* හැම ආණ්ඩුවක්ම බලයට පත්වූ පසු ව්‍යවසායකයින් අමතක කරනවා.
* සියයට 15ක විදුලි බිල වැඩිවීම දරා ගත නොහැකියි.
* ඉදිරියේදි ඉන්ධන මිලත්, අමුද්‍රව්‍ය මිලත් වැඩිවුවහොත් ව්‍යවසායකයා කබලින් ලිපට.
ඉරාන, ඊශ්‍රායල් යුද ගැටුම වඩාත් වර්ධනය වුවහොත් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ප්‍රජාවට විශාල අහිතකර බලපෑමක් එල්ලවන බව ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර ප්‍රකාශ කළාය.
කොළඹ 07, විද්‍යා මාවතහි අද (24) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය ඒ බව කීවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය ව්‍යවසායක සහ ව්‍යාපාරික ප්‍රජාව ලොව ඕනෑම රටක ආර්ථිකය බල ගන්වන පිරිසක්. අපේ රටේ ව්‍යවසායක ප්‍රජාව නිතරම රජයෙන් සහන සහ වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නැගී සිටීමටයි. නමුත් එය බලාපොරොත්තු වූ තරම් ලැබෙන බවක් පෙනෙන්නට නැහැ. ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වීමට පෙර අප ගැන සොයා බලන බව පවසනවා. බලයට පත්වී එසේ කටයුතු කරන්නේ නැහැ.
වත්මන් රජයවත් එසේ අප පිළිබඳව සොයා බැලීමක් කළ යුතුයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ එයයි. රජය අපහසුතාවයට පත් කිරීමට අපේ අදහසක් නැහැ. අප කියන්නේ ව්‍යවසායකත්වය දියුණු කිරීමට උදව් කරන ලෙසයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ භාණ්ඩාගාරික ජානකී අමරසිංහ,
දේශීය ව්‍යාපාරිකයින් නංවා ලීමට ඔවුන්ගේ නිෂ්පාදන රජයේ ආයතන වලට අනිවාර්යයෙන් සියයට විස්සක් මිලදී ගැනීමට පෙර නීතියක් තිබුණා. ඒ අනුව අපේ නිෂ්පාදකයින්ට රජයේ ආයතන වලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී යම් ප්‍රමාණයක් ලබා දීමට ඉඩක් තිබුණා. එය දැන් නැහැ. අප රජයෙන් ඉල්ලා සිටින්නේ එම වැඩපිළිවෙළ නැවත ආරම්භ කරන ලෙසයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ ජ්‍යෙෂ්ඨ විධායක කමිටු සාමාජික ඇම්. තුමිලන්,
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලබා ගැනීම සමග ඔවුන් කියන සෑම දෙයම කරන්නට සූදානම් බවක් පේනවා. එය රටට රටේ ජනතාවට හිතකර වන්නේ නැහැ. අයි.එම්.එෆ් ණය පහසුකමක් ලබා ගත්තා කියා බදු බර වැඩි කොට ජනතාව පීඩාවට පත් කිරීම සුදුසු නැහැ. ව්‍යාපාරිකයින් පීඩාවට පත් කිරීම, වැඩ කරන සේවකයින් වෙත පිඩා ගෙනදීම සුදුසු නැහැ. ඒ නිසා මේ තත්තවයන් නැති කළ යුතුයි.
ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ ජ්‍යෙෂ්ඨ විධායක කමිටු සාමාජික ෆේරෝස් අන්වර්,
දේශීය රෙදිපිළි කර්මාන්තය අද බිඳ වැටී තිබෙනවා. චීනයෙන් සහ ඉන්දියාවෙන් අඩු මිලට ප්‍රමිතියෙන් තොර රෙදි පිළි ගෙන එනවා. අපේ නිෂ්පාදන වලට පිරි වැය වැඩියි. ඒ නිසා අඩු මිලට එන විදේශීය රෙදි සමග තරග කළ නොහැකියි.
මෙම අවස්ථාව අමතා ලාංකීය එක්සත් ව්‍යාපාරික සංසදයේ විධායක කමිටු සාමාජිකයින් වන එර්ෂාඩ් හක් ඇතුලු කිහිප දෙනෙකු කතා කළහ.
(සටහන | ජේ.මුණසිංහ)



