The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'පෝට් සිටි' පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

April 20, 2021 • 8:56 AM

 'පෝට් සිටි' පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය විවෘත ජාතිකවාදී පදනමකින් විග්‍රහ කරන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ ප්‍රකාශ කර තිබිණි.
  • ප්‍රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපය තුළට ඇතුළු වීමයි!!!
  •   ඉතාම කපටි අන්දමින් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර හරියටම දින 15කින් පසු, 2021 අප්‍රේල් 8 දින එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලදී.
  • නීතිය ඉදිරියේ පාර්ශ්වකරුවන්ගේ සමානාත්මතා මූලධර්මය උල්ලංඝනය වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12 සහ 14 වගන්ති උල්ලංඝනය විය හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
“නොබැදි පිළිවෙත, ජාතික ස්වෛරීභාවය යනු අතීතයට අයත් දේ ය. ප්‍රායෝගික වන්නේ වඩාත් වාසි බලවතකුගේ අනුහස් කලාපය තුළට ඇතුළු වීමයි!!! ආණ්ඩු විරෝධීන් මොන බයිලා කිව්වත්, චීන ආධිපත්‍යය යටතට පත්නොවී ලංකාවට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට වෙනත් ක්‍රමයක් නැත!!!“ - නිර්මාල් රන්ජිත් දේවසිරි 
  
තම තර්කය වැඩිදුරටත් සාධාරණීකරණය කරමින් ඉතිහාස මහාචාර්ය නිර්මාල් මෙසේ ද තර්ක කරයි: 
 
“1517 කොළඹ වරාය අසල පෘතුගීසීන් තැනූ බලකොටුවද එවකට කෝට්ටේ රාජධානියේ ව්‍යවස්ථාවට අනුකූලව කරන ලද්දකි!!!“
 
සිංහල ජාතිකවාදී වාගාඩම්බරකරුවන් වන මහාචාර්ය ගුණදාස අමරසේකරගේ සිට ගෙවිඳු කුමාරතුංග දක්වා සැමට වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ගැන කියන්නට මීට වඩා දෙයක් නැත.
 
 
 
කොලේ වසා ගැසීමක් !
 
පනත් කෙටුම්පතෙහි 1 උපලේඛනයෙහි දැක්වෙන සීමාවන් තුළ අක්කර 1115ක භූමියක පිහිටුවීමට යෝජිත වරාය නගර ආර්ථික කලාපය නම් විශේෂ ආර්ථික කලාපය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහු විසින් ප්‍රවර්ධනය කරන ලද ජාතිවාදී ව්‍යාපෘතියට කෙතරම් පටහැණි ද යත්, ඒ සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් ඇතිවීම හෝ ආණ්ඩුවට දරාගත නොහැකිය. එබැවින් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කළේ කොලේ වසා ගැසීමකි.
 
ඉතාම කපටි අන්දමින් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර හරියටම දින 15කින් පසු, 2021 අප්‍රේල් 8 දින එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කරන ලදී.
 
 පුරවැසියකු හට මෙම පනතට නීත්‍යානුකූලව අභියෝග කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා ලැබෙන්නේ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසු එක් සතියක කාලපරිච්ඡේදයක් පමණි. 
 
එම කාලය තුළට සති අන්තය පමණක් නොව රජයේ නිවාඩු දින තුනක් ද අයත් විය. එසේම, එය වනාහි, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයන් අත්හිටුවා, නීති වෘත්තියේ යෙදෙන බොහෝ සාමාජිකයන් කාර්යාලවලින් බැහැරව සිටි සමයකි.
 
 Court
 
පනත් කෙටුම්පතෙහි ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි විධිවිධාන සමග අනුකූල නොවිය හැකි බවත්, විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 1, 2, 3, 4, 12, 14 සහ 76 වගන්ති සමග අනුකූල නොවිය හැකි බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙයි: 
 
“පනත් කෙටුම්පතෙහි විධිවිධාන අධිකරණ හා නීති වෘත්තියට ඍජුවම බලපාන බව  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව සඳහන් කරයි. 
 
එම විධිවිධාන පනත් කෙටුම්පතෙහි XIII කොටසෙහි (ජාත්‍යන්තර වානිජ ගැටලු බේරුම්කාර මධ්‍යස්ථානය) XIV (නීති කෘත්‍යවල ප්‍රමුඛ විභාග) කොටසෙහි දැක්වේ. 
 
එමගින් අධිකරණ බලසීමාවලින් බැහැර කිරීමක්, අධිකරණ අභිමතය උල්ලංඝනය වීමක් සිදුවිය හැකිය. නීතිය ඉදිරියේ පාර්ශ්වකරුවන්ගේ සමානාත්මතා මූලධර්මය උල්ලංඝනය වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12 සහ 14 වගන්ති උල්ලංඝනය විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන් කරන ලද වගන්ති ශ්‍රී ලංකා රාජ්‍යය, ජනරජයේ ඒකීය ස්වභාවය, මහජන ස්වෛරීභාවය, මහජනයාගේ මූලික අයිතිවාසිකම්, පාර්ලිමේන්තු බලයට සහ තවත් කරුණුවලට අදාළ වේ.“
 
කෙසේ වෙතත්, පනතෙහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීම මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිදුවෙමින් තිබේ. ඒ පිළිබඳ විශිෂ්ට පැහැදිලි කිරීමක් නීතීඥ උපුල් කුමාරප්පෙරුම විසින් සිදුකර තිබේ.
 
පෝට් සිටි ආර්ථික කොමිෂන් සභා පනත මුළුමනින්ම රටේ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇතැයි ඔහු පවසයි.
 
 
Damithකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශ්ලේෂණයක යෙදෙන සමාජ ක්‍රියාකාරික දමිත් කේතක මෙසේ පවසයි: 
 
“වරායේ නැගෙනහිර ජැටිය ගැන ඉන්දීය රජය ( අදානි කෙහෙල්මල නෙමෙයි ) සහ ජපානය එක්ක ගිවිසුමක ගිහින්, පෝට් නගරයේ පරිපාලනය සහ නීතිමය පසුබිම ලංකා රජය යටතේ තියාගෙන, කාවවත් තරහා කර නොගෙන, චීනයත් ෂේප් කරගෙන ඕකෙන් කීයක් හරි හම්බු කරගන්න පොටක් පාදගන්න තිබුණා, බුද්ධිමත්ව හිතුවා නම්….චීනය තරහ කර නොගන්න ගමන්, චීනය සහ අපි අතර තියෙන සම්බන්ධය තමන්ට තර්ජනයක් නොවෙන බවට ඉන්දු-ඇමරිකා කඳවුරටත් ඒත්තු ගන්වාගෙන, දෙතුන් ගොල්ලන්ගෙන්ම කීයක් හරි හොයාගන්න ක්‍රම සහ විධි තියෙනවා…. අවසානයෙදි බැලුවොත්, ඔය දෙතුන්ගොල්ල උනුන් අතරෙ කරගන්න වෙළඳාම් වල වටිනකම අති දැවැන්තයිනෙ… එහෙම එකේ පිළිවෙලකට වැඩේ කළා නම් අපිටත් ඔය කීයක් හරි හොයාගෙන, බිල්ඩිමක්, පාරක් හදාගෙන ඉන්න තිබ්බා ෂේප් එකේ….දැන් පැහැදිලිවම චීනය සමඟ පමණක් ගමනක් යන බවට අඟවා ඇති සංඥා එක්ක, ඉදිරියෙදි බොහෝ දේවල් වෙන්න පුළුවන්….”
 
 
 
වත්මන් ආණ්ඩුව මෙම තත්වයට පත්වීමට හේතුව විග්‍රහ කරන වියත්මග හිටපු නායකයකු වන එරන්ද ගිනිගේ මෙසේ පවසයි: 
 
ginige“මේ වෙලාවේ ආණ්ඩුව පිස්සුවෙන් වගේ හොයන්නෙ විදේශ සල්ලි. ආණ්ඩුව නොකියා කියන හැටියට අපේ රටේ විදේශ විනිමය අඩියට හිඳෙන්න කිට්ටුයි. විදේශ ණය ගෙවාගන්න සල්ලි නැහැ. වසරක් පමණ තිස්සේ ඇතැම් ආනයන සීමා කර තිබෙන්නේ ඒ නිසා බව අපට වැටහෙනවා. නැතුව මේ දේශීය ආර්ථිකයක් හදන්නම නෙවෙයි. නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණලා සල්ලි හොයාගන්න හැදුවේ ඒකයි. මේ තත්ත්වය නිසා වෙන රටවල් දැන් අලුතෙන් ණය දෙන්නෙත් නැහැ. චීනය විතරයි ණය දෙන්නෙ. ඒකත් ඉතින් චීනගේම දීර්ඝකාලීන සැලසුම් තමයි. ඒ ගැටවලට අපි අහුවෙලා ඉවරයි.”
 
එක්සත් ජනපදය සමග මිලේනියම් චැලේන්ජ් කම්පැක්ට්, ඉන්දියාව සමග නැගෙනහිර ජැටිය, ජපානය සමග සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි ජාත්‍යන්තර අසාර්ථක වීම් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවී තිබෙන තත්වය හමුවේ මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් දැඩි හුදකලා වීමකට ලක්වී තිබේ.
 
  
රටම බංකොලොත් වන්නට ඔන්න මෙන්න ...
 
China Aid
 
පවත්නා උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ විදේශ ආධාරවලින් තොරව ශ්‍රී ලංකාවට පැවැත්මක් ද නැත. 
 
මේ වන විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් සහන ණය ලබාගත නොහැකිය. 
 
ශ්‍රී ලංකාවට කොවිඩ්-19 සම්බන්ධයෙන් ලබාදුන් ජාත්‍යන්තර ආර්ථික සහන පවා ලබාගත නොහැකි විය. 
 
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව සිටින්නේ බංකොලොත් වන්නට ඔන්න මෙන්න තත්වයක බැවින් විවෘත වෙළඳපොළේ ණය ලබාගැනීම ද දුෂ්කර වී තිබේ.
 
මෙම පසුබිම තුළ ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන සිංහල ජාතිවාදී ආණ්ඩුව මේ වන විට චීන උගුලට අසුවන්නේ දැනුවත්වමය. ඒ හැරෙන්නට තමන්ට වෙනත් විකල්පයක් නොමැති බව ඔවුහු හොඳින් දනිති. නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අයට පවා චීන ගැත්තන් බවට පත්වීම හැර වෙනත් විකල්පයක් නැත.
  
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් වරාය නගරය වෙනම රාජ්‍යයක් හෝ ස්වයං පාලනයක් ලෙස හෝ ක්‍රියාත්මක වන තත්වයක් නිර්මාණය වන බව හෝ සිංහල ජාතිවාදීන්ගේ අවධානයට යොමු කළ නොහැකි තරම් අර්බුදකාරී තත්වයක් මතුවී තිබේ.
 
එහෙත්, ශ්‍රී ලංකා ආණ්ඩුව බලාපොරොත්තු වන තරම් ක්ෂණික ආර්ථික වර්ධනයක් හෙවත් බූම් එකක් වරාය නගරයෙන් ඇති වේ යයි අපේක්ෂා කිරීම මුග්ධකමකි. 
 
හම්බන්තොට වරාය චීනයට බදු දී වසර ගණනාවක් ගතවී තිබුණ ද ඒ ආශ්‍රිතව එවැනි තත්වයක් නිර්මාණය වී නැත.
 
 
 
අස්ථාවර රටකට ආයෝජකයන් එයි ද?
 
චම්පික රණවක මන්ත්‍රීවරයා පවසන ආකාරයට අනුව, මෙවැනි උම්මත්තක පාලකයන් සිටින, දේශපාලනික වශයෙන් අස්ථාවර රටකට ආයෝජකයන් එන්නේ නැත. 
 
කළු සල්ලි සුදුකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නම් කොළඹ වරාය නගරය යම් සාර්ථකත්වයක් අත්පත් කරගනු ඇත. මුදල් විශුද්ධිකරණය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වූ සමයේ සිටම අවධානය යොමුකළ පැතිකඩකි. ඒ හැරෙන්නට ආණ්ඩුවට වෙනත් විකල්පයක් ද නැත.
 
එහෙත්, චීනය විසින් ශ්‍රී ලංකාවේ කරනු ලබන අත්පත් කරගැනීම්වල සුවිසල්භාවය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයක් ඇති නොකර සුපුරුදු සූරාකෑම පමණක් කරගෙන යාමට චීනයට බැරිවනු ඇත. 
 
SL China
 
චීනයට වරාය නගරය ලබාදීමෙන් පසුව පවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටුණහොත්, මේ වසර අවසානය වනවිට ගෝඨාභය රාජපක්ෂගේ සිංහල ජාතිවාදී ආණ්ඩුවට හා ඔවුන්ගේ සහායකයන්ට ද දැවැන්ත විරෝධයකට මුහුණදෙන්නට සිදුවනු ඇත. චීන අධිරාජ්‍ය විරෝධය එහි ප්‍රධාන කොටසක් වනු ඇත.
 
 
ඒ වන විට, ඉන්දියාව, එක්සත් ජනපදය හා යුරෝපය තම මූලෝපායන් කුමන ආකාරයෙන් හැඩගස්වාගෙන තිබේ ද යන්න ද ශ්‍රී ලංකාවේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් වනු ඇත.
 
අවසාන වශයෙන් කියන්නට තිබෙන්නේ වරාය නගරය සමග ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද, රාජපක්ෂවාදය ද, සිංහල ජාතිවාදය ද මරණ මංචකයට වැටෙන බවයි.
 
 
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(උපුටා ගැනීම - praja.lk)
 
 
 
 
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...