ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් සංජය ගුණවර්ධන පත්කර තිබේ.
සම්පත් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා ගේ නිල ධුර කාලය එළඹෙන සැප්තැම්බර් 23 දින අවසන් වීමට නියමිත අතර ඒ අනුව බැංකුවේ වර්තමාන ප්‍රධාන මූලෝපායික නිලධාරීවරයා වන සංජය ගුණවර්ධන එම තනතුරට පත් කිරීමට සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත.
බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන සංජය ගුණවර්ධන, වසර 35කට ආසන්න කාලයක් සම්පත් බැංකුවේ සේවය කර තිබේ. මීට පෙර ඔහු බැංකුවෙහි ක්‍රමෝපායික සැලසුම්, සිල්ලර බැංකුකරණ සහ තොරතුරු තාක්ෂණ යන අංශ තුළ ඉහළ තනතුරු දරා තිබේ.
මේ අතර බැංකුවේ නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා වශයෙන් දීපාල් ද සිල්වා 2025 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇති බවද සම්පත් බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය පිළිබඳ වසර 35 කට අධික පළපුරුද්දක් ඇති දීපාල් ද සිල්වා සිප් සතර හදාරන ලද්දේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙන් බැංකුකරණය හා මූල්‍ය පිළිබඳ ඩිප්ලෝමාවද, ශ්‍රී ලංකා මහා බැංකුවෙන් භාණ්ඩාගාර හා විදේශ විනිමය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවද, ඉන්දියාවේ ණය ශ්‍රේණිගත කිරීමේ තොරතුරු සේවාවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය පිළිබඳ පාඨමාලාවද, සිකීම් මනිපාල් තාක්ෂණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති වැඩසටහනක්ද සම්පූර්ණ කර ඇති දීපාල්, මීට පෙර සහකාර ප්‍රධාන කළමනාකරු, නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම් හා ශාඛා), ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම් හා ශාඛා) ආදී තනතුරු දරමින් විශාල කාර්‍යභාර රැසක් සම්පත් බැංකුවේ උන්නතිය වෙනුවෙන් සිදු කර ඇත.



