The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ළමයින් ඔවුන්ගේ සමාජ අවකාශවලින් පලවා හැරීමට පෙර - ආචාර්ය සුජාතා ගමගේ

T

The Leader Desk

June 30, 2026 • 6:00 AM

ළමයින් ඔවුන්ගේ සමාජ අවකාශවලින් පලවා හැරීමට පෙර - ආචාර්ය සුජාතා ගමගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය ලොව පුරා සිටින කනස්සල්ලට පත් මවුපියන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වී ඇත.
  • ශ්‍රී ලංකාවේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිස් මුස්තාපා මහතා විසින් මේ සම්බන්ධයෙන් වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
  • මේ අතරතුර, ඔස්ට්‍රේලියාවේ  නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 73%ක් පමණ තවමත් සමාජ මාධ්‍ය භාවිත කරන බවත්, ඒ නිසා සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව වඩා දැඩි පියවර ගැනීමට එරට රජය සැලසුම් කරමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවක දැක්වේ.
  • සංවිධානාත්මක ක්‍රියාකාරකම් වෙනුවට නිදහස් ක්‍රීඩා කිරීම් ආදේශවී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට පසුබිම් වී ඇති කනස්සල්ල සැබෑවකි. සයිබර් හිංසනය, ඇබ්බැහි කරවන ඇල්ගොරිතම, ඔන්ලයින් අපයෝජකයන්, යථාර්ථවාදී නො වන ශරීර ප්‍රතිරූප සහ නිමක් නැතිව තිරය දිගේ ඉහළට පහළට යාම (endless scrolling) හේතුවෙන් ඩිජිටල් යුගය මගින් අපේක්ෂා කළාට වඩා අඩු සෞඛ්‍ය සම්පන්න බවකින්, අඩු සතුටකින් මෙන්ම අඩු අන්‍යෝන්‍ය සබැඳියාවකින් යුක්ත වීමට බොහෝ ළමයින්ට සිදුවී ඇති බව වාර්තා වී ඇත.


ශ්‍රී ලංකාවේ ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිස් මුස්තාපා මහතා විසින් මේ සම්බන්ධයෙන් වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
Screenshot 20260624 115614 Samsung Notes
Screenshot 20260624 115653 Samsung Notes
Screenshot 20260624 115703 Samsung Notes
Screenshot 20260624 115712 Samsung Notes

මේ අතරතුර, ඔස්ට්‍රේලියාවේ  නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 73%ක් පමණ තවමත් සමාජ මාධ්‍ය භාවිත කරන බවත්, ඒ නිසා සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව වඩා දැඩි පියවර ගැනීමට එරට රජය සැලසුම් කරමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවක දැක්වේ.

ශ්‍රී ලංකාව ද එම රැල්ලට එක් වීමට පෙර, ළමයින් සමාජ මාධ්‍ය තෝරා ගන්නේ මන් දැයි අප පළමුව විමසා බැලිය යුතු ය.

භෞතික සමාජ අවකාශය අහිමි වීම
 
Australia social media ban
 
සිත් කළඹවන තත්ත්වයක් වුව ද, ළමයින් සමාජ මාධ්‍යවලට මෙතරම් ප්‍රිය කරන්නේ ඇයි දැයි යන්න පිළිතුර වන්නේ, තරුණ පිරිස් අතීතයේ මිත්‍රත්ව ගොඩනඟා ගත්, ස්වාධීනත්වය අත්හදා බැලූ සහ සරලව එකට කාලය ගත කළ භෞතික අවකාශ සමාජය විසින් ක්‍රමයෙන් ඔවුන්ගෙන් උදුරා ගෙන ඇති බවයි. මවුපියෝ ආරක්ෂාව පිළිබඳව කනස්සලෙන් කටයුතු කරති. සංවිධානාත්මක ක්‍රියාකාරකම් වෙනුවට නිදහස් ක්‍රීඩා කිරීම් ආදේශවී ඇත. පාඩම් අවසන් වූ වහාම පාසල්වල ගේට්ටු වැසෙයි. ඇතැම් ළමයින්ට නිවාස යනු හුදකලා සිර මැදිරි මෙන් දැනේ. හේතුව කුමක් වුවත්, බොහෝ යොවුන් වියේ පසුවන්නන්ට, විශේෂයෙන් ම නගරබද ළමයින්ට, සමාජ මාධ්‍ය යනු පොදු අවකාශය සඳහා වූ ආදේශකයක් බවට පත් ව තිබේ.
මා මගේ ළමා කාලය ගත කළේ නේවාසික පාසල්වල හෝ නේවාසිකාගාරවලය. මට එය දවස පුරා මිතුරන් සමඟ කාලය ගත කිරීමට හැකි සතුටුදායක ස්ථානයක් විය. විශේෂයෙන් ම නේවාසිකාගාරයේ ආහාරවල ඒකාකාරී බව බිඳ දැමීම සඳහා නිවසින් ලැබෙන ආහාර පාර්සල් ද තිබෙන විටදී එය වඩාත් සතුටුදායක විය. මගේ සැමියා පවසන පරිදි, ඔහුට පාසල් යාමට හෝ සුළු වැඩ පණිවුඩ සඳහා නිදහසේ බස් රථයේ ගමන් කිරීමට මෙන්ම අසල්වැසි ප්‍රදේශයේ බයිසිකලය පැදීමට ද ප්‍රමාණවත් අවස්ථා තිබී ඇත. එසේම ඔහුව කාර්යබහුලව තබා ගන්නා විවිධ කුහුල දනවන කාර්යයන් ඇති තරම් ඔහුට තිබී ඇත.
 
crecv55
 
ඇමරිකා එක්සත් ජනපදයේ ඔහියෝහි කොලොම්බස් නුවර හැදී වැඩුණු අපගේ ළමයි අපට වඩා සීමාසහිත වටපිටාවක ජීවත් වූහ. එහෙත්, අවශ්‍ය වූ විට ඔවුහු පයින් හෝ බයිසිකල් මගින් ක්‍රියාකාරකම් සඳහා සහභාගි වූහ. අපි ඔවුන්ගේ රූපවාහිනිය නැරඹීමේ කාලය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළෙමු. මත්ද්‍රව්‍ය සහ මත්පැන් පිළිබඳ අන්තරා සෑම විටම තිබූ නමුත්, පවුල් මෙන්ම පාසල් ද ඒ පිළිබඳව දැනුම්වත්ව සහ විමසිලිමත්ව සිටියහ. සාරාංශයක් ලෙස ගත් කල, එකල පැවතියේ තරමක් දුරට කළමනාකරණය කර ගත හැකි භෞතික අවකාශයකි.

මා දන්නා වර්තමාන තරුණ මවුපියන්ට සීමා නොමැති සමාජ අවකාශයක් ගැන කනස්සල්ලට පත් වීමට සිදු ව තිබේ. පාසලෙන් පසු සැමට මුණගැසිය හැකි එකම ස්ථාන බවට පත් ව ඇත්තේ ස්නැප්චැට් (Snapchat), ඉන්ස්ටග්‍රෑම් (Instagram), ටික්ටොක් (TikTok), වට්ස්ඇප් (WhatsApp) හෝ සිග්නල් (Signal) වැනි යෙදුම්ය. එබැවින් ඔවුහු ඒ හරහා මිත්‍රත්ව පවත්වා ගනිති. ළමයින්ගේ පොදු අවකාශ අතුරුදන් වීම සමාජ මාධ්‍ය විසින් නිර්මාණය කළ දෙයක් නොවේ. සමාජ මාධ්‍ය කළේ ඉන් ඇති වූ රික්තය පිරවීම පමණි.
 
ඉන් අදහස් වන්නේ වර්තමාන සමාජ මාධ්‍ය වේදිකා ළමයින්ට සුදුසු පරිසර වන බව නොවේ. පැහැදිලිවම ඒවා ළමයින්ට සුදුසු නැත. සැබෑ සබඳතා ගොඩනඟා ගැනීම දිරි ගැන්වීමට වඩා, අවධානය උපරිම කිරීමට, බලහත්කාරයෙන් නිරත වීම දිරි ගැන්වීමට මෙන්ම කෝපය ඇවිස්සෙන ආකාරයේ ප්‍රතිචාර දිරිගැන්වීමට බොහෝ වේදිකා හිතාමතාම සැලසුම් නිර්මාණය කර ඇත. ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතිය ගොඩනැඟී ඇත්තේ ළමා සංවර්ධනය මත නො ව ප්‍රචාරණය සහ දත්ත එකතු කිරීම මතය.
මෙයට විසඳුම වන්නේ ළමයින් ඔවුන්ගේ සමාජ අවකාශයෙන් පලවා හැරීම නොවේ. ඒ වෙනුවට ළමයින්ට අහිමි වූ භෞතික අවකාශය යළි ගොඩනැගීමය.

ළමයින් සඳහා ආරක්ෂිත සමාජ අවකාශ ලෙස පාසල්
 
5rt45

සෑම රජයේ පාසලක්ම උදෑසන සිට සවස දක්වා සැබෑ ප්‍රජා කේන්ද්‍රස්ථානයක් බවට පත් වන්නේ නම් එය කෙබඳු තත්ත්වයක් වනු ඇති දැයි මොහොතක් සිතා බලන්න. පන්ති කාමරවල ඉගැන්වීම් අවසන් වූ පසු පාසල් ක්‍රීඩා පිටි, පුස්තකාල, සංගීත කාමර, කලා අවකාශ සහ ශාලා විවෘත ව තැබිය හැකි ය. ප්‍රජා ස්වේච්ඡා සේවකයන්, තරුණ සේවකයන් සහ ප්‍රාදේශීය සංවිධානවල අධීක්ෂණය යටතේ ඒවා පවත්වා ගෙන යා හැකි ය. ඒ අනුව එකිනෙකා හමුවීමට, ක්‍රීඩා කිරීමට, පාඩම් කිරීමට, සංගීතය පුහුණු වීමට, රොබෝවරුන් නිර්මාණය කිරීමට, පොත් කියවීමට හෝ සරලව එකට කාලය ගත කිරීමට ළමයින්ට නැවත වරක් ආරක්ෂිත අවකාශ ලැබෙනු ඇත.
 
මීට වසර දහයකට පමණ පෙර මම දිනමිණ පුවත්පතට මේ අදහස පිළිබඳව ලිපියක් ලිවුවෙමි. බස්නාහිර පළාතේ එවකට සිටි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම පුවත්පතේම ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ, ඔවුන් මේ වන විටත් අඛණ්ඩ පාසල නමැති සංකල්පයක් අත්හදා බලමින් සිටින බවයි. අගෝස්තු නිවාඩු කාලය තුළදී අවිධිමත් පරිසරයක් තුළ උද්‍යෝගයෙන් ඉගෙනීමට ළමයින් පාසල වෙත පැමිණීම එම සංකල්පයට ඇතුළත්ය. අපි තවදුරටත් සාකච්ඡා කළෙමු. පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා පවත්වා ගෙන යන පාසලක් වෙනුවෙන් පළාත සඳහා සැලැස්මක් සහ අයවැයක් මම ස්වේච්ඡාවෙන් සකස් කළෙමි. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල හෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින සිසුන් එහි ක්‍රියාකාරකම් මෙහෙයවන්නන් හෝ නායකයන් ලෙස කටයුතු කරනු ඇත. එසේම පාසල් වේලාවෙන් පසුව එක් ගුරුවරයකු හෝ ඊට වැඩි පිරිසක් එහි වගකීම දැරීමට ද ඊට ඇතුළත් විය. බලධාරීන්ගේ උද්‍යෝගය හදිසියේම පැහැදිලි කළ නොහැකි ලෙස අඩු වී, එය එතැනින්ම අවසන් විය.
දවස පුරා පාසල පැවැත්වීමේ සංකල්පය යම් ආකාරයකින් ජනප්‍රිය පාසල් තුළ මේ වන විටත් ක්‍රියාත්මක වේ. ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එක් තරුණයෙක් මහරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ අසල්වැසි ජ්‍යෙෂ්ඨ පාසල සහ ඔහු ඉගෙනුම ලැබූ කොළඹ ජනප්‍රිය පාසල අතර තමා දුටු වෙනස පිළිබඳව වරක් මා සමඟ පැවසීය. පස්වරු 1.30ට නිල වශයෙන් පාසල අවසන් වීමෙන් පසු අසල්වැසි පාසල පාළුවට ගොස් තිබිණි. ජනප්‍රිය පාසල පාසල් වේලාවෙන් පසුවත් විවිධ ක්‍රියාකාරකම්වලින් යුත් කේන්ද්‍රස්ථානයක් විය.

පාසල් ප්‍රජා අවකාශ ලෙස ප්‍රතිනිර්මාණය කිරීම ළමයින්ගේ යහපැවැත්ම වෙනුවෙන් රජයන්ට කළ හැකි වඩාත්ම පිරිවැය-ඵලදායී ආයෝජනයක් වනු ඇත.

වැඩි භෞතික සමාජ අවකාශ මගින් සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන බලපෑම් වළක්වනු ඇත් ද?
 
f5454445332

තහනමක් තිබියදීත් ඔස්ට්‍රේලියානු ළමයින් දිගටම සමාජ මාධ්‍ය භාවිත කිරීම සඳහා වන ප්‍රධානතම හේතුව සම වයසේ මිතුරන්ගේ බලපෑම බව පර්යේෂකයෝ සොයා ගෙන ඇත්තාහ. තහනමට අනුගත වන සිසුන් අනික් සිසුන් විසින් සලකන්නේ අඩු ජනප්‍රියත්වයක් ඇති පිරිසක් ලෙස ය. අනුගත නො වීම සඳහා සම වයසේ මිතුරන්ගෙන් එල්ල වන බලපෑම වඩා හොඳ භෞතික සමාජ අවකාශ හේතුවෙන් අඩු වේ ද නැතහොත් වැඩි වේ ද යන්න පිළිබඳව අපට නිශ්චිතව කිව නොහැකිය. එහෙත් නිවසේ හුදකලාව සිටිමින් තනිවම එම පීඩනයට මුහුණ දීමට ළමයින්ට සිදු නො වනු ඇත. එසේම සැබෑ අවකාශය තුළ සමාජානුයෝගය වීම සඳහා ඔවුන්ට තවත් විකල්ප ලැබෙනු ඇත.

සැමට මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා පුහුණුව අනිවාර්යය වේ

ඕනෑම මාධ්‍යයක ඇති වැරදි තොරතුරු කළමනාකරණය කිරීමට ළමයින්ට උපකාර කිරීමේදී මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව ඵලදායී වන බව LIRNEasia මෑතකදී කළ පර්යේෂණ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. “මාධ්‍ය ඔබට පවසන දේ සැමවිටම විශ්වාස නො කරන්න. ඔබ විශ්වාස කරන අයෙකු සමඟ ඔබේ සැක සංකා විවෘතව බෙදා ගන්න. කුතුහලයෙන් සිටින අතරම එකට ගවේෂණය කරන්න.” ඉහත දැක්වෙන්නේ ඔවුන් සිසුන් නියැදියක් සඳහා ලබා දුන් පුහුණුවීම්වලදී ලබා දුන් පණිවුඩ කිහිපයකි. මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතා (Media and Information Literacy - MIL) පුහුණුව සැබවින්ම ඵලදායී වූ බව එම අධ්‍යයනයෙන් හෙළි විය. ඒ අනුව LIRNEasia නිර්දේශ කිහිපයක් ලබා දී ඇත.

• විධිමත් අධ්‍යාපන විෂය මාලාවන්ට මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව ඒකාබද්ධ කිරීම.
• පසු විපරම් සැසි හරහා ඉගෙනීම ශක්තිමත් කිරීම.
• විවිධත්වයෙන් යුත් මවුපියන් (other parents) හෝ රැකවරණය දෙන්නන් සඳහා ඉලක්කගත MIL අන්තර්ගත සංවර්ධනය කිරීම.
වැඩිහිටියන් ද තම සමාජ මාධ්‍ය ඇබ්බැහිය ප්‍රශ්න කළ යුතු ය
මවුපියන් සහ රැකවරණය දෙන්නන් සඳහා වන පුහුණුවීම් තුළින් ඔවුන්ගේම සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔවුන්ට අවස්ථාව සැලසිය යුතු ය.
 
බොහෝ සාකච්ඡාවලින් උපකල්පනය කරන්නේ ළමයින්ගේ ඩිජිටල් පුරුදු යනු තරුණ පරම්පරාවට පමණක් සුවිශේෂී වූ ගැටලුවක් බවයි. එහෙත් එය එසේ නොවේ. ළමයින් ඉගෙන ගන්නේ ඔවුන් දකින දෙයෙනි. මවුපියන් තම සවස් කාලය දුරකථන තිරය ඉහළට හෝ පහළට කරමින්, විවිධ වැඩසටහන් නරඹමින් හෝ නිරන්තරයෙන් ඔන්ලයින් දැනුම්දීම් පරීක්ෂා කරමින් ගත කරන්නේ නම්, සාමාන්‍ය ජීවිතය එසේ යැයි ළමයින්ට ප්‍රබල පාඩමක් ලැබෙනු ඇත.
ඇතැම් විට තිරය ඉදිරිපිට ගත කරන කාලය පිළිබඳ වඩාත්ම ඵලදායී ප්‍රතිපත්තිය ආරම්භ වන්නේ ළමයින්ගෙන් නො ව වැඩිහිටියන්ගෙන් විය හැකි ය. 'විශ්‍රාම නො ගත්' වැඩිහිටියකු ලෙස, මම මගේ කාර්යයේ කොටසක් ලෙස නිරන්තරයෙන් ඊමේල් (email), වට්ස්ඇප් (WhatsApp) සහ චැට්ජීපීටී (ChatGPT) භාවිත කරමි. එහෙත්, මම මගේ සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කර ගනිමි. එය වැඩකටයුතුවලින් පසුව පමණක් භාවිත කිරීමට සීමා කර ඇත. පවුල සමඟ ගත කරන කාලය තුළ මවුපියන් ද තම සමාජ මාධ්‍ය භාවිතය සීමා කළ යුතු ය. පාසල් දිනවල පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය පවුල සඳහා වන කාලය ලෙස සැලකිය හැකි ය. එතෙක් ළමයින් සඳහා සමාජ අවකාශ ලෙස පාසල් හෝ වෙනත් ප්‍රජා අවකාශ ක්‍රියාත්මක කළ හැකි ය.
එබැවින්, සීමාවකින් තොරව සමාජ මාධ්‍ය භාවිත කිරීම හෝ සම්පූර්ණයෙන්ම තහනම් කිරීම යන සාවද්‍ය තේරීම් දෙකින් ඔබ්බට මෙම සංවාදය ගෙන යා යුතු ය.
පවුලේ සහ ළමා කාලයේ සමාජ පරිසරය යළි ගොඩනැගීම මෙහි ඇති සැබෑ අභියෝගයයි. මවුපියන්ට තමන්ගේ වැඩකටයුතු කර ගැනීමට නිදහස් කාලයක් ලැබිය යුතු අතර, ළමයින්ටද දෙමාපියන්ගෙන් වෙන්ව ආරක්ෂිතව සමාජගත විය හැකි අවකාශද අවශ්‍ය වේ. ඉන් අනතුරුව දෙපාර්ශවයට පවුලක්  ලෙස  ගුණාත්මක කාලයක් ගත කළ හැකි ය. (ඇතැම් මවුපියන්ට මේ සම්බන්ධයෙන් වෙනස් හැඟීමක් තිබිය හැකි ය. එබැවින් තම ළමයින් සමඟ ඔවුන්ට අවශ්‍ය තරම් කාලයක් ගත කිරීමට ඔවුන්ට නිදහස තිබිය යුතු ය.)

සමාජ මාධ්‍ය අවම වශයෙන් සමාජශීලී හෝ වේ. චැට්ජීපීටී (ChatGPT) සමඟ වන තනි සංවාද වඩාත් හානිකර ද?
 
c5445645563ttg

මා දන්නා අවුරුදු 12ක ළමයකු (අපි ඔහු අමල් ලෙස හඳුන්වමු) ඔහුගේ දවස දෛනික ක්‍රියාකාරකම්වලින් පිරී ඇති බැවින් ඔහු ඒ සඳහා සතිපතා සැලැස්මක් සකස් කිරීමට චැට්ජීපීටී මෙවලමක් ලෙස භාවිත කරයි. එහිදී ඔහු චැට්ජීපීටී නිවැරදි ආකාරයෙන් මෙවලමක් ලෙස භාවිත කරමින් සිටී. එහෙත් වෙනත් මවක් සඳහන් කළ පරිදි, ළමයින් විසින් චැට්ජීපීටී මිතුරෙක්/මිතුරියක් මෙන්ම විශ්වාසදායක උපදේශකයකු ලෙස ද භාවිත කරන බවත් එය වඩාත් කනස්සල්ලට කරුණක් බවයි.

අමල්ගේ මෙන් ළමයකුගේ දවස විවිධ ක්‍රියාකාරකම්වලින් පිරවීම මගින් සමාජ මාධ්‍ය ප්‍රශ්නය සඳහා විසදුමක්ද? බොහෝ විට එසේ නො වනු ඇත. ඊට හේතුව සියලුම ළමයින් දවස පුරා ක්‍රියාකාරකම්වල නිරත වීමට අකමැති වීමයි.

සමාජ මාධ්‍ය සහ චැට්ජීපීටී තිබුණි නම්, මගේ ළමා කාලය කෙබඳු වන්නට ඉඩ තිබිණි දැයි මම නැවත සිතා බැලීමට උත්සාහ කරමි. ළමයකු ලෙස, අනෙකුත් ළමයින්ට වඩා මට හුදකලාව සිටීමට කාලය අවශ්‍ය විය. එබැවින් මම පොත් කියවීම වෙනුවෙන් දවසේ පැය ගණනාවක් ගත කළෙමි. චැට්ජීපීටී සහ සමාජ මාධ්‍ය තිබුනේ නම් මමත් ඒවා සමඟ ගවේෂණය කිරීමෙන්  විනෝද වීම නිසැකය. එහෙත්, හොඳ ප්‍රබන්ධ නැතිනම් කතන්දර පොතක් වෙනුවට චැට්ජීපීටී ආදේශ කිරීමක් ගැන මට කිසි සේත් ම සිතා ගත නොහැක.

ළමයින් තවමත් ප්‍රබන්ධ පොත් කියවනවා ද? වඩාත් පුළුල් ලෙස ගත් කල, අපේ සමාජයේ සිටින නව යොවුන් වියේ පසුවන්නන් (හෝ වයස අවුරුදු 11-18 අතර පිරිස) ගැන අප සැබවින්ම දන්නේ කුමක් ද? ළමයින් ඔවුන්ගේ සමාජ මාධ්‍ය අවකාශයෙන් ඉවතට තල්ලු කිරීමට පෙර අපි ඔවුන්ට සවන් දෙමු.

ළමයින් වෙනුවෙන් තීරණ ගැනීමට පෙර ඔවුන්ගේ අදහස් විමසීම අවශ්‍ය වේ
 
4323424242

තම බාල පරපුර වෙනුවෙන් කතා කළ හැකි යෞවන පාර්ලිමේන්තුවක් අපට තිබේ. එම ආයතනයට එහි විශ්වසනීයත්වය අහිමි වී තිබිය හැකි ය. එහෙත්, එය හොඳ ආරම්භයකි. රජය ද හැකි ඉක්මනින් තරුණ සමීක්ෂණයක් පැවැත්විය යුතු ය. එය සරල එකක් විය යුතු ය. උදාහරණයක් ලෙස, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ අහඹු නියැදියක් යොදා ගනිමින් සමීක්ෂණයක් කළ හැකි ය. එහිදී විවිධ විකල්ප ශ්‍රේණිගත කිරීමට මෙන්ම ගැටලුව සඳහා ඔවුන්ගේම විසඳුම් ලබා දීමට ද ප්‍රතිචාර දක්වන්නන්ට අවස්ථාව ලබා දිය යුතු ය. වැඩිහිටියන් ලෙස අප සෑම දෙයකටම එකඟ විය යුතු නැත. එහෙත්, පළමුව අප ඔවුන්ට අවස්ථාවක් ලබා දිය යුතු ය.

සලකා බැලීම සඳහා විකල්ප කිහිපයක්

• මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව (MIL) සඳහා වන ඉගෙනුම් මූලාශ්‍ර හා සම්පත්  ජාතික මට්ටමින් ලබා ගත හැකි බවට සහතික කළ යුතු ය. එය ළමයින්ට සන්නිවේදනය කිරීම සඳහා සුදුසු ස්ථානයක්/වෙලාවක්  සොයා ගැනීමට සියලුම පාසල්වලට අනිවාර්ය කළ යුතු ය. එසේම වසරකට වරක් එම ඉගෙනුම  සමාලෝචනය කිරීම සඳහා සැලැස්මක් ද තිබිය යුතු ය.

• සියලුම මවුපියන් සඳහා MIL පුහුණුව ලබා ගත හැකි වන සේ පහසුකම් සැලසිය යුතු ය.

• අසල්වැසි පාසල් අතරින් අවම වශයෙන් එක් පාසලක් හෝ පස්වරු 1.30 සිට පස්වරු 6.00 දක්වා විවිධ ක්‍රියාකාරකම්, ස්වාධීන වැඩකටයුතු හෝ ක්‍රීඩා කිරීම් සඳහා විවෘත ව තැබිය යුතු ය.

• මෙම වැඩසටහන පිරිවැය-ඵලදායී කිරීම සඳහා පුහුණු අභ්‍යාසලාභීන් සහ ස්වේච්ඡා සේවකයන් යොදා ගත යුතු ය. අවශ්‍යතාව මත ගුරුවරයකු හෝ කිහිප දෙනෙකු විසින් ඔවුන්ව අධීක්ෂණය කළ හැකි ය.

• මෙම පියවර ඵලදායී ලෙස සහ අධික පිරිවැයකින් තොරව ක්‍රියාත්මක කළ හැකි වන පරිදි නිර්වචනය කරන ලද අසල්වැසි වටපිටාවක් තිබිය යුතු ය. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය දිගු කලක් තිස්සේ සාකච්ඡා කර සැලසුම් කර ඇති පාසල් පොකුරු කිරීමේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කළ යුතු ය.
 
Sujata e1523360076264 700x700 1

 

- ආචාර්ය සුජාතා ගමගේ

 

 

 

whatsapp 202507155

ආචාර්ය සුජාතා ගමගේ

ප්‍රතිපත්ති විශ්ලේශිකා

ආචාර්ය සුජාතා ගමගේ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්ලේෂකවරියක සහ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක ලෙස ප්‍රකට වන අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, රාජ්‍ය පාලනය, මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් සාක්ෂරතාව වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හා පර්යේෂණ දායකත්වයක් ලබා දී ඇත. ඇය TVEC හි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක් මෙන්ම Education Forum Sri Lanka හි සම-නිර්මාතෘවරියකි.

View all stories by ආචාර්ය සුජාතා ගමගේ
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ළමයින් ඔවුන්ගේ සමාජ අවකාශවලින් පලවා හැරීමට පෙර - ආචාර්ය සුජාතා ගමගේ | The Leader