The Leader News
BREAKING
Top Ad
Biz

කල්පිටියෙන් ඇරඹෙන මොළේ තියන බූරු වැඩක් | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

April 25, 2025 • 7:41 AM

කල්පිටියෙන් ඇරඹෙන මොළේ තියන බූරු වැඩක් | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ බූරුවන් සඳහා ප්‍රකට කල්පිටිය මුල් කොට බූරු කිරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තයක් ස්ථාපිත කිරීමට ව්‍යාපාරිකයකු සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
  • මෙය පුත්තලම් බූරුවන් වශයෙන් ප්‍රකට සතුන් සම්බන්ධ පුවතක් නිසා යමකුට මතු පිටින් සිනහ උපදවන බවක් පෙනී යා හැක.
  • නමුදු මෙය ඉතා වැදගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ආශ්‍රිත කර්මාන්තයක් බව ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර තත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි.
  • ඒ සඳහා කල්පිටියෙන් අක්කර 100ක ඉඩම් කොටසක් අත්පත් කර ගැනීමට සහ කල්පිටිය හා මන්නාරම් ප්‍රදේශවලින් බූරු සතුන් 1000ක් පමණ ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීම ඔහු ගේ අරමුණ බව ද පැවසෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීම එහි අරමුණ බව ද පැවසෙයි.

මෙය පුත්තලම් බූරුවන් වශයෙන් ප්‍රකට සතුන් සම්බන්ධ පුවතක් නිසා යමකුට මතු පිටින් සිනහ උපදවන බවක් පෙනී යා හැක. නමුදු මෙය ඉතා වැදගත් නිෂ්පාදන ක්‍රියාවලියක් ආශ්‍රිත කර්මාන්තයක් බව ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර තත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි.

ඒ සඳහා කල්පිටියෙන් අක්කර 100ක ඉඩම් කොටසක් අත්පත් කර ගැනීමට සහ කල්පිටිය හා මන්නාරම් ප්‍රදේශවලින් බූරු සතුන් 1000ක් පමණ ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා බූරු කිරි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සකස් කිරීම ඔහු ගේ අරමුණ බව ද පැවසෙයි.

image d1efdb74ba
මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පසුගිය දිනයෙක පැවැත් වූ අතර ඒ සඳහා පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්), වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි නිලධාරී, කල්පිටිය සෞඛ්‍ය නිලධාරී, මධ්‍යම පරිසර අධිකාරියේ සහ වෙනත් රාජ්‍ය නිලධාරීන් සහභාගී වී තිබේ.


buruසම්පත් නිශාන්ත
මෙම ව්‍යාපෘතිය සඳහා ඉතාලි ජාතිකයෙකු විදේශ ආයෝජකයා ලෙස කටයුතු කරන බව ඊට සම්බන්ධ ශ්‍රී ලාංකේය ව්‍යාපාරික රොෂාන් ලෝව් පවසා තිබේ.එහි දී ඔහු වැඩි දුරටත් අනාවරණය කොට ඇත්තේ මුල දී බූරු දෙනුන් 700ක් පමණ වෙතින් කිරි ලබා ගැනීමට සැලසුම් කොට ඇති බවකි.පළමුව බූරු කිරි පිටි බවට පත් කර ඉතාලිය ස්පාඤ්ඤය වැනි රටවලට අපනයනය කිරීමට සැලසුම් කර ඇති අතර, පසුව වෙනත් බූරු කිරි නිෂ්පාදන අපනයනය කිරීමට බලාපොරොත්තු වන බව ද රොෂාන් ලෝව් පවසා තිබේ.

මෙම ව්‍යාපෘතියේ ආරම්භක මුල් මාස හයේදී සතුන්ට නිසි පෝෂණය සහ සුරැකුම් ලබා දීම, පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රජනන කටයුතු පහසු කිරීම සිදු කොට ඉන්පසුව කිරි ලබා ගැනීම ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය පශු වෛද්‍ය වරුන්, රසායනාගාර පහසුකම් සහ තාක්ෂණවේදීන් ඉතාලියෙන් ගෙන ඒමට සැලසුම් කර ඇති බව ද මෙහි දී අනාවරණය වී තිබේ.

 

main donkeymilkbenefits
එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂා කිරීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් ද සිදු කරන ලද බව පැවසෙයි. මෙම ව්‍යාපෘතිය මඟින් මේ වන විට ලෝක වෙළඳ පලේ ඉහළ ඉල්ලුමක් සහිත බූරු කිරි පිටි, බූරු චීස් ඇතුළු ආහාර නිශ්පාදන සේම සබන්, අලංකරණ නිෂ්පාදන සහ වෙනත් නිෂ්පාදන ද ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලාංකේය අපට නුහුරු නුපුරුදු වුව ද බූරු කිරි යනු ගෘහාශ්‍රිත බූරුවන් විසින් නිපදවන කිරි වන අතර, එය පුරාණ කාලයේ සිටම ළදරු පෝෂණය සහ රූපලාවන්‍ය සත්කාර ඇතුළු විවිධ අරමුණු සඳහා භාවිතා කර තිබේ. එහි සුපෝෂණ සංයුතිය අසාත්මිකතා ඇති පුද්ගලයින් සඳහා එළකිරි සඳහා වන විකල්පයක් ලෙස ද බූරු කිරි භාවිතා කළ හැක.

ඊට අමතරව, බූරු කිරි වල ක්ෂුද්‍ර ජීවී නාශක, ප්‍රති-ගිනි අවුලුවන සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ඇතුළු විභව සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ඇති බව අනාවරණය වී තිබේ.

 ඒ අතර බූරු කිරි නිෂ්පාදන නිපදවීමට අමතරව, බූරු අප ද්‍රව්‍ය භාවිතා කර කාබනික පොහොර නිපදවීමට ද මෙමගින් බලාපොරොත්තු වන බව ප්‍රකාශ වී ඇත. එය කල්පිටිය ආශ්‍රිත කෘෂි බෝග සඳහා ලාභදායී සහ පහසු යෙදීමක් වනු ඇත.

දැනටමත් සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශයක් වන කල්පිටිය මෙම ව්‍යාපෘතිය මගින් තවදුරටත් ජනප්‍රිය කරවීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ. එසේම, ප්‍රදේශයට නව ආර්ථික අවස්ථා ගෙන ඒමට මෙන්ම මේ වන විට මුළුමනින් වඳවීමට ආසන්න බූරු සතුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ ගහණය ඉහළ නැංවීමටද මෙය උපකාරී වනු ඇත.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත්, එය ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන අංශයට නව මානයක් එකතු කරමින්, නව විදේශ විනිමය උත්පාදන මාර්ගයක් ලෙස පවත්වා ගත හැකි බවට ද විශ්වාසය පළ වී තිබේ.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසීන් 400 දෙනෙකුට රැකියා අවස්ථා උත්පාදනය කරනු ඇති බව ද ආයෝජක රොෂාන් ලෝව් පවසා තිබේ.

54523697 2180253612065484 3579572967375372288 n

කිලෝ මීටර් 42 ක් පමණ වන කල්පිටිය හා පුත්තලම පාලවිය ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ ලංකා සිතියමේ අතු රිකිල්ලක් සේ පෙනෙන කල්පිටි අර්ධද්වීපය මැදිනි. අද වන විට එහි තිබූ කඩොලාන ආශ්‍රිත වනගහණය ක්ෂය වීමත් කලපුව තෙක් වන මංපෙත් වැසී යාමත් නිසා බූරුවන් තම වර්ගයාගේ අවසානය උදා වන තුරු මහ මඟ දෙපස බලා හිඳිති.

විශේෂයෙන් කල්පිටිය කන්දකුලියේ ග්‍රාම ආරක්ෂක කඳවුරු බිම, ගුවන් හමුදා වෙඩි පිටිය, නොරොච්චෝල බලාගාරය සහ ප්‍රදේශය පුරා දක්නට ලැබෙන ඉස්සන් කොටු සේම මෑතක සිට ශීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතින සංචාරක හෝටල් සහ විවිධ පුද්ගලයන් විසින් සිදු කොට ඇති රජයේ ඉඩම් කොල්ලයන්, බූරුවන්ට සිය නිදහස් බිම් කඩ අහිමි කර තිබේ.

නමුත් මෙම ගැටළු කිසිත් නොදන්නා බූරුවන්ට ඇත්තේ ඒ සඳහා වන ඊළඟ විකල්පය වන මරණය තෝරා ගැනීම පමණි.

මේ අයුරින් බුදින්නට තණකොළ හිඟය මත ආහාර සොයා ගම් වදින බූරුවන් මිනිසුන් ආහාරයට ගන්නා සහ ඉවතලන ඕනෑම අප ද්‍රව්‍යයක් සේම පෝස්ටර් පාප්ප වැනි දෑද ආහාරයට ගන්නා අයුරු සුලබ ව දක්නට පුළුවන.

 

donkeys
කල්පිටිය ප්‍රදේශයට ආවේණික බූරුවන් පිළිබඳ විධිමත් සංගණනයක් කොට නැත. නමුත් වාර්තා වන පරිදි මේ වන විට එහි බූරු ගහණය 500ට අඩු ය. එය 200-300 අතර ප්‍රමාණයක් බව ද පැවසෙයි. එබැවින් එම සතුන් සංරක්ෂණය කළ යුතු වැඩපිළිවෙළක අවශ්‍යතාව මතු වී බොහෝ කලකි.

එමෙන්ම ඉහත සඳහන් හේතුන් මත ප්‍රදේශයේ මාර්ග අනතුරු රැසකට හේතු වී ඇති බූරුවන් ප්‍රදේශයේ ජනතාවට, සේම මගීන්ට හිරිහැරයක් බව ද නොරහසකි.

නමුත් ඉහත සඳහන් කල්පිටියේ බූරුවන් සම්බන්ධ ප්‍රවර්ධනාත්මක පුවත දුටු සැනින් මගේ සිතට ද ඉමහත් ප්‍රබෝධජනක බවක් පිවිසුණි. ඒ කුඩා කාලයේ සිට මගේ සිත තුළ එම සත්ව විශේෂය සම්බන්ධයෙන් පැවැති විශේෂ දයානුකම්පාව ඊට හේතු වන්නට ඇත. මගේ ළමා කාලය මොරටු පුරවරයේ ගත වූ අතර මගේ මතක සීමාවේ එහා කෙළවර තෙක්ම දිව යන අන්දමට එවක සිට සෑම වසරකම දෙතුන් වතාවක් කල්පිටියේ තලවිල ශාන්ත ආනා දෙව් මැදුර වෙත යාමේ පුරුද්දක් අප පවුල තුළ පැවතිණ. ඒ යන ගමනේ දී එවක ළමා වියේ සිටි මා සහ මගේ නැගෙණිය සිදු කළ විශේෂ කාරියක් විය. එනම් හලාවතින් ඔබ්බෙහි සිට එම චාරිකාවේ දී හමුවන ප්‍රදේශවල දී අපට දක්නට ලැබෙන බූරුවන් ගණන් කොට පොතක ලියා ගැනීම ය. ඒ එක් චාරිකාවක දී බූරුවන් දෙසිය තුන්සිය ගණන් ගණනය වූ බවක් මට මතක ය. විශේෂයෙන් මා අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් 1994 වසරේ පවා එම ප්‍රදේශයේ දී අපේ ගණනයට ලක් වූ බූරුවන් සංඛ්‍යාව සියය ද ඉක්මවා තිබිණ.ඒ එහි සමස්ත ගහණය තුන් හාර දහසක් වූ නිසා විය හැක.

කල්පිටිය ආශ්‍රිතව අද මෙන් නවාතැන් පහසුකම් නොතිබූ ඒ කාලයේ අපගේ තලවිල චාරිකාව කල්පිටිය තෙක්ම දිග වූ අතර එවක අපගේ නවාතැන වූයේ කල්පිටිය තානායමයි. අප එහි එක් රැයක් ගත කළ අතර ඒ අතර තුර ද තානායම් භූමියේ සහ ඊට යාබද පොලීසිය පිහිටි බිමේ අඩුම ගණනේ බූරුවන් හත් අට දෙනකු වත් දැකිය හැකි විය. එවක කල්පිටිය තානායමේ භාරකරු වශයෙන් සේවය කළ සම්පත් නිශාන්ත ද මෙම සතුන් කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වූ තරුණයෙකි. එනිසාම ඔහු හා අප පවුලේ සාමාජිකයන් අතර විශේෂ සුහදත්වයක් ද ගොඩනැගුණි.

image 12533de2f4

ව්‍යවහාරික වශයෙන් යෙදෙන වදන පරිද්දෙන්ම බූරුවන් යනු කිසිවක් සිතා නොබලා කටයුතු කරන සත්ව කොට්ඨාශයක් බවත් බූරු දෙනකු පසුපස ලුහු බඳින බූුරුවා තමන් ඉදිරියට එන වාහන ඉදිරියට පවා දිව ගොස් ඒවායේ ගැටී මිය යන බවත් අප මුල් වරට දැන ගත්තේ තානායම් භාරකරු සම්පත් ගෙනි. එමෙන්ම එලෙස වේගයෙන් දිව එන බූරුවන් ධාවනය වන ත්‍රිරෝද රථ අතුරින් පවා පැන යන පුවත් සේම ඇතැම් බූරුවන් එසේ ධාවනය වන ත්‍රිරෝද රථ වල ඉදිරිපස කොටසට පැන ඒවා අනතුරට පත් කරන බවත් අපට දැන ගත හැකි විය.

පසුව කල්පිටිය අර්ධ ද්වීපයේ ප්‍රසිද්ධ මාර්ග ආශ්‍රිතව බූරුවන් බහුලව දක්නට ලැබීමත් ඒවායේ ගමන් ගන්නා වාහන ප්‍රමාණය වැඩිවීම හා මාර්ග කාපට් කිරීම වැනි හේතු මුල් කොට ඔවුන් විශාල වශයෙන් මහ මඟ මැරී වැටීමටත් පටන් ගෙන තිබේ. එමෙන්ම ගව මස් හා කලවම් කොට විකිණීම පිණිස බූරුවන් රහසිගතව මැරීම, බූරුවන් ගේ හඬින් පොල් කුරුමිණියන් වඳ වෙතැයි යන මිථ්‍යා විශ්වාසය මුල් කොට රහසිගතව ඔවුන් කල්පිටි අර්ධ ද්වීපයෙන් පිටමං කර ගැනීම ආදිය නිරන්තරයෙන් සිදුවනු දක්නා ලදී.

කල්පිටිය අර්ධ ද්වීපය තුළ බූරුවන්ට නිසි ආරක්ෂාවක් නොමැති එවන් පසුබිමක් තුළ කල්පිටි අර්ධ ද්වීපයේ බූරුවන් ආරක්‍ෂාකර ගැනීම පිණිස එවක කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කළ චන්ද්‍රසිරි බණ්ඩාර හැකි සෑම උත්සාහයක්ම දරා තිබිණ. ඒ අතර කල්පිටිය අර්ධ ද්වීපයෙන් මුලුමනින්ම වඳ වී යන බූරුවන් රැක ගැනීම සම්බන්ධයෙන් තරුණ සත්වවේදීන් ගේ සංගමය (YZA ) ද පියවර කිහිපයක් ගෙන ඇති බව ද දැන ගත හැකි විය.

 

R7A7254
නමුත් මේ සියලු තත්වයන් යටතේ වුව ද මුලු කල්පිටිය අර්ධ ද්වීපය තුලින්ම වාර්තා වන බූරුවන් සංඛ්‍යාව වේගයෙන් අඩු වෙමින් පවතී. ඒ අනුව තව ඉතා කෙටි කලකින් වසර සිය දහස් ගණන් තිස්සේ මෙහි ජීවත් වූ බූරු පරපුරේ අන්තිම බූරුවා ද සදහටම මෙලොවින් සමුගනු ඇත.

නිවාස වල බූරුවන් ඇති නොකළ ද බූරුවන් ගෘහ ආශ්‍රිත සතුන් ගණයට අයත් සත්ව කොටසකි. එබැවින් වනජීවී පනතින් බූරුවන්ට රැකවරණයක් නොලැබෙන බව පැහැදිලි ය . මේ ආකාරය‍ට වනය සේම නිවාස ද අහිමි බූරුවන් පිළිබඳව තැකීමට හෝ සුරැකීම කිසිදු රාජ්‍ය ආයතනයක් නොමැත.

කල්පිටිය සංචාරක කලාපයේ අතිශයින්ම ආකර්ෂණීය සාධකයක් වූ බූරුවන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පසුබිමක පරිසර හිතවාදීන් සහ සත්වවේදීන්ගේ අවධානය කල්පිටිය බූරුවන් වෙත යොමු වුවහොත් එය බූරුවන්ට එය ආරක්ෂාවක් වනු ඇත.නමුත් එවැන්නක ද ළකුණක් වත් පෙනෙන්නට නැත.

donkey milk

මේ සියලු තත්වයන් යටතේ කල්පිටියේ ආරම්භ කිරීමට නියමිත මෙම බූරු කිරි ව්‍යාපෘතිය තුළින් හෝ රටම විදේශ විනිමයක් සේම කල්පිටියේ බූරුවන් ගේ ජීවිතාරක්ෂාව සැළසීම වෙසෙසින් අගය කළ යුත්තකි. මා මෙය කල්පිටියෙන් ඇරඹෙන මොළේ තියන බූරු වැඩක් ලෙස නම් කිරීමට අදහස් කළේ එනිසාම ය.


Screenshot 2024 12 25 at 10.13.44 copy 1
(සටහන | රීටා ජෙනට් පෙරේරා)

උපුටා ගැනීම - vinivida

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කල්පිටියෙන් ඇරඹෙන මොළේ තියන බූරු වැඩක් | රීටා ජෙනට් පෙරේරා | The Leader