාඩි වී මේ දෙපළ බත් එක දිග හැරි විට තිබුනේ මාළු පාර්සලයක් හා කංකුං පාර්සලයක් පමණි.

මාලු ග්‍රෑම් 250 ක් හා කංකුං ග්‍රෑම් 250 ක් එහි විය.

බත් නැත.

අධිකාරි වෙන මුකුත් ඕඩර් කර නැත.

" මං හරියට ඕඩර් කළා... උන් වරද්දලා..."

ඔහු කියන්නේ එහෙමය.

දැන් අධිකාරි කෑම මාරු කරන්න යන්නේ අබේසිංහ රියැදුරු මහතාත් සමග ය.

චයිනීස් ඩ්‍රැගන් හෝටලය ඉදිරිපිට වාහනය නතර කරනවාත් සමග වේටර්වරයකු පැමිණේ.

" ඔයා අධිකාරි නේද? "

වේටර් විමසයි.

" දැක්කද... මාව හොඳට දන්නවා..."

අධිකාරි අබේසිංහ දෙසට ආඩම්බරයෙන් හැරී එසේ කියා කට ගන්න ලැබෙන්නේ නැත.

වේටර් ඉතුරු ටික සම්පූර්ණ කරයි.

" ඔයා ආවොත් නානවා...! "

පහුවදා උදේ නෝටිස් බෝඩ් එකේ අධිකාරි ගේ කාටූන් එකකි.

එහි කොපි ලයින් එක මෙසේය.

" අධිකාරි මං කංකුං දේවී...
 ඔබට අකීකරු නෑ රාජා..."

මේ පෝස්ටර් එක ගහන ගහන වාරයක් පාසා අධිකාරි ගලවා දමයි.

ඔහු ඒවා ගලවා දමන්නේ මෙසේ පවසමිනි.

" .... මහත්තුරුන්ට පිස්සුද මංදා... මේවා ලොකු මහත්තයා දැක්කා නං මටනෙ බැනුම් අහන්න වෙන්නෙ...."

අධිකාරි මට අවසන් වරට හමුවූයේ මීට අවුරුදු 19 කට පමණ පෙරදීය.

කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටිය දකින වාරයක් පාසා මට අධිකාරිව සිහිපත් කරවයි.

අධිකාරී දිනපතා හැදූ තේ එක එතරම් රසවත් නැත.

එහෙත් අපේ ඇඩ්වර්ටයිසිං ලෝකය
දිනපතා රසවත් කරන්නට ඔහු කළ මෙහෙය කිසිදා අමතක නොවේ.


(ඇඩ්ඩා විසින් ලියන ලදි)

ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :


ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා


ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...