ලංකාව යටත් කරගෙන සිටිය පෘතුගාලයේ ලිස්බන් නුවර සංචාරය කරන ඕනෑම අයෙක්ට දකින්න ලැබෙන පෘතුගාලයේ රජවරුන්ගේ පිළිමවල අලි ඇතුන් පාගාගෙන විජයග්රහණය සමරන රජවරුන්ව දකින්න පුළුවන. පෘතුගාලයේ රජවරුන්ගේ පිළිමවල අලි ඇතුන් පාගාගෙන ඉන්න පිළිම නෙළුවේ අන් කිසිවක් නිසා නොව පෘතුගාලය ලංකාව ඇතුළු ආසියානු රටවල් ආක්රමණයේදී එම රටවල රජුන් ඇතුන් පිට නැගී දියත් කළ යුද්ධ පෘතුගාලයේ රජවරු පරාජය කළ ආකාරය දැක්වීමටය. පෘතුගාලය ඇතුළු යටත් විජිත අධිරාජ්යවාදීන් අලියා දුටුවේ සතුරෙකු ලෙසය. එහෙත් ලංකාව ඇතුළු ආසියානු රටවල් අලියා දුටුවේ රාජකීයත්වයේ, ස්වාධිපත්යයේ, බලයේ සංකේතයක් ලෙසය.
මහාවංශය කණ්ඩුල ඇතාට පරිච්ඡේද වෙන් කරන්නේ දුටුගැමුණුගේ යුද සංග්රාමයේ කණ්ඩුල ඇතා ඉටුකරපු කාර්යභාරය නිසාය. සීගිරියේ කාශ්යපගේ පරාජයට හේතුවත් ඇතු පිට නැගී කාශ්යප මඩ වගුරක් මගහරින්න ඇතාව වෙනත් මාර්ගයකට යොමුකිරීම පරාජය භාරගෙන මගහැර යෑමක් සේ සලකා ඔවුන්ගේ හමුදාව යුද බිමෙන් පලායෑමය. මේ නිසාම රජුගේ ඇතා යුද්ධයකදී සෙබළුන්ට මග පෙන්වන සංකේතයක් මෙන් විය.
රිපබ්ලිකන් පක්ෂය සහ සේනානායකවරුන්ගේ අලි ප්රේමය

යටත්විජිත අධිරාජ්යවාදීන් අලියාට වෛර කළත් ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය සිය පක්ෂයේ නිල ලාංඡනය ලෙස අලියා තෝරාගත්තේ අලියා ශක්තිය, ගෞරවය සහ බලය පෙන්වන නිසාය. 19 වැනි සියවසේ ඇමෙරිකාවේ ප්රකට ප්රස්තාව පිරුළක් වූයේ අලියාව දැකීම යුද්ධයක ආරම්භයක් කියාය. 19 වැනි සියවසේ ඇමෙරිකානු සෙබළු අතර මේ ප්රස්තාව පිරුළ අතිශයින් ජනප්රිය විය. රිපබ්ලිකන් පක්ෂය අලියා ලාංඡනය ලෙස තෝරාගැනීමට එයත් ප්රධාන හේතුවක් විය.
ඩී.ඇස්. සේනානායක එක්සත් ජාතික පක්ෂය හදද්දී පක්ෂයේ ලාංඡනය ලෙස අලියා තෝරාගැනීම ගැන විවිධ මත පවතී.
සමහරු කියන්නේ අලියා ලාංඡනය තුළ බුද්ධිය, ඥානය, සෞභාග්යය, රාජකීයත්වය, බලය, ශක්තිය, අලංකාරය නිරූපණය වන නිසාත්, අලියා ලංකාවේ ප්රෞඪ ඉතිහාසයේ සංකේතයක් නිසාත් අලියා තෝරාගත් බවය.
තවත් සමහරු කියන්නේ කැලෑවල ජනපදකරණය ක්රියාත්මක කරද්දී ඩී.ඇස්. ඇතුන් සමග කාලය ගතකරමින් වන අලි හීලෑ අලි බවට පත්කර ගිනිමින් අලියාට දැඩි සේ ආදරය කළ නායකයෙක් බවය. මේ නිසාම ඔහු ජාතියේ සංකේතය ලෙස අලියා පිළිගෙන අලියා යූ.ඇන්.පී.යේ ලාංඡනය බවට පත්කර ගත් බවය.
මීට වෙනස් මතයක් දරන අය කියන්නේ ලංකාවේ දේශීය දෙවියන් ලෙස පිළිගන්නා සුමන සමන් දෙවියන්ව ඩී.ඇස්. දැඩි ලෙස අදහපු බවය. රත්නපුරයේ සුමන සමන් දෙවියන්ගේ වාහනය ඇතාය. මේ නිසා ඩී.ඇස්. යූ.ඇන්.පී. ලාංඡනය ලෙස අලියා තෝරාගත් බවය.
'හීන් බිලිඳු' දණගැසූ ඩඩ්ලිගේ නික්මයාම
ඩඩ්ලි සේනානායක
ඩී.ඇස්. වගේම ඩඩ්ලි සේනානායකත් අලින්ට දැඩි ලෙස ආදරය කළේය. ඩඩ්ලි ජනප්රිය වනජීවී ඡායාරූප ශිල්පියෙකි. ඔහු ආරක්ෂකයන් මග දමා තනිවම වනාන්තරවල රිංගා ඡායාරූප ගන්න රුසියෙකි. ඔහු අගමැතිව සිටියදී වරක් එලෙස ඔහු ආරක්ෂකයන් මගහැර ගොස් සිටියදී ආරක්ෂකයන්ට ඔහුව සොයාගත නොහැකි විය. වනාන්තරයම පිරික්සා ඔහුව සොයාගන්නා විට අගමැති කැලෑවේ අතරමං වී ඇති බවට වූ පුවත ලැව් ගින්නක් සේ පැතිර තිබිණි.
1965 මහ මැතිවරණය දිනා ඩඩ්ලි අගමැති ලෙස දිවුරුම් දෙන්න ආවේ ඇතෙකු පිටෙනි. ලංකාවේ නව අගමැති දිවුරුම් දෙන්න ඇතෙකු පිට එන ඡායාරූපය ජාත්යන්තර මාධ්යවලද ප්රසිද්ධ විය.

1973 ඔහු මරණයට පත්වූ විට ඔහුට ගෞරව දක්වන්න ‘හීන් බිලිඳු’ නම් වූ ඇතා අවමඟුල් පෙරහැරට ගෙන එනු ලැබීය. ඩඩ්ලිගේ දේහය ඉදිරිපිට ‘හීන් බිලිඳු’ නම් වූ ඇතා දණගසා හොඬවැල උස්සා වඳින දර්ශනය මුළු රටම කම්පාවට පත්කරනු ලැබීය.
ජේ.ආර්., ප්රේමදාස සහ දියකඩිත්තේ උපමාව
ජේ.ආර්. ජයවර්ධන වනජීවී ලෝලියකු නොවුණාට ඔහු ජනාධිපති ධුරය දරද්දී ඔහු සහ බිරිඳ ඇතුන් සමග ඡායාරූප ගන්න වැඩි කැමැත්තක් දැක්වීය. ජේ.ආර්. සිය බිරිඳ සමග ඇතෙකුගේ හොඬවැල අල්ලාගෙන ඉන්නා ඡායාරූපය ජේ.ආර්.ගේ ජනප්රියතම ඡායාරූපය විය.
රණසිංහ ප්රේමදාස ඇතුන්ට අසීමිත ලෙස ආදරය කළ අයෙකි. වනජීවී ඡායාරූපකරණය ඔහුගේ ලොකුම විනෝදාංශය විය. ඔහු කැලෑබද ප්රදේශවල රැස්වීම්, උත්සවවලට ගියේ කැමරාවක් කරේ එල්ලාගෙනය. ප්රේමදාස වරක් අලියා උපමා කරගෙන යූ.ඇන්.පී.ය ගැන කතාවක් කීවේය.

‘යාල කැලේ නියඟ කාලෙට විවිධ සත්තු ඇවිත් දියකඩිතිවලින් පිපාසය නිවා ගන්නවා. උරුලෑවා වගේ සත්තු ඇවිල්ලා දිය කඩඩිත්තේ දඟලලා දියකඩිත්ත මඩ කරනවා. එතකොට අනෙක් සත්තුන්ට වතුර බොන්න විදියක් නැහැ. අලියා තමයි දියකඩිත්ත ශුද්ධ කරලා පිරිසිදු වතුර පාදන්නේ. ඒ වගේ තමයි යූ.ඇන්.පී.ය මේ මවුබිම අනෙකුත් පක්ෂ ඇවිත් විනාශ කරලා ගියාම ඇතා එනවා වගේ යූ.ඇන්.පී.ය ඇවිත් තමයි ගොඩ දමන්නේ…’
මේ, ප්රේමදාස කී කතාවය.
යූ.ඇන්.පී. නායකයන් සහ අලින් අතර තිබුණේ අරුම පුදුම අන්තර් සම්බන්ධතාවකි. එයට හේතුව අලියා යූ.ඇන්.පී.යේ ලාංඡනය වීමම නොවේ. ඔවුන් අලින්ට දැඩි සේ ආදරය කළේය. මේ ආදරය නිසාම ලංකාවේ ජනතාව අලියා ජාතික වස්තුවක් ලෙස සලකන්න පුරුදු විය.
කාවන්තිස්සගේ මරණය සහ අලියා නංවන ඇත්ගොව්වා

අලියා අලුතෙන්ම මාතෘකාව බවට පත්ව ඇත්තේ කාවන්තිස්ස ඇතාගේ මරණය නිසාය. රටම පුදුමයට පත්කරමින් කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් කැලඹුණේ ‘ජෙන්-සී’ නැත්නම් රටේ නූතන පරපුරය. ඔවුන් කාවන්තිස්සගේ මරණය රටේ ජාතික මාතෘකාවක් බවට පත්කළේ සමාජ මාධ්ය හරහාය.
කාවන්තිස්ස මියයෑමට පෙර අලි සම්පත ගැන රටේ කතාබහක් නිර්මාණය කළ දේශපාලන නායකයෙක් වේ නම් ඒ සජිත් ප්රේමදාසය. ඔහු අලි බලන්න කැලේ යද්දී හැමෝම ඔහුට හිනා විය. ඒත් ඔහු හුරුව සිටියේ යූ.ඇන්.පී.යේ මහා අලි සම්ප්රදායටය.
අලියෙක් වැටුණාම නැගිට්ටවන්න බැරිය. කාවන්තිස්ස අලියාට මෙන්ම අද යූ.ඇන්.පී.යට සිදුවී ඇත්තේත් ඒකමය. අලි නැගිට්ටවන්න පුළුවන් අලි මන්තර දන්නා අයටය. අලින්ට ආදරය කරන අලි එක්ක කතා කරලා පුරුදු අලි හිතකාමීන්ටය.
‘යූ.ඇන්.පී. අලියා නැගිට්ටවන ඇත්ගොව්වා සජිත්ද…?’
උපුටා ගැනීම - mawratanews



