The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මොකක්ද මේ මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය? | සුජාතා ගමගේ

T

The Leader Desk

April 4, 2025 • 9:23 AM

මොකක්ද මේ මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය? | සුජාතා ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැලු බැල්මට එහිදී ඔබේ/අපේ කාර්යභාරය ඉතා සරලයි.
  • ඡන්ද පොලේදී ලබා දෙන ඡන්ද පත්‍රිකාවේ ඇති පක්ෂ ලැයිස්තුවේ එක පක්ෂයකට කතිරයක් ගැසීමෙන් ඔබේ/අපේ වගකීම හමාර වෙනවා.
  • අවසානයේදී, 2011 දී කොළඹ මහා නගර සභාවේ 53ක් වූ සභිකයින් සංඛ්‍යාව 2018 දී 119 දක්වා වැඩි වුනා.
  • මෙම සභිකයින් ගණන වැඩි වීම ඇත්තෙන්ම අලුත් ඡන්ද විමසීම් ක්‍රමය නිසාම සිදු වූවක් නොවන බව මුලින්ම පැහැදිලි කිරීම වැදගත්.
අකුරු ප්‍රමාණය (Font Size):

බැලු බැල්මට එහිදී ඔබේ/අපේ කාර්යභාරය ඉතා සරලයි. ඡන්ද පොලේදී ලබා දෙන ඡන්ද පත්‍රිකාවේ ඇති පක්ෂ ලැයිස්තුවේ එක පක්ෂයකට කතිරයක් ගැසීමෙන් ඔබේ/අපේ වගකීම හමාර වෙනවා. නමුත් එම කතිරයෙන් ලබා දෙන ප්‍රතිඵලය ඊට වඩා දුර දිග යන්නක්.

උදාහරණයක් ලෙස, 2018 දී කොළඹ මහ නගර සභාව සඳහා එක් එක් කොට්ඨාසය සඳහා වැටුණු කතිර සංඛ්‍යාව අනුව එම කොට්ඨාස හතලිස් නමය නියෝජනය කරන සභිකයින් 66ක් තේරී පත්වුණු  අතර එක් එක් පක්ෂය විසින් ඉදිරිපත් කළ දෙවන ලැයිස්තුවකින් තවත් සභිකයින් 53 දෙනෙකු සහිතව සභිකයින් 119ක් කොළඹ මහ නගර සභාවට පත්වුනා. අවසානයේදී, 2011 දී කොළඹ මහා නගර සභාවේ 53ක් වූ සභිකයින් සංඛ්‍යාව 2018 දී 119 දක්වා වැඩි වුනා.

 

Vote

මෙම සභිකයින් ගණන වැඩි වීම ඇත්තෙන්ම අලුත් ඡන්ද විමසීම් ක්‍රමය නිසාම සිදු වූවක් නොවන බව මුලින්ම පැහැදිලි කිරීම වැදගත්. එහිදී සිදු වූයේ 2012 දී නීති ගත කරන ලද මිශ්‍ර මන්ත්‍රී ක්‍රමයක් සඳහා සීමා නිර්ණය කරන ලද කොට්ඨාස ගණන 2017 දී සංශෝධනයකින් ඉදිරිපත් කරන ලද  මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයක් සඳහා එලසේම යොදා ගැනීමයි. ඉදිරියේදී මැතිවරණ කොට්ඨාස ගණන අඩු කෙරෙන නව සීමා නිර්ණයක් තුලින් සභික සංඛ්‍යාව අඩු කර ගැනීමේ හැකියාව තිබෙනවා.  

සභිකයින්  සංඛ්‍යාව වැඩිවීම ඇරුණු විට ඇත්තෙන්ම මිශ්‍ර මන්ත්‍රී ක්‍රමයකින්  බලාපොරොත්තු වූ සාධනීය ප්‍රතිඵල 2018  ලැබී ඇති බව සඳහන් කරන්න ඕනී. කලින් පැවති ක්‍රමයේ  ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැලකුණු මනාප තරඟය නැති සමානුපාත ක්‍රමයක් ලබා දීමත්, පළාත් පාලන බල ප්‍රදේශයේ වඩා කුඩා කොට්ඨාසයකට සභිකයෙක් පත් කර ගැනීමේ හැකියාවත්,  මැතිවරණ වියදම් අඩු වීමත්, අළුත් ක්‍රමය තුලින් ලබාදීම වැදගත්. පළාත් පාලනයේ කාන්තා නියෝජනය 2.5% කටත් අඩුවෙන් පැවති තත්වයක සිට 25% ට ආසන්න ගනනකට වැඩි වූ බවත් සැලකිය යුතු කරුණක්. නමුත් මෙම අළුත් ක්‍රමය පළාත් පාලනයට උචිතද යන්නත් ඊට එහා ගොස් පක්ෂ දේශපාලනය පළාත් පාලනයට අවශ්‍යද යන්න ගැනත් මෙවිට සමාජයේ කතිකාවක් ඇතිවී තිබෙනවා.

පළාත් පාලනය සඳහා මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයක් භාවිතා කිරීමේ දෙවන වටයකට යන මෙම අවස්ථාවේ ඔබ/අප කතිරය වඩා ඵලදායීව යෙදීම හා දෙවනුව ඉදිරි මැතිවරණයන් සඳහා පළාත් පාලනයට වඩා සුදුසු  ක්‍රමයක් යොදා ගැනීමට යන කාරණා දෙකම සඳහා මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයේ ආගමනය, එම ක්‍රම වේදය හා එහි ගුණ අගුණ තේරුම් ගැනීම වැදගත්.

මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයේ ආගමනය


image 749f91ada2
2018 පළාත් පාලන මැතිවරණය සඳහා නව මිශ්‍ර මන්ත්‍රී සමානුපාතික ක්‍රමයක් හඳුන්වා දෙන විට එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද එවැන්නක් හඳුන්වා දුන්  පළමු අවස්ථාවයි. ඇත්තෙන්ම, 1948 සිට වර්තමානය දක්වා, ලංකාවේ පළාත් පාලන මැතිවරණ ක්‍රමය කේවල ක්‍රමයේ සිට සමානුපාතික නියෝජනයේ ප්‍රභේද තුනක් දක්වා පරිණාමය වී ඇති අතර නවතම ප්‍රභේදය මිශ්‍ර-මන්ත්‍රී සමානුපාතික ක්‍රමයයි.

එම දීර්ඝ හා කුතුහලය දනවන ඉතිහාසය මදකට අමතක කර  2011 දී පැවතුනු “මනාප ඡන්ද සහිත සමානුපාත”  ක්‍රමයේ සිට  “මනාප ඡන්ද නොමැති මිශ්‍ර මන්ත්‍රී සමානුපාත” ක්‍රමයක් දක්වා වෙනසට අවධානය දෙමු. එම වෙනස සිදු වූයේ 2003 සිට හෝ ඊට පෙර සිටම ප්‍රතිපත්ති සම්පාදකයින් අතර තිබුණු දීර්ඝ සංවාදයකට පසුවයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ 2003-2005, 2005-2007 හා 2020-2022 යන වකවානු වල පත් වූ කාරක සභා තුනකින්ම පැවතුනු මනාප සහිත ඡන්ද ක්‍රමයේ ප්‍රධාන දුර්වලතා තුනක් පිළිබඳව සඳහන් වෙනවා.

එනම්, පළාත් පාලන ඡන්ද විමසීම් ගත් කළ එම සභා බල ප්‍රදේශයම එක ඡන්ද විමසීම් කොට්ඨාසයක් ලෙස සැලකෙන නිසා අපේක්ෂයින්ට ප්‍රචාරක කටයුතු සඳහා ලොකු පිරිවැයක් දරන්න වීම, පත්වන නියෝජිතයින්ගේ වගකීම මුළු පළාත් පාලන  බල ප්‍රදේශයම වන නිසා තේරී පත් වූ නියෝජිතයින් සහ ඡන්දදායකයින් අතර ඇති දුරස්ථ බව, හා මනාප ඡන්ද සඳහා එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර තරඟයක් ඇති වීමෙන් පක්ෂ ක්‍රමය දුර්වල වීම යන කාරණා තුනයි.

images 24
ඇත්තටම මෙම ප්‍රශ්න වල අදාලත්වය පිළිබඳව පූර්ණ එකඟතාවයක් නැතත් පාර්ලිමේන්තුවේ පත් වූ කාරක සභා තුනෙන්ම ප්‍රශ්න වලට විසදුම ලෙස ජාතික, පළාත් හා පළාත් පාලන යන තල තුනටම මිශ්‍ර ඡන්ද විමසීම් ක්‍රමයක් යෝජනා කර තිබුන අතර 2012 අංක 20 දරන පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනතින් මිශ්‍ර මන්ත්‍රී ක්‍රමයේ යම් ප්‍රභේදයක් නීති ගත කෙරුනා. නමුත් 2016 හා 2017 දී තව දුරටත් සිදු කළ සංශෝධන තුලින් අද පවතින මිශ්‍ර මන්ත්‍රී සමානුපාත යන ප්‍රභේදය අපට ලැබී තියෙනවා.

ඡන්ද විමසීම් කොමිසම විසින් දැනට පවතින මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ගැන යම් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම  ලිපියේ අරමුණ ඊට ඌන පූරණයක් ලෙස එක් පළාත් පාලන ආයතනයක් උදාහරණයට ගෙන තව දුරටත් එම ක්‍රමය පැහැදිලි කිරීම හා සීමිත විවරණයක් කිරීමයි.

2018 දී කෝට්ටේ මහා නගර සභාවේ ඡන්ද විමසීම් ප්‍රතිඵලය

 

kotte
ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ මහ නගර සභාවේ (කෙටියෙන් කෝට්ටේ මහා නගර සභාවේ) ඡන්ද විමසීම් ප්‍රතිඵලය තුලින් මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයට විශේෂිත වූ කාරණා හා ගැටළු තේරුම් ගනිමු..

2018 ට පෙර භාවිතා කරන ලද මනාප ඡන්ද සහිත සමානුපාතික ක්‍රමයේ දී, ඡන්ද විමසීම් ප්‍රතිඵලය වට දෙකකින් තීරණය වූවා. පළමුව, සභාවක මුළු ආසන සංඛ්‍යාව එක් එක් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව පක්ෂ අතර බෙදා හැරුණා. දෙවනුව, එක් එක් පක්ෂයේ අපේක්ෂකයින් විසින් ලබා ගත් මනාප ඡන්ද අනුව එක් එක් පක්ෂයට පවරා ඇති ආසන පිරවීම සඳහා පුද්ගලයින් තෝරා ගනු ලැබුවා. 

මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය සැලසුම් කර ඇත්තේ සමානුපාතික හෝ ආසන්න සමානුපාතික ප්‍රතිඵලයක් ලබා දෙමින් නමුත් සභිකයින් තෝරා ගනීමට මනාප ඡන්දය අවශ්‍ය නොවන තත්වයක් ඇති කිරීමටයි. එහිදී නාම යෝජනා ලබා දීමේදී  සැම පක්ෂයකින්ම  නාම යෝජනා ලැයිස්තු දෙකක් ලබා දෙනවා. කෝට්ටේ මහා නගර සභාව ගත් කළ පළමුවන ලැයිස්තුවට සභාවේ කොට්ඨාස විසි එකට  කේවල ක්‍රමයට තරඟ කරන අපේකෂකයින්ගේ නම් ඇතුලත් වෙනවා. ඉතිරි ආසන දහහතර පිරවීම සඳහා නම් දහහතරකට තවත් තුනක් එක්  කර දෙවනු ලැයිස්තුවකුත් ලබා දීම අවශ්‍ය වෙනවා.

image 19
ඒ අනුව 2018 ඡන්ද විමසීම්යේදී කෝට්ටේ මහ නගර සභාවට කොට්ඨාස 21 කින් කේවල ක්‍රමයට සභිකයින් විසි එක් දෙනෙකු සහ පක්ෂ ලැයිස්තු වලින් 14 දෙනෙකු ලෙස 60:40 අනුපාතයකින් සභිකයින් වර්ග දෙකක් සහිතව මුළු සභිකයින් 35 දෙනෙකු පත්වීමට නියමිතව තිබුනා.

ඡන්ද ගණන් කිරීමේදී පළමුව සභාවක මුළු ආසන සංඛ්‍යාව පෙර පරිදිම එක් එක් පක්ෂයට ලැබුණු ඡන්ද සංඛ්‍යාවට සමානුපාතිකව පක්ෂ අතර බෙදා දෙනවා.

2018 දී, පොදු ජන පෙරමුණ (පොජාපෙ) පක්ෂය කෝට්ටේ මහ නගර සභාවේ වැඩිම ඡන්ද ලබා ගත් නමුත්, ඔවුන්ට ලැබුණේ මුළු ඡන්දවලින් 41.4% ක් පමණි.

එබැවින්, සමානුපාතික නියෝජනය අනුව, එම පක්ෂයට හිමි වුනේ සභාවේ මුළු ආසන 35 න් 15 ක් පමණයි. කෙසේ වෙතත්, එම පක්ෂය කොට්ඨාස 21 න් 18 ක්ම කේවල ක්‍රමයට දිනා ගත් බැවින් එම පක්ෂයට එහි සමානුපාතික හිමිකාරිත්වයට වඩා ආසන තුනක් ලබා ගැනීමේ අයිතිය හිමි වෙනවා. මෙලෙස පක්ෂයක් විසින් තම සමානුපාතික හිමිකාරිත්ව අයිතිය ඉක්මවා දිනා ගන්නා ආසන ගණන එල්ලෙන ආසන ලෙස හැදින් වෙනවා.

 

70321438 160838478435638 9183297629751083008 n
මෙම එල්ලෙන ආසන ගැටළුව විසදීමට ක්‍රම තුනක් තිබෙනවා. නවසීලන්තයේ මෙන් ශ්‍රී ලංකාවේ ද අනුගමනය කරන ක්‍රමය වන්නේ සභාවට එල්ලෙන ආසන හා සමාන අමතර ආසන ගණනක් එකතු කිරීමයි. උදාහරණ ලෙස 2018 ඡන්ද විමසීම්යේ ප්‍රතිඵල අනුව කෝට්ටේ මහා නගර සභාවේ ආසන 35ට  අළුතෙන් ආසන තුනක් එක් කරන්න සිදු වුනා.

කෝට්ටේ මහ නගර සභාවේ එක් එක් පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සහ එයින් පක්ෂ හතරකට ලැබුණු සමානුපාතිකව හිමිකාරිත්වය පිළිවෙලින් ආසන 15,12,5,3 ක් ලෙස බෙදී ගිය ආකාරය වගු අංක 1 හි තුන්වැනි කොලමෙන් පෙන්වනවා. එම ආසන ගණනට පොජපෙ පක්ෂයට හිමි එල්ලෙන ආසන තුන එකතු කළ විට, එම ආසන ව්‍යාප්තිය 18,12,5,3 දක්වා වෙනස් වී මුළු ආසන ගණන 38 ක් වීම පස්වැනි කොලමෙන් පෙන්වනවා.


වගු අංක 1. 2018 දී කෝට්ටේ මහ නගර සභාවේ ආසන පක්ෂ අතර බෙදී ගිය ආකාරය

Screenshot 2025 04 04 131330
දෙවන වගුවෙන් දැක්වෙන්නේ එක් එක් පක්ෂය දිනාගත් ආසන 18, 12, 5 සහ 3 සඳහා සභිකයින් තෝරා ගත් ආකාරයයි. පොජපෙ පක්ෂයෙන් කේවල අපේක්ෂයින් 21න් 18 ක්ම  තේරී පත් වූ පසු ඔවුන්ට දෙවන ලැයිස්තුවෙන් කිසිවෙකු තෝරා පත් කරන්න අයිතියක් නැහැ.

වගු අංක 2. එක් එක් පක්ෂයෙන් සභිකයින් තෝරා ගත් ආකාරය  

Screenshot 2025 04 04 131503
එජාප පක්ෂය ගත් කල ඔවුන්ට කේවල ක්‍රමයට අපේක්ෂකයින් තුන් දෙනෙකු තේරී  පත් වුනා. දෙවනුව එම පක්ෂයේ ආසන 12 ක්වූ සමානුපාත හිමිකාරිත්වයේ ඉතිරිය වන ආසන නමයක්  සඳහා තම දෙවන ලැයිස්තුවෙන් සභිකයින් තෝරා පත් කර යැවීම අවස්ථාව එම පක්ෂයට හිමි වුනා. එජනිස හා ජවිපෙ පක්ෂ ගත් ඔවුන්ට එක කේවල ආසනයක්වත් දිනා ගැනීමට නොහැකි වූ බැවින් ඔවුනගේ මුළු සමානුපාතික හිමිකාරිත්වයම ලබා ගැනීමට දෙවන ලැයිස්තුවෙන් පිළිවෙලින් සාමාජිකයින් 5 සහ 3 දෙනෙකු තෝරා පත් කර යැවීමට ඔවුනට  අවස්ථාව හිමි වුනා. අවසාන ප්‍රතිඵලය ලෙස පක්ෂ හතරට පිළිවෙලින් ආසන 18, 12, 5 සහ 3 ක් හිමි වුනා.

එල්ලෙන ආසන සංසිද්ධිය හේතුවෙන් කෝට්ටේ මහා නගර සභාව සඳහා  සමානුපාතික නියෝජනයේ යම් විකෘතියක් සිදු වුවද, අවසාන ආසන බෙදා හැරීම පක්ෂ හතර අතර පිළිවෙලින් 47%, 32%, 13% සහ 8% ලෙස වූ අතර එම බෙදා හැරීම එම පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් වන 41.4%, 33.8%, 14.4% සහ 9.2% ට ලෙස ආසන්න සමානුපාතික ප්‍රතිඵලයක් වූවා. ජාතික මට්ටමේ ආසන බෙදා හැරීම ද එක් එක් පක්ෂයට ලැබුණු ඡන්දවල සමානුපාතිකත්වයට ආසන්න වූවා.

මෙම කෙටි ලිපියෙන් මිශ්‍ර මන්ත්‍රී ක්‍රමයේ වෙනත් ගුණ අගුණ සාකච්ඡා කිරීමට ඉඩක් නැතත් කාන්තා නියෝජනය ගැන යමක් සඳහන් කළ යුතුමයි.

 

 99695008 188092510 1.jpg 1

කෝට්ටේ මහා නගර සභාවට කේවල ක්‍රමයට තේරී පත් වූ 21 දෙනා අතර - දෙදෙනෙකු පොජපෙන් සහ එක් අයෙකු එජාපයෙන් ලෙස - කාන්තාවන් තිදෙනෙකු තේරී පත් වූවා. නීතියේ පරිදි මුළු සභිකයින් තිස් පහෙන් 25% ක් හෝ අටක් කාන්තාවන් විය යුතුයි. ඉතිරි පස් දෙනා එක් එක් පක්ෂයේ දෙවන ලැයිස්තු වලින් ලබා ගැනීමේ  දුෂ්කර කාර්යය පැවරුනේ මැතිවරණ කොමිෂන් සභාවටයි. ඒ සඳහා අදාල නීතිය වන්නේ මුළු අතිරේක ආසන ගණන තුනකට අඩු සහ මුළු ජන්ද ප්‍රතිශතය 20%ට අඩුවෙන් ලබා ගත් පක්ෂ හැරුණු විට අනික් එක් එක් පක්ෂය විසින් ලබාගත් ඡන්ද ගණනට සමානුපාතිකව තමන්ගේ දෙවන ලැයිස්තුවෙන් අවශ්‍ය කාන්තා නියෝජනය සම්පූර්ණ කර ගැනීමට දායක විය යුතු බවයි.  

මේ නීතියට අනුව කාන්තා නියෝජනය පූර්ණ කිරීම් වගකීම  පැවරුනේ එජාප, එජනිස හා ජවිපෙ පක්ෂ වලටයි. ඔවුන් විසින් තම දෙවන ලැයිස්තු වලින් පිළිවෙලින් කාන්තාවන් 3,1,1ක ලෙස කාන්තාවන් පහක් තෝරා පත් කර එවුවා. අවසාන විග්‍රහයේදී මිශ්‍ර මනාප ක්‍රමය තුලින් කාන්තා නියෝජනය සඳහා වැඩි බරක් පැටවෙන්නේ දෙවනියට එන පක්ෂයටයි. මෙය ඉදිරි ඡන්ද විමසීම් වලදී නිවැරදි කර ගත යුතු සංසිද්ධියක්.  

2018 පළාත් පාලන ඡන්ද විමසීම්යේදී භාවිතා කරන ලද මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමය හරහා කොට්ඨාශ මට්ටමින් නියෝජනය සමඟ නියෝජනයේ සමානුපාතිකත්වයත්, සාධනීය කාන්තා නියෝජනයකුත් ලබා ගත්තා. නමුත් කුමන පරිත්‍යාගයකින්ද, මොන ගැටළු මධ්‍යයේද යන්නේ විස්තරාත්මකව බැලීම 2025 ඡන්ද විමසීම්යෙන් ඔබ්බට වැඩ සටහනක් ලෙස ඉතිරි කර 2025 ඡන්ද විමසීම් කෙසේ වේද කෙටියෙන් සලකා බලමු.

2025 පළාත් පාලන ඡන්ද විමසීම

 

unnamed 3 2

2025 වසරේ මැයි මාසයේ මේ පවත්වන්නේ 2023 මාර්තු පැවැත්වීමට නියමිත වූ පළාත් පාලන ඡන්ද විමසීම්යි. පැවතුන අස්ථීර දේශපාලන වාතාවරණයත්, කාල වෙලාවේ ප්‍රශ්න නිසාත්, එම ඡන්ද විමසීම්ය පවත්වන්න සිදු වන්නේ 2018 පැවතුනු මිශ්‍ර මන්ත්‍රී  ක්‍රමයේ නොයෙකුත් දෝෂ සහිතවයි. දෙවනුව ඉදිරි ඡන්ද විමසීම්යේදී අදාළ වන අලුත් නීති දෙකක් - එනම් ඡන්ද විමසීම් ප්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා 2023 දේ සම්මත වූ පනත සහ නාමයෝජනා සඳහා 25% ක තරුණ කෝටාවක් අනිවාර්ය කිරීම සඳහා 2024 සම්මත වූ පනත - මෙම ඡන්ද විමසීමට බලපාන බවත් මෙහිදී  සඳහන් කළ යුතුයි.

2025 ප්‍රතිඵලය කෙසේ වේද අනාවැකි පල කරන්න කාටවත් බැහැ. 2018 ඡන්ද විමසීම්යේදී මෙන්ම 2025 ඡන්ද විමසීම්යේදීත් කොට්ඨාස 4919ක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 5092ක් සහ පක්ෂ ලැයිස්තු වලින් අමතර සාමාජිකයින් 3,264ක් පළාත් පාලන ආයතන 341කට සභිකයින් තේරී පත් කිරීමට නියමිතයි. 2018 දී එල්ලෙන ආසන 365ක් සමග මුළු සභික සංඛ්‍යාව 8750 කට වැඩි  වුනා. 2025 දී එම එල්ලෙන ආසන ගණන කොපමණකින් වැඩි වේද කියන්න බැහැ. 2018 දී මෙන් කිසිම පක්ෂයකට 50% කට වඩා ඡන්ද ගන්නේද නැද්ද යන්නත් රදා පවතින්නේ ඡන්ද දායක ඔබ/අප අතේ.

 

1000121053
ඡන්ද දායකයින් හැටියට මැයි ඡන්ද විමසීමට අපට ඡන්ද විමසීම් කොමිසම විසින් එක් එක් කොට්ඨාසය නියෝජනය කිරීම සඳහා පක්ෂ වලින් නම් කරන ලද අයගේ ලැයිස්තුව හා අමතරව පත් කෙරෙන අපේක්ෂකයින්ගේ නම් සඳහන් දෙවන ලැයිස්තුවකුත් ලැබීමට නියමිතයි. මෑතකදී සිට ප්‍රවේශය සීමා කර ඇතත්, ඉන්දියාවේ සියලුම අපේක්ෂකයින්ගේ ජීව දත්ත https://affidavit.eci.gov.in/ හි පළ කරනවා. අවාසනාවකට අපේ රටේ එහෙම අපේක්ෂයින්ගේ ජීව දත්ත ලෙහෙසියෙන් ලබා ගන්න තැනක් නැහැ.  අප විසින්  පක්ෂයකට සහ එහි සංකේතයට කතිරක් ගසන විට එයින් පත් කෙරෙන පුද්ගලයා හා පක්ෂය යන දෙකම පිළිබඳව තොරතුරැ ලබාගෙන කතිරයක් ගැසීම ඡන්ද දායක අපේ වගකීමයි. පත්වන සභාවන් වඩා ඵලදායී කිරීම තවත් ප්‍රශ්නයක්. ඒ පිළිබඳව දෙවනුව සාකච්ඡා කරමු.

2025 න් ඔබ්බට....

ඇත්තටම 1948 සිට අද දක්වා පළාත් පාළනය යනු ඡන්ද විමසීම් ක්‍රමයේ වෙනස්කම් අත්හදා බලන තැනක් බවට පත් වී තිබෙනවා. අවුරුදු හතරකින්  එළඹෙන 2029 ඡන්ද විමසීම්ය සඳහා පළාත් පාලනයට වඩාත් සුදුසු සරල ඡන්ද විමසීම් ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳවත් දැන්ම සිට ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. එය ගැනත් දෙවනුව සාකච්ඡා කරමු.


sujatha
(සටහන | ආචාර්ය සුජාතා ගමගේ )
සම සම්බන්ධීකාරක
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය

gamage@gmail.com

ආචාර්ය සුජාතා ගමගේ

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

View all stories by ආචාර්ය සුජාතා ගමගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...