The Leader News
BREAKING
නඩු රැල්ලක සති අන්ත විග්‍රහය: දේශපාලන බලවතුන්ට එරෙහි නීතිය●සිනමාවේ අර්බුද ගැන ඡත්‍ර වීරමන් කරන විග්‍රහය●ට්‍රම්ප්ගේ බැල්ම සහ මාලිමාවේ ඇල්ම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●ඉබ්‍රාහිම් අලි ඛාන් - පලක් තිවාරි වෙන්වූ බවට බොලිවුඩයෙන් ආරංචි●කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්●සුනිල් වටගල සහ කුමාර ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්●ෂර්ලි සමරසිංහ ගේ ''සිලිලාරේ'' ළඟදී ම තිරයට●කැසිනෝ සහ ඔන්ලයින් සූදු නියාමනය දෙසැම්බරයට●'සංවර්ධන' සැළසුමක් ගැන නොදන්නා විපක්ෂ හවුල් කුමටද?●කමිඳුගේ සටන්කාමී ශතකය හමුවේ පාකිස්තානය අවසන් පන්දුවාරයේදී ශූරතාව ඩැහැගනී●
Top Ad
විශේෂාංග

නඩු රැල්ලක සති අන්ත විග්‍රහය: දේශපාලන බලවතුන්ට එරෙහි නීතිය

Awara

Awara

November 1, 2026 • 5:57 PM

නඩු රැල්ලක සති අන්ත විග්‍රහය: දේශපාලන බලවතුන්ට එරෙහි නීතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙහෙළියට විදෙස් ගමන් තහනමක්; වනාතවිල්ලුව නඩුවට වසර 12ක සිරදඬුවම් 1.
  • වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර් සහ මොහොමදු නවුෆර් මවුලවී යන විත්තිකරුවන් දෙදෙනාටයි.
  • චන්ද්‍රසේන, ශෂී වීරවංශ සහ රනිල් දුන් ජනාධිපති සමාව අහෝසි වීම 3.
  • චන්ද්‍රසේනගේ ඉන්ධන නඩුව දෙසැම්බරයට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර තුනක කාලයක් තුළදී අනීතික ලෙස රුපියල් ලක්ෂ 25කට ආසන්න ඉන්ධන භාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙහෙළියට විදෙස් ගමන් තහනමක්; වනාතවිල්ලුව නඩුවට වසර 12ක සිරදඬුවම්

1. වන්දි නොගෙවූ කෙහෙළිය ඇතුළු පිරිසට විදේශ ගමන් තහනමක්

අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව නිසි ලෙස වන්දි සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කරයි.

මෙම නඩු තීන්දුවට සහ අදාළ වන්දි ගෙවීමේ නියෝගයට සම්බන්ධව මූලිකව නම් කර ඇති ප්‍රධාන වගඋත්තරකරුවන් 5 දෙනා වනුයේ:

* කෙහෙළිය රඹුක්වැල්ල (හිටපු සෞඛ්‍ය අමාත්‍ය)
* වෛද්‍ය ජනක චන්ද්‍රගුප්ත (සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්)
* වෛද්‍ය සාමන් රත්නායක (වෛද්‍ය සැපයුම් අංශයේ - MSD හිටපු අධ්‍යක්ෂ)
* වෛද්‍ය විජිත් ගුණසේකර (ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති)
* වෛද්‍ය තුසිත සුදර්ශන (වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ) යන අයයි.

2. වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ අවි ගබඩාවට වසර 12ක සිරදඬුවම්


පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේදී 2018 වසරේදී නීතිවිරෝධී අන්දමින් ගිනි අවියක්, ජීව උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය රැස්කිරීමේ චෝදනා හතරකට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වසර දොළහක් බැගින් බරපතළ සිරදඬුවම් නියම කළේය.

වරද පිළිගැනීමෙන් අනතුරුව මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර් සහ මොහොමදු නවුෆර් මවුලවී යන විත්තිකරුවන් දෙදෙනාටයි.

චන්ද්‍රසේන, ශෂී වීරවංශ සහ රනිල් දුන් ජනාධිපති සමාව අහෝසි වීම

3. එස්.එම්. චන්ද්‍රසේනගේ ඉන්ධන නඩුව දෙසැම්බරයට

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වසර තුනක කාලයක් තුළදී අනීතික ලෙස රුපියල් ලක්ෂ 25කට ආසන්න ඉන්ධන භාවිතා කිරීමේ චෝදනාව යටතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් නව (09) වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉකුත් (26) නියෝග කළේය.


4. ශෂී වීරවංශගේ දඬුවම් නියම කිරීම ලබන 11 වැනිදාට

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකාරියව වසර දෙකක සිරදඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වූ රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශට අදාළ දඬුවම් නියම කිරීම පිළිබඳ නඩුව ලබන 11 දින තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉකුත් (26) නියෝග කළේය.


5. රනිල් දුන් ජනාධිපති පොදු සමාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලරහිත කෙරේ


නඩත්තු මුදල් හිඟයක් වන රුපියල් මිලියන 1.74ක් ගෙවීමට අපොහොසත් වීම නිසා මාස 29ක සිරදඬුවමක් නියම වී සිටි පුද්ගලයකුට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

2024 සැප්තැම්බර් මාසයේ ලබාදුන් පොදු සමාව යටතේ මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තාට හිමිවූ දඬුවම් ලිහිල් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාවයට සහ නීතියේ සමාන ආරක්ෂාවට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා තීන්දු කළේය.

බලංගොඩ කස්සප හිමි, ඩයනා ගමගේ සහ නාමල්ගේ එයාර් බස් නඩුව


6. බලංගොඩ කස්සප හිමියන්ට එරෙහිව පොලිස් විමර්ශනයක්

සිරදඬුවම් ලද ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහයේදී ජනතාව කුපිත කරවන, නොමඟ යවන සුළු සහ ජනතා විශ්වාසය කඩ කරන අසත්‍ය ප්‍රකාශ බලංගොඩ කස්සප හිමියන් විසින් මාධ්‍යයට නිකුත් කර ඇති බවට පැලවත්ත ජාතික ජන බලවේගය පක්ෂ කාර්යාලයෙන් ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කුරුඳුවත්ත පොලිසිය ඉකුත් (26) පවසා සිටියේය.

පැලවත්ත ජාතික ජන බලවේග කාර්යාලයේ සංවිධායක ජගත් බස්නායක කුරුඳුවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.


7. ඩයනා ගමගේට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි


ඩයනා ගමගේට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස මහාධිකරණයෙන් නියෝග කෙරිණි.


8. එයාර් බස් ගනුදෙනුව: නාමල් රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කරන තෙක් රඳවුම් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (27) බන්ධනාගාරයට නියෝග කළේය.

කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට සැකකරුව ඉදිරිපත් කළ බවට වාර්තාව ලබන 30 මෙම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය. අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඇප නියම කිරීමට මෙම අධිකරණයේ බලයක් නොමැති බවද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය. වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ නඩු විභාග අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට 149 වගන්තියට අනුව බලයක් පවතින බවයි.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනාට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීම අගවිනිසුරු විසින් අනුමත කර ඇති බව ඉකුත් (27) නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ දැන්වීය. ඒ අනුව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර ඇති බවයි සොලිස්ටර් ජනරාල්වරයා පවසා සිටියේ. එමෙන්ම මෙම නඩුව මෙම අධිකරණයේ විභාග වන අවසන් දවස අද වනු ඇතැයි අපේක්ෂා කරන බවද සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළ අතර, එම අධිචෝදනා පත්‍රය චෝදනා 24කින් සහ සාක්ෂිකරුවන් 59 දෙනෙකුගෙන් යුක්ත බව ද පැවසීය.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු පවසා සිටියේ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඉදිරි නියෝග ලබා දීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි.

ජනාධිපති නීතිඥ ශාවින්ද්‍ර ප්‍රනාන්දු:
"ස්වාමීනි, විමර්ශන අවසන් නම් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය නැහැ. සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා."

එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අලි සබ්රි ද අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටියේ වරදකරුවෙකු ලෙස අධිකරණය ඔප්පු කරන තෙක් ඔවුන් නිර්දෝෂී පුද්ගලයෙකු බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙලෙස සිය නියෝගය ප්‍රකාශයට පත් කළේය:

"මට මේ අධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඇප නියෝගයක් නිකුත් කිරීමට බලයක් නැහැ. එම නිසා හෙට දිනයේ සැකකරු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කර ඒ බව ලබන 30 වැනිදා මෙම අධිකරණයට දන්වන්න. හෙට දින මහාධිකරණයට ඉදිරිපත් කරන තෙක් බන්ධනාගාරයේ රඳවුම් භාරයේ තබා ගැනීමට නියෝග කරනවා."

බැසිල්ට විවෘත වරෙන්තුවක්; පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

9. බැසිල් රාජපක්ෂට විවෘත වරෙන්තුවක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කරයි.


10. පස් පුද්ගල ඝාතනය: පිල්ලෙයාන් ලබන 10 දක්වා රිමාන්ඩ්


නැගෙනහිර පළාතේ කල්අඩි, කාත්තන්කුඩි සහ කන්නන්කුඩා යන ප්‍රදේශවලදී පුද්ගලයන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' ඇතුළු දෙදෙනෙක් ලබන (10) වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.


11. පැමිණිල්ල නැතිව නාමල්ගේ ඇප ඉල්ලීම හිරවෙයි

එයාර් බස් මහාධිකරණ නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත ත්‍රිපුද්ගල මහාධිකරණයට නාමල්ව ඉදිරිපත් කරයි. නාමල්ගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමට ඉඩ නොලැබෙයි! පැමිණිල්ල නැහැ!

නොවැම්බර් 19 අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කරයි. පැමිණිල්ලට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්ට එදිනට පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරිණි. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට අදාළ මුල් ගොනු නිසි පරිදි ගොනු කර නැතැයි විනිසුරුවරුන් මෙහිදී පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරයේ ගෆුර් මාමාට දඬුවම්; ක්‍රිෂ් නඩුව සහ කෙටි සටහන්

12. ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන ගිය 'ගෆුර් මාමා'ට වසර 12ක්

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව සිදුවීමට පෙර, 2018 ඔක්තෝබර් 1 දා සිට 2019 ජනවාරි 16 දා දක්වා පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්‍රදේශයේදී ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම, සහරාන් හශීම් හා මොහොමඩ් හස්තූන් සමඟ ගිනි අවියක්, සජීවී උණ්ඩ දොළහක් (12) ඇතුළු පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය තොගයක් නීත්‍යානුකූල බලයක් නොමැතිව රැස්කිරීම ඇතුළු අධිචෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරුවන් බවට නිගමනය කළ මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (28) බරපතළ වැඩ සහිත වසර 12 බැගින් සිරදඬුවම් නියම කළේය.


13. ක්‍රිෂ් ගනුදෙනුවේ ඇප ඉල්ලීම ලබන 3 වැනිදා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ඇප ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසම් පත්‍රය සම්බන්ධයෙන් අදාළ ඇප නියෝග ලබන 3 වන දින සලකා බලන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (28) නියෝග කළේය.

සිද්ධියට අදාළව මෝසම් පත්‍රයක් ගොනු කරමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා සිටියේ ක්‍රිෂ් නඩුවට අදාළව ඇප ඉල්ලා ගොනු කර තිබූ මෝසම අද යළි කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කළ බවයි.


14. කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සැකකරුවන් රිමාන්ඩ්


කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි. අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය.


15. අධිකරණ දින දර්ශනයෙන් කෙටි සටහන් පෙළක්

* විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ගෝඨාගේ ඉල්ලීම සලකා බැලීම නොවැම්බර් 04.

* එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල්ට අධිචෝදනා දීම නොවැම්බර් 19 (අද දින පැමිණිල්ල පැමිණ නොසිටි බැවින්).

* ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල්ගේ ඇප ඉල්ලීම නොවැම්බර් 03.

* යෝෂිතගේ, කරන්නාගොඩගේ නඩුවේ විභාගය නොවැම්බර් 23.

* වරද පිළිගත් ජොන්ස්ටන්ට දඬුවම් නියම කිරීම නොවැම්බර් 11.

* සුගීෂ්වරට මෙදාත් ඇප නෑ; නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්.


කජ්ජා ඝාතනය, ගම්මන්පිලගේ රිට් පෙත්සම සහ හරක් කටාගේ ඇප ප්‍රතික්ෂේප වීම

16. මුසම්මිල්ගේ පුත්‍රයා ඇප මත මුදාහැරේ

ජීප් රථයක් ලබා දෙන බව පවසා ලක්ෂ 59ක මුදලක් ලබාගෙන එම මුදල නැවත ලබා නොදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයෙකු වන උමයිර් මුසම්මිල් නමැත්තා ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉකුත් (28) නියෝග කළේය. සැකකරුට ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම විය.


17. කජ්ජා ඝාතනයේ සැකකාරිය රිමාන්ඩ්

අරුණ විදානගමගේ නොහොත් කජ්ජා සහ ඔහුගේ දරු දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අනූෂා ලක්මාලි නොහොත් අචිනි නම් කාන්තාව එළැඹෙන නොවැම්බර් 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


18. ඥානසාර හිමියන් වෙනුවෙන් ගම්මන්පිලගෙන් රිට් පෙත්සමක්


සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කරයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා, කොළඹ මහේස්ත්‍රාත්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.


19. තරුණ සේවා සභාවේ හිටපු සභාපතිට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (28) නියෝග කළේය. සැකකරු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.


20. NR Consultancy නඩුව පෙබරවාරියට

අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි (NR Consultancy) සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව පෙබරවාරි 11 වන දින යළි කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉකුත් (29) නියෝග කළේය.


21. CIDයෙන් පැන යාමට තැත් කළ 'හරක් කටා'ගේ ඇප ප්‍රතික්ෂේපයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු කොළඹ මහාධිකරණය හමුවේ සිදුකර තිබූ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


ජීවිතාන්ත සිරදඬුවම්, බන්ධනාගාර ගැටුම් සහ සුරාබදු නියාමකගේ අල්ලස

22. හෙරොයින් ජාවාරමට ජීවිතාන්ත සිරදඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී.


23. මීගමුව බන්ධනාගාර ගැටුම: රස පරීක්ෂක වාර්තා තවමත් නෑ


මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමේදී නිලධාරීන් 10ක් සහ රඳවියන් 22ක් ඇතුළු 32 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුකරයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇති නඩු භාණ්ඩ පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පස්වැනි වරටත් අධිකරණයට වාර්තා කළහ. අදාළ වාර්තා ලබා ගැනීම සඳහා මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය විසින් සිහි කැඳවීමක් එහි ගොස් භාර දෙන ලෙස එම නිලධාරීන්ට නියෝග කළාය.


24. හෝමාගම අපරාධ අංශ ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.


25. ප්‍රංශ ජාතිකයාගෙන් අල්ලස් ගත් සුරාබදු නියාමකට වසර 30ක සිරදඬුවම්

විදේශීය මත්පැන් බෝතලයක් සමඟ අත්අඩංගුවට ගත් ප්‍රංශ ජාතිකයෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් මත්පෙති ජාවාරම් කළේ යැයි චෝදනා ගොනු කර නීතිමය පියවර නොගෙන සිටීම සඳහා ඔහුගේ බිරිඳගෙන් ලක්ෂ හැටක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් තිස්නම ලක්ෂ විසිදහසක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම ඇතුළු චෝදනා හයකට වරදකරු කරනු ලැබූ සුරාබදු නියාමකවරයෙකුට බරපතළ වැඩ සහිත වසර තිහක සිරදඬුවමක් නියම කොට, එකී සිරදඬුවම වසර දහයක කාලයකින් එකවර ගෙවී යන ලෙස ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.


ලාෆ්ස් ගෑස්, බෝගොල්ලාගම සහ රාජපක්ෂ පවුලේ දේපළ තහනම් වීම්


26. පාරිභෝගික අධිකාරියෙන් ලාෆ්ස් ගෑස් සමාගමට නඩු

පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් ලාෆ් ගෑස් සමාගමට (LAUGFS Gas PLC) එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවේ ඉකුත් (29) නඩු පවරනු ලැබීය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධාන අංක 86 උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවරන ලද මෙම නඩුවට අදාළව ලබන 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමින් අධිකරණය සමාගමට සිතාසි නිකුත් කළේය.


27. රෝහිත බෝගොල්ලාගමගේ ඇප තීන්දුව 6 වැනිදාට


දූෂණ චෝදනාවකට අදාළ නඩුවකදී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 6 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී නියම විය.


28. නීතිඥ රඛිත ඇතුළු තිදෙනාගේ ඇප අවලංගු කිරීමේ විභාගය පෙබරවාරියට

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්තැයි කියන සිද්ධියට අදාළව නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පත් තුනක විභාගය පෙබරවාරි 9 වන දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ දින නියම කළේය. වගඋත්තරකරුවන්ගේ විරෝධතා නොවැම්බර් 14 වැනිදාත්, පෙත්සම්කරුවන්ගේ විරෝධතා නොවැම්බර් 28 වැනිදාත් ගොනු කිරීමට නියමිතයි.


29. යෝෂිතගේ රුපියල් ලක්ෂ 730ක ඉඩම් නඩුව නොවැම්බර් 12ට

රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කට්ටි 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12 වන දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග ඉකුත් (30) දින නියම කළේය.


30. රඛිත රාජපක්ෂගේ ගිණුම් 4ක් සහ වාහන අත්හිටුවයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබේ. 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවා ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකුගේ බිරිඳගෙන් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව මෙම පියවර ගෙන ඇති අතර, සිද්ධියේ පළමු සැකකරු වන චරිත අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, තෙවැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක් තහනම් කළ බවත් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වීය. අදාළ වාර්තා පැය 72ක් ඇතුළත ලබාදීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව දෙසැම්බර් 8 වන දින යළි කැඳවීමට නියෝග කළේය.

(සටහන | විනු කරුණාරත්න)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...