The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අඩු සැපයුමක් පවතින විටදී පෝලිම් අවම කිරීම - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

June 6, 2022 • 5:29 PM

අඩු සැපයුමක් පවතින විටදී පෝලිම් අවම කිරීම - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදුලිය සම්බන්ධයෙන් ගත් කල, මිල වැඩිවීම් තවමත් පාරිභෝගිකයන්ට පවරා නැත.
  • ඉන්ධන පෝලිම්වල ගතවන දීර්ඝ කාලය ආර්ථික හානි බවට පරිවර්තනය වේ.
  • “ඒ වෙනුවෙන් ඇප් එකක්” ඕනෑම ප්‍රශ්නයකදී, පළමු විසඳුම ලෙස මනසට එන්නේ ඇප් එකක් පිළිබඳ අදහසයි.
  • නිසි ලෙස දත්ත භාවිතා කරනු ලබන්නේ නම්, ඇප් එකක් මගින් වෙළඳපොළෙහි තොරතුරු හිදැස් පියවිය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):



විදුලිය සම්බන්ධයෙන් ගත් කල, මිල වැඩිවීම් තවමත් පාරිභෝගිකයන්ට පවරා නැත. යම් දුරකට සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වේ. එහිදී මිල ගෙවීමට තිබෙන කැමැත්ත හෝ අවශ්‍යතාවේ තීව්‍රතාව සැලකිල්ලට ගන්නේ නැත. සියල්ල සැපයුම් සීමාවන්ට ලක්කර තිබේ. එසේ නොවන්නේ සීමිත අවශ්‍යතාවන් ප්‍රමාණයක් පමණි.

ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත් විට, මිල ගණන් කීපගුණයකින් ඉහළගොස් තිබේ. එහෙත්, ඒ හා අනුරූපව ඉල්ලුමෙහි අඩුවීමක් සිදුවී නොමැත. හිඟයන් හේතුවෙන් දැවැන්ත පෝලිම් රටපුරා නිර්මාණය වී තිබේ.

ඉන්ධන මිලදීගැනීම සඳහා ගතකළ යුතු කාලයත්, ගෙවිය යුතු මිලත් වැඩිවී තිබේ. ඉන්ධන පෝලිම්වල ගතවන දීර්ඝ කාලය ආර්ථික හානි බවට පරිවර්තනය වේ. එසේම, ජීවන ගුණය පිරිහීමක් ද සිදුවේ. මෙම ලිපියේ අවධානය යොමුකරනු ලබන්නේ ඩොලර් සීමිත සංදර්භය තුළදී ප්‍රවාහනය සඳහා ඉන්ධන වෙන්කිරීම කෙරෙහිය.



01-“ඒ වෙනුවෙන් ඇප් එකක්”

xdgsdfsd

ඕනෑම ප්‍රශ්නයකදී, පළමු විසඳුම ලෙස මනසට එන්නේ ඇප් එකක් පිළිබඳ අදහසයි. නිසි ලෙස දත්ත භාවිතා කරනු ලබන්නේ නම්, ඇප් එකක් මගින් වෙළඳපොළෙහි තොරතුරු හිදැස් පියවිය හැක.

නිශ්චිත ස්ථානවල සැපයුම් වැනි විශ්වසනීය තොරතුරු සපයන්නේ නම් (උදා: ඉන්ධනහල් විවෘතද? කුමන වර්ගවලින් කුමන තරම් ඉන්ධන තිබේද?) සහ එම ස්ථානවල තිබෙන සැපයුමේ ස්වභාවය පිළිබඳ තොරතුරු (ඩීසල්, පෙට්‍රල් ආදී පෝලිම් කෙතරම් දිගද?) සැපයිය හැකි නම්, සෙනග රැස්වීම හා කාලය නාස්ති වීම අවම කරගත හැකිය.

එවැනි තොරතුරු නිවැරදිව හා ක්ෂණිකව සැපයිය හැකි නම්, එමගින් ඉල්ලුම් හා සැපයුම් තත්වයන් වඩා කාර්යක්ෂම ලෙස සන්සන්දනය කරගත හැකිය.

සාමාන්‍යයෙන් ඉන්ධන මිලදී ගන්නා තැන්වලට වඩා කෙටි පෝලිම් තිබෙන ඉන්ධනහල් පිළිබඳ දැනුම් දුන් විට, වාහන හිමියන් කාලයට සාපේක්ෂව අමතර වියදම් දරාගෙන අඩු ඉල්ලුමක් තිබෙන තැන්වලින් ඉන්ධන ලබාගැනීමට යොමුවනු ඇත. එමගින් සමස්ත ඉල්ලුම වඩා සමීපව හා සමස්ත සැපයුමට අනුව ගලපාගත හැකිය.  

කෙසේ වෙතත්, සමස්ත සැපයුම සීමිත වූ විට, තොරතුරු මගින් පමණක් සැපයුම සපිරිය නොහැකිය. කෙටි පෝලිමක් හෝ පෝලිමක් නොමැති ඉන්ධනහලක් සොයාගැනීමේ සතුට භුක්ති විඳින්නට ලැබෙන්නේ නැත. ඇප් එක මගින් කරනු ලබන්නේ සියලු ඉන්ධනහල්වල පෝලිම්වල දිග ආසන්නව සමාන කිරීමයි. ෆේස්බුක් සමූහයන් වැනි වෙනත් මෙවලම් නිසා මෙම ප්‍රතිපලය යම් ප්‍රමානයකට කොළඹ දකින්නට ලැබේ.


ඇප් එක හරහා ලබාදෙන තොරතුරු ඉන්ධන මිලදීගැනීමට අපේක්ෂා කරන අය අතරින් කොටසකට පමණක් ලැබේ නම්, එම පුද්ගලයන්ට එමගින් විශාල වාසියක් අත්වේ. එමගින් එම ඇප් එකට ප්‍රවේශය අහිමි ජනයාට සැපයුම් ලබාගැනීමේ හැකියාව අඩු වේ.

එබැවින්, මෙය රාජ්‍ය ප්‍රතිපත්ති විසඳුමක් නොවේ. එය වනාහි ඇප් එක නිර්මාණය කළ අයට ආදායම් ලබාදෙන, ඒ පිළිබඳ දැනගන්නා එයට ප්‍රවේශය ලබාගත නොහැකි පුද්ගලයන්ගේ වෛරයට ලක්විය හැකි පෞද්ගලික විසඳුමකි.  

ස්ථාන අනුව ඉල්ලුම හා සැපයුම පිළිබඳ තොරතුරු විවෘතව සියලුදෙනාට වෙනසකින් තොරව ලබාදෙන ඇප් එකක් මගින් කිසිවකුට හානියක් සිදුවන්නේ නැත.

කෙසේ වෙතත්,සැපයුම්වල සීමිතබව අවසන් වනතෙක්, එමගින් සපයනු ලබන්නේ අසම්පූර්ණ සහනයකි.



02- “වෙළඳපොළට පෝලිම් පාලනය කරගැනීමට ඉඩදෙන්න”

සැපයුමට වඩා ඉහළ ඉල්ලුමක් තිබෙන විටදී, මිල ඉහළයාම සිදුවේ. එමගින් බොහෝවිට නැවතත් ඉල්ලුම අඩුවේ. සැපයුම ඉල්ලුම අනුව හැඩගැසී හිඟය මගහැරෙයි.  මේ දක්වාම, කැබිනට් අනුමැතිය මත සිදුකරන ලද සුළු මිල වැඩිකිරීම් හා මිල සූත්‍ර මගින් පවා සැපයුමට සරිලන අන්දමින් ඉල්ලුම අඩුකිරීමට සමත්වී නැත.


ප්‍රමාණවත් අන්දමින් එක වර මිල වැඩිකිරීමෙන් පෝලිම් නැතිකළ හැකි වේ.

මෙහිදී රජය මුළුමනින්ම මිල නියාමනයෙන් ඉවත්වේ. පෙර අවස්ථා කීපයකදීම මෙම ආණ්ඩුව එසේ කර තිබේ. නමුත් මෙම කර්මාන්තයේ සිටින්නේ ද්වි ඒකාධිකාර (සිපෙට්කෝ හා එල්අයිඕසී) සැපයුම් කරුවන් නිසා මෙය ප්‍රශ්නකාරීය. එසේ නොමැතිනම්, එක් එක් ඉන්ධනහල් හිමියන්ට තම මිල තීරණය කිරීමේ අවස්ථාව පවා ලබාදිය හැකිය.  

මෙමගින් පෝලිම් බොහෝදුරට නැති විය හැකිය. එහෙත්, රට පුරා විරෝධතා ඇතිවිය හැකිය. ඉන්ධනහල් හා තොග විනාශ කිරීම පවා සිදුවිය හැකිය. එම නිසා මෙම විකල්පය භාවිතා කරන්නැයි උපදෙස් දීමේ හැකියාවක් නැත.

වහ වහා සිදුකරන ලද මිල වැඩිකිරීම්වලට දක්වන ලද ප්‍රතිචාරවලින් දක්නට ලැබෙන ආකාරයට රුපියල අවප්‍රමාණය වීම මත හෝ ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාම පදනම්ව සාධාරණීකරණය කරන ලද මිල වැඩිකිරීම් පාරිභෝගිකයන් විසින් භාරගනු ලැබේ.

විශේෂයෙන්ම, ද්වි ඒකාධිකාරයක් පවතින සංදර්භය තුළ, අධික ලෙස සූරාකන මිලගණන් ලෙස පෙනෙන මිල වැඩිකිරීම් මගින් සැලකිය යුතු අවදානමක් නිර්මාණය කරයි.


03- “සලාක පදනමින් බෙදීම”

jhsad

වර්තමානයේදී බලය අතැති වැඩිහිටි පරම්පරාව හැදීවැඩුණේ රාජ්‍ය සමාජවාදී පාලනයක් තුළය. ඔවුන්ගේ පාදක චින්තනය අනුව, සලාක කිරීම රටේ සියලු ප්‍රශ්නවලට ස්වාභාවික පිළිතුරකි. එය පසුබිමෙහි තිබෙන අනෙක් කාරණය වන්නේ රාජ්‍ය නිලධාරීන් පාරිභෝජන චර්යා පාලනය කිරීම සඳහා හොඳම මැදිහත්කරුවන් ලෙස සැලකීම හා සලාකකරණය සඳහා වන ව්‍යූහයන් පරිපාලනය කිරීම සඳහා වන වියදම නොතකා හැරිය හැකි තරම් යයි සැලකීමයි.


ඉතාම ප්‍රශස්ත තත්වයේදී, රාජ්‍ය නිලධාරීහු සියලු යෝග්‍ය පාරිභෝගිකයන්ව නිවැරදිව හඳුනාගන්නා අතර ඔවුන්ගේ අවශ්‍යතාව අනුව සලාක කූපන පිරිනමනු ලැබේ. ශ්‍රී ලංකාවට කූපන් පොත් පිළිබඳ අත්දැකීම් තිබේ.

දෙවන ලෝක යුද සමයේදී හඳුන්වාදෙන ලද මෙම ක්‍රමය 1980 දශකයේ මුල දක්වාම පැවතිණි. සෑම නිවසකටම සලාක පොතක් ලබාදෙන ලදි. එහි එය හිමිකරුවන්ගේ නම් සඳහන් විය. සමුපකාර කඩය නමින් ප්‍රසිද්ධ වූ අලෙවිහලෙන් නියමිත මිලකට ඔවුන්ට භාණ්ඩ ලබාගත හැකි විය. විවිධාකාරයෙන් සලකුණු කර තිබුණු කූපන් සපයන ලදී. එය සැමට එක ලෙස ලබාදුන් සලාකයක් වූ අතර නිවැරදි ආකාරයෙන් ඉලක්ක කිරීම නොතකා හරින ලදි.

සලාක පොත පුද්ගලයකුගේ වටිනාම දේපළක් විය. දින කීපයකට විදේශගත වන වීමට අවසර ගැනීමට පවා පුද්ගලයන් රජයේ කාර්යාලයකට ගොස් තම සලාක පොත නිසි පරිදි භාරදුන් බවට ලිඛිතව සහතික කරගත යුතු වීය.

විශේෂිත සැලකිලි අවශ්‍ය වූ අය හඳුනාගෙන ඔවුන්ගේ වෙනස් අවශ්‍යතා සඳහා සැපයුම් ලබාදෙන ලදි. ටින් මාළු වැනි විශේෂිත ආහාර වර්ග උත්සව සමයේදී හෝ මැතිවරණවලට පෙර ලබාදුන්නේ ද සලාක පොතටය.

ඉන්ධනවලට සලාකයක් ලබාදුන් බවට මට මතකයක් නැත. එයට හේතුව, මගේ පවුල කාර් හිමියන් නොවූ නිසාය. ඒ වෙනුවෙන් පවා අංක යොදා මුද්‍රිත සලාක කූපන තිබුණු බව මට දැනගන්නට ලැබිණි.

එවැනි සලාක ක්‍රමයක් පවත්වාගෙන යාමට ද සැලකිය යුතු වියදමක් දරන්නට සිදුවේ. එය අපයෝජනය කිරීමට බොහෝ අවස්ථා තිබුණු අතර, එසේ කරන ලදි. එම වකවානුවේ පුවත්පත්වල විවිධ වර්ගයේ සලාක වංචා නිතර වාර්තා විය.

වර්තමානයේදී ඊට වඩා සරල සලාක ක්‍රමයක් පවත්වාගෙන යා හැකි බවට තර්ක කළ හැකිය. එයට හේතුව වන්නේ, තොරතුරු තාක්ෂණයේ දියුණුවයි. ඉන්ධන අලෙවිසල් සංඛ්‍යාව ද සීමිතය (සිපෙට්කෝ 850යි; එල්අයිඕසී 202යි). නිෂ්පාදන පරාසය ද සීමිත නිසා සලාක ක්‍රමයක් හඳුන්වාදීම ඉතා පහසුය. ඇතැමෙකු විසින් විමධ්‍යගත සලාක ක්‍රම ද යෝජනා කර තිබේ.


කිසියම් ඉන්ධනහලක ලියාපදිංචි වූ අයෙකුට එම ඉන්ධනහලෙන් පමණක් තම සැපයුම් ලබාගත හැකිය. එම යෝජනාවෙහිදී අමතක කර තිබෙන කාරණයක් වන්නේ වාහන යනු නිරන්තරයෙන් ගමන් යන යන්ත්‍ර විශේෂයක් බවයි. දුර ගමන්වලදී ද ඒවාට ඉන්ධන අවශ්‍ය වේ.


වාහන සඳහා තොරතුරු තාක්ෂණය මත පදනම් වූ සලාක ක්‍රමයක් යනු දළ වශයෙන් මිලියන හතක් පමණ වන මාර්ගවල තිබෙන වාහනවල මධ්‍යගත දත්ත පද්ධතියකි. රට පුරා ඉන්ධනහල් 1,000කට පමණ එම දත්ත පද්ධතිය තත්කාලයේදීම භාවිතා කළ හැකි විය යුතුය.  

මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාල සේවා සපයන බැවින් පළමු කොන්දේසිය අර්ධ වශයෙන් සපුරාගත හැකිය. එමගින් ලියාපදිංචි වාහනවල තොරතුරු ලබාගත හැකිය. දෙවෙනි කොන්දේසිය අභියෝගාත්මකය. ඉන්ධනහල් එකිනෙක සමග සම්බන්ධ කළ විට, එමගින් මධ්‍යගත දත්ත පද්ධතිය යාවත්කාලීන කළ හැකිය. කාර්යබහුල වේලාවේදී ඇතිවිය හැකි යයි සිතිය හැකි ඉහළ දත්ත විමසීම්වලට විශ්වසනීය ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකි වන අයුරින් පද්ධතිය සකස් කල යුතුය.

මෙම විසඳුම සඳහා වාහනවල ශක්‍යතාවන් අදාළ නොවන බව සඳහන් කළ යුතුය. ඉන්ධනහල විසින් කරනු ලබන්නේ වාහනයේ ඉන්ධන කෝටාවෙන් කෙතරම් ප්‍රමාණයක් ඉතිරි වී තිබේදැයි දත්ත පද්ධතියෙන් විමසා බලා ඉන්ධන ලබාදීමයි.

මෙම සරල ක්‍රමය මගින් ද ඉන්ධනහල්වල සේවකයන්ට වංචා සිදුකිරීමේ අවස්ථාවක් ලැබේ. ඔවුන්ට වැරදි වාහන අංක ඇතුළත් කිරීමේ හැකියාව තිබේ. එමගින් එක අයෙකුගේ සලාකය අන් අයෙකුට අතමාරුවකට පැවරිය හැක.

අප විසින් දීර්ඝකාලීන ඉන්ධන සීමා කිරීමක් අපේක්ෂා නොකරන්නේ නම්, එවැනි ක්‍රමවේදයක් තවදුරටත් දූෂණ අවස්ථා මගහරවා පිරිපහදු කර ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රයෝජනයක් නැත. කුමන තත්වයක් යටතේ වුව, එවැනි ක්‍රමයක් සැකසීම සඳහා කාලය ගතවේ. එමගින් අපගේ හදිසි ගැටලු විසඳිය නොහැකිය.



04- “ප්‍රමුඛතාකරණය”:

erewer

සරල සහ ප්‍රායෝගික සලාකකරණ විසඳුමක් වන්නේ වාහන වර්ගය අනුව ප්‍රමුඛතාව ලබාදීමයි. ඒ අනුව, ඩීසල් ලබාදීමේදී ගිලන්රථ, බස්රථ සහ ට්‍රක්රථවලට ප්‍රමුඛතාව ලබාදිය යුතුය. සුඛෝපභෝගී මෝටර් රිය, වෑන් වැනි ඒවාට ඉන්ධන ලබාදිය යුත්තේ ඉන් පසුවයි.

පෙට්‍රල් ලබාදීමේදී පොදු ප්‍රවාහනය සඳහා යොදාගන්නා ත්‍රිරෝද රියවලට කාර් හා වෙනත් වාහනවලට වඩා ප්‍රමුඛතාව ලබාදිය යුතුය.

එහිදී දත්ත ගබඩා අවශ්‍ය වන්නේ නැත. නීති බලාත්මක කිරීම ප්‍රමුඛතාව හිමිවිය යුතු වාහනවල මෙහෙයුම්කරුවන් සහ වෙනත් අය විසින් කළමනාකරණය කර ගනු ඇත.

වෙනත් අයට ඉන්ධන ලබාදිය යුත්තේ සියලු ප්‍රමුඛතා වාහනවලට ඉන්ධන ලබාදීමෙන් පසුවය.

ඇතැම් යතුරුපැදි පොදු සේවාවක් වන භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගනු ලැබේ. එහෙත්, එවැනි යතුරුපැදි ප්‍රමුඛතාකරණය දුෂ්කරය. එමගින් ප්‍රමුඛතාකරණය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වේ. ප්‍රමුඛතාව ලබාදිය යුත්තේ ප්‍රමුඛතාව පැහැදිලිව හඳුනාගත හැකි වාහන වර්ගවලට පමණි.  

රජය විසින් සුපර් ඩීසල් හා ඉහළ ඔක්ටේන් අගය ඇති පෙට්‍රල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළ හැකිය. නැතිනම්, එවැනි වර්ග ඉහළ මිලක් ගෙවා ලබාගත හැකි ඉන්ධනහල් වෙනම පිහිටුවිය හැකිය. මිල ඉහළ නැංවීමෙන් එම ඉන්ධන වර්ග භාවිතය අධෛර්යවත් කළ හැකිය. ඩොලර් අර්බුදය විසඳාගන්නා තෙක් පළමුව සඳහන් කළ විසඳුම තාර්කිකය. නමුත් එම වාහනවල අයිතිකරුවන්ට අසාධාරණය.


සරල ප්‍රමුඛතා ක්‍රමවේදය අවුල්සහගත කර, එහි යුක්තිසහගත ස්වභාවය හා බලාත්මක කිරීමේ හැකියාව දුර්වල කරදැමීමට විවිධ බලපෑම් කණ්ඩායම් රජයට බලකරනු ඇත. උදාහරණයක් ලෙස, වෛද්‍යවරුන්ගේ වාහනවලට ප්‍රමුඛතාව ලබා නොදුනහොත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය කළ හැකිය. (එන්නත් ප්‍රමුඛතාකරණයෙන් ලැබූ අත්දැකීම අනුව, වෛද්‍යවරුන් හඳුනාගත හැකි ස්ටිකර ඥාතීන්ගේ හා මිතුරන්ගේ වාහනවල ද අලවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.)

විදුලි කප්පාදුවලදී ආහාර හා ඖෂධවල ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය ස්ථානවල විදුලි ජනක යන්ත්‍රවලට සහ කෘෂිකාර්මික යන්ත්‍ර සූත්‍රවලට තෙල් ලබාදීම තවත් ගැටලුවකි. එවැනි ගැටලු සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සම්පාදනය කිරීමට සිදුවනු ඇත. එමගින් සලාක ක්‍රමයේ සරලකම නැතිවනු ඇත. එමගින් සෑම සලාක ක්‍රමයක් සමගින් බැඳුනු දූෂණය ඉස්මතු වනු ඇත.

ප්‍රමුඛතාව හිමි අයට ඉන්ධන ලබාගෙන, එවැනි ප්‍රමුඛතාවක් හිමි නොවන අයට එම ඉන්ධන වැඩිමිලට විකිණීමේ හැකියාව ද ලැබේ. කාලයත් සමග සරුසාර ද්විතීයක ඉන්ධන වෙළඳපොළක් නිර්මාණය විය හැකිය.

මැයි 26 වැනිදා වන විට අනීතික පෙට්‍රල් සහ ඩීසල් ගබඩා කිරීම සම්බන්ධයෙන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර, පෙට්‍රල් ලීටර 27,000ක් සහ ඩීසල් ලීටර 22,000ක් රාජසන්තක කර තිබුණි. මෙයින් ගම්‍ය වන්නේ ද්වීතියික වෙළෙඳපොළ නොහොත් කළු කඩය වේගයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.


සාරාංශගත කළ විට, ඉහත සඳහන් කරන ලද කිසිදු විකල්පයක් හරහා දිගු පෝලිම් ඇතිවීමේ ගැටලුවට තිරසර, දිගුකාලීන විසඳුමක් සැපයිය නොහැකිය. ප්‍රමුඛතාකරණ වැඩ පිළිවෙලක් සාර්ථක වනු ඇත්තේ ද්විතීයක වෙළඳපොළක් ස්ථාපිත වනතෙක් කෙටි කාලයකට පමණි. එම නිසා, දිගුකාලීනව සාර්ථක එකම විසඳුම වන්නේ සැපයුම් සීමා ඉවත් කිරීමයි. සැපයුම් දාමයේ හැකි තරම් තරගකාරීත්ව අවස්ථා නිර්මාණය කිරීමයි. අතරමැදි කාලයේදී මිල සූත්‍ර මත පදනම්ව මිල නියම කිරීමයි.



පෝලිම් ගැටලුව විසඳන්නේ කෙසේද යන ප්‍රශ්නයට කෙටි පිළිතුර නම්, ස්ථාවර, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා, අන්තර්කාලීන අරමුදල් සම්පාදනය කරගෙන ද්විත්ව අර්බුදයන් වන වෙළඳ ශේෂයේ හිඟය හා රාජ්‍ය මූල්‍ය හිඟය සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. අන් සියල්ල තාවකාලික පැලැස්තර වේ.

 

RohanSamarajeewa(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net




 

ට්විටර් පණිවුඩයක්:

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා මෙසේ සඳහන් කර ඇත.

“ගෑස් බෙදා හැරීමක් නෑ. අසාමාන්‍ය දිගු පෙට්‍රල්/ඩීසල් පෝලිම්. ශ්‍රී ලංකාවට මෙලෙස ඉදිරියට යා නොහැකි යි. 21 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා රට ඉදිරියට ගෙන යාමට මූල්‍ය ආධාර ලබා ගනිමු. මේ තත්ත්වයට අපව ඇද දැමුවේ ගෝඨාභය රාජපක්ෂ යි. අත්හැර නොයන ලජ්ජාවක් නැති පුද්ගලයෙක්. මෙම තත්ත්වයෙන් අප එළියට ආ යුතු යි.”

w4324

 


රට වෙනුවෙන් එකතුවන්න 

 {gallery}radicalcenter2022531{/gallery}  


Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...