ඉතා පොහොසත් සංස්කෘතික උරුමයක් ඇති ශ්‍රී ලංකාව යුරෝපීය සංචාරකයින්ගේ පාරාදීසියක් බවට පත් කිරීමේ අරමුණින් ලොව ප්‍රමිතිගත සංචාරක ආකර්ශනීය සංස්කෘතික සැණකෙළියක් Deep Jungle මැයෙන් සීගිරිය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වීමට මේ වන විට කටයුතු සංවිධානය කරමින් පවතී.
Deep Jungle එන්ටර්ටේට්මන්ට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම සංගීත සැණකෙළිය සෑම වසරකම අගෝස්තු සහ පෙබරවාරි මාසවල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එවැන්නක් මෙරට පැවැත්වීමෙන් ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින්නන්ට මෙන්ම ලොව පුරා සැණකෙළි හරහා සංචාරක ව්‍යාපාරයේ නිරතවන සංචාරකයින්ට වාසි සහ ප්‍රතිලාභ අත්කර දීමට තමන්ට හැකි වන බවත් සංවිධායක මණ්ඩලය පවසයි.
සීගිරිය සතු ඓතිහාසික සහ ස්ංස්කෘතිකමය වැදගත්කම සැලකිල්ලට ගනිමින් UNESCO සංවිධානය සීගිරිය අඩවිය ලෝක උරුමයක් ලෙස නම්කොට ඇත. මෙලෙස ලෝක උරුමයක් ලෙස සම්භාවනාවට පාත්‍රවූ සීගිරිය නැරඹීමට මෙරටට පැමිණෙන සෑම සංචාකරයන් සිය දෙනෙකුගෙන් අසූ දෙනෙකු ගමන් ගන්නා බව සංචාරක වාර්තා අනාවරණය කරගෙන ඇත.
සංචාරකයින් මෙරටදී වැයකරන ඩොලර් ප්‍රමාණය වැඩි කර ගැනීමට නව මගක්...

සංචාරක ආකර්ශනය ඉතා ඉහළ සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයන් වැඩි එක්සත් ජනපද ඩොලර් ප්‍රමාණයක් වියදම් කිරීමට පෙළඹවාලීම සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා සපයන ශ්‍රී ලාංකික පිරිසගේ අරමුණ විය යුතු බවත් එය ජය ගැනීමට මෙවැනි සංචාරක ආකර්ශන සැණකෙළි පැවැත්වීමට මුදල් ආයෝජනය කළ බවත් Deep Jungle එන්ටර්ටේට්මන්ට් ආයතනයේ ප්‍රධානී සුමුදු සමන් සඳහන් කළේය.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් විසින් මෙරටදී වියදම් කරන ඩොලර් ප්‍රමාණය වැඩිකර ගැනීම උදෙසා එම පිරිසට විනෝදාස්වාදය හිමිකර දෙන විවිධ ක්‍රියාකාරකම් පැවැත්විය යුතු බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නෙක් ලෙස තමා අවබෝධ කර ගත් පාඩමක් බව පැවසූ සුමුදු සමන් මහතා ඒ අනුව ලොව පුරා පැවැත්වෙන සංචාරක ආකර්ශනීය සැණකෙළි අධ්‍යයනය කළ බවත් අප සමග සඳහන් කළේය.
ලොවපුරා පැවැත්වෙන එවැනි සැණකෙළි හරහා ගෝලීය ආර්ථිකයට ඇතිකරන බලපෑම එක්සත් ජනපද ඩොලර් මිලියන ගණනක් වන බව නොරහසකි. ඇමරිකාවේ කැලිෆෝනියාවේ පැවැත්වෙන Coachella Festival, බෙල්ජියමෙහි පැවැත්වෙන Tomorrowland, එක්සත් රාජධානියේ පැවැත්වෙන Glastonbury & Festival මෙන්ම බ්‍රසීලයෙහි පැවැත්වෙන Rock in Rio සැණකෙළි කෙරෙහිද අවධානය යොමු කරමින් අප රටටම ආවේනිකවූ ශ්‍රී ලාංකේය සන්නාමයක් සහිතව Deep Jungle සැණකෙළිය සංවිධානය කළ බව සුමුදු සමන් කීය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා සංගීත සැණකෙළි උරුමය ලෝකයට රැගෙනයාම ඉලක්ක කර ගනිමින් අගෝස්තු මාසයේදී Deep Jungle සැණකෙළියේදී මන බඳින සංගීත ප්‍රසංග පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දේශීය මුදල් හා සම්පත්, අන්තර්ජාතික DJ කලාකරුවන් වෙනුවෙන් වියදම් කිරීම සහ විදේශීය කලාකරුවන් මත යැපීම වෙනුවට ශ්‍රී ලංකාවටම ආවේණික උරුමයන් විදහා දක්වන සංගීත ප්‍රසංග හරහා අපේ කලාව ලෝකයට හඳුන්වා දීම මෙහි අරමුණක් වී තිබේ.
ඔවුන්ගේ හැකියාවන් විදේශීය සංචාරකයන් ඉදිරියේ එළි දැක්වීමට දැවැන්ත සංගීත ප්‍රසංග වේදිකා පහක් සීගිරිය සංචාරක අඩවියේ නිර්මාණය කොට ඊට සංචාරකයින් එක් කර ගැනීමට සැලසුම් කොට තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා රජය, පෞද්ගලික අංශයේ සහ සීගිරිය ප්‍රදේශයේ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තුවන බව සුමුදු සමන් ඉකුත් දා සීගිරියේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
අන්තර්ජාතික සංචාරක ප්‍රවර්ධන කාලසටහනට ශ්‍රී ලංකාවේ නාමය සහිතව සැණකෙළියක් ලෙස ඉදිරියේදී මෙය පත් කර ගැනීමට අපේක්ෂාවක් පවතී. මේ හරහා දේශීය කලාකරුවන්ගේ නිර්මාණ එළි දැක්වෙන අතර දේශීය අත්කම් භාණ්ඩ නිෂ්පාදකයින්ගේ, නව නිපැයුම්කරුවන්ගේ භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳ පොළක් නිර්මාණය වේ.
ශ්‍රී ලාංකේය සංස්කෘතික අංගයන් උපරිමයෙන් එළි දැක්වීම හරහා මෙරට පාරම්පරික බලි තොවිල්, ශාන්තිකර්ම, දවුල් සහ බෙර සංදර්ශන, කාවඩි ඇතුලු අනෙකුත් සේවා සපයන පිරිසගේ අතමිට සරු කිරීම මේ සැණකෙළියේ අරමුණකි.
මේ හරහා ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නව සෘජු හා වක්‍ර රැකියා අවස්ථා බිහි කිරීම, මෙන්ම සීගිරිය ප්‍රදේශයේ පරිසරය ආරක්ෂා කර ගනිමින් සංචාරක කර්මාන්තය නව දිශාවකට රැගෙන යාම අරමුණු කොට ඇතැයි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේය.
(සටහන | ජේ.මුණසිංහ)



