The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

1953/ 2022; තුලනාත්මක විග්‍රහයක් - (දීප්ති කුමාර ගුණරත්න)

T

The Leader Desk

May 7, 2022 • 8:15 AM

1953/ 2022; තුලනාත්මක විග්‍රහයක් - (දීප්ති කුමාර ගුණරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘දෙරණ’ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකු වන චතුර අල්විස්ට අනුව සත විසිපහට තිබූ හාල් සේරුව සත 70 ක් දක්වා වැඩි වී මහජනයා කැරලි ගසන ලදී.
  • සත 25 ට තිබූ හාල් සේරුව සත 70 වට වැඩි වූයේ, කොරියන් යුද්ධය නිසා (50-53) මිල ඉහළ ගිය ලෝක රබර් මිල 53 දී පහතට ඒම නිසා රාජ්‍ය ආදායම් පහළ ගිය නිසා ය.
  • චතුරට අනුව, 53 හර්තාලය යනු රාජ්‍යය සහ ආර්ථිකය අතර සම්බන්ධය බාහිරින් අර්බුදයකට ලක් වීමක් නොව හුදු දේශපාලකයින්ගේ ආත්මීය ගැටලුවකි.
  • නැතහොත්, හදිසියේ බඩු මිල ඉහළ යාම නිසා ඇති වූ මහජන කැරැල්ලකි.
අකුරු ප්‍රමාණය (Font Size):



‘දෙරණ’ නාලිකාවේ ජනප්‍රිය නිවේදකයෙකු වන චතුර අල්විස්ට අනුව සත විසිපහට තිබූ හාල් සේරුව සත 70 ක් දක්වා වැඩි වී මහජනයා කැරලි ගසන ලදී.

සත 25 ට තිබූ හාල් සේරුව සත 70 වට වැඩි වූයේ, කොරියන් යුද්ධය නිසා (50-53) මිල ඉහළ ගිය ලෝක රබර් මිල 53 දී පහතට ඒම නිසා රාජ්‍ය ආදායම් පහළ ගිය නිසා ය. එවිට, රාජ්‍ය ආදායම පියවා ගැනීමට රාජ්‍ය සුභසාධන වියදම් කපා දැමීමට ආණ්ඩුවට සිදු විය.

මෙය, ලංකාවේ ධනපති පන්තිය නිසා වූවක් නොව ‍අධිරාජ්‍යවාදී යුද්ධයක් නිසා සිදු වූවකි.

පශ්චාත්-නූතන මාධ්‍යවේදීන්, ‘වාණිජ ජනප්‍රිය සංස්කෘතියේ’ අග්‍රඑල මිස ඓතිහාසික තොරතුරු මත තම විග්‍රහය පදනම් වෙමින් තම විග්‍රහය පුළුල් කරන්නන් නොවේ. චතුරට අනුව, 53 හර්තාලය යනු රාජ්‍යය සහ ආර්ථිකය අතර සම්බන්ධය බාහිරින් අර්බුදයකට ලක් වීමක් නොව හුදු දේශපාලකයින්ගේ ආත්මීය ගැටලුවකි. නැතහොත්, හදිසියේ බඩු මිල ඉහළ යාම නිසා ඇති වූ මහජන කැරැල්ලකි.



53 හර්තාලයේ ඓතිහාසික පසුබිම කෙටියෙන් මෙසේ ය.

x53

ලෝක ආර්ථීකයට 50 දශකයේ ලංකාවේ ආර්ථිකය ගැට ගැසී තිබුණේ, තේ, පොල්, රබර් යන ආයතයන්ට සාපේක්ෂව ය. කොරියන් යුද්ධය නිසා ඉහළ ගිය රබර් මිල 53 වර්ෂයේ කොරියන් යුද්ධයේ අවසානය සමඟ යළි පහළ ගියේ ය. එවිට, එවකට පොදුවේ මහජනයාට ලබා දුන් ආහාර ඇතුළු සුභසාධනය රාජ්‍ය ආදායම් අඩු වන තත්ත්වය යටතේ තවදුරටත් ලබා දීමට නොහැකි විය.

ඒ මොහොතේ දී, ලංකාවට අවශ්‍ය වූයේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට ය. එවකට, රාජ්‍ය ආදායම් සංයුතියේ ඉහළ ප්‍රතිශතයක් ලැබුණේ ආනයන-අපනයන ආර්ථිකයෙනි. නමුත්, ලෝක ආර්ථිකයේ ඇති වන උච්චාවචනයන් හමුවේ රටේ ආර්ථිකය කර්මාන්ත සහ සේවා අංශයට පුළුල් කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා, එවකට ආණ්ඩුවේ ප්‍රධානියා වූ ඩඩ්ලි සේනානායක සහ එහි මූලිකයන් ලෝක බැංකුවට ආරාධනා කළේ, ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන ලෙසයි.

ලෝක බැංකුව ඒ මොහොතේ යෝජනා කරන ලද්දේ, සුභසාධන සහමුලින් කැපීමක් නොව ආර්ථිකයේ ඉතාම අවදානම් කොටස පමණක් ඉලක්ක කර ගත් සුභසාධන වැඩසටහනක් හදන ලෙසයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සහල් මිල සත විසිපහේ සිට සත 70 දක්වා ඉහළ යන ලදී. ඊට අමතරව, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්, ප්‍රවාහන ගාස්තු වැඩි විය. මෙය, නාගරික කම්කරුවන්ට තදින් බලපාන ලදී.

NM SA Pilip

මාක්ස්වාදී දෘෂ්ටියේ සිය චින්තනය පිහිට වූ සමසමාජයේ එන්.එම්. පෙරේරා, කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර වික්‍රමසිංහ සහ විප්ලවකාරී සමසමාජයේ පිලිප් ගුණවර්ධන යන ත්‍රිත්ව බලවේගය ලද අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු යැයි තීරණය කරන ලදී. මෙම අවස්ථාව ට්‍රොට්ස්කිවාදීන් බොහෝමයක් සහ ස්ටාලින්වාදීන් සුළුතරයක් සලකන ලද්දේ, විප්ලවීය මොහොතක් ලෙසිනි. මෙම ආර්ථික දුෂ්කරතාවය ගම්බදට දැණුනු ආකාරය නොසලකන ලදී.

වාමාංශික පක්ෂ තුනක් ඒ අනුව, 53 හර්තාලය මෙහෙයවන ලද අතර පසුව ඒ අය අරගලයේ හිංසනය තීව්‍ර වෙත්ම එය නවතා දමන ලදී.  මෙම ‘හර්තාලයට’ බණ්ඩාරනායක සහභාගි වූයේ නැත. සැප්තැම්බර් 1 වනදා විශ්වාසභංගයක් බණ්ඩාරනායක ඉදිරිපත් කරන ලද අතර, ඩඩ්ලි සේනානායක පසුව ඉල්ලා අස් වී සර් ජෝන් කොතලාවල අගමැති විය. ජේ. ආර්ට මුදල් ඇමතිකම නැති විය. පසුව හාල් සේරුව සත 55 ට අඩු කරන ලදී.

 


''ආර්ථිකය ප්‍රසාරණය කොට ප්‍රතිව්‍යුහගත කිරීමට ලැබුණු අවස්ථාවක් රටට අහිමි විය.''

1953 දී, රටේ ආර්ථිකය ප්‍රසාරණය කොට ප්‍රතිව්‍යුහගත කිරීමට ලැබුණු අවස්ථාව ඉන් රටට අහිමි විය. ‘ආර්ථික අර්බුදය’ අවසන් වීමෙන් පසුව දේශපාලන අර්බුදය තීව්‍ර විය. එන්.එම් සහ වාමාංශිකයන් සිතුවේ, ඊළඟට එන මැතිවරණයෙන් ඔවුනට නිසැක ජයක් හිමි වනු ඇතැයි කියා ය.

56 යේ මහජන ඡන්දයට ‘සමස්ත භික්ෂු සංවිධානය’ පළමුවෙන්ම ඡන්දයෙන් දිනීමට තිබූ අවස්ථාව හිමි N.M පෙරේරා හමු වූ අතර, ඔහුට තම ‘දස පනත’ ඉදිරිපත් කරන ලදී. එහි අඩංගු ‘සිංහල පමණක්’ යන වගන්තිය ඉල්ලා අස් කර ගන්නේ නම්, තමන් ‘දස පනතට’ කැමති බව N.M කියා සිටියේ ය. නමුත්, භික්ෂූන් ඊට අකමැති විය.

ඉන්පසු, භික්ෂූන් බණ්ඩාරනායක හමු විය. ශූර බුද්ධිමතෙකු වූ බණ්ඩාරනායක ඊට එකපයින්ම කැමැති විය. මෙම අවස්ථාව පිළිබඳව නිව්ටන් ගුණසිංහ මෙසේ සටහන් කරන ලදී.

gsdfd“මෙහි පවතින හාස්‍යජනක තත්වය නම්, සේනානායකලා සහ කොතලාවලලා සෘජුවම බෞද්ධ පවුල්වලින් පැමිණීමයි. කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික මතවාදය වර්ධනය වීම සඳහා ආගම බලපාන්නේ නැත. වැදගත් වන්නේ  ඔහුගේ පවුල් පෙළපත ය යන මතය පවතින සමාජයක බණ්ඩාරනායක බුද්ධාගම වැළද ගැනීමට තීරණය කිරීමත්, ඒ සමඟම සිංහල බෞද්ධ සටන් පාඨ යොදා ගෙන සිත් කාවදින භාෂාවකින් ජනයා ආමන්ත්‍රණය කිරීමත්, බණ්ඩාරනායකගේ දේශපාලන කෞශල්‍යය මොනවට පැහැදිලි කරයි. තම දේශපාලන උපාය උපක්‍රම මගින් බණ්ඩාරනායක ඔහුගේ විස්තෘත පවුලෙන් බැහැරව, ඔහුගේ පුද්ගලික දේශපාලන බලය ස්ථාපිත කර ගැනීමටත්, ස්ථාපිත පැරණි කොම්ප්‍රදෝරු ධනේශ්වර කණ්ඩායම් වලට එරෙහිව යමින් අලුතෙන් ගොඩනැගෙන දේශීය ධනේශ්වරය හා විවිධ සමාජ ස්තර වලින් ඉදිරියට එන සුළු ධනේශ්වර කණ්ඩායම් සමඟ දේශපාලන සබඳතා පිහිටුවා ගැනීමටත් සමත් විය. නමුත්, මොහුගේ උපක්‍රමය නිසා උතුරු-නැගෙනහිර සහ කන්ද උඩරට ද්‍රවිඩ ජනතාව ප්‍රධාන ප්‍රවාහයෙන් ඉවතට විසි විය. බණ්ඩාරනායක ලංකාවේ සිංහල සමාජ ප්‍රභේද වලින් පැමිණෙන විවිධ සමාජ කණ්ඩායම් ඇතුළත් කර ගැනීමට දක්ෂ විය. එහෙත්, ඔහුගේ මෙම ආත්මීයකරණ ක්‍රියාවලිය නිසා ද්‍රවිඩ ජනතාව බාහිර වාස්තවික බලවේගයක් බවට පත් කරන ලදී. පුද්ගලයෙකු නිර්වචනය කළ හැක්කේ, අනෙකාට සාපේක්ෂව පමණකි යන මිචෙල් ෆූකෝගේ අදහස මෙතනට අදාල කරගත හැකි ය.”



1956 දේශපාලන විපර්යාසය :

අප 2022 වර්ෂයේ සිට පසු ආවර්තිතව සිදුවීම් අර්ථකතනය කරන්නේ නම්, 1956 දී ‘දෘෂ්ටිවාදය’ [IDEOLOGY] නම් අදහස කෙතරම් වැදගත් ද යන්න මෙනෙහි කළ හැකි ය. N.M, වික්‍රමසිංහ සහ පිලිප් ගුණවර්ධන මාක්ස්වාදය සහ ධනවාදය පෙරළීම නම් ”මහා අනෙකාගේ”[BIG-OTHER] විශ්වාසය මත පදනම් විය.

බණ්ඩාරනායක දැන සිටියේ, ‘ජාතිවාදය’ භෞතික අදහසක් බවත්, ඒ සඳහා සදාචාර විනිශ්චයක් අනවශ්‍ය බවත් ය.

N.M තමන් සිංහල ජාතිවාදය විවෘතවම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරන ලදී.

‘දෘෂ්ටිවාදය’ කෙලින්ම සම්බන්ධ වන්නේ, අපගේ ආශාවට ය. ආශාව විසින් දෘෂ්ටිවාදය ව්‍යුහගත කරයි.

1956 වන විට දී, විදේශ වෙළඳාම සමඟ ඍජු ලෙස ගනුදෙනු කළ නාගරික සමාජ ස්තරයක් නිසා ගම්බද ජනතාව සහ සිංහල සුළු ධනේශ්වරය තමන්ගේ අස්ථිරත්වය සහ අවදානම් සහගත අපේක්ෂාභංගත්වයේ හේතුව ලෙස දුටුවේ, නගරය නිසා ගම තර්ජනයට ලක් වන බවයි.

මනෝවිශ්ලේෂණයට හිමි සංකල්පයක් පාවිච්චි කරන්නේ නම්, ‘විනෝදය’ යනු මිනිසුන් බහිෂ්කරණය කිරීමේ අදහසකි. යම් පුද්ගලයෙකු හෝ යම් සමාජ කණ්ඩායම් යම් අවදානම් සහගත තත්ත්වයක පවතින්නේ නම්, එම අවදානම හෝ  අනතුර සුවිශේෂ පිටින් ඉන්නා අනෙකෙකුට ප්‍රක්ෂේපණය කළ හැකිය.


ඒ අනුව, 1956 දී ලෝක ආර්ථිකයේ සිදුවන අවපාතයක් නිසා හටගන්නා අසහනයක් සංසිඳුවීමට ‘සිංහල ජනයා’ යන අදහස පාවිච්චි කිරීමෙන්, ඉන් පිටත සිටින දෙමළුන් යනු සිංහලයන්ගේ පසමිතුරන් ලෙස නිර්වචනය කිරීම පහසු විය. ඒ අනුව, සිංහලයාගේ අර්ථයේ අවිද්‍යාමාණය බාහිරින් සිටින දෙමළාගේ විද්‍යාමාණය වෙතට ප්‍රක්ෂේපණය වෙයි. මෙතැන දී, ‘ආර්ථික ගැටලුවක්’ දේශපාලනිකව ඉන් බාහිර ජාතික ගැටලුවක් බවට ප්‍රතිස්ථාපනය වෙයි.


 ‘දෘෂ්ටිවාදය’ යන සංකල්පයෙන් අදහස් වන්නේ, අපට බාහිරින් ඇති නිවැරදි යථාර්ථයට යාමට අපට ඇති කරන බාහිර අවහිරයක් නොවේ. ඒ වෙනුවට, දෘෂ්ටිවාදය යනු බාහිර යථාර්ථය එලෙසම පැවතිය දී දේවල් සිදුවන ආකාරය ගැන ඔබට ඔබගේම වූ විග්‍රහයක් නිර්මාණය වීමයි.[FANTASY CREATION]

උදාහරණයක් වශයෙන්, 1953 හර්තාලය අද දවසේ ජාතිකවාදීන් නිර්වචනය කරන්නේ, බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් රට මුදා ගත් සිදුවීමක් ලෙසිනි. මන්දයත්, 1953 හර්තාලයේ අවසන් ප්‍රතිඵලය වන්නේ, ලංකාවේ වම පරාජයට පත් වී බණ්ඩාරනායක 56 යේ දී වීරයා වීමයි.

2022

නැවතත්, 2022 වර්ෂයේ දී කලින් පරිදිම රාජ්‍ය ආදායම හැකිලී ගොස් රටට අවශ්‍ය ආයාත ගෙන්වා ගත නොහැකි මට්ටමට පිරිහී තිබේ.

එදා කොරියන් යුද්ධය මෙන් අද දවසේ යුක්රේන් යුද්ධය පවතින අතර එමගින්, ඉන්ධන සහ ගෑස්වල මිල ඉහළ ගොස් ඇත.

53 දී සිදු වූ ආකාරයටම ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම (රාජ්‍ය වියදම් අඩුකොට සුභසාධනය ඉලක්කගත ප්‍රජාවට පමණක් ලබා දීම) වෙනුවට මාධ්‍ය සහ දේශපාලන පක්ෂ ගැටලුව ”දේශපාලන අර්බුදයක්” දක්වා වර්ධනය කර ඇත. මෙය, ඔලුවේ තිබෙන තුවාලයකට කකුලට බෙහෙත් බැඳීම වැනි විකාරයකි.

 

රාජ්‍ය ආදායමෙන් අතිවිශාල පංගුවක් රජයේ සේවකයන්ට බෙදී යන අතර වැඩ කරන ජනයාගෙන් 60% කට ස්ථිර මාසික ආදායමක් හෝ සමාජ සංරක්ෂණයක් නැත. නමුත්, දේශපාලන උද්ඝෝෂණ තුළ දී මාධ්‍ය මගින් ඉදිරියට පැමිණ ඇත්තේ, මාසිකව වැටුප් ලබන රජයේ සේවකයන්ම ය.

‘53 හර්තාලය’ බණ්ඩාරනායක සිංහල අනන්‍යතාවයට අදාළ ගැටලුවක් බවට විස්ථාපනය කළ පරිදි රටේ වර්තමාන ‘ආර්ථික අර්බුදය’ රාජපක්ෂ පවුලේ ගැටලුවක් බවට විපක්ෂ බලවේග පත් කර ඇත. ‘සිංහලකම’ වෙනුවට දූෂණය, භීෂණය, හොරා කෑ සල්ලි ආදී මතවාදී සංඝටක වලින් මාධ්‍ය පිරී ගොස් ඇත.



රටක් අලුත් වන්නේ, ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ය. දේශපාලන ප්‍රතිසංස්කරණ එන්නේ, ඊට පිටුපසිනි. ලංකාවේ දේශපාලනය තවමත් පසුගාමී ය.

89 අවුරුද්දේ සහමුලින්ම අතාර්කික වී ගිය බලවේග අලුත් ඇඳුම් ඇඳගෙන කරළියට බැස ඇත. මේ අය, ගැටලුවට විසඳුමක් නොව ගැටලුව නොවිසඳීම නිසා හටගත් රෝග ලක්ෂණයන් ය.

එම නිසා, අප යෝජනා කරන්නේ, බැසිල් විසින් පාලනය කරන ස.ජ.බේ කල්ලිය සහ කුමාර්ගේ පොඩි ළමයින් SET එක අතීතයට අයිති සංකේත බවයි. අවශ්‍ය වන්නේ, ආර්ථික තලයේ රැඩිකල් ප්‍රතිසංස්කරණයකි. ඒ ගැන, විග්‍රහයකට යාමට අපි මීළඟට උත්සාහ කරමු.

53 දී, අපට අහිමි වූ ”ආර්ථිකය-රැඩිකල් වෙනසකට-භාජනය-කිරීම” නම් කටයුත්ත සිදු කිරීමට අපට 77 දක්වා බලා සිටීමට සිදු විය. (අවුරුදු 24). 2022 වසර අපට මග හැරුණොත්…


DKG(දීප්ති කුමාර ගුණරත්න)
සමබිම පක්ෂයේ නායක
kmgunarathne@gmail.com

(3mana.com)

 

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...