පෘථිවි තලයේ උෂ්ණත්වය ඉහළ යාම හුදෙක් ගස්වැල් වියළී යන දේශගුණික අර්බුදයක් පමණක් නොවේ. එය මානව පරපුරේ පැවැත්ම තීරණය කරන මව්කුසට එල්ල කරන නිහඬ ප්රහාරයක් බවට පත්ව තිබේ.
දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර වෛද්ය පර්යේෂිකා දර්ශනිකා ලක්හූ (Darshnika Lakhoo) වසර ගණනාවක් ලොවට අනතුරු ඇඟවූයේ මේ අනතුර ගැනය. අධික උෂ්ණත්වය හමුවේ දරුගැබ් දුර්වල වන අන්දම ඇය විද්යාත්මකව සාක්ෂි සහිතව ඔප්පු කරමින් සිටියාය.
තමන් නිවුන් දරුවන් පිළිසිඳ ගත් මොහොතේම, ඇය පර්යේෂණ කළ ඒ දරුණු ඉරණමට ඇයටම මුහුණ දීමට සිදුවිය.
මොනවාද මේ 'උෂ්ණ කුණාටු'?
සාමාන්ය රස්නයට එහා ගිය මහා පරිමාණ තාප කලාප පරිසර විද්යාඥයන් හඳුන්වන්නේ 'උෂ්ණ කුණාටු' (Heat storms) ලෙසිනි. යම් ප්රදේශයක සාමාන්ය උෂ්ණත්වයට වඩා බෙහෙවින් වැඩි රස්නයක් එක දිගට දින පහකට වඩා පැවතීම මෙහි මූලික ලක්ෂණයයි.
1960 දශකයේ මුළු ලෝකයටම මෙවැනි කුණාටු වාර්තා වූයේ 50ක් පමණි. පසුගිය දශකය තුළ පමණක් වාර්තා වී ඇති එවැනි සංසිද්ධි ගණන 665 ඉක්මවයි.
භූමියෙන් අඩකට වඩා ආවරණය කරමින් ඇදී යන මේ රස්නය, සමස්ත මානව සිරුරේ ක්රියාකාරිත්වය වෙනස් කිරීමට සමත්ය.
සෙල්සියස් අංශකයක වැඩිවීමත් දරුගැබට මරු පහරක්

ජාත්යන්තර වෛද්ය පර්යේෂණ පෙන්වා දෙන්නේ සාමාන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවන විට ගර්භනී මව්වරුන් මුහුණ දෙන අවදානම තියුණු ලෙස ඉහළ යන බවයි.
මවක් ජීවත් වන පරිසරයේ සාමාන්ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩිවීම පවා නොමේරූ දරු උපත් අවදානම සියයට 4කින් ඉහළ දමයි.
උෂ්ණ කුණාටුවක් පවතින සතිය තුළ නොමේරූ දරු උපත් සිදුවීමේ සම්භාවිතාව සියයට 26කින් ඉහළ යන බව 'නේචර් මෙඩිසින්' (Nature Medicine) ජර්නලය තහවුරු කරයි. මීට අමතරව ගර්භාෂයෙන් වැදෑමහ වෙන්වීම, වකුගඩු අක්රිය වීම සහ 'ප්රී-එක්ලැම්ප්සියාව' (Preeclampsia) වැනි අධිරුධිර පීඩන සංකූලතා බහුලව වාර්තා වේ.
තමන් ලියූ පර්යේෂණය තමන්ගේම ජීවිතයට එබිකම් කළ හැටි
දර්ශනිකා ලක්හූ ගැබිණියකව සිටි මාස කිහිපය තුළ ජොහැන්නස්බර්ග් නුවර දින 74ක් මුළුල්ලේ උෂ්ණ කුණාටුවලට මැදිව තිබිණි. ඇය වායුසමන (A/C) යන්ත්රයක් භාවිත කළේ ද කලාතුරකිනි.
පර්යේෂිකාවක ලෙස ඇය පොතපතින් දුටු රෝග ලක්ෂණ ඇගේ සිරුර තුළින්ම මතුවන්නට විය. පළමුව වැදෑමහට යන රුධිර ධාරාව දුර්වල විය. අනතුරුව රුධිර පීඩනය ඉහළ ගියේය.

නොවැම්බර් මස අසාමාන්ය රස්නයත් සමඟ කුස තුළ සිටි නිවුන් බිළිඳියන්ගේ වර්ධනය සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. නියමිත දිනට සති හයකට පෙර හදිසි සිසේරියන් සැත්කමකින් බිහිවුණු ඒ බිළිඳියන්ට දැඩි සත්කාර ඒකකයේ ආධාරක මත සති ගණනාවක් සටන් කිරීමට සිදුවිය.
ලතින් ඇමරිකාවේ සිට ඇමරිකාව දක්වා පැතිරුණු අනතුර
මෙක්සිකෝ නගරයේ ජුවාරෙස් රෝහලේ දත්ත අනුව, උණුසුම් වසන්ත සමයේදී නොමේරූ උපත් සියයට 18කින් ඉහළ ගොස් තිබේ. ඇමරිකාවේ ෆ්ලොරිඩා සහ මියාමි වැනි ප්රදේශවල පවා ගැබිණි කාන්තාවන්ට දිවා කාලයේ එළිමහනට පැමිණීම වෛද්යවරුන් විසින් සීමා කර ඇත.
ශරීරය සිසිල් කරගැනීමට මවගේ රුධිරය සම දෙසට ඇදී යාමේදී, කුස තුළ සිටින දරුවාට සහ වැදෑමහට ලැබෙන රුධිර ප්රමාණය හා ඔක්සිජන් සැපයුම අඩාල වීම මෙයට ප්රධාන හේතුවයි.
දුප්පත් රටවල සාමාන්ය ජනතාවට වායුසමන පහසුකම් නොමැති වීමත්, පොදු ප්රවාහන සේවාවල පවතින තදබදයත් මේ අනතුර දෙගුණ තෙගුණ කරයි.
මව්වරුන් සහ සෞඛ්ය අංශ සැලකිලිමත් විය යුතු කරුණු
වෛද්ය විශේෂඥයන් අවධාරණය කරන්නේ ඉදිරි දේශගුණික තත්ත්වයන් හමුවේ සාමාන්ය ප්රසව සායනවලදී පවා උෂ්ණත්වයෙන් ආරක්ෂාවීම පිළිබඳව මව්වරුන් දැනුවත් කළ යුතු බවයි.

* දහවල් කාලයේ අනවශ්ය ලෙස දැඩි අව්වට නිරාවරණය වීමෙන් වැළකී සිටීම.
* පිපාසයක් නොදැනුණ ද නිතර පිරිසිදු ජලය පානය කරමින් සිරුර විජලනයෙන් වළක්වා ගැනීම.
* ශරීරයට පහසු, ලිහිල් සහ ලා පැහැති කපු ඇඳුම් භාවිත කිරීම.
* අධික හිසරදය, ක්ලාන්තය, පෙනීම බොඳවීම හෝ රුධිර පීඩනය වෙනස්වන ලකුණු දුටු වහාම වෛද්ය උපදෙස් ලබාගැනීම.
දේශගුණික අර්බුදය හුදු ස්වභාවික විපර්යාසයකට එහා ගොස්, නූපන් පරපුරේ සෞඛ්යයට තර්ජනයක් වන බැවින් ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ සේවා ස්ථාන නිවාඩු සහ ආරක්ෂිත ප්රතිපත්ති සකස් කිරීම රජයන් සතු කාලීන වගකීමකි.
වැඩිදුර තොරතුරු සහ මූලාශ්ර සබැඳි:
විශේෂ වාර්තාව සහ දත්ත විග්රහය (Reuters Investigation):
How heat storms threaten pregnant women around the world - Reuters
පර්යේෂණ පසුබිම සහ දෘශ්ය වාර්තාව (Video / Multimedia Overview):
Reuters Video Coverage: What is a Heat Storm and its health impacts



