The Leader News
BREAKING
නඩු රැල්ලක සති අන්ත විග්‍රහය: දේශපාලන බලවතුන්ට එරෙහි නීතිය●සිනමාවේ අර්බුද ගැන ඡත්‍ර වීරමන් කරන විග්‍රහය●ට්‍රම්ප්ගේ බැල්ම සහ මාලිමාවේ ඇල්ම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!●ඉබ්‍රාහිම් අලි ඛාන් - පලක් තිවාරි වෙන්වූ බවට බොලිවුඩයෙන් ආරංචි●කුමුදු කුමාරසිංහ ගෙන් කෘති ද්විත්වයක්●සුනිල් වටගල සහ කුමාර ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් පූර්ණ විමර්ශනයක්●ෂර්ලි සමරසිංහ ගේ ''සිලිලාරේ'' ළඟදී ම තිරයට●කැසිනෝ සහ ඔන්ලයින් සූදු නියාමනය දෙසැම්බරයට●'සංවර්ධන' සැළසුමක් ගැන නොදන්නා විපක්ෂ හවුල් කුමටද?●කමිඳුගේ සටන්කාමී ශතකය හමුවේ පාකිස්තානය අවසන් පන්දුවාරයේදී ශූරතාව ඩැහැගනී●
Top Ad
Opinion

ට්‍රම්ප්ගේ බැල්ම සහ මාලිමාවේ ඇල්ම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

Awara

Awara

November 1, 2026 • 5:04 PM

ට්‍රම්ප්ගේ බැල්ම සහ මාලිමාවේ ඇල්ම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘මම හිතන්නේ නැහැ ලංකාවට ලොකු වුවමනාවක් තියෙනවා කියලා.
  • ලංකාව බ්‍රික්ස් එකට බැඳෙන්න බරපතළ ලෙස හිතනවා නම් ප්‍රායෝගික පියවර ගත යුතුයි…’ මේ, රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් කී කතාවය.
  • රනිල්ගේ බ්‍රික්ස් තීන්දුව සහ අනුරගේ පසුබැසීම ජවිපෙ රනිල්ව හංවඩු ගැහුවේ ඇමෙරිකානු රූකඩයක් ලෙසය.
  • ඔවුන් චෝදනා කළේ රනිල් බලයට එන්නේ ලංකාව ඇමෙරිකාවේ යටත් විජිතයක් බවට පත් කරන්න කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

‘ලංකාවට බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ඕනෑ නම් බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් විශේෂයෙන්ම බ්‍රසීලය සමග රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කළ යුතුයි…’

මේ, මෙරට රුසියානු තානාපතිවරයා රුසියාව, චීනය නායකත්වය දරන ඇමෙරිකාවේ වෛරයට පාත්‍රවී ඇති බ්‍රික්ස් සංවිධානයට බැඳෙන්න ලංකාවට ඕනෑ නම් ඒ සඳහා දුන්න උපදෙසය.

‘මම හිතන්නේ නැහැ ලංකාවට ලොකු වුවමනාවක් තියෙනවා කියලා. ලංකාව බ්‍රික්ස් එකට බැඳෙන්න බරපතළ ලෙස හිතනවා නම් ප්‍රායෝගික පියවර ගත යුතුයි…’

මේ, රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් කී කතාවය.


ඔහු මේ කතාව කියන විට බ්‍රික්ස් සංවිධානයේ සභාපති වූයේ බ්‍රසීලයය. ඔහු බ්‍රසීලය සමග රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු කරලා වැඩේ ගොඩදාගන්න කීවේ ඒ නිසාය.

‘අනුරගේ ආණ්ඩුව ඇයි රුසියානු තානාපතිගේ උපදෙස මායිම් කළේ නැත්තේ…?’

අනුරගේ ආණ්ඩුව ලෝකයා දිහා බලන්නේ ඇමෙරිකාවේ ඇසින්ය. අනුරගේ ආණ්ඩුව බ්‍රසීලය සමග ගනුදෙනු කිරීමට පමණක් නොව රුසියාව සමග ගනුදෙනු කිරීමටත් බයය.

රනිල්ගේ බ්‍රික්ස් තීන්දුව සහ අනුරගේ පසුබැසීම


ජවිපෙ රනිල්ව හංවඩු ගැහුවේ ඇමෙරිකානු රූකඩයක් ලෙසය. ඔවුන් චෝදනා කළේ රනිල් බලයට එන්නේ ලංකාව ඇමෙරිකාවේ යටත් විජිතයක් බවට පත් කරන්න කියාය. හැබැයි ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට බැඳිය යුතු යැයි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ රනිල් ජනාධිපති ධුරය දරද්දීය. ඔහු ලංකාව බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට කැබිනට් අනු කමිටුවක්ද පත් කළේය. ඒ වනවිට බ්‍රික්ස් සංවිධානයේ සභාපති වූ රුසියාව සමග සාකච්ඡාද ආරම්භ කළේය.

බ්‍රික්ස් සමුළුව රුසියාවේ පැවැත්වීමට නියමිතව තිබියදී රනිල් ජනාධිපතිවරණයෙන් පරාජය විය. අනුර ජනාධිපති විය. ජවිපෙ සහ රුසියාව අතර තිබූ ඓතිහාසික සබඳතාව සලකා රනිල් ඒ වනවිටත් බ්‍රික්ස් සංවිධානයට බැඳීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති නිසාත් රුසියානු ජනාධිපති පුටින් අනුරට බ්‍රික්ස් සමුළුවට සහභාගි වන ලෙස පුද්ගලික ආරාධනාවක් කළේය. අනුර ජනාධිපති වූ විගස මෙරට රුසියානු තානාපති ආරාධනා පත්‍රයක් රැගෙන අනුර හමුවිය. එළඹෙන මහ මැතිවරණය නිසා තමන්ට බ්‍රික්ස් සමුළුවට සහභාගි විය නොහැකි බව අනුර දැන්වීය.

‘රනිල් ජනාධිපති ධුරයේ හිටියා නම් රුසියානු ජනාධිපතිගේ ආරාධනාව පිළිගන්නවාද?’

ඒකේ සැකයක් නැත. රනිල් රුසියාවට ගොස් පුටින් සමග සිටිනා ඡායාරූපය රනිල් ඔහුව ජනාධිපති කළ රුසියානු හිතවාදී පොදුජන පෙරමුණට විකුණනු ඇත.

පුටින් දැක ඇමෙරිකාවට බය වූ අනුර


‘ඉතින් වසර ගණනාවක් රුසියාව සමග ගනුදෙනු කළ ජවිපෙ නායක අනුර රුසියාවට යන්න බය වූයේ ඇයි?’

අනුර හිතන්න ඇත්තේ ජනාධිපති වූ විගස රුසියාවට ගොස් පුටින්ට අතට අත දුන්නොත් ඇමෙරිකාවට ඌරු ජුවල් නගී කියා විය යුතුය. ජනාධිපති වූ විගසම අනුර ඇමෙරිකානු විරෝධී කොමියුනිස්ට්වාදියකු ලෙස හංවඩු ගැසෙයි කියා බියෙන් විය යුතුය.

අනුර සහ ජවිපෙ වරද්දා ගත්තේ එතැනය. ඇමෙරිකාව, අනුරලා සහ ජවිපෙ ඇමෙරිකාවට තියෙන බය ලස්සනට කළමනාකරණය කළේය.

ලංකාවේ කොළඹ වරාය ලෝක වෙළෙඳාමට සහ මැදපෙරදිග ගැටුමකදී තීරණාත්මක මර්මස්ථානයක් බව මෙරට නව ඇමෙරිකානු තානාපති එරික් මයර්ට ඇමෙරිකානු විදේශ සබඳතා සෙනෙට් කමිටු ප්‍රධානියා ජිම් පෙන්වා දුන්නේ නිකම්ම නොවේ. එරික් මයර් ලංකාවට එන්නේද කොළඹ වරායේ වැදගත්කම ගැන ඔහුට තියෙන අවබෝධය ඇමෙරිකානු විදේශ සබඳතා සෙනෙට් කමිටුවට පෙන්වා දීලාය.

කොළඹ වරාය වටලන ඇමෙරිකානු දැල

මයර් ලංකාවට එන්න කලින් ඉන්දියාවේ ඇමෙරිකානු තානාපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ලංකාවට පැමීණ කොළඹ වරායට ගොස් වරායේ දොඹකරයට නැගී කොළඹ වරාය පේන මානයේ නිරීක්ෂණය කළේය. ඉන් පසු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව භාර සහායක ලේකම් පෝල් කපූර්ද පැමිණ කොළඹ වරාය නිරීක්ෂණය කළේය. අනුර ජනාධිපති වීමෙන් පසු ඇමෙරිකානු යුද නැව් දෙකක් හතර වරකදී ලංකාවට පැමිණ ඇත. ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් කලාපයේ හමුදා ප්‍රධානීන් හතර දෙනෙක් ලංකාවට පැමිණ ඇත. නිදහසින් පසු ලංකාවට ආ ඇමෙරිකාවේ ඉහළම හමුදා ප්‍රධානියා වූ ඇමෙරිකානු පැසිෆික් හමුදා නියෝජිත අණ දෙන නිලධාරී ජේ.බී. වොවෙල්ද මේ අතර වේ.

ලංකාවට ආ ඇමෙරිකානු තානාපති මයර්ගේ පළමු ව්‍යාපෘතිය කොළඹ වරාය ඩිජිටල්කරණය කිරීමය. ඒ සඳහා ඇමෙරිකාව ඩොලර් මිලියන 17ක් ආධාර වශයෙන් ලබාදුන්නේය.

පසුගිය සතියේ ඇමෙරිකානු පැසිෆික් අභ්‍යවකාශ හමුදාවේ නියෝජිත පිරිසක් ලංකාවට ආවේ චීනය පමණක් නොව රුසියාව ඇතුළු රටවල් මවිතයට පත්කරවමිනි. කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කීවේ ලංකාවේ නැගෙනහිර පළාතේ අභ්‍යවකාශ වරායක් හදන්න යෝජනාවක් ඔවුන් අනුරගේ ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති බවය.

නිහඬ තානාපති සහ මාලිමාවේ ද්විත්ව රංගනය

‘ඇමෙරිකාව ලංකාවේ නටන්න යන නාඩගම මොකක්ද?’

‘ඇමෙරිකාවට මේ නාඩගම නටන්න දීලා චීනය නිකන් ඉඳීද?’

‘රුසියාව අහක බලන් ඉඳීද?’

‘ඉරානය මොකක් කරයිද?’

චන්ද්‍රිකාගේ සිට මහින්ද දක්වා ආණ්ඩු මාධ්‍ය නිදහස මර්දනය කරන්න යද්දී අධිකරණයට ඇඟිලි ගසන්න යද්දී මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය සිය කනගාටුව පළකරමින් නිවේදන නිකුත් කළේය. දැඩි ඇමෙරිකානුවාදියකු වූ රනිල් ජනාධිපති වී සිටියදී මෙරට ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් රනිල් විසින් නීති විරෝධීව කල් දමපු පුංචි ඡන්දය පවත්වන ලෙස බලපෑම් කරමින් නිවේදන නිකුත් කරනු ලැබීය.

නමුත් මෙරට නව ඇමෙරිකානු තානාපති එරික් මයර් අනුරගේ ආණ්ඩුව ගැන තවම කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැත. එයින් පේන්නේ ඇමෙරිකාව අනුරගේ ආණ්ඩුව ගැන හද පිරි සතුටින් සිටින බවය.


අනුර සහ බිමල් බ්‍රසීලයේ ලූලාගේ ජයග්‍රහණය වර්ණනා කරමින් පණිවුඩ නිකුත් කරන්න ගත්තේ ඇමෙරිකාව අනුරගේ ආණ්ඩුව ගැන හද පිරි සතුටින් සිටිනා විටදීය.

‘ලූලාගේ බ්‍රික්ස් සමුළුවට යන්න බය වුණු අනුරගේ ආණ්ඩුව ලූලාගේ ජයග්‍රහණය ගැන උදම් ඇනුවේ ඇයි…?’

ඒක නම් කියන්න දන්නේ නැත. අනුරගේ ආණ්ඩුව රුසියාවේ හෝ බ්‍රසීලයේ බ්‍රික්ස් සමුළුවට නොගියේ ඇමෙරිකාව තම ආණ්ඩුව වට්ටවයි කියන බයට විය යුතුය. අනුරගේ ආණ්ඩුව ලූලාගේ ජයග්‍රහණය ගැන උදම් ඇනුවේ ඇමෙරිකාවට දැන් ආණ්ඩු පෙරළන්න බැහැ කියා හිතාගෙනද දන්නේ නැත. හේතුව ලෝකයම හිතුවේ ඇමෙරිකාව ලූලාව ගෙදර යවයි කියාය.

සටහන | උපුල් ජෝශප් ප්‍රනාන්දු)
Creative Content Consultant

උපුටා ගැනීම - mawratanews


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...