The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ

T

The Leader Desk

January 26, 2026 • 8:38 AM

මඟතොට දී අත බලා ශාස්ත්‍ර කියන්නියන්ගේ අන්තිම කාලයයි මේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තැනින් තැන ඇවිදිමින් අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවන් පිරිසක් කොහේ කොතැනක හෝ ඔබට ද මුණගැසී ඇත්නම් එහි අරුමයක් නැත. මීට අවුරුදු තිහ හතළිහකට පෙර පිටිසර ගම් දනව්වල නිවෙසින් නිවෙසට යමින් ශාස්ත්‍ර කියූ මේ කාන්තාවන්ගේ ප්‍රමාණය අද වන විට වේගයෙන් අඩුවී ඇත.
  • බ්‍රාහ්මණ ලෙසින් හැඳින්වෙන්නේ භාරත සමාජයේ උසස්ම කුලවතුන් ය.
  • 14 සහ 15 වන සියවස්වල මොවුන් යුරෝපයට සංක්‍රමණය වීමත් සමඟ ‘ජිප්සි’ නාමයෙන් හඳුන්වන ලද්දේ මොවුන් ඊජිප්තු (Egyptian) සම්භවයක් ඇත්තවුන් සේ සලකමිනි.
  • බෂාම් පවසනුයේ “රොමානි ජනයා යනු ඉන්දියාවෙන් ලොවට තිළිණ කළ විශිෂ්ට දායාදයක්” බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එමෙන්ම දැන් පවතින වාතාවරණය අනුව ඉතා නුදුරු කාලයක් තුළ මොවුන් ජාතියට “අහිමි සම්පතක්” වීමේ ලකුණු මේ වන විටත් පහළ වී තිබේ. එය මෙතෙක් කිසිවකුගේ අවධානයට යොමුව නොමැති, අපගේ විශේෂ අවධානයට යොමු විය යුතු තත්ත්වයකි.

ඉන්දීය ක්‍රමයට, එහෙත් අපිළිවෙළට හැඳි සාරියකින් සහ උරෙහි එල්ලාගත් ඔලොගුවකින් යුතු මොවුන් සමාජයේ වඩාත් ප්‍රකට ‘අහිගුණ්ඨික’ කාන්තාවන් වශයෙනි. එම පැරණි අහිගුණ්ඨික නාමය වෙනුවට අද ඔවුන් හැඳින්වීමට ‘තෙළිඟු’ යන ව්‍යවහාරය යෙදෙයි. ‘අහිගුණ්ඨික’ යන්න අපහාස නාමයක් සේ පෙනුණ ද එහි අරුත ‘සර්පයන් අල්ලන්නා’ යන්නයි. ‘අහි’ යනු සර්පයා හැඟවෙන පදයක් වන අතර, ‘ගුණ්ඨික’ යනු අල්ලන්නා යන්න හැඟවෙන නමකි.

බෞද්ධ පන්සිය පනස් ජාතක පොතේ “අහිගුණ්ඨික ජාතකය” නමින් වෙනම ජාතක කතාවක් තිබේ. ඉන් කියැවෙන්නේ රිලවුන් නටවන බ්‍රාහ්මණයෙකු පිළිබඳව ය. බ්‍රාහ්මණ ලෙසින් හැඳින්වෙන්නේ භාරත සමාජයේ උසස්ම කුලවතුන් ය. එබැවින් අප රටේ අහිගුණ්ඨික ජනතාව පොදු සමාජයෙන් කොන් වීමට හේතුව මට නම් සිතාගත නොහැකි ය. ලෝකයේ බොහෝ රටවල ජීවත්වන මේ ජනතාව ජාත්‍යන්තර වශයෙන් හැඳින්වෙනුයේ ‘රොමා’ (Roma) හෝ ‘රොමානි’ (Romani) යනුවෙනි. මොවුන් සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රසිද්ධ ‘ජිප්සි’ (Gypsy) යන නාමයෙන් යුරෝපීයන් විසින් මොවුන් හැඳින්වීම මානව විද්‍යාත්මකව වරදකි. 14 සහ 15 වන සියවස්වල මොවුන් යුරෝපයට සංක්‍රමණය වීමත් සමඟ ‘ජිප්සි’ නාමයෙන් හඳුන්වන ලද්දේ මොවුන් ඊජිප්තු (Egyptian) සම්භවයක් ඇත්තවුන් සේ සලකමිනි. නමුත් මොවුන්ගේ සැබෑ නිජබිම ඉන්දියාව ය.

මොවුන් සම්බන්ධයෙන් ලෝක ප්‍රකට ඉතිහාසඥ ඒ. එල්. බෂාම් පවසනුයේ “රොමානි ජනයා යනු ඉන්දියාවෙන් ලොවට තිළිණ කළ විශිෂ්ට දායාදයක්” බවකි.

සංගීතය හා නර්තනය මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපායන් වුව ද අප රට තුළ දී එම තත්ත්වය එතරම් විද්‍යමාන නොවේ. ඔවුහු තමන්ගේ ජීවන වෘත්තීන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් බෙදාගෙන සිටිති. පුරුෂ පක්ෂය ප්‍රධාන වශයෙන් නයින් සහ රිලවුන් නැටවීමෙන් ජීවනෝපාය සරි කරගන්නා අතර, මෙලෙස අත බලා ශාස්ත්‍ර කියමින් දිවි රැකගන්නේ ඔවුන්ගේ කාන්තා පාර්ශවය පමණි.

 


 සත්‍යම පවසන බවට කිසිදු ලෙසකින් තහවුරු නොවුණත්, හස්ත රේඛා ශාස්ත්‍රය ලොව බොහෝ රටවල විවිධාකාර අන්දමින් භාවිත වෙයි. ඒ පිළිබඳව ලියැවුණු පොතපත සේම යමෙකුගේ අත්ලේ රේඛා සටහන් අනුව අනාවැකි කිව හැකි පරිගණක මෘදුකාංග යෙදවුම් ද කොතෙකුත් තිබේ. එහෙත් මෙම අහිගුණ්ඨික කතුන්ගේ ශාස්ත්‍ර කීම ඒ හස්ත රේඛා ශාස්ත්‍රයෙන් ඉඳුරාම වෙනස්, ඔවුන්ටම ආවේණික වූ සුන්දර කලාවකි. එබැවින් වරින් වර ඔවුන්ගේ මෙම අත බලා ශාස්ත්‍ර කීමේ සුලමුල සෙවීමට මා උත්සාහ ගත්තේ මීට දශක දෙකකට පෙර සිට ය. ඒ අනුව මම මේ දක්වා එම කතුන් තිහ හතළිහකගෙන් ශාස්ත්‍ර අසා එම අනාවැකි පටිගත කොට ඇත්තෙමි.

massannaමසන්නාවරක් මෙම ශාස්ත්‍ර කලාවේ සුලමුල සෙවීම පිණිස ඔවුන් ජනාවාස තනාගෙන සිටි තඹුත්තේගම කුඩාගමට ගිය මම එහි ජන ප්‍රධානියා වූ ‘පොඩි මහත්තයා’ හමුවීමි. එවිට ඔහු කියා සිටියේ තම ගෝත්‍රයේ කාන්තාවන්ගේ පාරම්පරික උරුමයක් වන ශාස්ත්‍ර කීමට පුරුෂ පක්ෂය අත නොගසන බව ය. පසුව මම ගල්ගමුවේ අන්දරබැද්දේ පිහිටි ඔවුන්ගේ ජනාවාසයට ගොස් එම ජන කොටසේ නායක මසන්නා මහතා හමුවීමි. එවිට ඔහු කියා සිටියේ තම බිරිඳගේ ජීවන වෘත්තිය ද එය වුවත්, තමන් කිසිම දිනෙක ඒ පිළිබඳව ඇය හා කතා කොට නොමැති බවකි. එමෙන්ම බිරිඳ තබා ශාස්ත්‍ර කීමේ යෙදුණු තම මවවත් කිසි දිනෙක තමන්ගේ අත බලා නොමැති බව ද හෙතෙම කීය. ඊට හේතුව කුමක්දැයි මා විමසූ විට මසන්නා මහතා විසින් දෙන ලද්දේ ‘‘අපි ගැන ඉතින් මොනවා අමුතුවෙන් දැනගන්නද? අපේ ජීවිත ඉතින් මේ විදිහෙම තමයි’’ යන දාර්ශනික පිළිතුර ය.

ඒ අතරේ මෙම ශාස්ත්‍ර කීමේ උරුමය දේවතාවියකගෙන් කාන්තාවන්ට පමණක් හිමි කළ විශේෂ වරමක් බවත්, ඒ සඳහා පුරුෂ පක්ෂයට කතා කිරීමටවත් අවසර නොමැති බවත් අතීතයේ ජීවත් වූ අහිගුණ්ඨික කාන්තාවන් අතර විශ්වාසයක් තිබී ඇත. එහෙත් ඒ දේවතාවිය පිළිබඳ නිශ්චිත තොරතුරක් ඔවුන් වෙතින් අසා දැන ගැනීමට මම අසමත් වීමි.

 

ahikuntaka community upliftment 1

අනුරාධපුර පූජා නගරය තුළ මෙලෙස අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවන් නිතරම පාහේ දැකිය හැකිය. එනිසා ඊට කලෙකට පසු මම ඔවුන්ගේ ශාස්ත්‍ර කීමේ ක්‍රියාවලිය සියුම් ලෙස නිරීක්ෂණය කළෙමි. ඒ අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වැඩිපුර ගැවසෙන ස්ථාන ආශ්‍රිතව ය. මේ වන විට සාරියට වඩා පහසු බවක් පළ කරන සල්වාර් විලාසිතාවලට පවා යොමුව සිටි ඔවුන්ගෙන් සමහරකු අත ජංගම දුරකථන ද තිබෙනු දක්නා ලදි. අහිගුණ්ඨික කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතාව ඔවුන් දුටු සැණින් හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණයකි. ඔවුහු බොහෝ විට රතු, කහ, තැඹිලි වැනි ඉතා කැපී පෙනෙන තද වර්ණවලින් යුත් රෙදි සහ හැට්ට අඳිති. බෙල්ලේ පබළු මාල විශාල ප්‍රමාණයක් පැළඳීම ද සාමාන්‍ය දෙයකි. එමෙන්ම ඇතැම් කාන්තාවෝ අත්වල සහ පාදවල ලෝහමය වළලු සහ මුදු පාවිච්චි කරති. සමහර අවස්ථාවල නළලේ විශාල පොට්ටුවක් තබනු දැකිය හැකිය. ප්‍රධාන වශයෙන් එකම ජන කොටසක් සේ පෙනී යන මොවුන් පුත්තලම, මඩකලපුව වැනි ප්‍රදේශ මුල් කොට උප ප්‍රභේදවලට බෙදී ඇති බවක් පෙනෙයි. නමුත් මින් ප්‍රධාන ජන කොටස ඇත්තේ රට මධ්‍යයට වන්නට ය.

මගේ එම විමසුම සඳහා කලක් රුවන්වැලි සෑ ආරාමයේ කැපකරුවෙකුව සිටි ඩී. එම්. මුතුබණ්ඩා මහතාගෙන් ලැබුණු සහාය ද මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

‘‘මේක අපේ අම්මලා, අත්තම්මලා අපිට කියලා දීපු සාස්තරයක්. මේක කිසිම පොත පතක ලියැවිලා නැහැ. මේක එන්නේ අපේ පරම්පරාවේ ලේ වලින්. නමුත් මේක පිහිටන්නේ ගෑනු අපිට විතරයි.’’ ශාස්ත්‍ර කියන කාන්තාවන් විසි තිස් දෙනෙකුගෙන් විමසූ මට ලැබුණු පොදු පිළිතුර වූයේ එයයි.

‘‘හොඳ සීදේවි මූණක් නෝනා, පවුලට විතරක් නෙවෙයි ගමටම කිරි උතුරනවා. එන්න අත පොඩ්ඩක් බලාගන්න.’’

‘‘කාටවත් වරදක් නොකරන මහත්තයා, හැමෝටම උදව් පදව් කරගෙන බොහොම වැදගත් විදියට ජීවත්වෙන්න තමයි බලන්නේ.’’

ඉහත සඳහන් ස්වරූපයේ වැකි මගින් තමන් අසලින් යන්නවුන් පිළිබඳව විවිධ වර්ණනාත්මක ප්‍රකාශ කරන මෙම කාන්තාවෝ, එමගින් ශාස්ත්‍ර අසන්නවුන් තමන් වෙත යොමු කරගනිති. එමෙන්ම මොවුන්ගේ ශාස්ත්‍ර කීමේ තවත් වැදගත් කරුණක් අනාවරණය කරගැනීමට මට හැකි විය. එනම් මොවුන් ශාස්ත්‍ර කීම සඳහා වෙනම ‘වචන කට්ටල’ ගණනාවක් යොදාගන්නා අතර, තමන්ගෙන් ශාස්ත්‍ර අසන පුද්ගලයාට අදාළව ඒ වචන කට්ටල වෙන් වශයෙන් ක්ෂණිකව පෙළගස්වා ගන්නා බවකි.

sasthara 4

මෙම අහිගුණ්ඨික කාන්තාවන්ගේ ශාස්ත්‍ර කීම තුළ ඉතා හොඳින් නිරීක්ෂණය වූ වැදගත් සාධනීය කරුණක් තිබිණි. එනම් මොවුන් කෙසේවත් තම ශාස්ත්‍රයන් ඔස්සේ බරපතළ නිශේධනාත්මක අනාවැකි පළ නොකිරීමයි.

‘‘මහත්තයා ළඟදිම ලොකු අනතුරකට මූණ දෙනවා. නෝනට තව මාස කීපෙකින් සනීප කරගන්න බැරි ලෙඩක් හැදෙනවා’’ ආදී වශයෙන් අප රටේ සාත්තර මෑණිවරුන් මෙන් ශාස්ත්‍ර අසන්නවුන්ගේ සිත් සසල කරවා හෝ සිත් රිදවා පසුව කීයක් හෝ කඩා වඩා ගත හැකි නිශේධනාත්මක අනාවැකි මෙම කාන්තාවෝ කිසි විටෙකත් නොකියති. එමෙන්ම මොවුන්ගේ සමස්ත ශාස්ත්‍රයක් ගතහොත් ඉන් වැඩි කොටස ඒ ශාස්ත්‍රය අසන්නාගේ චරිත ස්වභාවය, ජීවන ගැටලු ආදිය සඳහා වෙන් කරන අතර, අනාවැකි කීම සඳහා වෙන් කරනුයේ ඒ ශාස්ත්‍රයෙන් සුළු කොටසක් පමණි.

 නාඳුනන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙලෙස තොරතුරු කීම ‘සීතල කියැවීම’ (Cold Reading) යනුවෙන් හැඳින්වෙයි. යමෙකු දුටු පමණින් තීරණය කරගත හැකි ස්ත්‍රී පුරුෂ භාවය, බාහිර පෙනුම, ඇඳුම් පැළඳුම, හැසිරීම් රටා, වචන උච්චාරණය සහ විශේෂයෙන් දේහ භාෂාව ඔස්සේ ඒ තැනැත්තා පිළිබඳ ‘අනුමාන සාධක’ ඉදිරිපත් කිරීම මෙම සීතල කියැවීම් ගණයට වැටෙයි. මනෝ විද්‍යාඥයන්, අපරාධ පරීක්ෂකයන්, ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ආදීන් තම වෘත්තීය කටයුතු සඳහා යොදාගන්නා එම සීතල කියැවීම් මගින් මළ පොතේ අකුරක් නොදත් මේ කාන්තාවන් තම ජීවනෝපාය සලසා ගැනීම පිළිබඳව විද්වත් අවධානය මීට වඩා යොමු විය යුතුව තිබේ.

සියවස් ගණනාවක් පුරා සංචාරක ගෝත්‍රයක් ලෙස සාම්ප්‍රදායික දිවි පෙවෙතක් ගත කළ මොව්හු දැන් ස්වකීය අනන්‍යතා ලක්ෂණ කෙමෙන් අතහරිමින් හිඳිති. නිදසුනක් ලෙස මේ වන විට ස්ථිර ජනාවාස කෙරෙහි අවධානයක් යොමු කොට ඇති මොවුන්, මීට දශක තුන හතරකට මෙපිට ඉපදුණු දරුවන්ට සිංහල නම් යෙදීමට හා ඔවුන් පාසල් අධ්‍යාපනයට යොමු කිරීමට ගත් ප්‍රයත්නය මේ වන විට ප්‍රශස්ත මට්ටමක් දක්වා ඉහළ නැංවී තිබේ. ඒ අනුව මේ වන විට ඔවුන්ගෙන් බොහොමයක් පොදු සමාජමය හිමිකම් පරාසයට පිය නඟා සිටිති.

thelingu people in sri lanka1 1

අතීතයේ ස්ථිර නිවාස නොමැතිව සංචාරක ජීවිත ගත කරමින් පුරුෂ පක්ෂය නයින් හා රිළවුන් නැටවීමටත්, කාන්තා පක්ෂය අත බලා ශාස්ත්‍ර කීමටත් යොමු වූ මොවුන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රබල සමාජ දුර්මතයක් ද එවක පැතිර තිබිණි. එනම් මොවුන් රටේ තැනින් තැන තනා ගෙන ජීවත් වන ‘නායිල්ල’ නම් තාවකාලික තල් අතු කූඩාරම්වලට “හත්වන දවසේ පනුවන් ගහන” බවකි. ‘නායිල්ල’ යනු තෙළිඟු බසින් අපේ නිවහන යන අරුත ගෙනෙන “නා ඉල්ලු” යන වදනින් බිඳී ආ එකක් බව පැහැදිලි ය.

මගේ මතකය, දැනුම හා අවබෝධය අනුව මෙම අහිගුණ්ඨික ජන කොටස මුල් කර ගත් “සත් වෙනි දවස” නම් රොමැන්තික ගණයේ නිර්මාණයක් 1970 දශකයේ අවසාන භාගයේ සතිපතා කොටස් වශයෙන් පළ වන චිත්‍ර කතාවක් ලෙස “සිළුමිණ” පත්‍රයේ පළ විය. එවක සාම්ප්‍රදායික ගෝත්‍රික ජන කොටසක් වූ අහිගුණ්ඨික ප්‍රජාව නියෝජනය කළ ‘අගටන්නා’ නම් තරුණියක හා ඒ වන විට හිස ඔසවමින් තිබූ නවීන තාක්ෂණය මත පදනම් වූ ‘රෙකෝඩ් බාර්’ එකක් හිමි සිංහල තරුණයකු අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් මුල් කොට ගත් සුඛාන්තයක් වූ “සත් වෙනි දවස”, සෝමවීර සේනානායක සූරීන්ගේ කතාවක් පදනම් ව බන්ධුල හරිශ්චන්ද්‍ර සිත්තරාණන් විසින් සිත්තමට නඟන ලද්දකි.

කල්පිතයක් වුවත් සමකාලීන සමාජමය තත්වයන් හා සබැඳුණු මෙම වෘත්තාන්තය මුල් කොට 1982 වසරේ සිනමා කෘතියක් ද එළි දැක්වෙන ලදී. හේමසිරි සෙල්ලප්පෙරුම විසින් අධ්‍යක්ෂණය කළ එම “සත් වන දවස” චිත්‍රපටයේ අඟටන්නා නම් අහිගුන්ඨික තරුණිය ගේ චරිතය මාලිනී ගොන්සේකා විසින් නිරූපණය කරන ලද අතර ඇගේ පෙම්වතාගේ චරිතය එකල සිංහල සිනමාවේ සිහින කමරකු ලෙස නම් දරා සිටි සනත් ගුණතිලක විසිනි. එමෙන්ම මෙහි අඟටන්නා ගේ පියා හෙවත් අබ්බඩා ලෙස රවීන්ද්‍ර රන්දෙණිය ද සාර්ථක චරිත නිරූපණයක් යෙදෙනු දක්නා ලදී.

නමුත් අද වන විට එම කතුන්ගෙන් බොහොමයක් ස්වකීය සාම්ප්‍රදායික අනන්‍යතා හැර දමා සිංහල ජන සමාජයට අවතීර්ණ වෙමින් සිටිති. එමෙන්ම මීට දශක තුනක පමණ සිට මෙම ප්‍රජාව කෙරෙහි එල්ල වූ නූතන මිෂනාරී බලපෑම මත සිය පාරම්පරික ආගම වූ නාමික බුද්ධාගම අත්හළ ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතය අද වන විට එක්තරා කිතුණු නිකායක උද්යෝගීමත් බැතිමතුන් බවට පත්ව හිඳිති. ඒ ඔස්සේ තමන් අත් විඳින ආර්ථික හා සංස්කෘතික වෙනස නිසා ලබන මානසික ප්‍රබෝධය ඔවුන් දකිනුයේ සිය භක්තිවන්තභාවය උදෙසා හිමි වන දේව වරප්‍රසාදයක් ලෙස ය.

 

bibal
”මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමකට අනුව. ඒ හින්දා අපේ අනාගතය තීරණය කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඒ බයිබල් නියමයට පිටින් යාම යක්ෂයාට නතු වීමක්.” ඒ, මෙම විමසුමේ දී ශාස්ත්‍ර කීමේ වෘත්තිය අත්හළ එම කතුන් කිහිප දෙනෙක්ම මා හා කී දෙයයි.

තමන් කැමති ආගමක් ඇදහීමේ, අනුගමනය කිරීමේ හෝ වැළඳ ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කොට ඇති මූලික අයිතිය පිළිබඳ අභියෝගයක් එල්ල කිරීමට අපට කෙසේවත් නොපුළුවන. නමුත් මෙවන් සමකාලීන තත්ත්වයන් මත මෙම ප්‍රජාව තුළ පාරම්පරිකව පැවැති සංස්කෘතික අනන්‍යතාව මුළුමනින් ගිලිහී යාම මඟින්, මෙම අත බලා ශාස්ත්‍ර කියන කාන්තාවගේ සොඳුරු භූමිකාව නියත ලෙසම අප සමාජයෙන් ගිලිහී යනු ඇත.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...