The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව - ගාමිණී වියන්ගොඩ

T

The Leader Desk

January 7, 2022 • 8:56 AM

තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව - ගාමිණී වියන්ගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි.
  • ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය සහ වැදගත්කම කුමක් වූවත්, අපට වැදගත් වන්නේ එම ආගමික ස්ථානයට යන බැතිමතාගේ අපේක්ෂාවයි.
  • එය, ව්‍යාපාරික සමෘද්ධියක්, ධන ධාන්‍ය ආඪ්‍යත්වයක් හෝ රෝගී බවකින් අත්මිදීමක් වැනි ලෞකික අභිලාෂයක් විය හැකිය.
  •   ඒ දෙකෙන් කොයි එක වෙතත්, බැතිමතාගේ සන්තානයේ ඇත්තේ අනියත සැකයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය සහ වැදගත්කම කුමක් වූවත්, අපට වැදගත් වන්නේ එම ආගමික ස්ථානයට යන බැතිමතාගේ අපේක්ෂාවයි.

ඒ අර්ථයෙන් ගත් විට, ලෝකය පුරා තිබෙන සෑම ප්‍රධාන පෙළේ ආගමික ස්ථානයකම පුදපූජාවන්ට වර්තමාන අරුත් ලැබී තිබෙන්නේ, ඒවා වන්දනාමාන කරන සැදැහැවතුන්ගේ අපේක්ෂාවන් සහ ප්‍රාර්ථනාවන් අනුව ය. ඒ සියලු ප්‍රාර්ථනා සහ අපේක්ෂා එකට ගත් විට, ලාභය සහ අලාභය හෙවත් ලැබීම සහ නොලැබීම යන කාරණා දෙකට අදාළව, අපේක්ෂාව සහ අනියතය ප්‍රමුඛත්වයට පැමිණෙයි.

මේ කියන ලාභය සහ අලාභය, ලෞකික විය හැකිය. එය, ව්‍යාපාරික සමෘද්ධියක්, ධන ධාන්‍ය ආඪ්‍යත්වයක් හෝ රෝගී බවකින් අත්මිදීමක් වැනි ලෞකික අභිලාෂයක් විය හැකිය. එසේම එය ලෝකෝත්තරද විය හැකිය. ඊළඟ ආත්මයේ සෙතක්, ශාන්තියක් පිළිබඳ අපේක්ෂාව ඊට අයත් වෙයි.

 

ඒ දෙකෙන් කොයි එක වෙතත්, බැතිමතාගේ සන්තානයේ ඇත්තේ අනියත සැකයකි. බියකි. අපේක්ෂිත ලාභය ලැබේදෝ යන අනියත භාවයත්, අලාභයෙන් වැළැකීමට ඇති අපේක්ෂාව ඉටු නොවේදෝ යන බියත් එහි තිබේ. ආගමික ස්ථානයක් යනු, සාමාන්‍ය අර්ථයෙන් ගත් විට, මේ ප්‍රශ්නය අරභයා බැතිමතාගේ හිතට ප්‍රමාණවත් සහනයක් සලසන ස්ථානයයි.

 

ඉන්දියාවේ තිරුපති කෝවිල එවැනි තැනකි. දැනට අප දන්නා තරමට, රනිල් වික්‍රමසිංහගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා ලංකාවේ රාජ්‍ය නායකයන් වන්දනාමාන කිරීම සහ භාරහාර ඔප්පු කිරීම සඳහා එහි යති.

 බුදුන්ගේ ධර්මය සහ මේ හින්දු කෝවිල පිළිබඳ විශ්වාසය අතර ඇති නොපෑහීම සහ පරස්පරය පිළිබඳ කාරණය මෙහිදී මම මතු නොකරමි. එය වෙනම රචනාවකට විෂය විය යුතු දෙයකි. මගේ අරමුණ වන්නේ, අපේ රාජ්‍ය නායකයන් තිරුපති යන්නේ, කැළණි පන්සල් යනවා මෙන් වංචනිකව නොවන බව පෙන්වීම පමණි.


බුදුන් වැඳීම සමග වෙළෙඳාම


ළඟදී, ටෙලිවිෂන් අලුත්වැඩියා කරන කුඩා කඩයක පැය භාගයක පමණ කාලයක් ගත කිරීමට මට සිදු විය. වෙලාව සවස 6 යි. ටෙලිවිෂන් කාර්මිකයා ඉතා කාර්යබහුලව සිටියේය. ඔහුගේ බිරිඳ, කුඩා බුද්ධ රූපයක් ඉදිරියේ පහනක් දල්වා ගාථාවක් මුමුණමින් වැඳගෙන සිටියාය. එය පන්සිල්වලට වඩා දීර්ඝ යාච්ඤාවක් බව පෙනුනේ, ඒ සඳහා ඈ විනාඩි දහයක පමණ කාලයක් ගත් බැවිනි.

මේ කාලය මුළුල්ලේ, විවිධ සේවා සපයා ගැනීම සඳහා දෙතුන් දෙනෙක් එහි ආහ. කාර්මිකයා කඩය ඇතුළේ සිය කාර්යයේ නිමග්නව සිටි නිසා, පාරිභෝගිකයන්ගේ විමසීම්වලට පිළිතුරු දුන්නේ බිරිඳයි. තමාගේ ටෙලිවිෂනය අලුත්වැඩියා කොට අවසන්දැයි කෙනෙක් ඇසුවේය. යම් අමතර කොටසක මිල කීයදැයි තවත් කෙනෙක් ඇසුවේය.

ඒ ප්‍රශ්න සියල්ලට කාර්මිකයාගේ බිරිඳ උත්තර දුන්නේ, වැඳගෙන සිටි ස්‍යොවෙන් ඉවත් නොවී, එකට එක් කරගත් දෑත් එසේම නළලේ තබාගෙන, හිස පමණක් පාරිභෝගිකයා පැත්තට යාන්තමට හරවාගෙන ය. ගාථාවෙන් කෑල්ලක් සහ පාරිභෝගිකයාගේ ප්‍රශ්නයට කෙටි උත්තරයක් ආදී වශයෙනි.

 

ලංකාවේ දේශපාලනඥයන් පන්සල් යන්නේ, ඡන්දදායකයා දෙස හිස හරවාගෙන ය.

 

කැළණියත් ඒ කඩය වාගේ ය. නැවතත් යමක් කිව යුතුය. මෙහිදී මා ඉස්මතු කරන්නේ, කැළණියට නාගයෙකු වැඩම කිරීමෙන් දේශපාලනික කඩයක් බවට මෑතකදී රූපාන්තරණය වූ පන්සල පිළිබඳ කතාව නොවේ.

එසේම, මීට වසර 63 කට කලින්, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කළ මිනීමරුවා ‘වැඩවාසය’ කළ පන්සල පිළිබඳ කතාවත් නොවේ.

මගේ කතාව, එම ස්ථානයට සහ එවැනි වෙනත් පූජනීය ස්ථානවලට වන්දනාමාන කිරීමට යන දේශපාලනික නායකකාරකාදීන් වඳින පුදන ආකාරය ගැන ය.
ඔවුන්ගේ ස්වභාවය, අර කී ටෙලිවිෂන් අලුත්වැඩියා කරන කඩයේ සිටි කාන්තාවට සමාන ස්වභාවයක් ගනී.

 

ලංකාවේ දේශපාලනඥයන් පන්සල් යන්නේ, ඡන්දදායකයා දෙස හිස හරවාගෙන ය. එහෙත් තිරුපති යන්නේ එසේ නොවේ. ලංකාවේ දේශපාලනඥයන් සඳහා ඡන්දදායකයන් ඉන්දියාවේ නැත. ඒ අතින් ගත් විට ඇත්තෙන්ම, ලංකාවේ දේශපාලනඥයා තිරුපති යන්නේ, කැළණියට යනවාට වඩා අවංකව සහ භක්තිමත්ව ය. වර්තමානයේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිව්වොත් ‘බොක්කෙනි.’

 

තිරුපතියේ සිටි මහින්දගේ දෑස කීවේ කුමක්ද?


මේ කතාව කීමට පාදක වුණේ, පසුගිය දා තිරුපති කෝවිලේ වැඳගෙන සිටින අගමැති මහින්ද රාජපක්ෂගේ පින්තූරයක නිරූපිත දෘශ්‍යමය සේයාවයි. ඒ මුහුණේ තිබූ ගැඹුරු භාව ප්‍රකාශනය සහ ඒ දෑසේ තිබූ බයාදු ආයාචනය පසුපස, එක්තරා තිගැස්මක් සහ බියෙන් මුසපත් වූ බවක් පෙනෙන්ට තිබේ.

තිරුපති කෝවිලේ සිටි මහින්ද රාජපක්ෂ ඒ මොහොතේ ආත්මයෙන්ම හෘදයාංගම, අව්‍යාජ සහ අවංක මිනිසෙකියි එවිට මට සිතුණි. එතැන ඔහුගේ කිසි හොර බොරුවක් නැත. තිබුණා නම් තිබුණේ, හොර බොරු පිළිබඳ හිතේ වද දෙන බියක ඉඟියක් පමණි.

තිරුපති යන ලංකාවේ සියලු දේශපාලනඥයන් සහ ඉහළ පෙළේ ධන කුවේරයන් කවුරුත් එක මොහොතකටවත් සැබෑ මිනිසුන් වෙතැයි මම සිතමි. එතැනදී ඔවුන් තුළ දක්නට ලැබෙන අසරණ බව සහ බයාදුව, මල්වතු මහා විහාරයේ නායක හිමියන් ඉදිරියේ ඔවුන් සිටින විට අපට දකින්නට නොලැබෙයි. ඒ නිසා, තිරුපති යනු, අපේ ලොක්කන් පට්ට සොක්කන් බවට පත්කිරීමට තරම් හාස්කම් ඇති ආයතනයක් වශයෙන් සැලකිය හැකිය.

 

මේ දේශපාලනඥයන්ට ලංකාවේ පන්සලත් හාස්කම් ඇති තැනකි. එහෙත් එය, තිරුපති හාස්කම්වලින් සාරාර්ථයෙන් වෙනස් ය. එහිදී සිදුවන්නේ, ඡන්දදායක බෞද්ධයා සඳහා ඔවුන් බෞද්ධ ප්‍රතිරූපයක් බවට රූපාන්තරණය වීමයි. එනම් වංචාව සහ රැවටීමයි.

 

හතරවටින් කැමරා පිරිවරාගෙන දළදාව ‘වැඳපුදා ගැනීමට’ යන දේශපාලනඥයන් සහ ඔවුන්ගේ නඩය ගැන පින්තූර සහ වීඩියෝ දර්ශන ඔබ අනන්තවත් දැක ඇති. ඒවා කිසි තැනක, මේ දේශපාලනඥයන්ගේ මුහුණුවල චකිතයක් හෝ බියක් ඔබ දැක තිබේද? නැත, ඒ වෙනුවට ඇත්තේ ජයග්‍රාහී තේජාන්විත භාවයකි.

නාමල් රාජපක්ෂ ඉදිරියේ මහාචාර්ය ජී. ඇල්. පීරිස් නැමෙනවාට වඩා අංශක ගණනාවක්, නායක භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියේ මේ දේශපාලනඥයන් දණ නමන බව ඇත්ත. එහෙත් ඒ, ආගමික ශ්‍රද්ධාව නිසා නොවේ. වීඩියෝ කැමරාවේ කාචය නිසා ය. ඔහුගේ හෝ ඇගේ බෞද්ධ කම, එදා රෑට ජනතාවට ප්‍රදර්ශනය කෙරේ.

සැබෑ බෞද්ධයෙකු මේ ධර්මද්වීපයේ නායකත්වයට පත්ව සිටීමේ හෝ පත්කර ගැනීමේ අල්ලස ඒ මගින් ඡන්දදායකයාට සපයනු ලැබේ.


සම-වගඋත්තරකාර භික්ෂුව:


ලංකාව අද වැටී තිබෙන පරිහානියට ප්‍රධාන චූදිතයන් වන දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් ළඟට වගකිව යුත්තේ, බෞද්ධ සමාජයේ වැජඹෙන ඇතැම් බලගතු භික්ෂූන් ය. ඇතැම් පල්ලි සහ පන්සල් ය. මුළු රටම දන්නා දූෂිතයන් සහ වංචනිකයන් (සහ අපරාධකරුවන් පවා) මෙරටේ ප්‍රධාන පන්සල් කිහිපයක සහ අසපු යැයි කියාගන්නා නූතන ආගමික ව්‍යාපාරවල ප්‍රධාන දායකයන් වන බව නොරහසකි.

එවැනි සොරුන්, දූෂිතයන් සහ අපරාධකරුවන්ගේ අත්වල, පිරිත් කඹ ගැටගසා ඇති තරම ඔබ දැක තිබේද? ඒවා ගැටගැසුවෝ කවුරුන්ද?

ජනාධිපතිවරයාට ගෞරව නාමයක් පිරිනැමුවේ ඇයි?

පසුගිය සතියේ ජනාධිපතිවරයාට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් “ශ්‍රී ලංකාදීශ්වර පද්ම විභූෂණ” සම්මානයක් පිරිනැමීය. එය බොහෝ විවේචනවලට මේ වන විට තුඩු දී තිබේ. ඒ ඇතැම් විවේචන සාධාරණ නැත.

එක පැත්තකින් ඒ කියන සම්මානය, ‘ආචාර්ය’ උපාධියක් තරම්වත් සමාජය දන්නේ නැත. ජනාධිපතිවරයා දැනටමත් මේ රටේ ඉහළම ස්ථානය හොබවයි. ඊට වඩා ‘සම්මානයක්’ තවත් ඔහුට කුමටද?

එහෙත්, ජනාධිපතිවරයා රටේ නායකයා වශයෙන් හැම පැත්තකින්ම හෑල්ලුවට ලක්වෙමින් සිටින මොහොතක සහ ඇතැම් තැනක ඔහුට හූ කියා ඇතැයි වාර්තා වන පරිසරයක, කෝට්ටේ සංඝ සභාව ඔහුට නම්බු නාමයක් පිරිනැමීම ආගමික ක්‍රියාවක් නොව, දේශපාලනික ක්‍රියාවකි. කොටින්ම, කැළණියට නාගයා වැඩමවීමට සමාන දේශපාලනික වැදගත්කමක් එහි තිබිය හැකි යැයි කෝට්ටේ මහා සංඝ රත්නය විශ්වාස කරනවා විය හැකිය.

 

කැළණියේ සිද්ධිය සහ කෝට්ටේ සිද්ධිය අතර වෙනස මෙහිදී අප සනිටුහන් කරගත යුතුය. කැළණියට නාගයා එන්නේ, පාස්කු ප්‍රහාරයෙන් පසුව යහපාලන ආණ්ඩුව අසරණව සිටින මොහොතක, ජාතියේ ආරක්ෂාව පතා අලුත් නායකයෙකු සොයමින් සිටි මොහොතකයි. එහෙත් කෝට්ටේ සංඝ සභාව අද සම්මාන දෙන්නේ, ජාතියේ ආරක්ෂාව තියා, කුස්සියේ ආරක්ෂාව පවා සහතික කරදීමට අසමත්ව සිටින නායකයෙකුටයි.

 

කසකස්තානයෙන් පාඩමක්


ජනවාරි 5 දා පුවත්පත් වාර්තා කර ඇති පරිදි, කසකස්තානයේ ආණ්ඩුව ඉල්ලා අස් වී ඇත. පසුගිය සති කිහිපය තිස්සේ එරටේ සමාජ අසහනය උත්සන්න වෙමින්, මහජන විරෝධතා ව්‍යාපාර ගැටුම්කාරී තත්වයකට පත්වෙමින් තිබුණි. අද ආණ්ඩුව ඉල්ලා අස්වීම සිදුවන්නේ, පෙට්‍රල් සහ ගෑස් මිල ඉහළ දැමීමට විරුද්ධව සාමාන්‍ය ජනතාව පාරට බසිමින් සිටි උද්වේගකර අවස්ථාවකයි.

 ඒ රටේ ඇත්තේත්, ලංකාවේ මෙන්ම විධායක ජනාධිපති ක්‍රමයකි. එකී ඉල්ලා අස්වීම හේතුවෙන් අලුත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නැත. ජනාධිපතිවරයා විසින් තවත් ආණ්ඩුවක් පත්කරනු ලැබේ. ඒ පිරිසත්, ඔහුගේම සහචරයන් පිරිසකි.

තෙල් නිපදවන රටක් වන කසකස්තානය තමන්ගේ ජනතාවට සපයන තෙල් ලීටරයේ පවා මිල ඉහළ දැමීම පසුපස ඇත්තේ, අපේ වාගේම දූෂණය, නාස්තිය සහ සොරකම පිළිබඳ දීර්ඝ කතාවකි.

galleface

කොළඹ නගරයේ තරු පහේ ඓතිහාසික හෝටලයක් වන ගෝල්ෆේස් හෝටලය දැන් කෑම පිසීම සඳහා පාවිච්චියට ගන්නේ දර ලිප් බව අද පුවත්පත් වාර්තා කරයි. දර මිටි, සුපිරි වෙළෙඳසල්වල භාණ්ඩ අතරට අලුතෙන් එක් වී දැන් සතියකටත් වැඩියි. මේ ගෑස් හිඟය ඇති කිරීමට පසුබිම සකසමින් ගෑස් සංයුතිය වෙනස් කිරීමට තීරණය කළ පුද්ගලයා හෝ පුද්ගලයන් කිහිප දෙනා කිසි දවසක නීතිය ඉදිරියේ දඬුවමකට ලක්වීමේ ඉඩක් තිබේද?

අද වෙළෙඳපොළේ එක බෝන්චි කරලකටත්, ඇසට පෙනෙන මිලක් තිබේ. ඊට අමතරව, ඩොලර් මිලියන 6.7 ක වන්දියක්, ආපසු හරවා යවන ලද කාබනික පොහොර නැව වෙනුවෙන් චීන සමාගමකට ගෙවීමට ලංකා ආණ්ඩුව එකඟ වී තිබේ.

ඉදිරි මාස තුන ඇතුළත, ආහාර අහේනියකට අත වනන තත්වයක් ඇති කිරීමට නියමිත, රසායනික පොහොර ටික එසේ නැති කොට, මහකන්නය මහ පරිමාණයෙන් විනාශ කළ අතුරලියේ රතන හිමියන් ඇතුළු කෘෂිකාර්මික ‘විශේෂඥයන්’ කිසි දවසක නීතිය ඉදිරියට පමුණුවනු ලැබේවිද?


ජර්මනියෙන් පාඩමක්


මීට සතියකට කලින්, එනම් දෙසැම්බර් 31 වැනිදා ජර්මනියේ න්‍යෂ්ටික බලාගාර 3 ක් වසා දැම්මේය. ජර්මනිය සතු මුළු න්‍යෂ්ටික බලාගාර සංඛ්‍යාව 6 කි.

2020 වන විට ජර්මනියේ මුළු බලශක්ති ජනනයෙන් සියයට 12.5 ක් සමන්විත වුණේ න්‍යෂ්ටික බලයෙනි.

එහෙත් න්‍යෂ්ටික බලය නිසා ඇති වන හානිය ගැන දැනුවත්ව සිටි එරට ජනතාවත්, එරට බලධාරීනුත් 2011 දී තීරණයක් ගත්හ. එනම්, න්‍යෂ්ටික බලශක්තිය අතහැර වෙනත් පරිසර හිතකාමී පුනර්ජනනීය බලශක්ති ක්‍රම වෙත මාරු විය යුතු බවයි. ඒවා වන්නේ, සුළං, සූර්ය තාපය සහ ජලය වැනි මාර්ගයි.

පසුගිය 31 වැනිදා ජර්මානු බලධාරීන් බලාගාර 3 ක් වසා දමමින් ක්‍රියාවට නැංවූයේ එහි ප්‍රථම අදියරයි. එනම්, ඒ පිළිබඳව තීරණය කිරීමෙන් පසුව, එහි ප්‍රථම අදියර ක්‍රියාත්මක කිරීමට ජර්මනිය වසර 10 ක් ගත කොට ඇති බවයි.

ඒ කාලය තුළ, එනම් 2021 අවසන් වන විට, ජර්මනියේ මුළු බලශක්ති ජනන පද්ධතිය තුළ සියයට 50 ක් ඉක්මවා පුනර්ජනනීය බලශක්ති ක්‍රමවලින් (සුළං, සූර්යතාපය ආදියෙන්) දියුණු කරගැනීමට ඔවුන් කටයුතු කොට තිබේ.

තවත් එපිටට ගියොත්, න්‍යෂ්ටික බලාගාර වසා දැමීමේ සමස්ත සැලැස්ම ගැන එරටේ සමාජ සංවාදය ආරම්භ වීම, වර්ෂ 2000 තරම් ඈතට දිව යන්නකි. තවද, අනාගතයට ගියොත්, ජර්මනිය මුළුමණින් පුනර්ජනනීය බලශක්ති පද්ධති ජාලයකට මාරු වන්නේ 2038 දී ය.

 

පාඩම කුමක්ද? එක නිෂ්පාදන මාදිලියකින් වෙනත් නිෂ්පාදන මාදිලියකට රටක් වශයෙන් මාරු වීම, විද්‍යාත්මක සැලැස්මක් යටතේ, අදියරෙන් අදියර ක්‍රියාවේ නැංවිය යුතු, දීර්ඝ වූත්, විචාරශීලි වූත් ක්‍රියාවලියක් වන බවයි. අපේ ආණ්ඩුව, රසායනික පොහොර භාවිතයෙන් කාබනික පොහොර භාවිතයට මාරු වීමට ගත කෙළේ එක රැයකි. සමාජයට දරා ගැනීමට සහ දිරවා ගැනීමට බැරි තරමට එහි ප්‍රතිවිපාක ඉස්මොල්ලේ යන විට, තිරුපතියේ ශිව ලිංගය හෝ කෝට්ටේ සන්නස කොහෙත්ම ප්‍රමාණවත් වන එකක් නැත.

 

GaminiViyangoda(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
gviyangoda@hotmail.fr
 
(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)


Leader Whats app

 
 
 
 

කඩේ යන්නෝ අඩුවෙලා පොලේ යන්නෝ වැඩිවෙයි ! | මොණරවිලගේ ලියමන
 
 
නාමල් ඇමතිකම් අත්හරින තීන්දුවක ! | Gossip
 
 
නාමල්ගෙ අලූත් ඇමති කෑල්ල|
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...